Print this Article


කාමයන්හි ආදීනව දුටු සුමේධා රහත් තෙරණියෝ

කාමයන්හි ආදීනව දුටු සුමේධා රහත් තෙරණියෝ

මහා කාරුණික දස බලධාරි වූ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ නෛර්යානික සම්බුද්ධශාසනය නිසාවෙන් විමුක්තිය ලද සුවිශේෂි පිරිසක් වූයේ කාන්තාවන්ය. එදා බ්‍රාහ්මණ සමාජය තුළ, තිරිසන්ගත සතකුටත් වඩා පහත් ලෙස සලකමින් ගර්හාවට ලක් වූ කාන්තාවට නිදහස උදාකරදීම සඳහා පුරෝගාමී වූයේ භාග්‍යවතුන් වහන්සේය.

බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනාකොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සැනසී ජාති,ජරා, ව්‍යාධි, මරණ ,සසර දුක්ඛයන්ගෙන් මිදී උතුම් රහත් බෝධියට සැපත් වූ රහත් තෙරණින් වහන්සේ තමන් වහන්සේ බුදුසසුනෙන් ලද සැනසීම උදාන ලෙස දේශනා කොට වදාළේ මහත් වූ බුද්ධ ගෞරවය චිත්ත සන්තානය තුළ පිළිබිඹු කරමිනි. කාන්තාභාවය නිසාවෙන් උකටලීව ජීවිතය ගෙවන්නා වූ කාන්තාවට දිරියක්, වීර්යයක් ගැනීම සඳහා එම වදන් ආදර්ශ පාඨ වෙයි. එසේම සම්බුද්ධ ශාසනය තුළ උතුම් ආර්යභූමිය පසක් කරගැනීමට කාන්තාභාවය බාධාවක් නොවන බව ඒ උත්තමාවියෝ පෙන්වා වදාළ සේක.

ඛුද්දක නිකායෙහි ථේරිගාථා කාණ්ඩයෙහි එන එම ථේරිගාථාවන් අතුරින් අවසාන වශයෙන් මහානිපාතය ලෙස දක්වන, සුමේධා රහත් උත්තමාවියගේ උදානය තුළින් ගැඹුරු දහමක් සේම ජීවිතයේ යථාර්ථය, කාමයෙහි ආදිනවය මනාව පිළිබිඹුවෙයි.

මන්තාවතී නගරයෙහි කොඤ්ච රජ්ජුරුවන්ගේ දියණිය වූ සුමේධාව සම්බුද්ධශාසනය කෙරෙහි පැහැදීමෙන් කටයුතු කරන්නියක වූවාය. සිල්වත් වූ විසිතුරු ධර්ම කථා ඇති, බහුශ්‍රැත වූ ඈ මවුපියන් හට තම චිත්ත සන්තානයෙන් නැඟෙන්නා වූ විරාගී සිතුවිලි මෙසේ ප්‍රකාශ කරන්නට වුවාය.

නිබ්බානාභිරතාහං - අස්සසතං භවගතං යදිපි දිබ්බං
කිමංග පන තුච්ඡා කාමා - අප්පසාදා බහුවිඝතා

’මා කැමැති නිවනට පමණයි. දෙව්ලොව ඉපදුණත් ඒ භවය ස්ථිර නැහැ. මිනිස්ලොව කාම සම්පත් ගැන කවර කථාද? ඒවා තුච්ඡයි. කුඩා ආස්වාදයක් පමණයි තිබෙන්නේ. ආදිනවයමයි වැඩි”

මෙලෙසින් ඇය කාමයන්ගේ ආදිනවය පිළිබඳව ගෙනහැර දක්වමින් කාමලොවෙන් අතමිදී උතුම් නිවන සාක්‍ෂාත් කරනු පිණිස ධර්මයෙහි හැසිරීම අභිප්‍රාය බව මවුපියන් හට සැලකොට සිටියාය. මෙලොව උපන් සත්වයෝ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ අරමුණු කෙරෙහි ඇලෙමින් විටෙක ගැටෙමින් කාම ආස්වාදයන් මෙන්ම ආදිනවයන්ද ලබති. බාලයන් කාමයෙන් මුසපත් වී, කාමය පිටුපසම දිවගොස් අවසානයේදී නිරයට වැටි ශෝක කරන බවත්, පාප බුද්ධි ඇති කොටගෙන සිත, කය, වචනය තුන්දොරින්ම පවුකොට අවසානයේදී නිරයෙහි වැටී දුක්විඳින බවත් සුමේධා දියණිය තම මවුපියනට ප්‍රකාශ කරන්නට වූවාය. වැටහෙන නුවණකින් යුක්තව සම්බුද්ධ දේශනාවට අනුකූලව සිතන්නා වූ ප්‍රඥාවන්තයකුගේ වචන මාලාවක් ඇයගේ මුවින් එලෙස නික්මුණු අයුරු අපූරුය.

