Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 3 රේරුකානේ චන්දවිමල හිමි බුරුමය බලා නැව් නගියි

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 3

රේරුකානේ චන්දවිමල හිමි බුරුමය බලා නැව් නගියි

මෙතෙක් කතාව

බුරුම ජාතික විනයාලංකාර නා හිමි වෙනුවෙන් පොකුණුවිට ග්‍රාමයේ විහාරස්ථානයක් ගොඩනැගේ. විනයාලංකාර හාමුදුරුවන්ගේ අපේක්‍ෂාව මුදුන්පත් ගැන්වෙමින් දානමය පින්කම සාර්ථකව සිදුවෙන අතර ගමේ දායකයන්ට අවශ්‍ය වන්නේ උන්වහන්සේ වෙනුවෙන් අලුතෙන් විහාරස්ථානයක් ඇරැඹීමට ය. පොකුණුවිට ග්‍රාමයේ විනයාලංකාරාම ය නමින් විහාරස්ථානයක් ඉදිවන්නේ ඒ වෙනුවෙන් ය. විනයාලංකාර භික්‍ෂූන් වහන්සේ එහි වැඩවසමින් යනෙන ඇත්තන්ට ධර්ම දේශනා කරති. තාත්තා ඇසූ ධර්මයේ ප්‍රතිඵලය ලබාගන්නේ රූබෙල් නම් කොලු ගැටයාය.


මහත් වගකීම් සමුදායක් හිසමත දරා, ගිහිගෙදර මහ බරක් උර දරා, දිගු ගමන් යන්නට සිටි මේ දරුවා ඒ සියල්ල එළිපත්තේ තබා වත්තේ කඩුල්ලෙන් පැන ආවේ හතර වරිගයක් නිවන වෙත කැඳවීමට සමත් මහණදම් පිරීමේ අපේක්‍ෂාවෙනි රූබෙල් ගුණවර්ධන නම් වූ කොලු ගැටයා රේරුකානේ චන්දවිමල නමින්, අපමණ වූ ක්ලේශයන්ගේ දුක් කඳක පෝෂණයෙන් සසර මඟ දික් කරනා ගිහි දිවියෙන් මිදී මේ සංසාර චක්‍රයේ භ්‍රමණය නවතාලන ඒකායන සංසාර විමුක්තිය උදෙසා ම වූ උතුම් සසුන් මඟට ප්‍රවිශ්ෂ වූ සේක.

එදා සසුන්ගත වූ කුළ දරුවන් 27 දෙනා අතර ලාබාලම දරුවා වූයේ චන්දවිමල සාමණේරයන් ය. එහෙත් අනෙක් පොඩි උන්නාන්සේලා පරදන උසකින් ද කෙසඟ සිරුරකින් ද හෙබි චන්දවිමල හිමි ගතින් දුර්වලයෙකි. එය එසේ වුව ද පවුලේ සිටි වැඩිමහල්ම පිරිමි දරුවා කිසිදු පැකිලීමකින් තොරව සසුනට පූජා කිරීමට දෙමාපියන්ගේ සිත් පැහැදීම උසස් පරිත්‍යාගයකි. එය එක්තරා විදියක පාරමී පිරීමක් වැනි ය.

මහත් වගකීම් සමුදායක් හිසමත දරා, ගිහිගෙදර මහ බරක් උර දරා, දිගු ගමන් යන්නට සිටි මේ දරුවා ඒ සියල්ල එළිපත්තේ තබා වත්තේ කඩුල්ලෙන් පැන ආවේ හතර වරිගයක් නිවන වෙත කැඳවීමට සමත් මහණදම් පිරීමේ අපේක්‍ෂාවෙනි.

භික්‍ෂූන් වහන්සේ යනු ගගණත සැරිසරණ පක්‍ෂියෙකුට සමාන කර ඇත. භික්‍ෂූවගේ කිසිදු බරක් නොමැති සිත සැහැල්ලු ය. පක්‍ෂියාට අත්තටු දෙකසේ භික්‍ෂූන් වහන්සේට එකම බර සිරුර දරන චීවරය පමණි. එසේ උපහැරණ ගෙනහැර දක්වන්නේ බැඳුම් වරපටින් මිදුණු භික්‍ෂූත්වයේ සැහැල්ලුව නිදහස අගැයීමට ය.

