Print this Article


සෝතාර සූත්‍රය

මහණෙනි, අංග පහකින් යුත්ත භික්ෂුව ධර්මතා පහකින් යුක්ත භික්ෂුව ආහුණෙය්‍යෝ ගුණයන්ට සුදුසු බව වදාළා. උන්වහන්සේ මෙසේ වදාළේ සඟ ගුණ ගැණයි. ඒ සඟ ගුණ වන සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න සහ සාමීචිපටින්න කියන ගුණයන්ගෙන් සමන්විත වූ නිසා සංඝරත්නය ආහුණෙය්‍යෙ, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අඤජලීකරණිය, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වචන පහයි. ඔය වචන පහෙන්ම කියවෙන්නේ පූජාවට සුදුසුයි කියන බවයි

ඉතා දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කළා වූ සියලු සංස්කාරයන් සන්සිදුවන සමථයකට පත්කරන්නා වූ සියලු කෙලෙසුන් අතහැර දමන සුළු, දුරු කරන තණ්හාව ක්ෂය කරන විරාගය ඇතිකරන, කෙලෙස් නිරුද්ධ කරන, පෙර ගමන් නො ගත්තා වූ නිවන නම් වූ මඟෙයි ගමන් කරන තැන යම් කෙනෙක් පෙන්වුවොත් ඉක්මණින්ම එහි යාමයි

අද අප ඔබට කියා දෙන්නේ සෝතාර සූත්‍රය පිළිබඳවයි. සෝතාර කියන්නේ අසන්නා යන්නයි. අසන්නෙක් ගැන කරුණු සඳහන් වන නිසා මෙය සෝතාර සූත‍්‍රය නමින් නම් වෙනවා. තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනානරාමයෙහි වැඩ සිටින කාලයක මෙම දේශනාව වදාළා.

එක් දිනක් බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි භික්ෂූන් වහන්සේලා අමතා මහණෙනි, රාජ්‍ය පාලකයෙකුට සෑම හස්තියෙක්ම සුදුසු නැහැ. රාජකීය හස්තියෙක් වෙන්නට ඇතෙකු සතුව අංග පහක් තිබිය යුතුයැයි වදාළා. ඒ තමා

(1) හස්තියා හොඳින් කියන දේ ඇසිය යුතුයි
(2). නැසිය යුතු වෙලාවට කෙනෙකු නැසීමට ශක්තිය තිබිය යුතුයි
(3). මේ හස්තියා රකින්නෙක් විය යුතුයි
(4) ඉවසීම තිබිය යුතුයි
(5) තමන්ට සුදුසු නියම තැනට යන දක්ෂතාවයත් තිබීම සුදුසු වෙනවා.

උන්වහන්සේ ඉන්පසු වදාළා මහණෙනි, මේ රාජකීය හස්තියා අසන්නෙක් වෙන්නේ කොහොමද? මේ හස්තියා පාලනය කරන ඇත්ගොව්වාට ඇතු ලවා යමක් කර ගැනීමට පුළුවන්කම තිබිය යුතු අතර යමක් පැවැසූවිට මනාකොට එහි අර්ථය වටහා ගන්නවා. එය මෙනෙහි කර බලනවා. කියපු දේ කන් යොමා අසා ගන්නවා.

ඊළඟට උන්වහන්සේ වදාළා මේ රාජකීය හස්තියා නසන්නෙක් වෙන්න ඕන කියලා. රජෙකු යුද්ධයට යන්නෙත් ගමන් බිමන් යන්නෙත් රජුගේ වත්පොහොසත්කම පෙන්වීමට ඇතුන් යොදා ගන්නවා. මේ හස්තියා නිර්භීත වෙන්න ඕන. යුද්ධයට ගිය විට අනෙක් සතුන් සමඟ යුධ වැදෙන්න ඕන.

