Print this Article


අනාථ නොවී ජීවත්වීමට බුදුදහමෙන් පාඩමක්

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

සනාථො භික්ඛවේ විහරථ, මා අනාථො. දුක්ඛං භික්ඛවේ අනාථො විහරති. දස ඉමේ භික්ඛවේ නාථකරණා ධම්මා’ති.

කාරුණික පින්වතුනි,

ලෞකික මනුෂ්‍ය ජීවිතය නිරායාසයෙන්ම කාම වස්තුන් ලබා ගැනීමට නැඹුරුව පවතිනවා. පංච කාම සම්පත් ලැබීමට නිතර වෙහෙසෙනවා. ලෝභය පදනම් කරගත් කාමය ලෞකික ලෝකය ම පාලනය කරනවා. යමක සිත් අලවන ස්වභාව පිහිටා නැත්නම් එය සරාගී කර ගැනීමට උත්සාහ දැරීම මිනිසාගේ ස්වභාව යි. මේ නිසා අපි‍්‍රය දේ වසා දමා පි‍්‍රය උපදවන ලෙස සකස් කර ගන්නවා. සිරුරෙහි දුගඳ සුගන්ධාලේපයන්ගෙන් වසා ගන්නවා. ශාරීරික අවලක්‍ෂණ වර්ණාලේපවලින්, ඇඳුම් පැළැඳුම්වලින් මකා ගන්නවා. මුහුණෙහි වැඩෙන රැවුළ නොයෙක් ලෙස කපා හැඩ වැඩ කරනවා. නියපොතු, සායම් කොට පළුදු වසනවා. ඇහි බැම පින්තාරු කරනවා. සුදු කෙස් කළු කරනවා. මේ සරාගීත්වයේ ස්වභාවයි. කාමභෝගී ජීවිත ගතකරන්නවුන්ට එසේ කර ගැනීමට තහනමක් ද නැහැ. ඔවුනට අත්ථි සුඛ,භෝග සුඛ, අණන සුඛ සහ අනවජ්ජ සුඛ අත්‍යවශ්‍ය ගුණධර්මයන්. කෑම බීම, ඇඳුම් පැළැඳුම්, ගේ දොර සහ බේත්හේත් මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන අවශ්‍යතාවයන්ය. කෙනකුට මේ සම්පත් නැත්නම් ඔහු අනාථයකු බව සමාජයේ පිළිගැනීමයි. ධාර්මිකව මෙසේ සනාථ වීමට බුදුදහමෙන් තහනමක් නැහැ. එම සම්පත් ලැබිය යුත්තේ ද දහදිය වැගිරීමෙනි.

බුදුදහමෙන් පෙන්වා දෙන නාථකරණ ධර්ම දහයක් තිබෙනවා. අංගුත්තර නිකායෙහි දස වැනි නිපාතයේ නාථ වර්ගයෙහි හත්වැනි පඨම නාථකරණ සූත්‍රයෙහි එය මෙසේ දක්වා තිබෙනවා. 1. සිල්වත් වීම 2. බහුශ්‍රැත වීම 3. කල්‍යාණ මිත්‍රයන් ඇතිබව 4. සුවච වීම 5. දක්ෂ වීම 6.ධර්මයට කැමැති බව 7.පටන් ගන්නා ලද වීර්යය ඇති බව 8. ලද දෙයින් සතුටු වීම 9. සිහිය ඇති බව 10. ප්‍රඥාවන්ත වීම යන මේ කරුණු දහය යම්කිසි කෙනෙකුට ඇත්නම් ඔහු සනාථයෙක්.

