Print this Article


බුදුසසුනේ අනාගතය සුරකින සාමණේර හිමිවරු

පැවිදි කරන්නට පෙර මූලික බණදහම් හා වත්පිළිවෙත් හුරුපුරුදු කරවීම ශාසනික චාරිත්‍රයකි. ඒ සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ගුරු ඇසුරෙහි සිටිය යුතු ය. කුඩා දරුවකුගේ මනස තේරුම් ගන්නට අපොහොසත් භික්‍ෂූන් ළමුන් පැවිදි කිරීමෙන් වැළැකිය යුතු ය. ආයතන පවත්වාගෙන යාමට හෝ පන්සලේ වැඩකටයුතු කරවා ගැනීමට හෝ ඇප උපස්ථාන ලබාගැනීමේ අරමුණින් කුඩා ළමයකුට සිව්රු ‍ෙපරවීම ජීවිතයක් විපතට හෙළීමකි. ධර්ම විනය ඉගෙනීමට අවස්ථාව ලබා නොදී පන්සලේ වැඩ කටයුතු හා දායකයන්ගේ ආගමික කටයුතු සිදුකරමින් ළමාවිය ගෙවා දමන්නට සාමණේර හිමිවරුන්ට ඉඩ සැලසීම අගය කළ යුතු නොවේ

බුදුසසුනේ මුල් යුගයේ දී ම ළමා පැවිද්ද ඇරඹුණි. බුදුරදුන් සමයෙහි වැඩ සිටිය රාහුල, සෝපාක, සංකිච්ච ආදී සාමණේර හිමිවරුන් ගැන තොරතුරු ඉතා ප්‍රකටය. ධර්මාශෝක රජු බෞද්ධයකු බවට පත්කරනු ලැබුවේ නිග්‍රෝධ සාමණේරයන් විසිනි.

මුල් කාලයේ දී ළමුන් පැවිදි කිරීම සිදුකෙරුණේ ඔවුන්ගේ වයස ගැන නොව ඔවුන්ගේ බුද්ධිමත් බව හා කැමැත්ත කෙරෙහි අවධානය යොමුකිරීමෙනි. ළමුන් පැවිදි කළයුත්තේ දෙමව්පියන්ගේ අවසරයෙනි. නමුත් මහාවග්ග පාලියේ සඳහන් වන විනය නීතියට අනුව ළමයකු පැවිදි කිරීමට අවසර තිබෙන්නේ ඔහුගේ වයස අවුරුදු පහළොවක් වූ පසුවයි. බුදුරදුන්ගේ කාලයෙහි ළමයෙකුගේ නුවණ මුහුකුරා ගිය සාමාන්‍ය වයස අවුරුදු පහළොව වශයෙන් සම්මතව තිබුණ බව සිතිය හැකිය. විශේෂ අවශ්‍යතා නිසා පසුකලෙක ළමා පැවිද්දේ වයස් සීමාව සංශෝධනය කෙරුණි. පිඬුසිඟා වඩින විට පාත්තරයෙන් ආහාර උදුරන්නට එන කපුටන් එළවන්නට හැකි සත් හැවිරිදි වියේ පසුවන ළමුන් වුව ද, පැවිදි කරන්නැයි බුදුරදුන් අවසර දී ඇත. දරුවකුට තනිවම තම කටයුතු කරගැනීමට තිබෙන හැකියාව එහි දී පදනම වශයෙන් ගෙන තිබේ. පැවිදි වයස පිළිබඳ නීතිය ලිහිල් කෙරුණේ මව්පිය රැකවරණය නොමැති කුඩා දරුවන් දෙදෙනකුට පිළිසරණ වීමේ අදහසිනි. ඒ අනුව හත් හැවිරිදි විය දරුවකු පැවිදි කිරීම සඳහා අවම වයස වෙයි. වයස අවුරුදු හතට අඩු ළමුන් පැවිදි කිරීම ශාසනික විනය කඩකිරීමකි.

