Print this Article


ලංකාරාම චෛත්‍යය රාජයාණන්ට චූඩාමාණික්‍යයක්

ලංකාරාම චෛත්‍යය රාජයාණන්ට චූඩාමාණික්‍යයක්

අනුරාධපුර අටමස්ථානයේ ලංකාරාම මහා චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේගේ චූඩාමාණික්‍ය පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය මෙම ඔක්තෝබර් මස 06 වෙනි දින උදෑසන ඉතා උසස් අයුරින් සිදුකිරීමට ලංකාරාමාධිකාරී, උතුරු මධ්‍ය පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රැළපනාවේ ධම්මජෝති නා හිමියන්ගේ උපදෙස් මත විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත. අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනාපරිදි අටමස්ථාන කමිටුවේ අනුමැතියෙන් ලංකාරාමාධිකාරී, උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රැළපනාවේ ධම්මජෝති නා හිමියන්ගේ ආරාධනයෙන්, කොස්වත්ත තලංගම උතුර පදිංචි ජේ. සෙනරත් මුණසිංහ මහතා සහ ගංඟා විමලසේන මුණසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් එම පුණ්‍ය කටයුත්ත සිදු කෙරේ.

ලංකාරාම චෛත්‍යය රාජයාණන් වහන්සේගේ රන් ආලේපිත කොත් වහන්සේ ගේ චූඩාමාණික්‍ය පැළඳවීම සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි අසිත ඉන්ද්‍රජිත් පෙරේරා, රජීවා පෙරේරා, ඕස්ට්‍රේලියාවේ පදිංචි සංජීවනී ගුණසේකර යන මහත්ම මහත්මීන්ගේ මූලික ධන පරිත්‍යාගයෙනි. එම පුණ්‍ය කටයුත්ත මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය (ඉංජිනේරු) එම්.ඒ.ආර්.වී. ප්‍රනාන්දු මහතා ඇතුළු අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලම දායක පිරිස විසින් සංවිධානය කරනු ලබයි. යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ද මේ සඳහා ලැබී තිබේ. මේ මස 6 වෙනි දින පෙරවරු 8.13 ට යෙදෙන සුබ මොහොතින් කොත්වහන්සේගේ චූඩාමාණික්‍ය පැළඳවීම ඩී. සෙනරත් මුණසිංහ මහතා අතින් සිදු කෙරේ. චූඩාමාණික්‍ය නිරාවරණය කිරීම පෙරවරු 9.30 ට අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සුරතින් සිදු කිරීමට නියමිත ය.

මේ නිමිති කොට ගෙන මෙදින දවල් ලංකාරාම විහාරයේ දී විසිපස් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර මහා සංඝගත දක්‍ෂිණාවකි. එම අවස්ථාවට උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරුමැද ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහත්වරුන් ඇතුළු උතුරු මැද පළාතේ මැති ඇමැතිවරුන් හා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතව ඇත.

උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝ නායක රැළපනාවේ ධම්මජෝති නා හිමියන් මෙහි විහාරාධිකාරී තනතුර භාරගන්නා විට ලංකාරාම පුණ්‍යභූමිය ඉතාම නොදියුණු තත්ත්වයක පැවතුණි. අටමස්ථානාධිපති නා හිමියන්ගේ මඟපෙන්වීම යටතේ සිදු කළ සංවර්ධක කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ දී ලංකාරාම චෛත්‍යය හා චෛත්‍ය භූමිභාගය ඉතා අලංකාර තත්ත්වයකින් පවතින අයුරු දැකගත හැක. රථවාහන ධාවනය කරන ප්‍රධාන මාර්ගය වැටී තිබුණේ ලංකාරාම චෛත්‍ය වැලිමළුව මැදිනි.

පූජනීය වස්තුවක් ඇති ස්ථානයක මෙවැනි මාර්ගයක් තිබීම නුසුදුසු බව වගකිවයුත්තන්ට දැනුම් දීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම මාර්ගය වසා දමා සංඝාවාසය අසලින් නව මාවතක් ඉදිකරන ලදී. චෛත්‍ය භූමිභාගය තුළ විශ්‍රාම ශාලාවක්, භික්‍ෂු නේවාසිකාගාරයක්, ඉතා ටික කලක් තුළ ඉදි කිරීමට ධම්මජෝති හිමියන් සමත් වී ඇත. එමෙන්ම ලංකාරාමයේ පැරණි ධර්මශාලාව නවීකරණය කර තිබේ. පූජනීය භූමිය සඳහා ජලය හා විදුලිය සපයා ඇත. ජනාධිපතිතුමාගේ නියමයෙන් 2012 දැයට කිරුළ සංවර්ධන වැඩසටහන යටතේ ලංකාරාමය සඳහා අභිනව සංඝාවාසයක් ද ඉදිකිරීමට පියවරගෙන එහි ඉදිකිරීම් කටයුතු දැනට බොහෝ දුරට නිමාවී තිබේ.