කයෙන් සිදුවන ප්‍රාණඝාත ,අදත්තාදාන සහ කාම මිථ්‍යාචාර යන අකුසල්වලින් වැළැකීමත්, වචනයෙන් සිදුවන බොරුකීම, කේලාම් කීම ,ඵරුෂවචන කීම, හා හිස්වචන කථා කිරීම යන වාග් ද්වාරයෙන් සිදුවන අකුසල් නොකිරීමත් සීලයයි. මෙම සීලය බුදුදහමේ පදනම වශයෙන් සලකනවා. කය, වචනය සංවර කර නොගතහොත් කිසිම ක්‍රියාවක් සාර්ථකව කළ නො හැකියි. ප්‍රඥාවන්තයා සීලයෙහි පිහිටා ක්‍රියා කරන බව “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනුවෙන් දක්වා තිබෙනවා. කය, වචනය, සංවර කර ගැනීම මනැස සංවර කර ගැනීමට උපකාර වනවා. මේ සීලය චාරිත්‍ර ශීල, වාරිත්‍ර ශීල යැයි ප්‍රධාන වශයෙන් දෙ පරිදියි. අනුගමනය කළ යුතු යහපත් සිරිත් අනුගමනය කිරීම චාරිත්‍ර ශීලයයි. වැරැදි ක්‍රියාවන්ගෙන් වැළැකීම වාරිත්‍ර ශීලයයි. අනුපූර්ව ප්‍රතිපදාවක් වශයෙන් සීලය ද චූල සීල,මජ්ඣිම සීල, මහා සීල වශයෙන් ද බෙදා වෙන් කළ හැකියි. භික්ෂුවක රැකිය යුතු සීල, ප්‍රාතිමෝක්ෂ සංවර සීලාදී වශයෙන් දක්වා තිබෙනවා. අන්සැම ගුණයක්ම ආරක්ෂා වීමට සිල් රැකිය යුතුයි.

දෙවැනි සනාථකරණ ධර්මය බහුශ්‍රැත භාවයයි. බහුශ්‍රැත යන වචනයේ තේරුම ‘බොහෝ අසන ලද’ යන්නයි. පෙර පොත පත තිබුණේ නැහැ. ත්‍රිපිටක ධර්මය පමණක් නොව වේද ග්‍රන්ථ පවා කට පාඩමෙන් ධාරණය කරගෙන ආවා. සංයුත්ත භාණක, දීඝ භාණක ආදි වශයෙන් භික්ෂූන් ඒ ඒ ත්‍රිපිටක කොටස් කටපාඩම් කළා. සමහර භික්ෂූන් වහන්සේට ත්‍රිපිටකය ම කටපාඩම් තිබුණා. විශේෂයෙන් මෙහි සඳහන් බහුශ්‍රැත යන වචනයෙන් ගම්‍ය වනුයේ ත්‍රිපිටකධාරි වීමයි.

නිගණ්ඨනාථපුත්‍ර ශාස්තෘවරයාගේ අභාවයෙන් පසු එතුමාගේ ධර්මය විවිධ පැතිවලට විසිර ගියා. මෙයින් ආදර්ශයක් ගත් භික්ෂූන් වහන්සේ, සම්බුදුදහමට එවැන්නක් සිදු නොවීම සඳහා ප්‍රථම සංගායනාවේ දී ත්‍රිපිටකයේ කොටස් භික්ෂු පරම්පරාවලට භාර කළා. සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට අභිධර්මය රැක ගැනීමට නියම වුණා. සූත්‍ර හා විනය ද එසේ භාර කෙරුණා. මේ නිසා ත්‍රිපිටක ධර්මය ආරක්ෂා වුණා.

මෙම ත්‍රිපිටක ධර්මය අසා දරා ගැනීම බහුශ්‍රැත නම් වනවා. මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ ධර්මය, සර්වාකාරයෙන් පිරිසුදු බ්‍රහ්මචර්යාව යමකු ප්‍රකාශ කරන්නේ නම් හෙතෙමේ බහුශ්‍රැතයි. ඔහු විසින් වචනයෙන් ප්‍රගුණ කරන ලද්දේ වනවා. මනැසින් පරික්ෂා කරන ලද්දේ වනවා. ප්‍රඥා දෘෂ්ටියෙන් අවබෝධ කරන ලද්දේ වනවා.

