Print this Article


පරාර්ථ සේවය උත්තරීතර ගුණයකි

තමන් ආධ්‍යාත්මික වශයෙන් සුදුස්සෙකු වීමත්, තමන් ආධ්‍යාත්මික පාරිශුද්ධියට හා ආත්මාර්ථයට බාධා කර නොගෙන කරන්නාවූ පරාර්ථ සේවයත් බුදු දහම ඉතාමත් අගය කරයි. ආත්මාර්ථයත් පරාර්ථයත් සමව සිතන්නැයි “අත්වැඩ පරවැඩ සමව සිතන්නෙ මෙත් සිත සව් සත කෙරෙහි කරන්නේ” යන බෞද්ධ සාහිත්‍යාගත අදහස විමසන අපට ආත්මාර්ථයට සමාන තැනක් පරාර්ථයට ද හිමිවන බව, බුදුදහමේ හෙවත් බෞද්ධ ආචාර ධර්මයේ ඇති බව වැටහෙයි

එදා දීපංකර බුදුරජාණන් වහන්සේ හමුවෙහි තමාට ලැබුණ නිවන් සැප අත්හැර, සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් සංසාර සාගරයට වැදී අපමණ දුක් ගැහැට වින්දේ පරාර්ථ සේවයේ අගය ලෝක සත්ත්වයාට පැහැදිලි කිරීමට ය. එදා සුමේධ තාපසතුමා මහා මඩවළක් ගොඩකොට මහා මාර්ගයක් තනමින් සිටින විටයි දීපංකර බුදුරජාණන් වහන්සේට හමුවුණේ. දීපංකර බුදුරජාණන් වහන්සේ විසි ලක්‍ෂයක් රහතුන් වහන්සේ අමතා මේ පරාර්ථ සේවයේ යෙදී සිටින පුද්ගලයා එසේ මෙසේ කෙනෙක් නොවෙති. මතු ගෞතම නමින් බුදුවන උත්තමයාය යි හඳුන්වා දුන්හ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ හා විසි ලක්‍ෂයක් රහතුන්ගෙන් උපහාර පුද පූජා ලැබුවේ පරාර්ථ සේවයේ උත්තරීතර ගුණය නිසා ය.

පාරමිතා

පරාර්ථ සේවයේ අග්‍රඵලය වූ ලොව්තුරා බුදුබව තමාට නියතයෙන්ම ලැබෙන බව දුටු අප මහ බෝසතාණෝ බුදුබව සඳහා අවශ්‍ය පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා යනුවෙන් සමත්‍රිංෂත් පාරමී ධර්මයන් සම්පූර්ණ කළහ. සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතා ලෙහෙසියෙන් පහසුවෙන් කළ ඒවා නොවෙයි මහත් ජීවිත පරිත්‍යාගයෙන්ම සිදු කළ බව.

සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි - භූමිං පරාජිය සමංස මදාසි දානං
මෙරුප්පමාණ මධිකං ච සමොලි සීසං- ඛෙ තාරකාධික තරං නයනං අදාසි

යන්නෙන් පැහැදිලි කරයි. යොදුන් අසූහාර දහසක් ගැඹුරැති මහා සාගරයේ ජලයටත් වඩා සසර ඇවිදින කාලවල දී තම ශරීරයේ ලේ අනුන්ගේ යහපත සඳහා දන්දුන් බවත්, යොදුන් සතළිස් දහසක් ගනකඩ මේ බොල් පොළවෙහි පස්වලටත් වඩා ශරීර මාංශ දන්දුන් බවත්, යොදුන් එක් ලක්‍ෂ හැට අට දහසක් උස මහාමේරු පර්වතයටත් වඩා ඔටුනු පලන් ඉස් ප්‍රමාණයක් දන්දුන් බවත්, ආකාසයේ දිලිසෙමින් පවතින තාරකා සමූහයටත් වඩා ඇස් දන්දුන් බවත් මේ ගාථාවෙන් කියැවෙයි. මේසා විශාල ඇස්, ඉස්, මස්, ලේ පරිත්‍යාගයක මහඟු ප්‍රතිඵලයකි, ලොව්තුරා බුදු බව.

ලොව්තුරා බුදුබව පතන උත්තමයකුගේ පරමාධ්‍යාශය දෙකක් වෙයි. එයින් එකක් සියලු කෙලෙසුන්ගෙන් මිදුණ චතුස් සත්‍යාවබෝධයයි. අනික අනන්ත දුක් විඳින ලෝක සත්ත්වයා සසර සයුරෙන් එතර කිරීමේ පරාර්ථ සේවයයි. ආත්මාර්ථ සේවය, පරාර්ථ සේවය, යනුවෙන් හඳුන්වන්නේ ද එයමයි. බෝධිසත්වයන් වහන්සේ ආත්මාර්ථයම පදනම් කරගෙන ක්‍රියා කළා නම් දීපංකර බුදුන්හමුවේ දී රහත් වී නිවන් දකින්නට තිබුණි. එහෙත් ආත්මාර්ථයට වඩා පරාර්ථ සේවය අගය කළ උන්වහන්සේ ඝෝර වූ කටුක වූ සසරට වැදී අපමණ සේවයක් ඉටු කිරීමට මෙසේ ඉටා ගත්හ.