ළමුන් පැවිදි කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇතැමුන්ගෙන් විවේචන එල්ලවෙමින් පවතී. ළමා පැවිද්ද ළමුන්ගේ අයිතිවාසිකම් කඩකිරීමකි. ඒ නිසා එය වරදකි යනුවෙන් ඔවුහු භික්‍ෂූන්ට චෝදනා කරති. ඇතැමුන් මෙම චෝදනාව කරන්නේ යටි අරමුණු ද ඇතිවය. බුද්ධ ශාසනයට ඇතුල්වන පිරිස නීතිය මඟින් අඩුකිරීම ඔවුන්ගේ ඉලක්කයකි. එමඟින් සසුන් කෙත පුරන් කිරීම ඔවුන්ගේ අරමුණකි. ශාසනික සම්ප්‍රදාය වෙනස් කිරීමට ඔවුන් වෙහෙසෙන්නේ බෞද්ධ විරෝධී බටහිර රටවල අවශ්‍යතා ඉටුකරදීමටයි. ළමා වයසේ දී ජීවිතය ක්‍රමානුකූලව හැඩගැස්වීම පහසු ය. ළමා වියේ දී පැවිදි කරන්නේ එබැවිනි. ළමයකු පැවිදි කිරීමෙන් අයහපතක් සිදුනොවේ. ඔහුගේ ජීවිතය යහපත් ලෙස ගොඩනැඟීම අනිවාර්යයෙන් සිදුකෙරෙන දෙයකි.

සසුන් ගත වන කුඩා දරුවන් කෙරෙහි බුදුරජාණන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කළහ. කුඩා සාමණේරවරුන් ගැන සැලකිලිමත් වන ලෙස උන්වහන්සේ භික්‍ෂූන්ට අවවාද කළහ. රාහුල සාමණේරයන්ට සැතපෙන්නට තැනක් නොමැතිව වැසිකිළියේ රැය ගෙවූ බව දැනගත් විට උන්වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ පැවසූහ.

“මා ජීවත්ව සිටියදී වැඩිහිටි නුඹලා මගේ පුත් රාහුලට සලකන්නේ මේ අයුරින් නම්, මා නැති කාලයක පැවිදි වන කුඩා දරුවන්ට නොයෙක් හිරිහැර පීඩා සිදුවනවා ඇත. දෙමව්පිය සෙනෙහසින් වෙන්ව සසුන් ගත වන මේ පුංචි දරුවන් මව් දෙනුන්ගෙන් වෙන් වූ කුඩා වසු පැටවුන් වැනි ය. නුඹලා ඔවුන් ගැන සොයා බලන්නේ නැතිනම්, ඔවුන්ට කාගේ පිළිසරණක් ද? මහණෙනි, පියකු තම දරුවා සෙනෙහසින්, කරුණාවෙන්, රැකබලා ගන්නාක් මෙන්, නුඹලා ද කුඩා සාමණේරයන් දරුවන් මෙන් රැක බලා ගත යුතුයි.”

මේ නියමය අනුව පැවිදි ගුරුවරයාත්, කුඩා සාමණේරයාත් අතර තිබිය යුත්තේ පියකු හා පුතකු අතර පවතින ආකාරයේ සබඳකමකි. “සාමණේර” යන වචනයේ තේරුම ශ්‍රමණයාගේ දරුවා යන්නයි. ඒ නිසා කුඩා දරුවකුට මව්පියන්ගෙන් ලැබෙන කරුණාව, රැකවරණය, අධ්‍යාපනය ආදී පහසුකම් ගුරු හිමිවරුන්ගෙන් කුඩා හිමිවරුන්ට ලැබේ. එසේ නොවනවා නම්, එය ඇතැම් භික්‍ෂූන් සම්බන්ධ ගැටලුවකි. කුඩා සාමණේර හිමිවරුන් පන්සලෙහි සතුටින් කෙළි දෙළෙන් ගත කරන හැටි දායකයන්ට අමුතු දසුනක් නොවේ. කුඩා හිමිවරුන්ගේ ක්‍රියා කලාපය දෙස ඔවුන් බලන්නේ මේ ළමුන් ය. යන ආදර හැඟීමෙනි. එහෙත් දසධම්ම සූත්‍රයේ උපදෙස් දී තිබෙන පරිදි සාමණේර හිමිවරුන් හැසිරිය යුත්තේ තමන්ට සිව්පසය දෙන, තමන් හදා වඩා ගන්නා අයගේ පැහැදීම ඇතිවන අයුරිනි.

පැවිදි කරන්නට පෙර මූලික බණදහම් හා වත්පිළිවෙත් හුරුපුරුදු කරවීම ශාසනික චාරිත්‍රයකි. ඒ සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ගුරු ඇසුරෙහි සිටිය යුතු ය. කුඩා දරුවකුගේ මනස තේරුම් ගන්නට අපොහොසත් භික්‍ෂූන් ළමුන් පැවිදි කිරීමෙන් වැළැකිය යුතු ය. ආයතන පවත්වාගෙන යාමට හෝ පන්සලේ වැඩකටයුතු කරවා ගැනීමට හෝ ඇප උපස්ථාන ලබාගැනීමේ අරමුණින් කුඩා ළමයකුට සිව්රු පෙරවීම ජීවිතයක් විපතට හෙළීමකි. ධර්ම විනය ඉගෙනීමට අවස්ථාව ලබා නොදී පන්සලේ වැඩ කටයුතු හා දායකයන්ගේ ආගමික කටයුතු සිදුකරමින් ළමාවිය ගෙවා දමන්නට සාමණේර හිමිවරුන්ට ඉඩ සැලසීම අගය කළ යුතු නොවේ. ඉගෙනීමට තිබෙන ළමා ජීවිතය නැවත ළඟා වන්නේ නැත. දිවි තිබෙන තුරු පැවි දේ සිටියත්, යම් දිනක උපැවිදි වුවත්, ළමා වියේ දී ඉගෙනුමට පහසුකම් ලබාදිය යුතු ය.