තුන්වැනි නාථකරණ ධර්මය නම් කල්‍යාණ මිත්‍රතාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සේක්, ‘මහණෙනි, කළණ මිතුරන් ඇතියේ, කළණ යහළුවන් ඇතියේ, කළණ මිතුරන් ඇසුරට නැඹුරු වූයේ නම් එයද නාථකරණ ධර්මයක්. කල්‍යාණ මිත්‍රයා නම් හොඳ, නරක පෙන්වා දෙන යහපත් මිත්‍රයා යි. බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය බෙහෙවින් වර්ණනා කළා. කෙනෙකුට ලෝකයෙහි හුදෙකලාව ජීවත් විය නො හැකි යි. සෑම කෙනෙකුටම අවිඤ්ඤාණක වස්තු සමඟ ද සවිඤ්ඤාණක සත්වයන්, පුද්ගලයන් සමඟ ද ජීවත් වන්නට සිදු වනවා. ආශ්‍රයෙන් පුද්ගලයන් පමණක් නොව පරිසරය ද වෙනස් වනවා. රසවත් අඹ ඵල ඇති අඹ ගසක් වටා කොහොඹ ගස් වැවීමෙන් අඹ නීරස වූ අයුරු ජාතක කථාවෙකින් පෙන්වා දෙනවා. මහිලාමුඛ ඇතින්න සොරුන්ගේ කතාබස් අසා දරුණු වූ ආකාරයත් පසුව සුදනන්ගේ වදන් අසා හීලෑ වූ ආකාරයත් ‘මහිලාමුඛ’ ජාතකයෙන් පැහැදිලි වනවා.

අප ආශ්‍රය කරන මිනිසුන් තේරුම් ගැනීම ඉතා අපහසුයි. ‘න වණ්ණ රූපෙන නරො සුජානො’ හැඩරුවින් මිනිසකු පිළිබඳ යථාවබෝධයක් ලබාගත නොහැකි බව එයින් කියැවෙනවා. ‘උත්තානං හේතං යදිදං පසවො. ගහණං හේතං යදිදං මනුස්සා’ යනුවෙන් දක්වා ඇත්තේ තිරිසන් සත්වයන් තමාගේ ස්වරූපය විවෘතව දක්වන බවත්, මිනිසා එකක් සිතා තවෙකක් කියා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරන සුළුය යන්නත් ය. එනිසා තේරුම් ගැනීමට අපහසුයි. එබැවින් මිනිසුන් ආශ්‍රය කිරීමේදී සුපරික්ෂාකාරි විය යුතුයි. කල්‍යාණ මිත්‍රයන් තෝරා බේරා ගැනීම ඉතා අපහසුයි. ආශ්‍රයට කල්‍යාණ මිත්‍රයකු නැත්නම් හුදෙකලාව විසීම යහපත් බව ධර්මයෙහි ද දක්වා තිබෙනවා. එසේම කීකරු වුවත්, තමන්ට ලැදි වුවත්,මෝඩයන් ඇසුරු කිරීමද විපත්තිදායකයි. මකස ජාතකයෙහි එන මෝඩ පුතා, පියාගේ හිසේ වසා සිටි මදුරුවා එළවන්නට මිටියෙන් පහරදීම නිසා පියාගේ දිවි තොරවූ බව දක්වා තිබීමෙන් එය පැහැදිලි වනවා. කෙනකු තව අයකු ඇසුරු කරන්නේ කිසියම් ලාභයක්, ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන්. එය එදත් අදත් මතුවටත් එසේම යි.

භජන්ති සේවන්ති ච අත්ථ කාරණා
නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තා

මෙයින් එම අදහස මනාව පැහැදිලි වනවා. ලාභ ප්‍රයෝජන නො තකා අධ්‍යාත්මික දියුණුවක් ඇතිකර දෙන මිත්‍රයන් ලෝකයෙහි ඉතා අඩුවෙන් දක්නට ලැබෙන්නේ. ඇසුරු කරන්නන්ගේ මනදොළ සපිරීමට ඒ අය බලාපොරොත්තු වනදේ ලබා දිය යුතුයි. එවිට උදව් ලබාගත් අයගේ යුතුකම නම් ලබාගත් උපකාර මතක තබාගෙන ප්‍රතිඋපකාර කිරීමය. එසේ බලන විට ආශ්‍රයත්, කළගුණ සැලකීමත් සම්මිශ්‍රණය වී ඇති ගුණ ධර්ම බව පැහැදිලිය.