බුද්ධොහං ඛොධයිස්සාමි - මුත්තොහං මොචයෙ පරෙ
තිණ්ණොහං තාරයිස්සාමි - සංසාරොඝා මහබ්භයා

මම පළමුකොටම ලොව්තුරා බුදුබව ලබාගෙන ආත්මාර්ථය සපුරා ගන්නෙමි. දෙවනුව තෙරක් නැති සසර සයුරෙහි ගැලී දුක් විඳින අනන්ත සත්ත්වයන් සසර සයුරෙන් ගොඩ ගන්නෙමි. යන පරම පවිත්‍ර චේතනාව පෙරදැරි කරගෙන දස පාරමිතා පූරණයට පටන් ගත්හ. ආත්මාර්ථයෙන් තොර පරාර්ථ සේවයක් නැත. මෙහි ආත්මාර්ථය යන්න වරදවා තේරුම් ගන්න එපා. තණ්හා, මාන, දෘෂ්ටි වශයෙන් දැඩිව එල්බගෙන තමා පමණක් හිටියොත් ඇති අනිකාට හෙණ ගැහුවත් කමක් නැහැ යනාදී පටු අදහසක් සඳහා නොව මෙහි ආත්මාර්ථය යන්නෙන් අදහස් කළේ පරාර්ථ සේවයට සුදුසුකම ලැබීමයි. එනම් සද්ධා, සීල, ශ්‍රැත, චාග, පඤ්ඤා, විමුක්ති ඤාණ දස්සනාදියෙන් සුදුසුකම ලැබීමයි. බෝසත්වරයකු සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්, අටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්, සොළසා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නේ මේ සුදුසුකම ලැබීමට ය.

මේ අනුව සලකා බලන විට බෞද්ධ ආචාර ධර්ම විෂයයෙහි තමන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර නොගෙන අංග සම්පූර්ණ පරාර්ථ සේවයක් නිසි පරිදි කළ නොහැකි ය. අපේ බෝධිසත්වයන් වහන්සේ පරාර්ථ සේවය මොන තරම් අගය කළ සේක්ද යන්න ජාතක පොතෙන් මනාව පැහැදිලි වෙයි. ජාතක කතාවන්ගෙන් අනුන්ගේ දියුණුව සඳහා උදව් උපකාර කළ සැටිත්, ඒ හැම අවස්ථාවකම තමාට එල්ලවූ තර්ජන ගර්ජනත් මැනවින් නිරූපනය වී ඇත.