දිව්‍ය ලෝකවල උපතත් අනිත්‍යයි. නමුදු අඥාන පුද්ගලයන් යළි යළිත් උපදින්නට කිසිම බියක් නැති බව පෙන්වා දෙමින් එතුමිය තම මවගෙන් ඉල්ලා සිටියේ උතුම් පැවිද්ද ලැබීම උදෙසා අවසර දෙන ලෙසටයි. පේ‍්‍රත, තිරිසන්, අසුර, නරක යන සතර අපායකින් යුක්ත වූ ලොවෙහි දෙවි, මිනිස් ලෝකවල ඉපදීම දුකසේම ලැබිය යුතු දෙයක්. අපායේ, නිරයේ උපත ලද්දකුට මෙවැනි උතුම් පැවිද්දක් ලැබීමට හැකියාවක් නැත්තාසේම දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළදීමයි පැවිදි ජීවිතයක් ලද හැකිවන්නේ. එනිසා දසබලධාරි බුදු සමිඳුන්ගේ සසුනේ පැවිදි වීමට අවසර දෙන ලෙසත් ඉපදෙන මැරෙන සංසාරයෙහි දුක නැතිකිරීමට තමාට අවැසි බවත් ප්‍රකාශ කරමින් උතුම් පැවිදි සුවය ලැබීමට අවසර ඉල්ලා සිටියාය.

මෙසේ වූ සුමේධාව නිරතුරුව ප්‍රකාශ කරන්නට යෙදුණේ කාමයන්හි ආදිනවය පිළිබඳවමයි. බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමයක, ශ්‍රී සද්ධර්මයෙහි ගුණ සුවඳ විහිදෙන සමයක උතුම් බඹසර ආරක්‍ෂා කරමින් සිල්වත් ජීවිතයක් ගත කරමින් පැවිදි ජීවිතය ගෙවීම ඇගේ අභිප්‍රාය විය.

පැවිද්ද නම් වූ හුදෙකලා වූ ගැඹුරු තීරණය උදෙසා මවුපිය ආශිර්වාදය ලැබෙනුයේ ඉතාමත් කලාතුරකිනි. බොහෝ මවුපියවරුන්ගේ එකම අරමුණ දරුවන් විවාහ දිවියකට පත්කොට තම පරම්පරාව ආරක්‍ෂා කිරීමයි. එනිසාවෙන් සුමේධාවගේ ප්‍රකාශයට හා ඉල්ලීමට මවුපියෝ අකැමැති වූහ. තම බලාපොරෙත්තුව ඉටුවන තුරු ආහාර වර්ජනය කරමින් සිටි සුමේධාවට, පිය රජු, විසින් අනීකදත්ත, රජු පිළිබඳව විවාහ යෝජනාව ගෙන එමින් රාජ සම්පත් පිළිබඳ වර්ණනා කරනු ලැබිණි. එහෙත් අසාර වූ භවයට අයත් වන්නා වූ කිසිඳු දෙයක් ඇයට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කරමින් පැවිදි වීමේ අදහසම තව තවත් ඉදිරිපත් කරන්නට වූවාය. එවන් වූ පින්වන්ත සිතුවිල්ලක් ඇතිවීම දුර්ලභ කාරණයක්. ඒ උතුම් සිතුවිල්ල බුර බුරා නැඟෙන්නේ එම අදහස මුදුන්පත් වන තුරුමය. සුමේධාවෝ මේ කුණූ ශරීරයෙහි අසාර ස්වභාව නුවණින් දකිමින් ප්‍රකාශ කරන්නට වූවාය.