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවැති
බිතුසිතුවම් රූ මෙන් පිටු නො පා විති

සැලළිහිණි සන්දේශ කතුවර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් කල්‍යාණ මිත්‍රයා දුකෙහිදී හා සැපයෙහි දී නො වෙනස්ව තමා දෙස බලා සිටින බිතු සිතුවමක් වැනි යැයි එසේ පෙන්වා දුන්නා. උදව් කළ අයට ඒ උදව් පදව් මතක තබාගෙන ප්‍රත්‍යුපකාර කිරීම උතුම් ගුණයක්. ශ්‍රේෂ්ඨ යුතුකමක්, යමෙක් ප්‍රථමයෙන් උදව් කරයි නම් ඒ පුද්ගලයා අතිශ්‍රේෂ්ඨයෙක්.

යො පුබ්බේ කත කල්‍යාණො – අකා ලොකෙ සුදුත්තරං
පච්ඡා කයිරා නවා කයිරා – අච්චන්තං පූජනාරහො

යමකු තමන්ට කිසිදු උපකාරයක් නො කළ කෙනකුට පළමුවෙන් උපකාර කරයි නම් ඔහු ලෝකයෙහි දුෂ්කර දෙයක් කළ කෙනෙක්. ඔහුට නැවත උපකාර කරයි හෝ නො කරයි හෝ පළමුවෙන් කළ උපකාරය නිසා ඒකාන්තයෙන්ම පිදිය යුතු කෙනකු බවට පත් වනවා යනු ඉහත සඳහන් කළ ගාථාවේ අදහසයි.

දිනක් අනඳ මහ තෙරුන් වහන්සේ විවේකීව කල්පනා කරමින් සිටින විට, සම්බුද්ධශාසනයෙහි හරි අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම නිසා යයි සිතුවා. එසේ සිතා තමාට පහළ වූ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේට ද දැනුම් දුන්නා. එවිට බුදුරජාණන් වහන්සේ වදාරන සේක් ‘මාහෙවං ආනන්ද, මාහෙවං ආනන්ද, සකලමේවහිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණ මිත්තතා’ ආනන්ද එසේ නො කියන්න, ආනන්ද එසේ නො කියන්න. මෙම ශාසන බ්‍රහ්මචරියාව මුළුමනින්ම සිදු වන්නේ, සම්පූර්ණ වන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා යි. වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ උන්වහන්සේ ජාති,ජරා, ව්‍යාධි, මරණ ආදි දුක්වලින් සත්වයා මුදවන හෙයින් තමන් වහන්සේ උසස්ම කල්‍යාණ මිත්‍රයා බව පෙන්වා දුන්නා.

කල්‍යාණ මිත්‍රයන් හා පාප මිත්‍රයන් ගැන දීර්ඝ විස්තරයක් සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා තිබෙනවා. ඒ අනුව, ඇසුරු කිරීමට සුදුසු මිතුරන් සතර දෙනකු ඉන්නවා.

1. උපකාරක මිත්‍රයා - ප්‍රමාද වූ මිතුරන් රැකීම, ඔවුන්ගේ වස්තුව ආරක්ෂා කර දීම, බියට පත් වූ විට පිහිට වීම, කටයුතුවලදී සම්පත් දීම එම මිත්‍රයාගේ ස්වභාවයි.

2. සමාන සුඛ දුක්ඛ මිත්‍රයා - රහස් රකියි. රහස් කියයි. විපතේ දී අත් නොහරී, කරුණක් ඇති කල තම දිවිය ද පිදීමට නො මැලි වෙයි.

3. අත්ථක්ඛායි මිත්‍රයා - පවින් වළකයි. යහපතෙහි පිහිටුවයි. නොදත්දේ කියයි. සුචරිතය කියා දෙයි.

4. අනුකම්පක මිත්‍රයා - මිතුරා පිරිහීමෙහි දී දුක්වෙයි. දියුණු වීමෙහිදී සතුටු වෙයි. දොස් කියන්නන් වළකයි. ගුණ කියන්නන් පසසයි. ඥානවන්තයන් මේ කල්‍යාණ මිත්‍රයන් හඳුනාගෙන ආශ්‍රය කළ යුතුයි.