ඊළඟ කාරණය රාජකීය හස්තියා ආරක්ෂකයකු, රකින්නෙකු බවට පත්වෙන්නත් ඕන. ඒ ඇතා මුලින්ම තමාගේ ඉදිරිපස නැත්නම් හිස ආරක්ෂා කර ගන්නවා. ඒ වගේම තම පසුපස ප්‍රදේශයත් රැක ගන්නවා. ඉදිරිපස පාද දෙක වගේම පසුපස පාද දෙකත් හොඳින් ආරක්ෂා කර ගන්නවා. හිසත්, කන් දෙකත්, දළ දෙකත් හොඬවැළත්, වලිගයත්, රැක ගන්නවා. ඒ වගේම තමාගේ ඇත් ගොව්වාවත් හොඳින් රැක ගන්නවා. මේ ආකාරයට තමා හස්තියා රකින්නෙකු බවට පත්වෙන්නේ.

ඊළඟට මේ හස්තියා ඉවසීමෙන් කටයුතු කරන්නත් ඕන. ආයුධ පහර ඉවසන්න ඕන. ඒ වගේම බෙර හඬ, පනා බෙර වැනි තූර්ය වාදනයෙන් සැළෙන්නේ නැහැ. කඨෝර කනට අමිහිරි ශබ්ද ඉවසීමෙන් ඒ හස්තියා රාජකීය හස්තියෙකු වීමට සුදුසුකම් ලබනවා.

ඊළඟට මේ හස්තියා නියම තැනට යන හස්තියෙක් වන්නේ ඇත්ගොව්වා පෙන්වන පාරේ කීකරුව ගමන් කිරීමයි. කියන දේ නිසි ලෙස පිළිපදිනවා.

මේ වගේ හස්තියෙක් රජ කෙනෙකුට සුදුසුයි. රාජකීය වස්තුවක් ලෙස පිළිගන්නවා. තථාගතයන් වහන්සේ මේ ඇතාගේ ලක්ෂණ පහ උපමාවට ගෙන මහණෙනි, අංග පහකින් යුත්ත භික්ෂුව ධර්මතා පහකින් යුක්ත භික්ෂුව ආහුණෙය්‍යෝ ගුණයන්ට සුදුසු බව වදාළා. උන්වහන්සේ මෙසේ වදාළේ සඟ ගුණ ගැණයි. සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න සහ සාමීචිපටින්න කියන ගුණයෙන්ගෙන් සමන්විත වූ නිසා සංඝරත්නය ආහුණෙය්‍යෙ පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අඤජලීකරණිය අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වචන පහයි. ඔය වචන පහෙන්ම කියන්නේ එකම අදහස යි. ඒ පූජාවට සුදුසුයි කියන එකයි. මේ කරුණු පහකින් යුක්ත මේ පුද්ගලයා පූජනීය කෙනෙක් වෙනවා. මේ කියන උදාර ලක්ෂණ පහ තමා මේ රාජකීය හත්තියාට උපමාවට අරගෙන කියා දුන්නේ.

ඊළඟට උන්වහන්සේ වදාළා මහණෙනි, හොඳ අසන්නෙක් වන්නේ කොහොමද? කියා. ධර්මය දේශනා කරන විට ආශාවෙන් අර්ථ මෙනෙහි කරමින් මුළු හිතම එයට යොමු කරමින් සවන් දෙන්න ඕනෑ. ඇස, කණ, නාසය, දිව, ශරීරය මනස කියන මේ ඉන්ද්‍රි‍්‍රයන් හා බැඳුනු මුළු සිතට යි. අපට චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය ආදී වශයෙන් සිත් හයක් තිබෙනවා. අප බණ අසනවිට මේ විඤ්ඤාණ හයම එකට එකතු වෙන්න ඕන.

