Print this Article


පූජාච පූජනීයානං

නරවැල්පිට ධම්මරතන මහ නා හිමි

බුද්ධශ්‍රාවකයා යම් තාක් ශික්ෂාකාමී වේද,ප්‍රතිපත්ති ගරුක වේද ඒ තාක් බුදු සසුන ලොව පවතින බව බුද්ධ දේශනාවයි. ඒ බුදු වදන අර්ථවත් කරමින් සම්බුදු සසුන ආලෝකවත් කළ සංඝ පීතෘවරයාණ කෙනෙකි දෙවිනුවර ගන්දරවත්ත ශ්‍රී නීග්‍රොධාරාමය, සූරියවැව, විහාරගල රජමහා විහාරය,වලස්ගල ශ්‍රී දේවසිංහාරාමය සහ කොළඹ නාරාහේන්පිට ශ්‍රී හත්බෝධි විහාරය යන විහාරස්ථානයන්හි අධිපතිව වැඩ විසූ මුම්ම වංශාභිධජ ශ්‍රී සද්ධම්ම යුක්තික මහා නිකායේ මහානායක ධුරන්ධර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය නරවැල්පිට ධම්මරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඥාන ශක්තියක් ද ඊට වැඩි මහත් ක්ෂමා ශක්තියක් හෙවත් ඉවසා දැරීමේ ගුණයක්ද මහනාහිමියන් තුළ විය. ඒ ලෙසින් උන් වහන්සේ මිනිස් ගුණ සපිරි උතුම් මිනිසෙක්, ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක් ම වූහ.

නරවැල්පිට ධම්මරතන නාහිමිපාණෝ 1922 ජුනි පස්වන දින මාතර නරවැල්පිට ග්‍රාමයේ උපත ලදහ. උන්වහන්සේ අමිල සමාජාගාමික සේවයක් ඉටු කරමින් අනූ එක් වසරක් දිවි ගෙවා සසර නිසරු බව පසක් කරවමින් 2013 ජුනි මස දහ නව නව දින කොළඹදී අපවත් වූහ. නරවැල්පිට සිට කොළඹ නාරාහේන්පිට දක්වා වූ උන්වහන්සේගේ දිවි මග සුන්දර වූවක් හෝ සුවපහසු වූවක් නොවීය.ජීවිතයට කවර අභියෝග උදා වුවත් ඉවසීමෙන් මහත් අධිෂ්ඨානයෙන්ද ,කැපවීමෙන්ද ඒ සියල්ල දරා ගැනීමට තරම් උන්වහන්සේ ශක්තිමත් වූහ. නරවැල්පිට විද්‍යාලවලින් ජ්‍යෙෂ්ඨ පන්තිය තෙක් උගත් හිමියන් 1939 ජුනි විසි අටවන දින සිරි සෝරත මහනා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා නරවැල්පිට නන්දාරාම අධිකරණ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට සැපත් විය.

නරවැල්පිට උළු ගෙයක සිටි අප කථානායකයා පැවිද්දෙන් පසු පැමිණියේ පොල් අතු ශාලාවක් වූ ගන්දරවත්තේ විහාරයටයි. දුෂ්කර කාලයක් වූ මෙකල උන්වහන්සේලා සිවුපසය සඳහා පිඩු සිඟා වැඩියහ. මාතරට පයින් වැඩ ඉන් අනතුරුව නගරයේ පිඬු සිඟා පයින්ම ආපසු ගන්දරවත්තට වැඩම කළහ.තල්පාවිල විද්‍යාරත්න පිරිවෙණෙහිත් තදනන්තරව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණෙහිත් අධ්‍යාපනය ලැබූහ. ශික්ෂාකාමී පිළිවෙත්හි අනලස් අයකු වූ උන්වහන්සේ උගන්නා කුඩා කළ වුව කිසිදු ගුරුවරයකුගෙන් තරවටුවක් පමණ ද නොලදහ. 1948 දී ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයට පෙනී සිට ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබාගත්හ. 1950 දී ප්‍රාචීන මධ්‍යම පරීක්ෂණයටත් 1959 දී ප්‍රාචීන අවසාන පරීක්ෂණයටත් පෙනී සිට උසස් සාමාර්ථ්‍යය ලදහ. 1951 දී විද්‍යෝදය පිරුවන මගින් පවත්වන ශාස්ත්‍ර විශාරද පණ්ඩිත විභාගයටද පෙනී සිට සමත් වූහ. මේ අතර සෝරත නාහිමිපාණන් වහන්සේගේ මැදිහත් වීම මත විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1962 දී ශාස්ත්‍රවේදී උපාධියද ලබා ගත්තෝය.මේ සැම විටෙකම පාහේ පිඬු සිඟීමෙන් සිවුපසය සරි කරගත්හ.

උගැන්මෙන් අනතුරුව ගාල්ලේ විද්‍යාලෝක පිරවෙණෙහිත්, මිනුවන්ගොඩ, යාගොඩමුල්ලේ ශ්‍රී විජයාරාම පිරිවෙණෙහිත් කප්පරතොට බුද්ධජයන්ති පිරිවෙණෙහිත් ශ්‍රාස්ත්‍රදානයෙහි යෙදුණහ. සිංහල පාලි සංස්කෘත භාෂාවන්හි හසල දැනුමක් තිබූ උන්වහන්සේ ගිහි පැවිදි සියලු සිසුන්ගේ සිත් ගත් ගුරුවරයෙක් වූහ. උන්වහන්සේගෙන් පාලි සංස්කෘත භාෂා පිළිබඳ මූලික පුහුණුව ලැබූවන් අතර කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යාව පිළිබඳ මහාචාර්යව සිටි ඩබ්ලිව්. එස්. කරුණාතිලක මහතාද විය. එතුමා තුළ ගරු නාහිමියන් පිළිබඳ අචල, අසීමිත ගෞරවයක් වූ අතර එතුමා උන්වහන්සේ හැඳින්වූයේ ගුරු හාමුදුරුවෝ යන ළෙන්ගතු වදනෙනි. ඇසුරු කළ කවරෙකුගේ සිත තුළ වුව උන්වහන්සේ පිළිබඳ ඇතිවන ප්‍රතිරූපයේ ස්වරූපය එමගින් පැහැදිලි වෙයි. විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් අනතුරුව නාහිමියෝ මාර /තල්පාවිල මධ්‍ය මහා විද්‍යාලය, ගා/නාගොඩ මහා විද්‍යාලය ආදි රජයේ පාසැල් ගණනාවක උපගුරුවරයකු, උපවිදුහල්පතිවරයෙකු, වැඩබලන විදුහල්පතිවරයකු ආදි වශයෙන් විවිධ තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් කළහ.

භික්ෂුවකට නිසි නවාතැන් පහසුවක් ලබා ගැනීමට සුදුසු ආවාසයක හිඟය මාතරදීත් කොළඹදීත් උන්වහන්සේගේ ජීවිතයේ ලැබූ එක් අමිහිරි අත්දැකීමක් විය. කොළඹදී කෙටි කාලවල විවිධ ස්ථානයන්හි නේවාසික වූ උන්වහන්සේට තමාට පොදුවේ කවර හෝ භික්ෂුවකට පහසුවෙන් නැවැතී අවශ්‍ය කටයුත්තක් කරගත හැකි ආකාරයේ ආරාමයක අවශ්‍යතාව හොඳීන් දැනී වැටහී තිබිණ. මේ උනන්දුවත් සමඟ අවසන නාරාහේන්පිට බෝධි සමූහයක් පිහිටි බිමක් පිළිබඳ දැන ගැනීමට ලැබිණි. එහෙත් එය පින් බිමක් කිරීමේ උතුම් අදහසින් උන්වහන්සේ එය තමාගේ වාසය සඳහා තෝරා ගත්හ.