පරාර්ථ සේවය

ජාතක පොතෙහි සඳහන් පරිදි පැරණිතම පරාර්ථ සේවයෙහි නියැළුණ කෙනෙකි මඝමාණවක කුමරු. මොහු සහජයෙන්ම පරාර්ථ සේවයට කැපවුණ දුප්පත් ගැමි තරුණයෙකි. මොහු පරාර්ථ සේවය වශයෙන් කරගෙන ගියේ යන එන්නන්ගේ සුව පහසුව සඳහා මං මාවත් ශුද්ධ කිරීමත්, මහජනයා ප්‍රයෝජනයට ගන්නා පොකුණු ශුද්ධ කිරීමත්, දුර බැහැර යන එන්නන්ගේ පිපාසය සංසිඳුවා ගැනීමට පැං තාලි තැබීමත්, සෙවනට ගස් සිටුවීමත් යනාදී හොඳ වැඩය. මොහුගේ පරහිතකාමී ක්‍රියාවලිය දුටු එවැනිම අදහස්වලින් පිරුණු තවත් තරුණයෝ තිස් දෙදෙනෙක් මඝමාණවකයාගේ සද්ව්‍යාපාරයට උදව් දුන්හ. මෙය ලෝකයේ මුල් වරට ඇති වූ ග්‍රාම සංවර්ධන සමිතිය හැටියට හඳුන්වන්නට පුළුවනි. නොයෙකුත් පරාර්ථ සේවයන්හි නිරත වූ මේ පිරිස පසුව දර්ශනීය සමාජ ශාලාවකුත්, රමණීය පොකුණකුත් සතර මංසන්ධියක තනවා, වාඩි වීමට විශාල ගල් පුවරුවකුත්, සෙවණට ගසකුත් රෝපණය කරවූහ. මොවුනගේ හොඳ වැඩට ඇති වූ හිරිහැර කරදර අපමණය. එහෙත් ඔවුහු ඇරැඹූ පරහිතකාමී පරාර්ථ සේවය ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට ම ගෙන ගියහ. එහි මහඟු ප්‍රතිඵලය වූයේ මරණයෙන් පසු ඔවුනට ‘තාවතිංස’ නමින් අමුතුම දෙව්ලොවක් හිමිවීම ය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නට පෙර ඉන්දීය සමාජය පුරාම මෝක්‍ෂය සෙවූ නා නා මාදිලියේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්, තාපසයන්, සෘෂිවරයන්, ශාස්තෘවරයන්, චින්තකයින් පහළ වූ බව ප්‍රසිද්ධය. මේ හැම කෙනෙක්ම තමා බලාපොරොත්තු වූ සැනසීම, විමුක්තිය ලබාගත් පසු සමාජය අමතක කර දමා වනගත වූහ. ඔවුන් නැවත සමාජයට ආවේ ඔවුන්ගේම සුඛ විහරණය සඳහා ලුණු ඇඹුල් සෙවීමට මිස සමාජයට යහපතක් කරන අදහසින් නොවන බව පෙනේ. ලුණු ඇඹුල් සෙවීමට පැමිණි සෘෂිවරුන් තවුසන් තණ්හා, දිට්ඨි, මාන ආදියෙන් හිස උදුම්මාගත් අය බව “ධම්මපදට්ඨ කතාවේ” එන ‘දේවල’ තවුසාගෙ කතා පුවතෙන් හෙළි වෙයි. අතීතයෙහි හිමාලයෙහි වසන දේවල නම් තවුසෙක් ලුණු ඇඹුල් සෙවීම පිණිස නගරයට පැමිණ එක්තරා කුම්භකාර ශාලාවක නවාතැන් ගත්තේ ය. ඒ සමඟම ‘නාරද’ නම් තවුසෙක් ද එම ශාලාවෙහි ම නවාතැන් ගත්තේ ය. රාත්‍රියෙහි කළුවරේ එළියට යනවිට දොරටුව අසල නිදාසිටි දේවලගේ ජටාව නාරදට පෑගුණේ ය. ඒ නොදැන සිදුවූ වරදින් හොඳටම කිපුණු දේවල නාරද තවුසාට තදින්ම බැණ වැදුණේ ය. නාරද එළියේ සිට ගෙතුළට යන්නේ නැවතත් දේවලගේ ජටාව පෑගේදෝ යන බියෙන් අනෙක් පැත්තෙන් යන්නේ හිස හා පය මාරු කොට නිදන දේවලගේ බෙල්ල ඒ වාරයේ පෑගුණේ ය. දඬු පහර ලත් නාගයෙකු මෙන් කිපුණු දේවල තවුසා සිදු වූ වරදට සමාව යදින නාරදට කිසිදු සමාවක් නොදී ‘හිරු නැගෙන වේලෙහි තාගේ හිස සත්කඩකට පැලේවායි’ නාරදට ශාප කළේ ය. පඤ්ච අභිඥාඅෂ්ට සමාපත්තිලාභී උග්‍ර තවුස්දම් රකින මේ තාපසයන්ගේ ඉවසීමේ තරම පේනව නේද? තමාට සමාන තත්ත්වයේ සිටින කෙනෙකුගෙන් අත්වැරැද්දකින් තමාට සුළු කරදරයක් සිදු වූ විට, එයට සමාව ඉල්ලත්දීත් සමාව දී එය ඉවසීමට තරම් උසස් මිනිස් කමක් ගුණදහමක් මොවුන් තුළ නොතිබුණ බව එයින් පෙන්නුම් කරයි. මේ තාපසයන් තමාගේ නිදහසම, තමාගේ සුව පහසුවම සැලකුවා මිස, අනුන් ගැන හෝ සමාජය ගැන මොනම තැකීමක්වත් නොකළ බව එයින් පෙන්නුම් කරයි.

ආධ්‍යාත්මික සංවර්ධනය

“පරාර්ථ සේවය” යන්න බුදුසමය සමාජයට හඳුන්වා දුන් මූලධර්මයකි. බුද්ධ කාලීන සමාජයේ නොයෙක් මාදිලියේ ශාස්තෘවරු, චින්තකයෝ බොහෝ වූහ. එහෙත් ඔවුන් ලෝක සේවය හෝ සමාජ සේවය අගය කළ බවක් පෙනෙන්නට නැත. බුදු සමය මඟින්ම එය කුළුගන්වා ඇති සැටි බෞද්ධ සාහිත්‍යය විමසීමෙන් පෙනී යයි. බෞද්ධ ආචාර ධර්මයට අනුව තමා තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර නොගෙන අංග සම්පූර්ණ පරාර්ථ සේවයක් නිසි පරිදි කළ නොහැකි ය.

සයං පලිප පලිපන්නො පරං පලිපපලි පන්නං
උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති

තමන් මඩෙහි එරී සිටගෙන මඩෙහි එරුණ තවත් කෙනෙකු ගොඩ ගන්නේ ය යන මෙබන්දක් නොවිය හැකිය යන ප්‍රකාශයෙන් ද පැහැදිලි කරන්නේ එයයි. මේ අනුව තමන් ආධ්‍යාත්මික වශයෙන් සුදුස්සෙකු වීමත්, තමන් ආධ්‍යාත්මික පාරිශුද්ධියට හා ආත්මාර්ථයට බාධා කර නොගෙන කරන්නාවූ පරාර්ථ සේවයත් බුදු දහම ඉතාමත් අගය කරයි. ආත්මාර්ථයත් පරාර්ථයත් සමව සිතන්නැයි “අත්වැඩ පරවැඩ සමව සිතන්නෙ මෙත් සිත සව් සත කෙරෙහි කරන්නේ” යන බෞද්ධ සාහිත්‍යාගත අදහස විමසන අපට ආත්මාර්ථයට සමාන තැනක් පරාර්ථයට ද හිමිවන බව, බුදුදහමේ හෙවත් බෞද්ධ ආචාර ධර්මයේ ඇති බව වැටහෙයි.

බොහෝ දෙනාට සුව පිණිස

“බහුන්නං වත අත්ථාය උප්පජ්ජන්ති තථාගතා” යන පාඨයෙන් කියැවෙන්නේ ඒකාන්තයෙන්ම බොහෝ දෙනාගේ අර්ථය පිණිස යහපත සඳහා තථාගතයන් වහන්සේලා ලෝකයේ පහළවන බවයි. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පරාර්ථ චරියාව උදෙසාම සමත්‍රීංෂත් පාරමී ධර්මයන් පූරණය කොට ලොව්තුරා බුදුබවට පත් වූ මහාකාරුණිකයන් වහන්සේ ඉතා කෙටි කාලයක් ඇතුළත දී අතිවිශිෂ්ට ශ්‍රාවක පිරිසක් බිහිකළහ. ලෝකයෙහි ප්‍රථම වරට පහළ වූ සංවිධානාත්මක සංස්ථාවන් මේ සංඝ සමාජයයි. බෞද්ධ ආචාර විද්‍යාවෙහි සංයමය, ඉන්ද්‍රිය දමනය, තපස ආදී ආධ්‍යාත්මික ගුණ පෝෂණයන්ගෙන් පරිපූර්ණ ශිෂ්‍යයන් තැනීම නිසා එහි ගෞරවය ද උන්වහන්සේට හිමිවෙයි. තම ශ්‍රාවක පිරිස හැට නමක් වූ වහාම ඔවුන් අමතා අවවාද දෙන්නේ මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සිතූ පැතූ පරාර්ථ සේවය මල්ඵල ගැන්වීමට ය. මහණෙනි, බොහෝ දෙනාගේ හිත සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද හිත පිණිස ද සැප පිණිස ද චාරිකාවේ හැසිරෙව්. දෙනමක් එක මඟින් නොයව්, මහණෙනි, මුල, මැද, අගය යහපත් අර්ථ සහිත ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසව්, පිරිසුදු බ්‍රහ්ම චරියාව ප්‍රකාශ කරව්. මෙහි සඳහන් “බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” යන වචනයන් ද, “මා එකෙන ද්වෙ අගමිත්ථ” වැනි ප්‍රකාශයන් ද බුදුරජාණන් වහන්සේගේ හෙවත් බෞද්ධ ආචාර ධර්ම විෂයයෙහි උගැන්වෙන පරාර්ථ චර්යාවේ ඇති ශ්‍රේෂ්ඨතම පොදු ලක්‍ෂණය මැනවින් ප්‍රකට කරයි. ඉහත සඳහන් පරිදි තම ශ්‍රාවක පිරිස පරාර්ථ චරියාවේ යොදවා අනතුරුව “අහම්පි භික්‍ඛවේ යෙන උරුවෙලා සෙනානි නිගමො තෙනුපසංකමිස්සාමි ධම්ම දේසනාය” “මහණෙනි, මම ද උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම් ගමට ධර්ම දේශනා කිරීම පිණිස යන්නෙමි.”

මෙය පරාර්ථ චරියාව පිළිබඳ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයකුගේ ආදර්ශවත් ජීවිතය පිළිබිඹු කරන්නකි. වෙනත් ආගමික නායකයෙකු ශාස්තෘවරයකු නම් කරන්නේ ශ්‍රාවකයන් එවැනි කටයුත්තක යොදවා තමන් සුව පහසුව, විවේකීව සිටීමයි. එහෙත් බුදුරජාණන් වහන්සේ එසේ නොකොට තමන් වහන්සේ ද හුදී ජනයාගේ පහන් සංවේගය දනවන ආකාරයෙන් පා ගමනින්ම උරුවේලාවෙහි සේනානි නියම් ගමට දහම් අමා පණිවිඩය බෙදා හැරීමට වැඩම කළහ. මෙයින් කාලීන මෙන්ම පශ්චාත් කාලීන ආගමික නායකයින්ටත් සමාජ සේවකයන්ටත් පෙන්වූ ආදර්ශය අතිශයින්ම ප්‍රශංසනීය වූවකි.

බුදුදහමෙහි උගැන්වෙන චරියා ධර්ම විෂයයෙහි අත්ථචරියා, පරත්ථ චරියා, ඤාතත්ථ චරියා, ලොකත්ථ චරියා, බුද්ධි චරියා යනුවෙන් ප්‍රභේද දක්නට ලැබෙයි.

අත්ථචරියා

අත්ථචරියා නම් පරාර්ථ චරියාවට සුදුසුකම් ලැබීමයි. සමාජයේ නැති බැරි කෙනෙකුට කිසියම් පරිත්‍යාගයක් කරන්නට නම් තමා සතු වස්තුවක් තිබිය යුතු ය. ශරීර ශක්තියෙන් යම් උදව්වක් කිරීමට නම් තමාට නොපිරිහුණ කායික ශක්තියක් තිබිය යුතු ය. පිහිනීමේ දක්‍ෂයෙකුටම දියේ ගිලෙන්නට යන කෙනෙකු එයින් මුදවා ජීවිත දානය දෙන්නට පුළුවනි. එවැනි වීර පුරුෂයෙකුගේ මහඟු ක්‍රියාවක ප්‍රතිඵල වශයෙනුයි අපට බුදු කෙනෙකු හා බුද්ධ ශාසනයක් ලැබුණේ. ඈත අතීතයෙහි අප මහ බෝසතාණන් වහන්සේ තම මෑණියන් සමඟ මහ මුහුදේ නැවකින් යන විට හදිසි කුනාටුවකට අසුවී නැව කැඩී බිඳී ගියේ ය. එහිදී වීර පුතා තම මෑණියන් කරපින්නා ගෙන සත්දවසක් පීනා ගොඩට විත් මෑණියන්ට අභය දානය දුන්නේ ය. එහිදී ඒ මෑණියන්ගේ මුවෙන් පිට වූයේ “අනේ මගේ පුතා බුදුවෙන්න ඕනෑ” යන්නයි. වැදූ මෑණියන්ගේ මේ කාරුණික වචනය ඇසූ අපේ බෝධිසත්වයන් වහන්සේ “අම්ම මට බුදුවෙන්න කිව්ව මා කොහොමහරි බුදුවෙන්න ඕන” යනුවෙන් සිතමින් සිතාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මනොප්‍රණිධානය පිරුවේ ස්වකීය මෑණියන්ගේ කාරුණික වචනය නිසා ය. මේ අනුව බලන විට ශරීර ශක්තියෙන් ද විශාල පරාර්ථ සේවයක් ඉටු කළ හැකි බව පෙනේ.

ඤතත්ථ චරියා

ඤතත්ථ චරියා නම් නෑදෑ හිතවතුන්ට නිසිලෙස සංග්‍රහ කිරීමයි. උපකාර කිරීමයි. බුදුදහමේ හැටියට නැති බැරි අසරණ ඥාතීන්ට සංග්‍රහ කිරීම උතුම් මංගල කරුණක් බව ‘ඤාතකානඤච සංඝහෝ’ යනුවෙන් මංගල සූත්‍රය පෙන්වා දෙයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පවා ධර්ම ලාභය ලබා දීමේ දී නෑයන්ට සැලකිල්ලක් දක්වා ඇති සැටි බෞද්ධ සාහිත්‍යයේ නොයෙක් ස්ථානයන්ගෙන් පැහැදිලි වේ. ශාක්‍ය කුලයෙන් පැමිණි කෙනෙකු නම් වග විභාගයක් නොකොට පැවිදි කරන්ට අවසර දීමෙන්ම ඒ බව පැහැදිලි වෙයි. වරක් බුදුරජාණන් වහන්සේ කොළ හැළුණ ගසක් යට අව්වෙහි වැඩ හුන්හ. එසේ වැඩ සිටින්නේ කුමක් නිසාදැයි ඇසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ ශාක්‍ය ජනපදයෙන් හමා එය සුළඟත් තමාට සුවදායක බවයි. මේ හැරුණු විට සුද්ධෝදන, මහාමායා, ප්‍රජාපතී ගෝතමී, යශෝධරා, නන්ද, රාහුල යනාදී පවුලේ ඥාතීන්ටත් බුදුසසුනේ දායාද ලබාදී ඇති සැටියෙන් එය වඩාත් පැහැදිලි කරයි

ලෝකත්ථ චරියා

ලොකත්ථ චරියා නම් පොදුවේ මුළුමහත් ලෝකයටම සෙත් ශාන්තිය උදාකර දීමයි. බුදුරජාණන් වහන්සේගේ දින චරියාව දෙස බලන විට දවල් කාලයෙන් පැයකුත් රාත්‍රී කාලයෙන් පැයකුත් හැර දිනකට පැය විසි දෙකක්ම කැපකොට ඇත්තේ ලෝකාර්ථ චර්යාව සඳහා ය. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” හතළිස් පස් වර්ෂයක් මුළුල්ලෙහි හිතා හිත මැදහත් සකල ලෝකවාසීන්ට ඉමහත් සේවයක් ඉටු කළහ.

බුද්ධි චරියා

බුද්ධි චරියා නම් අනුන්ගේ බුද්ධි වර්ධනය කිරීමට උදව් කිරීමයි. “පඤ්ඤා නරානං රතනං” මිනිසුන්ට ප්‍රඥාව තරම් අගනා තවත් වස්තුවක් නැත. මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය සලසා දෙන්නේ ප්‍රඥාවයි. කොයි කාට වූවත් එක්තරා ප්‍රමාණයක බුද්ධියක් උපතින්ම ලැබෙයි. එහෙත් එය සඵල වූ ජීවිතයකට ප්‍රමාණවත් නැත. ඇසීමෙන්, බැලීමෙන්, සිතීමෙන්, භාවනාවෙන්, නුවණ දියුණු කරගත යුතු ය. ශ්‍රැතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා යනුවෙන් දක්වන්නේ එයයි. මේ කවර ක්‍රමයකින් හෝ බුද්ධි වර්දනයට රුකුල් දෙනවා නම් එය බුද්ධි චරියාවයි.

අයං නිජ පරොවෙති – ගණනා ලඝු වෙතසාමි
උදාර චරිතානාංතු - වසුධෛව කුටුම්භකම්

යන කියමන ද පරාර්ථ චරියාවේ දී ඉතාම වැදගත් වෙයි. තමන්ගේ කෙනා අනුන්ගේ කෙනා යනාදී වර්ග කිරීමක් නැතිව මුළුමහත් ලෝකයා හටම එකසේ සැලකිය යුතු ය. කාගේත් අර්ථයට යහපතට බාධා නොකොට කටයුතු කළ යුතුය යන්නයි මෙහි අදහස. බෞද්ධ ආචාර ධර්මවලට මෙය බෙහෙවින්ම සැසඳෙන්නකි.

සමාජ ජීවිතයේ දී අන්‍යොන්‍ය උපකාරය, සහජීවනය නැතිව සාර්ථක ලෙස ජීවත් වීමට කිසිම කෙනෙක් අපොහොසත් වෙති. මේ අනුව බෞද්ධ ආචාර මාර්ගයේ උගන්වන පරාර්ථ චරියාව බෞද්ධයින් පමණක් නොව පොදුවේ මුළු මහත් මිනිස් සංහතිය විසින්ම ඇතිකර ගත යුතු පුරුදු කරගත යුතු වැදගත් ගුණ ධර්මයකි. පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ගමකින් ගමකට, පළාතකින් පළාතකට, රටකින් රටකට, අන්‍යොන්‍ය සහයෝගය අතිශයින් අවශ්‍ය වෙයි. කාගේත් දෛනික කර්තව්‍යයන් සාර්ථක කර ගැනීමට එයින් ලැබෙන අනුබලය අසීමිත ය.

පරාර්ථ චරියාවේ යෙදෙන පුද්ගලයා බැඳීම්වලින් මිදුණ තරමට, බාහිර කරදර අඩුවූ තරමට සාර්ථක ලෙසත් නිවැරැදි ලෙසත් එම කාර්යය ඉටුකළ හැකි බව බෞද්ධ දර්ශනය පෙන්නුම් කරයි. වරක් බුදුරජාණන් වහන්සේ “මුත්තොහං භික්‍ඛවෙ සබ්බපාසෙහි යෙ දිබ්බායෙච මානුසා” මහණෙනි, මම දේවමානුෂික සියලුම බැමිවලින් මිදුණෙමි. තෙපිද ඒ සියලුම බැමිවලින් මිදුණාහුය. යනුවෙන් කළ දෙසුමෙන් ඒ බව ප්‍රකාශ වෙයි. බුදුරජාණන් වහන්සේගෙන් හා උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේගෙන් සාර්ථක සමාජ සේවයක් ඉටුවූයේ මෙකී ලක්‍ෂණයන්ගෙන් අනූන නිසා බව පෙනේ. පරාර්ථ චරියාවෙහි යෙදෙන්නෙකු තුළ තිබිය යුතු ගුණධර්ම පවා දැක්වීමෙන් ඒ සඳහා බුදු දහම කෙතරම් සැලකිල්ලක් දක්වා ඇද්ද යන්න පෙන්නුම් කරයි. සමාජ සේවකයෙකු තුළ ‘සද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා, භික්‍ඛු දස්සන කාමතා, සද්ධම්ම සවණ කාමතා ධම්ම ධාරණ අත්ථොපපරික්ඛා ධම්මානු ධම්ම පටිපත්ති” යනුවෙන් ගුණ ධර්ම අටක පිහිටිය යුතු බව දැක්වූහ.

“අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසය”

සමජයේ ඉදිරිමග පෙන්වන්නා විසින් පළමු කොටම ඒ ගුණ දහම් තමා වෙතින් ප්‍රදර්ශනය කළ යුතු ය. එසේ නූනොත් ඒවා වැදි බණ වෙන්නට බැරි කමක් නැත. “ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට” යන්නෙන් පැහැදිලි කරන්නේ ද එයමයි.

ජතදුපකෘතිරෙව බුද්ධ පූජා
තදපකෘතිඞ තව ලොක නාථ පීඩා

යනුවෙන් ලෝකයාට උපකාර කිරීම බුද්ධ පූජාවක් බවත්, ලෝකයාට අපකාර කිරීම බුදුරජුන්ට කරන පීඩාවක් බවත් “ශ්‍රී රාමචන්ද්‍ර කවි භාරතී” පඬිතුමා ප්‍රකාශ කරන්නට යෙදුනේ පරාර්ථ චරියාවෙහි යෙදුණු අංග සම්පූර්ණ ශ්‍රේෂ්ඨ පුද්ගලයා බුදුරජුන් වූ නිසා පමණක් නොව මෙම ගුණ ධර්මය බෞද්ධ ආචාරධර්මයේ විශිෂ්ටතම ලක්‍ෂණයක් හා මූලික පරමාර්ථයක් ලෙස සලකන නිසා ද විය යුතු ය.

අකම්පිත නොවීම

බෝධිසත්වයන් වහන්සේගෙන් පාරමිතා ධර්ම පුරණය කිරීමේ දී සිදුවුණ පරාර්ථ චරියාවද මිල කළ නොහැකිය. “පරොපකාර, පුණ්‍යාය, පාපාය පර පීඩනම්” යන ශ්ලෝක පාදයෙන් කියැවෙන පරිදි පරෝපකාරය පින් සඳහාත් පර පීඩනය පව් සඳහාත් හේතු වෙයි. බෝධිසත්වයන් වහන්සේ හා බුදුරජාණන් වහන්සේ පරාර්ථ චර්යාව සිදු කරද්දී ලැබුණ අනෙක ප්‍රකාර දුක් කරදර නින්දා අපහාස අපමණය. එහෙත් ඒවා ගණන් නොගෙන තව තවත් ධෛර්යය තරකොට පරාර්ථ චරියාව කුළුගැන්වූ අයුරු බුද්ධ චරිතයෙන් පිළිබිඹු වෙයි. වරක් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි දහම් දෙසමින් සිටින විට චිංචිමාණවිකාව බඩෙහි දර මිටියක් බැඳගෙන අවුත්, බණ දෙසුවට මදි, වැදුම්ගෙට වුවමනා කලමනා සූදානම් කරන්නැයි මාගම් චෝදනාවක් එල්ල කළා ය. තවත් වරෙක තිර්ථකයෝ සුන්දරී පරිබ්‍රාජිකාව මරා බුදුන් වැඩ සිටින ජේතවනාරාමයේ මල් අසුන යට වළලා එය බුදුන්ගේ ක්‍රියාවකැයි චෝදනා එල්ල කළහ. මේ හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ පුරුදු කළ කරුණා, ප්‍රඥා පෙරටු කොටගෙන කේසර සිංහ රාජයෙකු මෙන් අකම්පිතව කරගෙන ආ සමාජ සේවය, පරාර්ථ චරියාව වැඩි වැඩියෙන් පලගැන්වූහ. හොඳ වැඩ කිරීමට සමාජයට බැස්ස කොයි කාටත් පටු අදහස් ඇති ඊර්ෂ්‍යා මාත්සර්යාදියෙන් යුත් පුද්ගලයන්ගෙන් පැමිණෙන කරදර බාධක වැළකිය නොහැකිය. සමාජයේ දියුණුව අපේක්‍ෂා නොකරන හොඳ වැඩට අකුල් හෙළන අධමයෝ එදත් අදත් කවදත් ලෝකයේ හිස් නොවෙති.

පරාර්ථ චර්යාවේ අනුසස් පෙන්වූ නෛර්ය්‍යානික බුද්ධ ශාසනයේ නියම දායාදය ලැබූ අය සමාජ දූෂක දුර්ජනයන්ගේ තර්ජන ගර්ජන පසෙක දමා ලොව්තුරා බුදුබව තෙක් ගමන් කරන පරාර්ථ චර්යාව ජීවිතයේ හරය ලෙස සැලකිය යුතු ය.

පරාර්ථ චරියාව යන වචන පවා ශබ්ද කෝෂයට එක්වී ඇත්තේ බෞද්ධ ආචාර විද්‍යාවෙන් බව පෙනේ. බුද්ධ කාලයට පෙර භාරතීය සමාජ තතු විමසන විට එය මැනවින් පැහැදිලි වෙයි.

තත් කාලීන ඉන්දීය සමාජය කුලය, ගෝත්‍රය, පන්තිය, වෘත්තිය යනාදියෙන් පිල්බෙදී භේද භින්නව සිටියා මිස, සමාජ සේවයක් හෝ පරාර්ථ සේවයක් සිදුකොට නැත. සමාජයේම එක් කොටසක් ශුද්‍රයන් යයි කොන් කරමින් ඔවුන් තිරිසනුන්ටත් අන්තයන් ලෙස උගන්වමින්, ආගම ඇදහීමටවත් ඔවුන්ට දේවාලයකට, පූජනීය ස්ථානයකට යාම පවා තහනම් කළහ.

කාටත් සාධාරණ වතුර ටික පවා තමන්ට ඕනෑ හැටියට ප්‍රයෝජන ගන්නට ඉඩ නොදුන්හ. බ්‍රාහ්මණයන්ගේ වේද පාඨයන් ශුද්‍රයකු කීවොත් ඔහුගේ දිව කපා දැමීමටත්, වේද පාඨයක් ඇසුවොත් කනේ ලෝදිය වත් කිරීමටත් ඉගැන්වූහ. එදා සමාජ තත්ත්වය පැවතියේ මෙසේ නම් ආචාර ධර්ම ගැන කතා කරන්නට දෙයක් නැත. සමාජ සේවය පරාර්ථ සේවය යන වචනවල අර්ථ පවා ලෝක සාහිත්‍යයට එක්වූයේ බුදු සසුන ඇරඹීමෙන් පසුවයි. බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ ශ්‍රාවකයන් විසින් එය අර්ථවත් කරන ලදී.

බුදුන් දවසත් ඉන් පසුවත් බුද්ධ ශ්‍රාවකයන්ගේ සමාජ සේවයෙන් ඔද තෙද වූ බෞද්ධ නර ශ්‍රේෂ්ඨයෝ තව තවත් ඒවා පුළුල් කළහ. විශේෂයෙන් බුද්ධ ධර්මයේ නියම දායාදය ලැබූ ධර්මාශෝක රජතුමාගේ බෝසත් සිරිත ආදර්ශයට ගෙන සමාජයට ඉමහත් සේවයක් ඉටු කළහ. තිරිසන් සතුන්ගේ පවා යහපත උදෙසා ආරෝග්‍යශාලා පවා කරවූ බවත් ‘සවෙ මුනිසේ පජා මම’ යනුවෙන් රටේ ජනතාව තමාගේ දරුවන් යන හැඟීමෙන් මුළු මහත් භාරතීය ජනතාවට ම එක සමානව සැලකූ බවත් ශිලා ලිපි මගින් පෙන්නුම් කරයි. මේ හැරුණු විට දුටුගැමුණු, සද්ධාතිස්ස, බුද්ධදාස වැනි බෞද්ධ පරහිතකාමී නර ශ්‍රේෂ්ඨයන් බිහි වූයේ ද බෞද්ධ ආභාෂය නිසාම ය.

මෙතෙක් කරුණු ඉදිරිපත් කළ පරාර්ථ චරියාව බුදුසමයේ එන ඉතා වැදගත් මූලධර්මයක් බව ඔබට දැන් වැටහෙන්නට ඇත. එසේම සසර වසන තුරු නිවන් දකින තුරු ජීවිතයකට අත්‍යවශ්‍ය ගුණාංගයක් බවත් වැටහෙන්නට ඇත. එබැවින් මේ කරුණු සලකා බලා ඔබ සමාජයේ කවර තරාතිරමේ පුද්ගලයකු වූවත් ඔබට කළ හැකි පරාර්ථ සේවයක් ද ඇත.

එය නොපිරිහෙළා ඉටු කොට ජීවිතය සාර්ථක කර ගන්න. – පරත්‍ථං පටි පජ්ජථ
(සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා)