Print this Article


පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 16 සභිය මහරහතන් වහන්සේ

පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 16

සභිය මහරහතන් වහන්සේ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් ශ්‍රී සද්ධර්මය අසා සම්බුදු ළය මඬලින් උපන් සභිය මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

මේ මහා භද්‍ර කල්පයේ අවුරුදු හතලිස් දාහක් ආයුෂ ඇති මිනිසුන් සිටි යුගයේ කකුසඳ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වී වදාළා. සභිය රහතන් වහන්සේ ද එකල සසරේ කළ පින් දහම්වල බලයෙන් සිටු පවුලක උපත ලැබුවා. එක් දිනක් දිවා විහරණය පිණිස විහාරයෙන් පිටතට වැඩම කළ කකුසඳ බුදුරජාණන් වහන්සේ ඒ සිටු පුත්‍රයාට දැක ගන්නට ලැබුණා. ඉතාමත්ම පැහැදීමෙන් ඔහු පාවහන් යුගලක් බුදුරජාණන් වහන්සේට පූජා කළා.

මහා කාරුණික කකුසඳ බුදුරජාණ් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් යුතුව සිරි පතුල් දෙකෙහි ඒ පාවහන් යුගල දමා ගෙන එය පිළිගෙන වදාළා. එය දුටු සිටු පුත්‍රයා ඒ පාවහන් පූජාවෙන් බොහෝමත්ම සතුටට පත්වුණා. ඔහු කළුරිය කොට දෙව් ලොව උපත ලැබුවා.

කාලය වේගයෙන් ගෙවිලා ගියා. මේ මහා භද්‍ර කල්පයේම මිනිසුන්ගේ ආයුෂ විසි දාහක්වූ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගය යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ධාතු නිධන් කොට ස්වර්ණ වර්ණ සෑයක් ඉදිවුණා. එකල දෙව් ලොවින් චුත වී මනු ලොව උපන් මේ කුමාරයා කාශ්‍යප බුදු සසුනේ පැහැදී තවත් මිත්‍රයන් හය දෙනෙකු සමඟ මේ රන්වන් සෑය අභියස පැවිදි බවට පත්වුණා.

කාශ්‍යප බුදු සසුන විවිධ මතවාද වලින් කිළිටි වෙමින් අධර්මවාදීන් බලවත් වෙන්නට පටන් ගත්තා. ඒ ගැන සංවේගයට පත් වූ මේ ස්වාමින් වහන්සේලා සත්නම බුදු සසුන පිරිහී යන්නට මත්තෙන් පැවිදි ජීවිතයේ ප්‍රතිඵල ලබන්නට ඕන කියලා කල්පනා කළා. අවසානයේ විශාල ගල්කුලක් මතට අසීරුවෙන් ඉණිමඟක් සාදාගෙන නැග ගත්තා. ඒ අතර සිට එක් ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට පැවසුවා. ‘ඇවැත්නි, අප ශ්‍රද්ධාවෙන්මයි මහණ වුණේ. ශාසනයේ පරිහානිය දැක දැක කෙලෙස් සහිතව ඉඳීම උතුම් වෙන්නේ නැහැ. ඒ නිසා අප පිණ්ඩපාතය අපේක්ෂාවකින් තොරව වීරිය කරමු. යම් කලෙක අප නිකෙලෙස් වුණොත් සෘද්ධි බලයෙන් පහළට බසිමු. ඔබවහන්සේලාත් ඒකට එකඟ නම් අප හත් දෙනාම එකතු වෙලා මේ ඉණිමඟ පෙරලමු’ කියා මේ යහළු ස්වාමීන් වහන්සේලා සත් නමම එයට එකඟ වුණා. ඉණිමඟ පෙරලුවා. ආහාරපාන පවා නො ගෙන තනි තනිවම වීරිය කළා.