අද දෙමහල් ගොඩනැගිල්ලක් බුද්ධ මන්දිරයක් වට තාප්ප සහිත බෝධි සමූහයක් සහිත මේ පින් බිමේ පළමුව ඉදිවුයේ පොල් අතු පැලකි. පිණ්ඩපාතයෙන් සිවුපසය සපුරා ගනිමින් සද්ධි විහාරිකයන් සමඟ සැදැහැ සිත් ඇත්තවුන් විසින් පිදෙන අල්ප මාත්‍ර වූ සම්පත සකසුරුවමින් යොදවමින් දිනෙන් දින එය වැඩි දියුණු කළේය. එහෙත් මේ ගමනද අභියෝගවලින් තොර වූවක් නොවීය. උන්වහන්සේ කුඩා කල සිටම සාහිත්‍යයට, කවියට මනාප හා දක්ෂකම ඇති අයෙක් වූහ. 1956 බුද්ධජයන්තිය උදාවත් සමඟ උන්වහන්සේ සරලාර්ථ දීපනී පදගතර්ථ සවිස්තර විභාග සහිත මහා සතිපට්ඨාන සූත්‍ර සන්නය,පදගතාර්ථ ටිප්පණි හා භාවය සහිත චතුභාණවර පාලි මහා පිරුවානා පොත් වහන්සේ රචනා කොට පළ කළහ.මේ ධර්ම ශාස්ත්‍රිය කාර්යය උන්වහන්සේට නිම්හිම් නැති පී‍්‍රතියක් ගෙන දුනි. මේ හැර කවි පැබැඳීමේ කුසලතාව මත සිංහල ගී විරිතට නගන ලද ධම්මපදය වැඳුම් ගී රචනා කොට පළ කළහ. කුඩා කල සිටම උන්වහන්සේ වත්පිළිවෙත්හි නොපසුබට වූහ. ප්‍රතිපත්ති ගරුක වූහ. සෑම වෙත මෙත් සිත් ඇත්තෙක්ම වූහ. තමන්ගේ මෙහෙවර බුදු සසුනේ යහපැවැත්ම හා චිරස්ථිතිය උදෙසාම බව නිරතුරු සිතූහ. සංඝයා සමගිව, ධර්ම ගරුත්වයෙන් යුතුව ඒකාත්මිකව කටයුතු කළ යුතු බව ඇදහූහ. ඒ චින්තනය මත තම නිකායේත් පන්සල් පරම්පරාවේත් දියුණුව උදෙසා කළ හැකි, දිගු විවරණයක් අවශ්‍යය. සෑම දෙයක්ම කළහ. තමන් වහන්සේ අතින් සිදුවන, ඇසුරින් හඳුනා ගත්, කවර හෝ වරදක්වේදැයි අන්තේවාසිකයින්ගෙන් සහ සද්ධිවිහාරිකයනගෙන් විමසීමට තරමේ හැකියාවක්, තමන්ගේ පාරිශුද්ධත්වය පිළිබඳ දැනීමක් උන්වහන්සේ තුළ විය. ඒ නිසාම කවර හෝ මොහොතක නිබයව මරණයට මුහුණදීමේ ආත්මශක්තිය උන්වහන්සේ තුළ විය. උන්වහන්සේ අපවත්වී තෙමසක් සපිරීම නිමිත්තෙන් නාරාහේන්පිට හත්බෝධි විහාරස්ථානයේ ධර්ම දේශනාමය පින්කමක් හා මහ සඟ රුවන විෂයෙහි පිරි නැමෙන සංඝගත දක්ෂිණාමය පුණ්‍ය කර්මයක් පසුගිය 20-21 දිනවලදී පැවැත්විණි.