නාථකරණ ධර්මයන්ගේ සිව්වැන්න සුවච වීම හෙවත් කීකරු වීමයි. තමන්ට අවවාද වශයෙන් අනෙකකු විසින් දෙන ලබන අවවාද පිළිගැනීම සුවච හෙවත් කීකරුකම වශයෙන් හඳුන්වනු ලබනවා. සමහර විට පාප මිත්‍රයන්ද තම අධම ක්‍රියාවන්ට නතු කර ගැනීමට අවවාද අනුශාසනා උපදෙස් දෙන්නට පිළිවන්. තමන්ට අවැඩදායක වන එම උපදේශයන්ට කීකරුවීම සුවච භාවය නොවෙයි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි, යන පඬිවදන මෙහිදී නිතර සිහියේ තබාගත යුතුයි. තමා අතින් වරදක් සිදු වූ විට යම් කෙනකු අපහාස මුඛයෙන් නොව අනුකම්පාවෙන් ඒ වරද නිවරද කොට යහපත සලසා දීමට උපදෙස්,අවවාද දෙන්නේ නම් ඒ අවවාද,, උපදෙස් පිළිගත යුතුයි. ඔහුට ඇහුම්කන් දිය යුතුයි. එය කීකරුකමේ නියම ගුණයය. එසේ වරද පෙන්වා දෙන්නා නිධානයක් පෙන්වා දෙන තැනැත්තකු ලෙස සැලකිය යුතු බව “නිධීනං ව පවත්තාරං - යං පස්සෙ වජ්ජ දස්සනං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

අවවාද දෙන තැනැත්තා ද ඊට සුදුසු වේලාවක් බලා අවවාදය දිය යුතුයි. ළමයකුට අවවාදයක් දෙන විට පිරිසක් මැද ඔහුට මදි පුංචිකමක් වන සේ අවවාද දෙතොත් එම ළමයා තවත් මුරණ්ඩු විය හැකිය. අවවාද දිය යුත්තේ හිරිඔතප් (ලජ්ජා භය ) ඇතිවන පරිදියි. ලජ්ජාව නම් පව් කිරීමට ලජ්ජා වීමයි. භය නම් අපායාදී දුකට වැටෙන නිසා පව් කිරීමට බිය වීමය.

දිනක් සැරියුත් මහරහතන් වහන්සේ විහාර මළුව අමදින විට සිවුරු කොනක් බිම ඇද්දෙමින් තිබුණා. ඒ දුටු කුඩා හිමි නමක් උන්වහන්සේට ඒ බව දැනුම් දුන්නා. සැරියුත් හිමියන් සිවුර සකස් කොට පොරවාගෙන බුදුරදුන් වැඩ සිටි දෙසට වැඳගෙන මෙසේ පවසා සිටියා.

තදහු පබ්බජිතො සන්තො –ජාතියා සත්තවස්සිකො
සොපි මං අසුසාසෙය්‍ය – පටිගණ්හාමි මුද්ධනා

‘අදම මහණ වූ සත් හැවිරිදි සාමණේර නමක වුවද මට අවවාද දෙන්නේ නම් ඒ අවවාද වුවද මුදුනෙන් පිළිගනිමි’ යන අදහස එම ගාථාවේ ගැබ් වී තිබෙනවා. මෙයින් උන්වහන්සේ අනාගත ලෝකයාටම මහඟු ආදර්ශයක් ගෙනදුන්නා. තමන්ට කල්‍යාණ මිත්‍රයන් දෙන අවවාද පිළිගන්නේ නම් ඔහු අනාථයකු නොවෙයි.

දක්ෂයකු වීම පස්වන නාථකරණ ලක්ෂණයයි. යම්කිසි පුද්ගලයෙකුට එක දෙයක් ගැන විශේෂ හැකියාවක් තිබිය හැකිය. ඔහු ඒ හැකියාව දියුණු කර ගැනීමට දක්ෂයකු විය යුතුයි. මිනිසුන්ගේ කුඩා කාලය ඉගෙනීමට ගත කළ යුතුයි. ඉගෙන ගන්නා තැනැත්තා ඒ සඳහා දක්ෂයෙකු විය යුතුයි. පාඩම් නිසි පරිදි දරාගැනීම, ගුරුවරයාට ඇහුම්කන් දීම, අභ්‍යාස කිරීම, උගත්දේ අනලස්ව මෙනෙහි කිරීම ආදී ක්‍රියාදාමයන් ශිෂ්‍යයකුගේ වගකීම් වශයෙන් පැවැරී තිබෙනවා. ඉගෙන ගන්නා කාලයෙහි ඒ වගකීම් මනාව ඉටු කළ යුතුයි. දක්ෂයකුගේ ශබ්දකෝෂයෙහි ‘බැහැ’ යන වචනය නො තිබිය යුතු යි. ඉගෙනීමෙන් පසු මිනිසාගේ වගකීම බවට පත්වන්නේ රැකියාවය. යම්කිසි රැකියාවක් කරන තැනැත්තා ඒ පිළිබඳව දක්ෂයකු විය යුතුයි. ගොවිතැන් කරන්නා කුඹුර ගැන, සීසෑ යුතු කාල වේලාව, වැපිරිය යුතු ධාන්‍ය වර්ග ගැන නිසි දැනුමක් ලබාගත යුතුයි. එවිට තම කාර්යය සඵල වනවා.අනෙකුත් රැකියා පිළිබඳවද එසේමය.