ඊළගට කොහොමද කෙනෙක් නසන්නෙක් වෙන්නේ. ස්වාමින් වහන්සේ නමක් පූජනීයත්වයට පත්වෙන්න නම් දක්ෂ නසන්නෙක් වෙන්න ඕන. නසන්නෙක් කියන්නේ කෙලෙස් නැසීම යි. කාම සංකල්පනාවක් හිතට ආවාම එය හිතේ තියාගෙන ඉන්නේ නැහැ. එහි ආදීනව කල්පනා කර එය නො ඉවසා දුරුකර දමනවා. ප්‍රහීණ කරනවා. අභාවයට පත් කරනවා. එය තමා මරණයට පත් කරනවා, නසනවා කියන්නේ. ඒ වගේම තරහා සිතක් ඇතිවුණාම මම මේ අරමුණ සමඟ ගැටුණ නිසා මට තරහා ආවා කියා එහි ආදීනව සිහිකරලා කෙලෙස් සතුරා ඇතිවූ තැන ම නැතිකර දමනවා. ව්‍යාපාදය වෙනුවට අව්‍යාපාද සිතිවිලි හිතට ගන්නවා. ඒ තුළින් කෙලෙස් සතුරා නැති කරනවා. නෙක්ඛම්ම සංකල්පනා නමැති මිතුරා ළඟට ගන්නවා. කෙලෙස් සතුරන් නැ‍ෙගන, නැගිටින හැම මොහොතකම යෝනිසෝමනසිකාරයෙන් එය දැක ඒ කෙලෙස් මරා දමන්න ඕනෑ. මරනවා කියන්නේ ඒකයි.

ඊළඟට රකින්නෙක් වෙන්නේ කොහොම ද? කවුරු හරි ඇසින් රූපයක් දැකලා එය නිමිත්තක් කර ගන්නේ නැහැ. අරමුණක් දැක්කාම එය ක්‍රම තුනකින් ග්‍රහණය කර ගන්නවා. තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ඒ අරමුණු අල්ලා ගන්නවා. එයා යම් රූපයක් දැකල ඒ කෙරෙහි ඇලෙන්නේත් ගැටෙන්නේත් නැත්නම්, පාප ලාමක අකුසල් බැහැර කරනවා නම් ඔහු ඇස රැක ගන්නෙක් වෙනවා. එසේ කෙලෙස් තවන්නට යෝනිසෝමනසිකාරය අපට උපකාර වෙනවා.

ඊළඟ කාරණය ඉවසීම යි. කෙනෙක් ඉවසන කෙනෙක් වන්නේ, සීතල උණුසම ඉවසන්න ඕන. කුසගින්න හා පිපාසය ඉවසන්න ඕන. මැසි මදුරුවන්ගෙන් වාතයෙන් ආදී වෙනක් බාහිර කටුක ස්පර්ශයන්ගෙන් වෙන පීඩා ඉවසන්න ඕන. අමිහිරි වචන ඉවසන්න ඕන.

ඊළගට ස්වාමීන් වහන්සේ සුදුසු තැනට නියම තැනට යන්නේ කොහොම ද? මහණෙනි, ඉතා දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කළා වූ සියලු සංස්කාරයන් සන්සිදුවන සමථයකට පත්කරන්නා වූ සියලු කෙලෙසුන් අතහැර දමන සුළු දුරු කරන තණ්හාව ක්ෂය කරන, විරාගය ඇතිකරන කෙලෙස් නිරුද්ධ කරන පෙර ගමන් නො ගත්තා වූ නිවන නම් වූ මඟෙයි ගමන් කරන තැන යම් කෙනෙක් පෙන්වුවොත් ඉක්මණින්ම එහි යාමයි.

මේ ලක්ෂණ පහෙන් යුත් පුද්ගලයා දුරක සිටිනවා නම් ඒ දුර ගෙවාගෙන ගොස් හෝ වැඳුම් පිදුම් කිරීමට සුදුසුයි. ආගන්තුකයන්ට සකස් කළ ආහාර පානයෙන් පුදන්නට සුදුසු යි. පරලොව සුවපතා ගෙන දෙන දානය පිළිගන්වන්න සුදුසු යි. දෙඅත් නළලේ තබා වැඳීමට සුදුසු යි . ඒ වගේම සැදැහැවතුන්ගේ පුණ්‍ය නමැති බීජයන් වපුරන්නට සුදුසු පුණ්‍ය ක්‍ෂේත්‍රයක් බඳුයි කියා උන්වහන්සේ වදාළා. ඒ පූජනීයත්වයට පත්වීමට උත්සාහවත් වීම තමා අප කළයුතු වන්නේ.

සටහන: නයනා නිල්මිණි