මාපලගම සාරානන්ද නා හිමි

ගාල්ල මාබොටුවන විල්ගමු රාජමහා විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහෝපාධ්‍යාය හිනිදුම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්මකීර්ති ශ්‍රී චන්ද්‍රානන්ද මාපලගම සාරානන්ද නාහිමියන් අපවත් වී තෙමසක් සපිරේ.

ගාලු දිසාවේ ගඟබඩපත්තුවට අයත් මාපලගම ග්‍රාමයේ මාවැල්ල කංකානම්ගේ බස්තියන් අප්පුහාමි හා සමරසිංහ මුදියන්සේලාගේ පොඩි මැණිකේ දෙපළට දාව 1915 දෙසැම්බර් මස 31 වන දා උපන් කුමරු ගුණපාල නම් විය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන අතරම එවකට මාබොටුවන විල්ගමු රාජමහා විහාරාධිපතිව විසූ හක්මන චන්ද්‍රානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1940 වසරේදී පැවිදි බිමට පත් වූ අතර ගාලු ගඟබඩ වැල්ලබඩ දෙපත්තුවේ ප්‍රධාන සංඝනායක ගම්මැද්දේගොඩ සරණතිස්ස නාහිමියෝ උපාධ්‍යාය වූහ.

ගෝණගල සුධර්මාකර පරිවේණාධිපති පහතරට ප්‍රධාන සංඝනායක යගිරල පඤ්ඤානන්ද නාහිමියන් සෙවණෙහි අධ්‍යාපනය ලද සාරානන්ද හිමියෝ උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයස් වූයෙන් 1944 මැයි මස 15 වන දින තෙළ කී ආචාර්යත්වයෙන් මහනුවර මල් වතු විහාරයේදී උපසම්පදාවට පත් විය. මාපලගම විපුලසාර හිමියන්ගේ ඇරයුමෙන් රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් කෘත්‍යාධිකාරි ධුරයට 1960 දී පත්ව 1978 දක්වා දහ අට වසරක් අනූපමේය සේවාවක් ඉටුකළ අතරම සිංගප්පූරුව , මැලේසියාව ,ජපානය, තායිලන්තය, බුරුමය, චීනය ආදි දේශාන්තරයන්හිද සංචාරය කරමින් දිවි මඟ සරු කර ගත්හ.

සිය ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමෙන් විහාරාධිපතිධුරයට පත්ව විල්ගමු රාජ මහා විහාරය දර්ශනීය විහාරස්ථානයක් ලෙස ගොඩනැංවීමට ක්‍රියා කළහ.

උදාර ශාසනික මෙහෙවර කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු මහා විහාර කාරක සංඝ සභාව “සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රානන්ද යන ගෞරව නාමය සහිතව හිනිදුම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයට 1987 දෙසැම්බර් 13 වන දා පත් කළහ. 2006 ජුනි මස 19 වනදා මහෝපාධ්‍යාය පදවියට පත් වූහ.

පිරිත් දේශනා, යුගාසන දේශනා, අනුශාසනා දේශනා ආදියෙහි හසළ දැනුමක් තිබු ආදර්ශවත් මදුරභාණි සංඝපීතෘවරයෙකු ද වු නාහිමියෝ පුරා වසර 98 ක් ආයු විඳ 2013 ජුනි මස 27 වන දා අපවත් වී වදාළහ.

නාහිමි තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම විහාරාධිපති, ශාස්ත්‍රපති හක්මන සෝරත හිමියන් ප්‍රධාන සිසු පිරිස හා දායක සභාව මුල් වී සිදු කරති.


දොඹවල ධම්මසිද්ධි හිමි

මාතර දිස්ත්‍රික්කයේ මෙදේරිපිටිය දොඹවල ග්‍රාමයේ රත්නායක ලියනගේ දොන් අන්ද්‍රයස් පොලිස් ඔපිසර රාළහාමි දොඹගොඩ ගමගේ සෙනවිරත්න ලොකුහාමි යන දම්පතීන්ට දාව 1915 සැප්තැම්බර් මස 27 වැනි දින පින්වත් කුමරෙකු උපත ලැබීය. ඔහු දොඹවෙල රත්නායක ලියනගේ පියසේන නමින් ප්‍රකට විය.