ඒ පිරිසේ වැඩිමහළු ස්වාමින් වහන්සේ එක් රැයකින් සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වුණා. ඒ රහතන් වහන්සේ මේ විදිහට කල්පනා කළා. දැන් මං සෘද්ධියෙන් පහළට වැඩලා පිණ්ඩපාතය ගෙනැවිත් මේ ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන්නට ඕන’ කියලා. නමුත් උන්වහන්සේ ගෙන ආ පිණ්ඩපාතය අනෙක් සය නම ම ප්‍රතික්ෂේප කළා. ‘ඇවැත්නි, ගල් කුලට නගින්නට පෙර අප මේ විදිහට පළමුව රහත් වූ කෙනා අන් අයට උපස්ථාන කළ යුතුයි කියා කතිකා කර ගත්තේ නැහැ නේද? ඒ නිසා ඔබවහන්සේ පහසුවෙන් වැඩ සිටින සේක්වා! අප දිගටම විර්ය කරන්නම්’ කියලා. ඉතින් ඒ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් වෙනත් ප්‍රදේශයකට වැඩම කළා.

අනෙක් සය නම අතරින් එක් නමක් අනාගාමි වී බඹලොව උපත ලැබුවා. අනෙක් පස් නමම කිසිඳු දියුණුවක් නො ලබා නිරාහාරව මිය ගොස් පිරූ ගුණ දහම් බලයෙන් දෙව් ලොව උපත ලැබුවා. බොහෝ දිව්‍ය සැප විඳිමින් කාලය ගත කළා. කාලය ගෙවී ගොස් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් වූ යුගයේ මේ මහා භද්‍ර කල්පයේ සතරවැනි බුදුරජාණන් වහන්සේ ලෙස අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. මේ යහළු දිව්‍ය පුත්‍රයන්ද දෙව් ලොවින් චුත වී දඹදිව් තලයේ රජ කුලවලත් සිටුකුලවත් උපත ලැබුවා.

පරිබ්‍රාජක ආරාමයකදී එක් පරිබ්‍රාජකයෙකු සමඟ එකතු වීම හේතුවෙන් ගැබ් ගත් ක්ෂත්‍රිය රජ කුමාරිකාවකගේ කුසේ එක් අයෙක් පිළිසිඳ ගත්තා. ගැබ මෝරද්දී මව්කුස දුටු පරිබ්‍රාජකයෝ ඒ කුමාරිකාව ආරාමයෙන් නෙරපා දැමුවා. ඇය හඬමින් වෙනත් තැනකට යන අතරමඟ රැස්වීම් ශාලාවකදී තම දරුවා බිහිකළා. ඒ නිසාම ඒ පුත්‍ර කුමාරයාට ‘සභිය’ යන නම තැබුවා.

මේ කුමාරයා හරිම නුවණැති යි. යොවුන් වියේදී බොහෝ ශාස්ත්‍රයන් ඉගෙන ගත්තා. අන් පිරිස් සමඟ දක්ෂ ලෙස වාද විවාද කළා. සභිය තවුසාට වඩා දක්ෂයෙක් දඹදිව සිටියේ නැහැ. ඔහු තවුස් ආරාමයක් සාදාගෙන සිය ගණන් ශිෂ්‍ය පිරිසක් සමඟ වාසය කළා.

ඒ දිනවල අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. සභිය තවුසාගේ ඤාති වන දිව්‍ය පුත්‍රයෙක් එක් රාත්‍රියක ඔහුගේ ආරාමයේ පහළ වුණා. සභියට ප්‍රශ්න කිහිපයක් ඉගැන්වූවා. ‘පින්වත් සභිය, යම් ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා ඔබ අසන මේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ඔහුගේ සමීපයේ පැවිදි වී ඒ දහමේ හැසිරෙන්න’ යැයි ඒ දෙවියා පැවසුවා.

