Print this Article


වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමියෝ මෙරට ජාතික ආගමික ප්‍රබෝධයේ පුරෝගාමී වූ මහා සංඝයා වහන්සේ අතර සුවිශේෂී යතිවරයන් වහන්සේ නමකි.

කොටහේනේ, සමියෙල් තාබ්‍රෙව් මුදලිතුමා විසින් ධීරක්ඛන්ධ හිමියන්ට පුදන ලද කොටහේනේ බිම් කොටසෙහි ධීරක්ඛන්ධ හිමියෝ ගුණානන්ද හිමියන් සමඟ ආවාසයක් තනාගෙන වැඩ සිටියහ.

මෙම වකවානුව අගනුවර භික්‍ෂූන් වහන්සේ නමකට තබා සැබෑ ගිහි බෞද්ධයෙකුටවත් සිටීමට බැරි තරම් අන්‍ය ආගමික බලය බලවත්ය.

ලක්දිව බෞද්ධ සමිති සමාගම් රැස්වීම් ප්‍රමුඛයා මුන්වහන්සේ ය. කොළඹ නගරයේ බෝගස් කැප්පවීමට විරුද්ධව දේශනා කරමින් බෞද්ධ ප්‍රභූවරුන්ගේ ආරාධනයෙන් බෝධිරාජ සමිතිය ආරම්භ කළහ. බෝගස් කැප්පවීමට විරුද්ධ වීමත්, කැපූ බෝධිවලට හිලව් වීමට කොළඹ ඒ ඒ තැන්වල බෝධි රෝපණය කිරීමත් කළහ. අදත් ඒ බෝධි දක්නට ඇත. මහරගම, නුගේගොඩ, දෙහිවල, කොටහේන, කොම්පඤ්ඤවීදිය ආදී නොයෙක් තැන්වල ඇත්තේ එම බෝධීන් වහන්සේලාය.

1887 දී මිෂනාරින් විසින් මැවුම්කාරයෙකු ඇතැයි බෞද්ධයන්ගේ සිත් වේදනා කරවන පත්‍රිකාවක් බෙදීම නිසා බෞද්ධ පත්‍රිකා සමාගම බිහිකොට මිෂනාරින්ගේ අදහස් වලට කදිමට මත පළ කළහ. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියෝ ශාස්ත්‍ර ලෝකය පතුරවද්දී ගුණානන්ද හිමියෝ මිසදිටු බලයට පහර දෙන්නට වූහ. අන්‍යාගමිකයන් පිළිබඳව ජනතාවගේ බිය පහකළ උන්වහන්සේ බෞද්ධ විරෝධි මිෂනාරි බලවේග මර්දනයටත් ඔවුන් ප්‍රචාරය කළ සාවද්‍ය අදහස්වලට පහරදීමටත් යුහුසුළු වූහ. ක්‍රි.ව. 1865 වරාගොඩ, 1866 උදම්මිට, 1871 ගම්පොල, 1873 පානදුරේ ආදී නොයෙක් තැන්වල ප්‍රසිද්ධ දේශනා පවත්වමින් අන්‍යාගමික මත පරාජය කිරීමට ගත් තැත සකල බෞද්ධයින්ගේ මහත්ම වාසනාවක් විය. අභීත සිංහලයෙකු ලෙසින් කළ පංච මහා වාදය මිෂනාරින්ගේ අදහස් නිහඬ කරවන්නක් විය.

පානදුරාවාදය පිළිබඳ ඇමෙරිකාවේ පුවත්පත්වල පළවූ තොරතුරු කියැවූ අමෙරිකාවේ යුද්ධ මණ්ඩලය පිළිබඳ කර්නල් ධුරයක් ඉසුලූ ඕල්කොට් තුමා මුන්වහන්සේ සමඟ ලියුම් ගනුදෙනු කරමින් තමන්ගේ අදහස් පිළිබඳ තවත් සැක තැන් දුරුකරගෙන බුද්ධාගම වැළඳගන්නා රිසියෙන් 1880 දී ලක්දිවට ගාලු වරායෙන් ගොඩ බැස්සේ ය. එතුමාගේ ආගමනය බෞද්ධ ප්‍රබෝධයට රුකුලක් විය. “සත්‍ය මාර්ගය”, “ලක්මිණි කිරුළ”, “ක්‍රිස්තියානි වාද”, “විසාතතිය”, “දුර්ලබ්ධි විනෝදනිය”, “මොන විඝාතනිය”, “සත්‍ය ප්‍රකාශනය”, යන පත් පොත් ආරම්භ කොට මුද්‍රණය කරවා මිසදිටුවන්ගේ වචන නමැති දියකඩිති යටපත් කොට යන මහා දිය පහරක් මෙන් ලක්දිව සැම තැනම විසුරුවා හරිමින් මිසදිටුවා ද නැත්තටම නැතිකොට වාලූහ. මේ හැර සුළු වශයෙන් මුද්‍රණයකොට විසුරුවා හැර වාද පත්‍රිකා සංඛ්‍යාව අති මහත් බව කියැවේ.

තවද බෞද්ධයින්ගේ ශ්‍රද්ධා භක්තිය දියුණු වන පරිදි ‘බුද්ධ ඇදහිල්ල’, ‘බෞද්ධ ප්‍රශ්නය’ ආදී පොත් නිපදවීමෙන්ද, සිංහල ජාතක පොත, සිංහල මිලින්ද ප්‍රශ්නය ආදී පොත් මුද්‍රණය කරවා විසුරුවා හැරීමෙන් ද තමන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රඥානය ප්‍රකාශ කළ සේක.

වර්ෂ 67 ක් ආයු ශ්‍රී වළඳා 1890 සැප්තැම්බර් මස 21 වන ඉරුදින දහවල් 11ට පමණ අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ අපවත්වීම ශ්‍රී ලංකාවාසී බෞද්ධයනට සිංහල ජනතාවට අතිශයින්ම මහත් පාඩුවක් වූයේ ය. මෙරට පමණක් නොව පෙර අපර දෙදිග අන්‍ය ආගමික ප්‍රභූවරයන් පවා මුන්වහන්සේගේ අපවත්වීමෙන් මහත් ශෝකයට පත් වූහ.

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන් වහන්සේ එදා නැගූ කාහල නාදය, කාර්යශූර ක්‍රියාකාරීත්වය අගය කරමින්, උන්වහන්සේ අනුස්මරණය කැරුම අගනේ ය.

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.