කිමී ව පුතිකායමසුචිං - සවනගන්ධං භයානකං
අභිසංවිසෙය්‍යං භසතං - අසතිං පගඝරණං අසූචිපුණ්ණං

“මේ කුණු ශරීරය අපවිත්‍රයි. දුගඳ හමයි. බියජනකයි. එයින් නිරතුරුවම අසූචි වැගිරේ. අසූචි පුරවන ලද භාජනයක් මෙනි.ඉතින් මෙවැනි කුණූ කයක් තවත් කුණූ කයක් හා එක්වන්නේ කෙසේද?”

මෙසේ ජීවිතයේ යථා ස්වභාව පෙන්වමින් විවාහය ප්‍රතික්ෂේප කරන්නට වුවාය. කයෙහි පිළිකුල් ස්වභාව තමන් හොඳින් අවබෝධ කොටගෙන සිටින බව පෙන්වමින් මස්,ලේ පිරුණු මේ ශරීරය පණුවන්ට වාසභූමියක්, ගිජුලිහිණින්ට ආහාරයක් බව ප්‍රඥාවන්තව පෙන්වා දුන්නාය. බුද්ධ වචනය නුවණැති ලෙස ගෝචර කරගන්නා වූ අයකු කයෙහි අසාරබව, පිළිකුල් ස්වභාව යථාර්ථවාදීව දකින්නට මෙන්ම ප්‍රකාශ කරන්නටද මැලිනොවන්නේය.

විඤ්ඤාණය පහවූ කල නෑදෑයෝ මේ කය පිළිකුල් කරති. කිසිදු වටිනාකමක් නොමැතිව අවසානයේ දී දර කැබැල්ලක් විසි කරන්නා සේ සොහොනට ගෙන ගොස් දමා හුදෙකලා කර එති. බලු සිවලුන්ට මේ ශරීරය ගොදුරුව යන අතර සොහොනට ගොස් පැමිණ තමාට ආදරය කළ මවුපියෝ පවා එය පිළිකුල් කරමින් පිරිසුදු බව පතා ස්නානය කරති. මෙය සැම දෙනාටම පොදු ධර්මතාවයකි. මෙලෙස පුද්ගලයන් වශයෙන් ආදරයෙන්, කරුණාවෙන් යුක්තව එකට වාසය කළද අවසාන මරණ මංචකයේදී තමාට තනිවීමට සිදුවන බව සැබෑවක්මය. මෙසේ අසාර වූ අනිත්‍ය වූ පිළිකුල් වූ මේ ශරීරයට නුවණැත්තන් ඇලුම් නොකරන බව සුමේධාව ප්‍රකාශ කළාය.

අජ්ඣාසිතා අසාරෙ -කලෙබරෙ අට්ධීනහාරුසංඝාතෙ
ඛේලස්සුචිචාරපස්සව -පරිපුණ්ණෙ පුතිකායම්හි

“මේ පිළිකුල් කය වෙන්කොට ශරීරයාගේ ඇතුළත බැහැරට ගත් විට තම මව පවා එහි දුගඳ නොඉවසා පිළිකුල් කරන්නීය”

ස්කන්ධ, ධාතු, ආයතන යන මෙම ධර්මයන් හේතුන් නිසා හටගත් බවත්, එබැවින් ඉපදීම දුකක්, බවත් මනාව අවබෝධ කරගෙන සිටින මා කෙසේ විවාහයට කැමැති වන්නේදැයි සුමේධා කුමරිය විමසුවාය. සැබැවින්ම හරසුන් ඕලාරික කාමය පසුපස හඹා නොයන්නාවූ එතුමිය වැන්නියක, මෙවැනි ගැඹුරු අවබෝධයක් ලබා සිටියදීත් විවාහය ප්‍රාර්ථනා කරනු ඇතිද?

එතුමිය, නැවත පෙන්වා දෙනුයේ දවස ගණනේ යකඩ පොලු පහර තුන්සියයක් ලබමින් අවුරුදු සියයක් තිස්සේ එසේ වේදනා විඳ, අවසන් වූ කල සසර දුක ගෙවී යන්නේ වී නම් එම අවි පහර වුවද උතුම් බවයි. එහෙත් මේ භයානක සංසාර ගමනින් එතෙරවීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. දිව්‍ය ලෝක, මිනිස් ලෝක, තිරිසන් යෝනිය,අසුර නිකාය,පේ‍්‍රත ලෝකය, නිරය යන සංසාර චක්‍රයට හසුවූ අයකුට ලෙහෙසියෙන් ගැලවීමක් නම් නොමැත. නිවනට වඩා උතුම් වෙනත් සැපතක් නොමැති බවට බුදු සමිඳුන් දේශනා කළ වචනය ඇය නිරතුරුවම සිහිපත් කරන්නට වූවාය. එම බුද්ධ වචනය අනුගමනය කළ අයකු සංසාර දුකෙන් අත්මිදෙන බව ප්‍රකාශ කරමින් තමන් කාමයන් බැහැර කරන්නේ ඉතා පිළිකුල් සහගත යමක් ඉවතලන්නාක් මෙන් බවත් තම පියාණන්ට අභීතව ප්‍රකාශ කළාය.