එහෙත් මේ චීවරය චන්දවිමල කුඩා සාමණේරයන්ට නම් මහා බරකි. එය එසේ වූයේ උන්වහන්සේ උප්පත්ති අලසයකු වූ නිසාය. සිරුරෙන් ද දුර්වලයකු වු බැවිනි. ඉතින් කුඩා දෑත් පොඩි එකට තබා අතුල්ලමින් සෝදා සිවුර පිරිසුදු කර ගැනීමට අපේ පොඩි හාමුදුරුවන්ට අපහසු සෙයකි.

එසේම කාලසටහනට අනුව නියමිත වේලාවට අලුයම අවදි වී මුහුණකට සෝදා පවිත්‍රවීමද නුහුරු ය. නුපුරුදු ය.

ඒ නිසාම ඇවැතුම් පැවතුම් චන්දවිමල හිමියන් අතින් අතපසු වී යන අතර අනෙක් යහළුවන් චන්දවිමල හිමියන්ගෙන් ඈත් වන්නේ පොඩි උන්නාන්සේ ළඟ ගඳ ගහනවා යැයි පවසමිනි.

එදා ගඳ ගහනවා යැයි ප්‍රතික්‍ෂේප කළ චන්දවිමල නාමය අද අපට මෙනෙහි වන විට ආත්මය පුරවන්නේ ඒ මහා යතිවර සුවඳින් ම ය.

සීලගන්ධසමෝ ගන්ධෝ
කුතෝ නාම භවිස්සති
සෝ සමං අනුවාතේ ච
පටිවාතේ ච වායති

ශීල සුගන්ධය හා සම සුගන්ධයක් අන් කුමකින් ඇතිවේ ද, නොවේම ය, එය වෙනසක් නැතිව යටි සුළඟට ද උඩු සුළඟට ද හමයි.

ඒ මහා යතිවරයාණන් වහන්සේගේ සිල් සුවඳ යටි සුළඟේද උඩු සුළඟෙහිද මුහු වී අදද මේ බිම දසත පුරා විහිදී ඒ සුසුවඳ වාතලය පුරා පතුරුවා හරියි.

මේ පුංචි හාමුදුරුවන් මහණ වුණු ඒ දවස්වල දැන් කාලේ මෙන් ප්‍රත්‍ය පහසුකම් අඩු ය. ආවාස ගෙය පොල් අතු මඩුවකි. රාත්‍රියට නිදා ගත්තේ පැදුරු කෑල්ලක් එළා ගෙන ය. උදේ ආහාරයට ලැබෙන්නේ ලුණු කැඳ කෝප්පයකි.

දවල් දානය වෙනුවෙන් පිණ්ඩපාතයේ යෑමට සිදුවෙයි. කෑම බීම පවා අඩු වීමෙන් චන්දවිමල පොඩි හාමුදුරුවෝ තවත් දුර්වල වෙති. මේ දුර්වල සිරුර දුටු පොඩි හාමුදුරුවන්ගේ තාත්තාගේ හිතට දැනෙන්නේ මහත් දුකකි. ඒ නිසා පොඩි උන්නාන්සේව ගෙදර එක්කරගෙන ගොස් දින කීපයක් නවත්තාගෙන ඇඟට ශක්තිය ලැබෙන්න තලගුලි ආදිය සාදා වළඳන්නට ලබාදෙන්නේ ශාසනයට පූජා කළ ද කිසිදා නොමැකෙන මව්පිය සෙනෙහස නහර ඇටමිදුළු වලටද කිඳා බැස ඇති බැවිනි.

මෙසේ වසර දෙකක් පමණ කාලයක් ගෙවී යයි. ඒ වකවානුවේදී බුරුම රටින් භික්‍ෂූන් වහන්සේ නමක් මේ රටට සපැමිණෙ යි.