සභිය තවුසාද ඒ ප්‍රශ්න ඉගෙන ගෙන එකල දඹදිව් තලයේ ශාස්තෘවරු ලෙස ප්‍රසිද්ධ වූ පූර්ණකස්සප, මක්ඛලීගෝසාල, අජිතකේසකම්බල, සංජයබෙල්ලට්ඨිපුත්ත, පකුධකච්චායන, නිගණ්ඨනාථපුත්ත ආදී ශ්‍රමණ තවුසන් සොයාගෙන ගියා. නමුත් මේ ප්‍රශ්න ඔවුන්ගෙන් අසන විට සභිය තවුසාට ලැබුණේ ඒවාට පිළිතුරු නොවෙයි. ඒ තවුසන් කෝප වුණා. සභියට බැන වැදුණා. අදාළ නැති කතාවල් ඇදලා ගත්තා. එවිට සභිය තවුසාට මෙහෙම හිතුණා. ‘මේ ශ්‍රමණ ගෞතමයන් කියන්නේත් ප්‍රසිද්ධ කෙනෙක්. මං උන්වහන්සේගේ සමීපයට යන්න ඕන’ කියලා. නමුත් ආයෙමත් ඔහුට මේ විදිහට හිතුණා. මම මේ ප්‍රශ්න අහපු හැම කෙනෙක්ම වයෝවෘද්ධ වැඩිමහළු ශාස්තෘවරු. ඒ අයටත් බැරිවුණ මේ ප්‍රශ්න වයසින් ලාබාල ශ්‍රමණ ගෞතමයන් කොහොම විසඳන්නද කියලා.

නමුත් සසරේ කළ පින් ඇති නිසා සභිය තවුසාට යළිත් මෙහෙම හිතුණා. ‘ළදරුයි කියලා ශ්‍රමණයන්ට ගරහන්න හොඳ නැහැ. ඒ නිසා මම ශ්‍රමණ ගෞතමයන්ගෙන් මේ ප්‍රශ්න විමසන්න ඕන’ කියලා වේළුවනාරාමයේ වැඩ සිටි ගෞතම බුදුරජාණන් වහන්සේව සභිය තවුසා මුණ ගැසුණා. ‘ස්වාමිනි, මට බොහෝ ප්‍රශ්න තිබෙනවා මේවාට සුදුසු පිළිතුරු ඔබවහන්සේගෙන් විමසන්නට මට අවසර දෙන සේක්වා යි!, ඉල්ලා සිටි අතර ‘පින්වත් සභිය ඔබේ ගැටළු සියල්ලටම සුදුසු පිළිතුරු පිළිවෙලකට ලබා දෙන්න මට පුළුවනි” භාග්‍යවතුන් වහන්සේ වදාළා

මේ පළමු ප්‍රකාශයෙන්ම සභිය තවුසා අතිශයින්ම ප්‍රසාදයට පත්වුණා. අනාවරණ ප්‍රඥා ඇති අනාවරණ ඤාණ ඇති බුදුරජාණන් වහන්සේ ඔහුගේ සියලු ගැටළුවලට කිසිදු වෙහෙසකින් තොරව පිළිතුරු වදාලා. ඉතාමත්ම සතුටට පත් වූ සභිය තවුසා තමා සිටි ආසනයෙන් නැගිටලා උතුරු සළුව ඒකාංශ කරගෙන භාග්‍යවතුන් වහන්සේව සිරසින් වන්දනා කරමින් මිහිරි ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේට වර්ණනා කළා. භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදිි උපසම්පදාව ඉල්ලා සිටියා.

‘පින්වත් සභිය, අන්‍යාගමිකයෙක් මේ ශාසනයේ පැවිදිවන්නට නම් භික්ෂුන්ගේ ප්‍රසාදය ලබා ගැනීමට මාස හතරක් අනගාරිකව සිටිය යුතුයි’. වදාළ විට සභියගේ සිතේ බුදු සසුන ගැන ඇති වූ ප්‍රසාදය කෙතරම්ද යත් ‘අනේ ස්වාමිනි, මේ ශාසනයේ පැවිදි වෙන්නට මම මාස හතරක් නොවේ අවුරුදු හතරක් වුණත් සංඝයාට උපස්ථාන කරමින් අනගාරිකව ඉන්නම්’ කියා පැවසුවා.