“පුරාණ රාජදවස චෛත්‍ය සඳහා චූඩාමාණික්‍යයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරන්න පුළුවන. නමුත් මෑත ඉතිහාසයේ කොත් වහන්සේට චූඩාමානික්‍යයක් තිබුණේ නැහැ. ඒ අඩුව සපුරාදීම සම්බන්ධයෙන් එම සද්ගුණවත් මහත්වරුන්ට පින් අනුමෝදන් කරන බව“ රැළපනාවේ ධම්මජෝති නාහිමියෝ පැවසූහ.

ලංකාරාම චෛත්‍යය ලංකා ඉතිහාසයේ සදානුස්මරණීය සංකේතයක් ලෙස සැළකිය හැක. මෙය ඉදිකරවා ඇත්තේ ‘වට්ටගාමිණී අභය’ හෙවත් “වළගම්බා රජතුමා විසිනි” වර්තමානයේ ලංකාරාමය යනුවෙන් හැඳින් වූව ද පුරාණයේ මෙය හඳුන්වා ඇත්තේ ‘මණිථූපාරාමය’, ‘මණි සෝමාරාමය’ ආදී නම්වලින් බව බෝධිවංස ගැටපදය, මහාවංශය ආදියෙන් හෙළි වේ. දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ද්‍රවිඩ ආක්‍රමණිකයෙකු විසින් වළගම්බා රජු පරදවා රාජ්‍ය අත්පත් කරගන්නා ලදී. ඉන්පසු සැඟවී සේනා සංවිධානය කළ වළගම්බා රජතුමා නැවත යුද්ධකොට සතුරන් පළවාහැර ශ්‍රී ලංකා රාජ්‍ය එක්සේසත් කරවීය. අනතුරුව තමාත්, රටත් බේරාගැනීම උදෙසා සිය ජීවිතය පූජා කළ තම දේවිය (සෝමාදේවී) නමින් චෛත්‍යයක් ඉදි කළේ ය. ඇය දුන් මැණික ඇතුළු ධාතූන් වහන්සේලා එහි තැන්පත් කෙරිණ. ලංකා රාජ්‍ය බේරාගැනීම සඳහා සිය ජීවිතය කැප කළ සෝමාදේවිය එතැන්සිට ‘ලංකාදේවිය’ නමින් ප්‍රකට වූවා ය. ඇය වෙනුවෙන් ඉදිකළ චෛත්‍යය ‘ලංකාරාමය’ නම් විය.

මෙහිද ථූපාරාමයේ මෙන්ම පිළිම ගෙයක්, බෝධිඝරයක්, පෝය ගෙයක් ආදී අංගෝපාංග දක්නට ලැබේ. ථූපාරාමයේ මෙන්ම මෙහි ද එකී අංග වටකොට ප්‍රාකාරයක් ඇත. පිළිමගෙය අසල ථූපාරාමයේ මෙන් ගල් ළිඳක් ද වේ. බෝධිඝරය දැනට පාදා මතු කොට ගෙන තිබේ. එහි බෝධිය රෝපණය කර තිබූ ස්ථානය ද එහි පතුලේ මැටි පාත්‍රයක කොටස් ද තිබී හමු විය. බෝධිඝරය වෘතාකාර හැඩයෙන් යුක්තවන අතර බෝධියට වැටෙන වැඩි ජලය පිටතට ගෙන යන ජල කානුව ද හමු වී තිබේ. පිළිමගෙය අසළ තිබී හිසසුන් බුදුපිළිමයක් ද, තවත් කුඩා පිළිමගෙයක තිබී එවැනිම හිසසුන් බුදු පිළිමයක් ද හමු වී තිබේ. වර්තමාන ප්‍රතිසංස්කරණයේ දී ස්ථූපයේ පැරණි හැඩය වෙනස්වී ඇත. දැනට ස්තූපයේ විශ්කම්භය අඩි 38 කි.