පැවිදි ගුරුවරයකුගේ සුදුසුකම් විනයෙහි සඳහන් වෙයි. එනම්, සිල්වත්කම, උපසම්පදාවෙන් ගත වූ වස් ප්‍රමාණය හා ධර්ම විනය පිළිබඳ දැනුමයි. සුදුසුකම් නොමැති භික්‍ෂූවක් ගෝලයන් පැවිදි කිරීම වරදකි. පැවිදි කළ ශිෂ්‍යයාට ධර්ම විනය උගන්වා, විනයානුකූලව හික්මවීම ගුරුවරයාගේ වගකීමකි. ආහාර වළඳන අයුරු, වැසිකිළි, කැසිකිළි පරිහරණය, පිරිසුදුකම, වැඩිහිටියන්ට ගරුකිරීම වැනි සේඛියා ධර්ම අනුව සාමණේරවරුන් හැඩගැස්විය යුතු ය. තම ශිෂ්‍යයා ගිලන් වූ විට ඔහුට උපස්ථාන කිරීම ද ගුරුවරයාගේ වගකීමක් බව විනයෙහි දැක්වේ. පැවිදි ශිෂ්‍යයකු තුළ සැකයක්, පැවිදි දිවියට නොගැළපෙන වරදක් හෝ මිසදිටු අදහසක් ඇති වූවොත් තමන්ට නොහැකි නම්, වෙනත් කෙනකු ලවා හෝ එම අදහස් ඉවත් කරවන ලෙස මහාවග්ග පාලියෙහි උපදෙස් දී තිබේ.

ගුරුවරයා අශුචි ගොඩක හෝ උල්කටු මත හෝ ඇවිදිනවා නම්, ශිෂ්‍යයා එසේ කිරීමෙන් වැළැකිය යුතු බව ද විනයෙහි සඳහන් වේ. ශිෂ්‍යයා ගුරුවරයාගේ වැරැදි වැඩ අනුගමනය නොකළ යුතුය යන්න එහි අදහස වේ. ගිහි පැවිදි වැඩිහිටි කවුරුත් හැසිරිය යුත්තේ තම දරුවන්ට, සිසුන්ට ආදර්ශයක් වන අයුරිනි. අන් අයට අනුශාසනා කරන්නට පෙරාතුව තමා නිවැරැදි ජීවිතයක පැවතිය යුතු ය. (අත්තානමේව පඨමං පතිරූපේ නිවාසයේ) පැවිද්දට නොගැළපෙන ජීවන රටාවකට හුරු වුණ ගුරුවරුන් දෙන උපදෙස්, අවවාද පිළිගන්නට කුඩා හිමිවරු මැළිවෙති. කුඩා සාමණේරවරුන් කීපනමක් සිටින විට ඇතැමුන්ට වැඩි සැලකිලි දැක්වීමෙන් ළමා සිත් බිඳීම ස්වාභාවික දෙයකි.

දායක පිරිස් ඉදිරියේ ශිෂ්‍ය හිමිවරුන්ගේ අඩුපාඩු, අසමත්කම් පැවසීමෙන් ඔවුන්ගේ මනසෙහි බිඳවැටීමක් සිදුවන්නට පුළුවන. එයින් ගුරුවරයා කෙරෙහි බැඳීම, ගෞරවය අඩුවෙයි. මානසික පීඩාවට ගොදුරු වන ඇතැම් සාමණේර හිමිවරු මුරණ්ඩු, අකීකරු හිතුවක්කාරයෝ වෙති. ඇතැම් විට එය ඉස්මතු වන්නේ උසස් අධ්‍යාපනය සඳහා යොමුවන විශ්වවිද්‍යාලය තුළිනි. සාමණේරයකුගේ වරදට තරවටු කිරීම වරදක් නොවේ. එහෙත් එසේ කරන්නට හේතුව ඔහුට වටහා ගන්නට සැලැස්විය යුතු ය. තමන් සිදුකළ වරදකට පැවිදි ශිෂ්‍යයා සමාව අයදිනවා නම් පැවිදි ගුරුවරයා සමාව දිය යුතු ය. ගුරුවරයා එයට එකඟ නොවේ නම්, වෙනත් භික්‍ෂුවක් හෝ ඉදිරිපත්ව ශිෂ්‍යයාට සමාව ලබාගන්නට අවස්ථාව උදා කළයුතු බව විනය නියමයකි. සමහර දායකයෝ ගුරු හිමියන් හා ශිෂ්‍යයා අතර භේද ඇතිවන අන්දමට චෝදනා කරති.