ඉතින් මේ වගේ විශාල පැහැදීමකින් තමයි සභිය තවුසා පැවිදි වුණේ. සභිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුවම කටයුතු කළා. සසරේ කළ මහා පින් බලයෙන් නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් දුරු කොට උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

ඒ දිනවල පවිටු දේවදත්තයන් තමාට අනුගාමික හික්ෂු පිරිසත් සමඟ සංඝ භේදය නම් වූ ආනන්තරීය පාප කර්මය කිරීමට උත්සාහ ගන්නවා. සභිය මහරහතන් වහන්සේට ඒ අනුගාමික භික්ෂූන්ව දැක ගන්නට ලැබුණා. අසත්පුරුෂ ඇසුර නිසා තමන්ට සිදුවන විනාශය ගැන නො දන්නා ඒ භික්ෂූන් කෙරෙහි උපන් අනුකම්පාවෙන් මේ ගාථාවන් පවසමින් ඒ පිරිසට අවවාද කොට වදාළා.

පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා

අප කවුරුත් මැරෙන උදවිය බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එහෙත් යම් කෙනෙක් තේරුම් ගත්තොත් තමනුත් මැරෙන බව එනිිසාම මේ කෝලහල සංසිඳෙනවා.

යදා ච අවිජානන්තෝ - ඉරියන්ත්‍යමරා විය
විරජානන්ති ච යේ ධම්මං - ආතුරේසු අනාතුරා

මේ ඇත්ත තත්ත්වය දන්නේ් නැති උදවිය කල් ගෙවන්නේ නො මැරෙන අය හැටියට හිතාගෙන යි. එහෙත් යමෙක් මේ යථාර්ථය දන්නවා නම් කෙලෙසුන්ගෙන් රෝගී වූ සමාජය තුළ එයා නිරෝගිව සිටිනවා.

යං කිඤ්චි සිථිලං කම්මං - සංකිලිට්ඨං ව යං වතං
සංකස්සරං බ්‍රහ්මචරියං - න තං හෝති මහප්ඵලං

බොළඳ වැඩපිළිවෙලකින්, කිළිටි මතවාද ඇති ව්‍රත සමාදානයෙන්, අපිරිසුදු බඹසරින් උසස් දියුණුවක් ලබන්නට බැහැ.

යස්ස සබ්‍රහ්මචාරිසු - ගාරවෝ නූපලබ්භති
ආරකා හෝති සද්ධම්මා - නහං පුථුවියා යථා

යමෙක් තුළ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ගෞරවයක් නැතිනම් එයා සද්ධර්මයෙන් ඈත් වෙනවා. අහසට පොළොව වගෙයි.

රහතන් වහන්සේ නමක් කියන්නේ සත්පුරුෂ භාවයේ උපරිමයට පැමිණි උත්තමයෙක්. ඒ උතුමන් පවා සත්පුරුෂභාවය ඇතිකර ගත්තේ සත්පුරුෂයින්ගේ ඇසුර නිසාම යි. ඒ නිසාමයි ඒ උතුමන් උතුම් සත්පුරුෂ භාවය අගය කරන්නේ. (නහං ච දුරේ පඨවි ච දුරේ) අහස හා පොළොව ඉතාම දුරිනුයි පිහිටා තිබෙන්නේ. (පාරං සමුද්දස්ස තදාහු දූරේ) මහ සයුරේ දෙකලෙවරත් එලෙසම දුරිනුයි තිබෙන්නේ (තතෝ හවේ දුරතරං වදන්ති - සතං ච ධම්මං අසතං) නමුත් මේ සියළු දේට වඩා සද්ධර්මය හා අසද්ධර්මය ඉතා දුරස්වයි තිබෙන්නේ. ඒ නිසා අපත් ඒ සම්බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් දේශනා කොට වදාළ මේ ලෝකයට සත්පුරුෂයන්ව බිහි කරවන එම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය ගැනම සිත පහදවා ගනිමු.

සටහන : නයනා නිල්මිණි


පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 15 - භගු මහරහතන් වහන්සේ