මේ අතරවාරයේදී අනිකදන්ත රජතුමා මන්තාවතී නගරයට පැමිණේ. එවිට සුමේධා කුමරිය තම කෙස්කලඹ කඩුවෙන් කපා, කුටියෙහි දොර වසා භාවනා කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගත්තිය.අනිත්‍ය සංඥාව වඩන්නට වූවාය. අනිකදත්ත රජු සුමේධාවන්ට ඇදලි බැඳ වැඳගෙන කාම සම්පත් අනුභව කරන ලෙස ආරාධනා කරන්නට විය. කාන්තාව කාමයන් මවන යන්ත්‍රයක් ලෙස බමුණන් විසින් පෙන්වා දෙනු ලැබූ වචනයට අභියෝග කරමින් සුමේධා කුමරිය අනිකදත්ත කුමරුට කාමයන්ගේ ආදීනව ප්‍රකාශ කරන්නට යෙදුණේ අපූර්ව ආකාරයෙනි.

මහාමන්ධාතු, නම් සක්විති රජු සතර මහා දිවයිනටම අධිපතිව සිටියේය. එමෙන්ම කාමයන්ට අග්‍රව කටයුතු කළේය. නමුදු ඔහු මරණයට පත්වූයේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවීමයි. ආශාවන් ගෙන් පිරී ගිය සිත් ඇතිවමයි.

අස්සුනුපමා කාමා කාමා සප්පසිරූපමා
උක්කූපමා අනුදහන්ති අට්ඨිකංකල සන්නිභා

‘කාමයෝ කඩුවක් වැනිය. මස් වැදැල්ලක් වැනි ය. භයානක සර්පයකු ගේ හිස වැනිය. ගිනි කන්දක් මෙනි. ඇටසැකිල්ලක් වැනිය.’

මෙලෙස කාම වින්දනයන් උපමාවලින් දක්වන්නට යෙදීමෙන් එහි පිළිකුළ බව මනාව විද්‍යාමානය. කාමයන් අනිත්‍යයයි. අස්ථිර වූ දෙයක්. බොහෝ දුක් සහිත වන අතර දවස මුළුල්ලේ රත් වූ යකඩ ගුලියක් හා සමානයි. කාමයන් දුක සදනුයේ රෑ දුටු සිහිනයකට රැවටුණාක් මෙනි. කාමයන් ණයට ඉල්ලාගත් දෙයක් මෙනි. වේදනාව ඇතිකර, අවසානයේ දුකම ඇතිකොට මරණය කරා රැගෙන යයි. ‘ගිනි අඟුරු වළක් සේ බොහෝ බියජනකය. තමාට අයිති කිසිදු දෙයක් මේ භවයේ නොමැත. තමන්ගේ හිස ගිනිගත් වෙලාවට ඒ ගින්න නිවා ගැනීම හැර වෙන කිසිම දෙයක් ගැන සිතන්නට වේලාවක් ඉතිරිවන්නේ නැත. එමෙන්ම ජරා, මරණ දෙක ලුහුබැඳ යන මේ ඝෝර සසරින් නිදහස්වීමට මඳක් හෝ ප්‍රමාද නොවිය යුතුය.

සුමේධාව කුටියෙහි දොර හරින විට මවුපියෝ සහ අනිකදත්ත රජු බිම වාඩි ව හඬන්නට වූහ. එවිට ඇය පෙන්වා දෙනුයේ පියාගේ මරණයේදී මවගේ මරණයේදී, සහෝදරයාගේ මරණයේදී, නැවත නැවත හඬ හඬා සිටින්නාට මේ සංසාරය දීර්ඝ බවය.

සාර චතුරොදධි උපනීතෙ
අස්සුථඤ්ඤ රුධිරමහි
සර එක්කප්පමට්ඨිතං
සඤ්චයං විපුලෙන සමං

‘සසරේදී ප්‍රියයයන්ගෙන් වෙන්වීම නිසා අප හෙලූ කඳුළු සාගරයට වැඩියි. බිවු කිරි සාගරයට වඩා විශාලය. එක් සත්වයකු උපත ලබා මියගොස් එකතුවන ඇටසැකිලි ප්‍රමාණය අනන්තය. එතරම් මේ සසර දීර්ඝය. භයානකය. ඉපදීම, මැරීම යන ධර්මතාව ට හසු වූ අයකු විඳින්නේම දුකක්මයි.’

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තිබෙන කල පංචකාම සෙවීමෙන් ඵලක් නැති බවත්, හැම ආශාවක්ම කටුක බවත් අරුත් සුන්බව හා කම්පාව පමණක්ම ඉතිරිවන බවත් පෙන්වමින් කාමයෙහි ආදිනව සුමේධා කුමරිය පෙන්වා දුන්නාය. පැවිදි ජීවිතය සතුරන් රහිතයි. නමුදු කාමයට සතුරන් බොහෝය. රාජ භය, ගින්නෙන් ජලයෙන් හා සොර සතුරන්ගෙන් වන භය ආදි සැම බියක්ම හටගන්නේ කාමයන්ට ගොදුරු වූ විටය. කාමයන් ලාමක නිසාවෙන් දුක් කරදර ඇතිවන්නේය.

එබැවින් අල්ප වූ කාම සම්පත් නිසාවෙන් මහත්වූ ලෝකෝත්තර සැපය එතුමියට අහිමි නොකරන ලෙස ඉල්ලා සිටියාය. අප්‍රමාණ කායික, මානසික දුක් දොම්නස් විඳිනුයේ කාමයන්ට ගිජු වූ විටය. එයින් භවය සකස් වන අතර ජරා, මරණ දුරු කරන එකම මඟ නිවනය. ජරා රහිත මරණ රහිත ශෝක රහිත තැවුල් රහිත වූ ඒ අමා නිවන ශාන්තයි, සුඛයි, ප්‍රණීතයි. මෙසේ කාමයෙහි ආදීනව දක්වමින් පැවිදිවීම සඳහා යළි යළිත් අවසර අයැද සිටියාය. අනිකදත්ත රජු ඇයට පැවිදිවීමට අවසර දෙන ලෙසත් උතුම් විමුක්ති ලාභය සලසා ගැනීමේ ශක්‍යතාවක් ඈ සතු වන බවත් ප්‍රකාශ කළේය. ඉක්බිති සුමේධා කුමරිය පැවිදිව වීර්යය වඩමින් සම්බුද්ධ ශාසනයේ ශ්‍රමණ කෘත්‍යය වූ උතුම් රහත් බෝධියට පැමිණීමට සමත් වූවාය. සසර ජයගත්තා වූ ඒ රහත් උත්තමාවෝ තම උදානය මෙසේ ප්‍රකාශ කළෝය.

එවං කරොන්ති යෙ සද්දහන්ත - වචනං අනෝමපඤ්ඤස්ස
නිබ්බින්දන්ති භවගතෙ - නිබ්බින්දිත්වා විරජන්තිති

‘කෙලෙසුන් සපුරා දුරු කළ බුදුරජාණන් වහන්සේගේ උතුම් වචන අදහාගෙන එලෙසින් අනුගමනය කළේ නම් ඔවුහු භවයට අයිති සියල්ල පිළිබඳ කලකිරි නිවන කරාම ගමන් කරති” ඒ උතුම් බුද්ධ වචනයෙන් සැනසි සසර කතරින් එතෙරට වැඩම කළ සුමේධා රහත් තෙරණින් වහන්සේ ඇස, කන, නාසය , දිව,ශරීරය යන පංච ඉන්ද්‍රියයන් පිනවීමේ ආදිනව ගැඹුරින් ගෙනහැර පාමින් ධර්මාවබෝධය ලබාගත් අයුරු අපූරුය. මේ උතුම් සම්බුදු සසුනේ උත්තරීතර බව ගෙනහැර පාන්නට යෙදුණාවූ එවන් උත්තමාවියන්ගේ හදවත් විතරාගිය, විතමෝහිය, විතදෝසය. නුවණැති කතුන් ලෙස අපද, වෙර දැරිය යුත්තේ එවන් වූ උත්තම රහත් තෙරණියක වීමට නොවේද?