ධර්මයට කැමැති වීම සවන නාථකරණ ධර්මයයි. ධාර්මික යහපත් ජීවිතයක් ගත කිරීම,එලොව, මෙලොව දෙකටම යහපත ළඟා කර දෙන්නක්. පරාභව සූත්‍රයේ මුල් ගාථාවෙන් එම සූත්‍රයෙහි අදහස කැටිකොට දක්වන්නේ “ධම්මකාමො භවං හොති –ධම්ම දෙස්සී පරාභවො” යනුවෙනි. එහි අදහස ධර්මයට කැමැති වන්නා දියුණු වන බවත් ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙන බවත්ය. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මානාදියෙන් තොරව කරුණා මෛත්‍රි ආදි ගුණධර්මයන්ගෙන් පිරිපුන් මනුෂ්‍යයාට මෙලොවත් සැනසිය හැකියි. පරලොවදී යහපත් ප්‍රතිපදාවන්ගේ ප්‍රතිඵල ලබන විට බෙහෙවින්ම සතුටු විය හැකියි. කඳුළු පිරි මුහුණින් විපාක විඳින්නට සිදුවේ නම් එබඳු ක්‍රියා නො කළ යුතුයි.

පටන් ගන්නා ලද වීර්යය ඇති බව සත්වන නාථකරණ ධර්මයයි. උද්‍යෝගිමත් පුරුෂ ශ්‍රේෂ්ඨයා කරා ලක්ෂ්මීය හෙවත් සැපත ළඟා වන බව පැරැණි පඬිවරුන් ද ප්‍රකාශ කළා. ඉතා සීතය, ඉතා ඌෂ්ණය, බඩගිනිය, බඩ පිරී වැඩිය ආදි කරුණු ඉදිරිපත් කරමින් කටයුතු කල් දමන්නේ නම් එය පිරිහීමට හේතුවක්. එසේම ථීනමිද්ධය එනම් සිතේ මැලි බව හා ගතේ මැලි බව පරිහානියට මූලික හේතුවක්.

මනුෂ්‍යයෙකු නම් වීර්යයවන්ත විය යුතුයි. තමා අතින් සිදුනොවූ අකුසල සිදුවීමට අවකාශ නො ලැබෙන පරිදි ක්‍රියා කළ යුතුයි. පෘථග්ජන මිනිසාගේ සිත නිතර පාපයට බර වී පවතිනවා. එහෙයින් පව් කිරීමට පහසුය. එහෙයින් නූපන් අකුසල් නූපදීම පිණිස වීර්යය කළ යුතුයි. උපන් කුසල් වැඩිදියුණු වීම පිණිස කටයුතු කළ යුතුය. උපන් අකුසල් දුරුකර ගැනීම පිණිස කටයුතු කළ යුතුයි. නූපන් කුසල් ඉපදවීම පිණිස වීර්යය වැඩිය යුතුයි. එවිට තමාගේ ජිවිතය දෙස බලා තමාට සතුටු විය හැකියි. එසේ ක්‍රියා කරන්නේ නම් මෙලොව පරලොව සාර්ථක වනවා පමණක් නොව අවසන සසර දුකින්ද නිදහස්විය හැකියි.

ලද දෙයින් සතුටු වීම අටවැනි නාථකරණ ධර්මයයි. ලද දෙයින් තෘප්තිමත් නොවීම තණ්හාවෙහි ස්වභාවයි. තණ්හාව පවතින තුරු සසරින් මිදීමට නො හැකිය. ඒ නිසා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය යොමුකොට ඇත්තේ ක්‍රමයෙන් අතහැරීම පුරුදු කිරීමටය. අතෘප්තිමත් තැනැත්තාට ගැල්වලින් සිව්පසය ලැබුණු නමුත් තෘප්තිමත් වීමක් නැහැ. කෙනෙකුට ලැබීම සඳහා හේතු දෙකක් බලපානවා. උත්සාහය හා කර්මය ඒ දෙකය. මිනිසා තමන්ට ලැබෙන පංචකාම වස්තුන් දියුණු කර ගැනීමට බලාපොරොත්තු වනවා. ලබන ආස්වාදය කාලයකදී මදි වී වෙනත් වෙනත් මාර්ග ඔස්සේ ගමන් ගන්නවා. ලද දෙයින් සතුටු වීම නම් තමාට ලැබුණු පමණින් සතුටු වීමයි. ඔහු අල්පේච්ඡයෙක්. බාහිර ආටෝපවලට අකැමැතිව ජීවිතය ගත කිරීමට පමණක් ආහාර, ඇඳුම් පැළැඳුම්,ගේ දොර සාදා ගන්නවා. එනිසා ඔහු සුව සේ ජීවත්වනවා.

සිහිය ඇති බව නවවන නාථකරණ ධර්මයයි. ලෞකික වශයෙන් බැලුව ද ලෝකෝත්තර වශයෙන් බැලුව ද සිහිය ඇති බව බුදුදහමෙයි අත්‍යවශ්‍ය ගුණයක් සේ පෙන්වා දී තිබෙනවා. සතිය පිහිටුවා ගැනීම නම්, කරන ක්‍රියාව කෙරෙහිම සිත යෙදවීමයි. එය සතිපට්ඨාන සූත්‍රයෙහි. ‘ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ සම්පජානකාරි හොති” යනුවෙන් යෑම්, ඊම්, සිටීම්, නිදීම්, නිදිවැරීම් ආදි ක්‍රියාවන් කරන කල්හි ඒ කරන ක්‍රියා කෙරෙහිම සිත යොමු කිරීම සතිපට්ඨානය වශයෙන් දක්වා තිබෙනවා.

මේ සතිපට්ඨානය හෙවත් සිහිය පිහිටුවා ගැනීම, ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට අතිශයින්ම ප්‍රයෝජනවත්. පාඩමට ඇහුම්කන් දෙන විට, පොතපත පාඩම් කරන විට ඒ කරන ක්‍රියාවටම සිත යොමු කරන්නේ නම් එයින් උසස් ප්‍රතිඵල ලබාගත හැකියි. සාමාන්‍ය සමාජයේ ක්‍රියාකාරකම් වලදීද සිහිය පිහිටුවාගෙන එම ක්‍රියාවන් කරනවා නම් නිවැරැදිව තම තමන්ගේ කටයුතු කර කියා ගත හැකි ය. විශේෂයෙන් සතිය පිහිටුවා ගැනීම නිර්වාණගාමිණි මාර්ගයට යොමු වීමට හේතු වනවා.

දසවැනි නාථකරණ ධර්මය ප්‍රඥාවන්තවීමය. බුදුදහම වඩාත් අගය කර ඇත්තේ ප්‍රඥාවයි. ‘පඤ්ඤා නරානං රතනං - ප්‍රඥාව මිනිසුන්ට රත්නයක්. ‘පඤ්ඤාවන්තස්සායං ධම්මො - නායං ධම්මො දුප්පඤ්ඤස්ස - මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි. ප්‍රඥාව අඩුවූවන්ට නොවෙයි. “පඤ්ඤාය පරිසුජ්ඣති – ප්‍රඥාවෙන් සුපිරිසුදු භාවයට පත්වෙයි.” ආදි වශයෙන් ත්‍රිපිටකය පුරාම ප්‍රඥාවේ ආනිශංස සඳහන් වනවා. සතිය පිහිටුවාගෙන නාම රූප ධර්මයන් දෙස බලන විට අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය පැහැදිලිව පෙනෙන්නේ ප්‍රඥාවටයි. එයින් ප්‍රඥාවන්තයා නිවන් සැපය ද ලබනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි !