කාලාම සූත්‍රයෙන් හෙළිවන සැබෑ දහම
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ලෝකයේ බොහෝ ආගම් තිබෙනවා. ඒ ඒ ආගම් සරණ ගිය පිරිස ඒ ආගම් ලෝකය පුරා
නොයෙක් අයුරින් ප්‍රචාරය කරනවා. එවිට මේ ලෝකයේ ජීවත් වන අය හැටියට අපට
ඒ නානා ප්‍රකාර වූ ආගමික මතවලට සවන් දෙන්න ලැබෙනවා. එවිට හරි දේ
කියන්නේ කවුද කියා අපට තේරම් ගන්න අපහසු යි.
ඇතැම් අය ආගම අදහන්නේ සොයන්නෙ, බලන්නේ, විමසන්නේ නැතුව තමන්ගේ
පරම්පරාවෙන් ආපු ආගම අදහනවා. නමුත් නානාවිධ ආගමික ඉගැන්වීම් අසන්න
ලැබෙද්දී ඤාණවන්ත කෙනෙක් නුවණින් විමසිය යුතු ආකාරය තථාගතයන් වහන්සේ
කාලාම සූත්‍රයේ දී පෙන්වා දුන්නා. බොහෝ දෙනෙක් මේ දේශනාව වටහාගෙන
තිබෙන්නේ වැරැදි ආකාරයට යි. ‘බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා’
කියලා ධර්මයේම සඳහන් වෙනවා කියලා ධර්මය ප්‍රතික්ෂේප කරලා තමන්ගේ
මිත්‍යා මත පතුරුවන්න ඇතැම් විට ඔවුන් මේ දේශනය පාවිච්චි කරනවා.
තථාගතයන් වහන්සේ එක්තරා කාලයක විශාල භික්ෂූ පිරිසක් පිරිවරාගෙන කොසොල්
ජනපදයේ චාරිකාවේ වඩිද්දී කොසොල් ජනපදයේ තිබුණ ‘කාලාම’ කියන ජනතාව වාසය
කරන ‘කේසපුත්ත’ කියන විශාල ගමකට. තථාගතයන් වහන්සේ වැඩම කළා. ඒ ගම පුරාම
උන්වහන්සේ ගැන කල්‍යාණ කීර්ති රාවයක් පැතිරැණා. මේ ගමේ පිරිස්
කණ්ඩායමක් උන්වහන්සේ බැහැ දකින්න ගිහින් වන්දනා කර ස්වාමිනි, මේ
‘කේසපුත්ත’ ගමට එක එක ජාතියේ ආගම්වල අය එනවා. ඇවිත් කියනවා ‘අපි කියන
දේ විතරයි හරි. අනික් ඒවා ඔක්කෝම හිස්’ කියලා. ඒ උදවිය ඉස්මතු කර
පෙන්වන්නේ තමන්ගේ මතයම යි. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා.
හෙළා දකිනවා, පරිභව කරනවා. ස්වාමිනි, ඒ පිරිස ගියාට පස්සේ තවත් ආගමික
පිරිස් එනවා. ඒ අයත් ස්වාමිනි,එවිට අප තුළ සැකයක්ම යි ඇතිවන්නේ.
විචිකිච්ඡාවක්මයි ඇතිවන්නේ. මේ අයගෙන් කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු
කියන්නේ කියලා?
ඊටපස්සේ තථාගතයන් වහන්සේ වඳළා කාලාමයෙනි, ඔබ සැක හිතන්න ඕන තැනම යි සැක
කර තිබෙන්නේ. විචිකිච්ඡාව ඇතිවිය යුතු තැනමයි විචිකිච්ඡාව ඇති වී
තිබෙන්නේ. කාලාමවරුනි, අහපු පමණින් ගන්න එපා, පරම්පරාවෙන් ආ පමණින් ගන්න
එපා, මෙහෙම වුණා කියු පමණින් ගන්න එපා,අපේ පොත්වල තිබෙනවා කියූ පමණින්
ගන්න එපා, තර්කයට ගැලපෙනවාය කියා ගන්නත් එපා, න්‍යායට ගැලපෙනවාය කියා
ගන්නත් එපා, කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා, දෘෂ්ඨියට
බැසගෙන ගන්නත් එපා, බලාගෙන ගියහම ඒකත් හරිනේ කියා ගන්න එපා, ඔය කරුණු
කියන කෙනා අපගේ ගුරුවරයා කියා ගන්නත් එපා ,
පින්වත් කාලාමවරුනි, යම් කාලෙක මා තමා තුළින්ම දැන ගන්නවා නම්, මේවා
අකුසල් ධර්මයන්, මේවා වැරැදි දේ , මේවා නුවණැත්තන් විසින් ගරහන දේවල්
, මේවා සමාදන් වෙලා හිටියොත් බොහෝ අහිත පිණිස දුක් පිණිස පවතිනවා ,
කාලාමයෙනි, අන්න ඒ දේවල් දුරු කරන්න,වැටහුනා නේද බුදුරජාණන් වහන්සේ
තමන් තුළින්ම නුවණින් විමසන හැටි දේශනා කර තිබෙන ආකාරය.
තථාගතයන් වහන්සේ අසනවා කාලාමයෙනි, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? මේ සිිතක
ඇතිවන ලෝභය මනුෂ්‍යයාගේ සිතේ ඇතිවන්නේ යහපත පිණිස ද? අයහපත පිණිස ද?
ස්වාමිනි, අහිත පිණිස යි. කාලාමයෙනි, ලෝභයෙන් සිටින පුද්ගලයා යි
ප්‍රාණඝාතය කරන්නේ, සොරකම, වැරැදිකාම සේවනය කරන්නේ. බොරු කියන්නේ. අන්
අයවත් ඒ දුෂ්චරිතයෙහි සමාදන් කරවන්නේ. එය ඔහුට බොහෝ කලක් අහිත පිණිස
දුක් පිණිස පවතිනවා. පින්වත් කාලාමවරුනි, මේ ගැන කුමක්ද සිතන්නේ?
පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ ද්වේශය උපදින්නේ ඔහුට හිතසුව පිණිස ද?
අහිත පිණිස ද? ස්වාමිනි, අහිත පිණිස යි. කාලාමයෙනි, ද්වේශ සහගත කෙනා
යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම් එබඳු
ප්‍රාණඝාතත් කරනවා. සොරකම් කරනවා. පරස්ත්‍රී සේවනයේත් යෙදෙනවා. බොරුත්
කියනවා. අන් උදවියත් ඒ දුෂ්චරිතයෙහි සමාදන් කරවනවා නේද? ‘එසේ
ස්වාමිනි’.
මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ මෝහය ගැනත් විමසා සිටියා. ඉන්පස්සේ
උන්වහන්සේ අහනවා පින්වත් කාලාමවරුනි, මේ ලෝභය, ද්වේශය මෝහය ,
ප්‍රාණඝාතය, සොරකම, පරස්ත්‍රී‍්‍ර සේවනව, බොරුකීම, අන්අය දුශ්චරිතයේ
සමාදන් කරවීම ආදිය කුසල් ද? අකුසල් ද? ‘ස්වාමිනි අකුසල්’ වරදින්
යුක්තයි ද? වරදින් තොරයි ද?’ ‘ස්වාමිනි වරදින් යුක්තයි’ ‘නුවණැත්තන්
විසින් ගරහන දේවල් ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු දේවල් ද?’
‘නුවණැත්තන් විසින් ගරහා තිබෙන්නෙ. මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළොත්
අහිත දුක් පිණිස පවතී ද? හිතසුව පිණිස පවතී ද? ‘ස්වාමිනි, ඔය දේවල්
සමාදන් වෙලා පුරුදු කළොත් අහිත දුක් පිණිස පවතිනවා කියලයි අපටනම්
හිතෙන්නේ.
දැන් ඔබට වැටහෙනවාද තථාගතයන් වහන්සේ කාලාම සූත‍්‍රයෙන් කෙතරම් පැහැදිලි
දෙයක් වදාළා ද කියා.
ඊළඟට උන්වහන්සේ වදාළා කාලාමවරුනි, ඇසූ පමණින් ගන්න එපා. තර්කයට ගැලපුනා
කියා න්‍යායට ගැලපුනා කියා ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපුනා
කියා ගන්නත් එපා. මේ අපේ ගුරුවරයානේ කියා ගන්නත් එපා. කාලාමයෙනි, යම්
විටෙක මේවා කුසල්, මේවා වරදින් තොර යි. මේ දේවල් නුවණැත් විසින්
ප්‍රශංසා කරලයි තිබෙන්නේ. මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළොත් හිතිසුව
පිණිස පවතිනවා කියා ඔබටම තමා තුළින් වැටහෙනවා නම් ඒවා ඔබ තුළ ඇතිකරගෙන
වාසය කරන්න.
කාලාමයෙනි, පුද්ගලයෙකුගේ සිත තුළ උපදින අලෝභය, අදේවේශ, අමෝහය ඔහුට
යහපත පිණිස ද පවතින්නේ? අයහපත පිණිස ස්වාමිනි, යහපත පිණිස යි.
කාලාමයෙනි, ලෝභ, ද්වේශ, මෝහ වලින් යට නොවුණ සිත ඇති කෙනා යම් දෙයක්
ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා නම් ඒ නිසා ප්‍රාණඝාතත් කරන්නේ
නැහැ. සොරකම් කරන්නෙත් නැහැ. පර ස්ත්‍රී සේවනයේ යෙදෙන්නෙත් නැහැ. බොරු
කියන්නෙත් නැහැ. අන් උදවිය ඒ සුචරිතයෙහි සමාදන් කරවනවා නේද? එසේය
ස්වාමිනි.
‘කාලාමයෙනි, ඔය දේවල් (අලෝභය, අද්වේශය, අමෝහය) කුසල් ද? අකුසල් ද?
‘ස්වාමිනි කුසල්. ‘වරදින් යුක්තයි ද? වරදින් තොරයි ද?’ ‘ස්වාමිනි
වරදින් තොරයි.’ ‘නුවණැත්තන් විසින් ගරහපු දේවල් ද? නුවණැත්තන් විසින්
ප්‍රශංසා කරපු දේවල් ද?’ ‘ස්වාමිනි නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ
දේවල්’. මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළොත් හිතසුව පිණිස පවතිනවා ද?
නැද්ද? ‘ස්වාමිනි මේ දේ සමාදන් වෙලා පුරුදු කළොත් හිතසුව පිණිස
පවතිනවා කියලයි අපට නම් සිතෙන්නේ.’
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ‘ඒ නිසා කාලාමයෙනි, ශ්‍රැතවත් ආර්ය
ශ්‍රාවකයා ලෝභ, ද්වේශ, මෝහ බැහැර කරලා මනා සිහිනුවණින් යුතුව දස
දිශාවටම සකල ලෝකයටම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම
විහරණ පතුරුවාගෙන වාසය කරනවා. කාලාමයෙනි, ඒ ආකාරයට ආර්ය ශ්‍රාවකයා දස
දිසාවටම සිව් බඹ විහරණ පතුරුවාගෙන වාසය කිරීම නිසා එයාට මේ ජීවිතයේදී ම
සැනසිලිදායකව වාසය කරන්න පුලුවන්.
ඉතින් මේ දේශනාවට සවන් දීපු ඒ කේසපුත්ත ගමේ සිටි කාලාමයන් තෙරුවන් සරණ
ගිය ශ්‍රාවකයෝ බවට පත්වුණා. මේ ලෝකයේ යමෙක් ලෝභ, ද්වේශෂ, මෝහ ප්‍රහාණය
කිරීම පිණිස ධර්මය දේශනා කරනවා ද? අන්න ඒ ධර්මයට තමා ‘ස්වක්ඛාත’
(මනාකොට දේශනා කළ) ධර්මය කියන්නේ. යම් කෙනෙක් මේ ලෝභ, ද්වේශ, මෝහ
ප්‍රහාණය කිරීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා නම් ඒ අයට තමා ‘සුපටිපන්න’
කියා කියන්නේ. යම් කෙනෙක් ලෝභ, ද්වේශ, මෝහ තම සිත තුළින් මුළුමණින්ම
ප්‍රහාණය කරලා නැවත හට නො ගන්න තත්ත්වයට පත් කළා නම් ඔහුට කියන්නේ
‘සුගත’ කියලා.
එනිසා ඔබටත් මේ දේශනාවේ සඳහන් කරැණු ඔබේ ජීවිතය තුළ පුරැදු කරගෙන මෙලොව
පරලොව ජීවිත සුවපත් කර ගන්නට වාසනාව උදාවේවා.
සටහන
නයනා නිල්මිණි |