එම භික්‍ෂූන් වහන්සේ සමඟ අලුත මහණ වූ කුඩා සාමණේරවරුන් 27 දෙනා වැඩි දුර ඉගෙනීමට බුරුම රටට යවන්නට නායක හාමුදුරුවෝ තීරණය කරති.

ඒ දවස්වල බුරුමයට යෑමට නැව් ගාස්තුව රුපියල් දහයකි.

කලබල වෙන්න එපා! මා මේ කතාකරන්නේ මීට වසර 105 කට පමණ පෙර අතීතයේ සිටගෙන ය. හරියටම පැවසුවහොත් 1908 ජනවාරි 27 වැනිදා මෙම භික්‍ෂු පිරිස බුරුමය බලායාමට නැව් නගිති.

බුරුමයට යාම වෙනුවෙන් මේ පුංචි හාමුදුරුවරුන්ගේ දෙමාපියෝ දරුවන් වෙනුවෙන් නැව් ගාස්තු සොයා දෙති. චන්දවිමල හිමියන්ගේ පියා දුන් රු. 10 මුදල ලැයිස්තුවට ඇතුළත් වී නොතිබිණි. ටිකට් එකට වැය නොවු ඒ රු. 10 සංවිධායකවරයෙකුගේ සාක්කු පල්ලට වැටුණු බව පසුකලෙක දැනගන්නට ලැබුණි. මුදල ගෙවා දමන්නට චන්දවිමල හිමියන්ට කිසිදු වත්කමක් නොමැත. ආපසු හරවා එවන්නට ද නුපුළුවන. කෙසේ හෝ බුරුම හාමුදුරුවෝ ඉදිරිපත් වී නැව් ගාස්තුව ගෙවා දමති.

දැන් චන්දවිමල හාමුදුරුවන් සිටින්නේ බුරුමයේ ය. මෙම සාමණේර පිරිස වැඩිපුර අධ්‍යාපනය සඳහා රැගෙන යන ලද්දේ බුරුමරට ඤෞන්ඩුන් නුවර ශ්‍රී මහා මංගලාරාමයේ අධිපති වූ ද පහත බුරුමයේ ශ්වේජින් නිකායේ මහා නායක වූ ද ශාසනාලාංකාර සද්ධර්මාභිවංස සිරිපවර කවිධජ මහාධම්ම රාජාධි රාජගුරු හිමියන් වෙතය.

මෙම සාමණේරයන් වහන්සේලාට බුරුම යේදී අධ්‍යාපනය ලබන්නට සිදු වූයේ බුරුම භාෂාවෙන් ය. බුරුම අකුරක්වත් නොදත් බැවින් අසන ඇසුම්, කියන කියුම්, අණ්ඩර දෙමළ මෙන් බුරුම භාෂා වෙන් ඉගෙන ගැනීම මහා අපහසු කටයුත්තක් විය. ඒ රටේ භික්‍ෂූන් වහන්සේලා පාලි භාෂාවෙන් ද කතා කළ ද එය ද අපහසුවකි. කැඩිච්ච පාලියෙන් කතා කරමින් යන්තමින් ජාම බේරා ගැනීමට හැකි වූයේ මෙහිදී සුසීම හාමුදුරුවන්ගෙන් පාලි ටිකක් ඉගෙන ගත් බැවිනි.

එහෙත් මාස කීපයක් යන විට චන්දවිමල හිමියන් ටිකෙන් ටික බුරුම භාෂාවට හුරුවුණු අතර අවුරුදු දෙක තුනක් යන විට නම් උන්වහන්සේට බුරුම භාෂාව කදිමට හැසිරවීමට ලිවීමට හැකියාව ලැබිණි.

දුෂ්කරතා මධ්‍යයේ වසර නවයක් බුරුමයේ සද්ධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලද චන්දවිමල හිමියෝ 1917 ඔක්. 26 වන දින බුරුම රට ධම්මිකාරාම සීමාවේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබති.

එම විස්තරය ඔක් 11 බුදුසරණ පත්‍රයේ


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 2 රූබෙල් පුංචි දරුවා රේරුකානේ චන්දවිමල නමින් සසුන් ගත වෙයි