කිසියම් හිමි නමකගේ අඩුපාඩුකම් වෙයි නම්, ආදරයෙන් එය පෙන්වා දීම වරදක් නොවේ. එය ගිහියකුගේ ශාසනික යුතුකමකි. නමුත් පන්සලේ අර්බුද මතුවන පරිදි අවිචාරවත් ලෙස ක්‍රියා කිරීම හොඳ නැත.

මහණ වන්නේ දුප්පත්කම නිසයි. ඒ අය ඉගෙන ගෙන සිවුරු හරිනවා යන්න සංඝ සමාජයට උපහාසයෙන් නිතර කියන කථාවකි. පොත්පත්වල ලියන අදහසකි. පැවිදි ජීවිතයක් ගත කරන බොහෝ දෙනා අඩු ආදායම් සහිත හෝ මැද පන්තියේ පවුල්වල අය බව ඇත්තකි. පොහොසත් දායකයන් දන්දීම්, පින්කම් සිදුකළත්, වෙහෙර විහාර ඉදිකළත්, සසුනට දරුවන් පුදන්නේ කලාතුරකිනි. කෙතරම් වෙහෙර විහාර තිබුණත්, භික්‍ෂුව නොමැතිව සම්බුදු සසුන ජීවමාන නොවේ. එහි පැවැත්මට වැඩි බරක් දරන්නේත්, දරුවන් පුදන්නේත් සාමාන්‍ය පන්තියේ පවුල්වල මව්පියවරුන් ය. සම්බුදු සසුන හා සිංහල ජාතිය රකින්නේ, ආගමික හා සාමාජික කටයුතුවල යෙදෙන්නේ ඔවුන්ගේ දරුවන් ය. බුදුසසුනට දරුවන් පුදන දෙමව්පියන් හා ළමාවියේ සිට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතය කැප කරන භික්‍ෂූන් හෙළාදැකීම හා අවලාද නැගීම අපරාධයකි.

නොයෙක් කාරණා නිසා වර්තමානයේ භික්‍ෂූන්ගේ ප්‍රතිරූපය කෙලෙසෙයි. හිතාමතා බෞද්ධ විරෝධී ප්‍රචාර කරන පිරිසක් ද වෙති. සන්නිවේදන හා තාක්‍ෂණ දියුණුව මත බිහිවුණ වර්තමාන සමාජ වටාපිටාව හැදෙන වැඩෙන කුඩා දරුවන්ට ඉතා අහිතකරය. ගිහි පැවිදි ළමා පරපුර හදාගන්නට නම්, දූෂිත සමාජ පරිසරය සකස් කළයුතු යි.

ගිහියකුටත් වඩා ආදර්ශවත් සමාජ ජීවිතයකට යොමුවුණ කුඩා සාමණේර හිමිවරුන්ගේ ආකල්ප කෙරෙහි ද තාක්‍ෂණික මෙවලම් දරුණු ලෙස බලපෑම් එල්ල කරයි. මනස සසල කරවන සමාජ පරිසරයක හැදෙන සාමණේර හිමිවරුන්ගේ අඩුපාඩුකම් දෙස බැලිය යුත්තේ කලකිරීමෙන් නොව මැදිහත් සිතිනි. අනාගතයේ අපේ සම්බුදු සසුන බබළවන්නේ වර්තමානයේ සිටින සාමණේර හිමිවරුන් ය. අහිතකර සමාජ පෙළඹවීම් මැද බුදුසසුනේ හා සිංහල ජාතියේ යහපත වෙනුවෙන් හැඩ ගැසෙන සාමණේර හිමිවරුන් මුහුණ දෙන පවුලේ ප්‍රශ්න ඇතුළු විවිධ ගැටලු මානව දයාවෙන් සොයා බලා ඒවාට විසඳුම් ලබාදීම හා ඒ අය රැක බලාගැනීම වැඩිහිටි භික්‍ෂූන්ගේත්, ගිහි බොදු සමාජයේත්, පොදු වගකීමකි.