මෙදේරිපිටිය රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති කටුවන සීලරතන නාහිමිපාණන් වහන්සේ සහ දෙනියාය ධර්මධ්වජ පිරිවෙන්පති දක්‍ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක කීර්ති ශ්‍රී ඌරුබොක්කේ ධම්මරතන නායක හාමුදුරුවන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1929 ූ පෙබරවාරි මස 23 වැනි දින බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ දී දොඹවල ධම්මසිද්ධි නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත්විය.

මූලික බණ දහම් හා වත් සිරිත් ගුරු ඇසුරින් තම දිවියට උකහාගත් ධම්මසිද්ධි පොඩි හාමුදුරුවෝ දෙනියාය මාර ධර්මධ්වජ පිරිවෙණෙන් මූලික අධ්‍යාපනයද ගාල්ල තුවක්කුගලවත්ත සරණංකර පිරිවෙන, කඹුරුපිටිය විලේගොඩ ධම්මානන්ද පිරිවෙනේ ද අධ්‍යාපනය ලැබූ අතර පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙන් සාහිත්‍යාචාර්ය ගෞරව නාමය ලැබීමටද සමත් වූහ.

ධම්මසිද්ධි හිමියෝ සපිරිවිසි වයස් ඇත්තේ 1937 ජූනි 19 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලයෙහි පිහිටවූහ. උගත්කමත් කාර්ය කෞශල්‍යයක් පරහිත කාමිත්වයෙනුත් අනූන ප්‍රතිබිම්භයක් වූ සාහිත්‍යාචාර්ය දොඹවල ධම්මසිද්ධි ලොකු හාමුදුරුවෝ 1946 ගින්නලිය ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරමින් විහාරාංග ඉදිකිරීම හා නවීකරණය කිරීම ප්‍රදේශවාසී ජනතාවගේ බුද්ධාලම්බන පී‍්‍රතිය වර්ධනය ආකාරයෙන් සිදු කිරීම අගය කළ යුතු ය.

ගින්නලියේ රජයේ විදුහල අලකොලදෙනිය රජයේ විදුහල ආරම්භ කිරීම, ඌරුබොක්ක, ගින්නලිය, ගින්නලිය, අලකොලදෙනිය මංමාවත් තැනීම ගින්නලියට ජලය හා විදුලිය ලබාදීමට පුරෝගාමීව ක්‍රියා කිරීම, ග්‍රාම සංවර්ධන සමිති ප්‍රජාමණ්ඩල කුලඟන සමිති ආදිය පිහිටුවීම, ස්ථිරසාර ගුණදහම් වලින් පරිපෝෂිත සුපේෂල ශික්‍ෂාකාමී යතිවරයන් වහන්සේ නමක් වූ මාහිමිපාණන් වහන්සේ කරන ලද සේවාවන් අතර වේ. ගින්නලිය ප්‍රදේශයට ධර්මාලෝකයක් වී ඇත්තේ උන්වහන්සේ ආරම්භ කළ ශ්‍රී ධම්මසිද්ධි දහම් පාසලයි.

ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍යයන්ම ගොඩනඟා සියලුම අංගෝපාංග වලින් සමන්විත විහාරස්ථානයක් බවට පත් කළේ ය. 2013 සැප්තැම්බර් 27 වැනි දිනට අවුරුදු 98 ක් සපුරන සාහිත්‍යාචාර්ය දොඹවල ධම්මසිද්ධි මාහිමිපාණන් වහන්සේට සෙත්පතා එදින සවස ආශිර්වාද බෝධි පූජාවක් හා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමට පැවිදි ශිෂ්‍ය පිරිස කටයුතු සංවිධානය කර ඇත. උන්වහන්සේට නිරෝගී දීඝායු සුව ලැබේවා!.