Print this Article


ලෝකය සමඟ නොගැටෙන පිවිතුරු දිවි පෙවෙත

ලෝකය සමඟ නොගැටෙන පිවිතුරු දිවි පෙවෙත

ලොව පවතින සියලු දේවලට පොදු වූ අනිත්‍යතාව ගැන නුවණින් කල්පනා කිරීමෙන් අරමුණු කෙරෙහි ඇතිවන අහිතකර මානසික බැඳීම නැතිකර ගන්නට පුළුවන. මනැසේ හැසිරීම අනුව කිසියම් කෙනකු පි‍්‍රය මනාප වශයෙන්  සලකන අරමුණු තවත් කෙනෙකුට අපි‍්‍රය අමනාප වන්නට පුළුවන. එකම දෙයක් ගැන එකිනෙකා සිතන හැටි වෙනස් ය. එය තේරුම් නොගෙන ක්‍රියා කිරීමෙන් ගැටුමක් හටගන්නට ඉඩ ඇත.

මිනිසා දකින ලෝකය සංකල්ප ඇසුරෙන් මනැසෙහි මවාගත් එකකි. විදර්ශනා භාවනාවෙන් නුවණ දියුණුකර නොගත් කෙනෙකුට ලෝකයේ සැබෑ ස්වරූපය පෙනෙන්නේ නැත. ඇස්,කන්,නාසය ආදී පසිඳුරන් සමඟ රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු ගැටුණ විට ඒ පිළිබඳව මනැසට ලැබෙන සංඥාව ඔස්සේ යමින් ඒ ගැටීමෙන් ඇතිවුණ වේදනාව කෙබඳු දෙයක් දැ යි මනැස මඟින් විමසා බැලීම සිදු කෙරේ. (චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා -මධුපිණ්ඩික සූත්‍රය) මනැසට දැනුන වේදනාව පිළිබඳව තීරණය ගැනීම සිදුකෙරෙන්නේ යම් යම් දේවල් සම්බන්ධයෙන් පෙර අත්දැකීම් අනුව ගොඩනැඟී තිබෙන හැඟීම්,සංකල්ප, මිනුම් දඬු ලෙස යොදා ගැනීමෙනි. මෙය බුදුදහමේ පැහැදිලි කරන මූලික කාරණයකි.

‘ගින්දර’ යන වචනය ඇසුණු කෙණෙහිම එය තද උණුසුම් සහිත, සිරුර පිලිස්සෙන හානිකර දෙයක් බව අපේ මනැසට නිරායාසයෙන් දැනෙයි. ඒ නිසා ගින්දරෙන් ඈත්වන්නට වෑයම් කිරීම සිදුවෙයි. එසේ කරන්නේ ගින්දර පිළිබඳ පෙර අත්දැකීම් අපේ මනැසෙහි තිබෙන බැවිනි. එහෙත් ගින්දර සම්බන්ධ අත්දැකීමක් නොමැති බිලින්දකු ගින්දර ඇල්ලීමට ඉඩ ඇත. ඒ පිළිබඳව ගොඩනැගුන සංකල්ප හෙවත් හැඟීම් ඔහුගේ සිතෙහි නොමැති නිසයි. බිලිඳු සිත පැහැපත් ය. එය කිලිටි වන්නේ බාහිර ලෝකය සමග ගැටීම හේතුවෙනි. (පභස්සරමිදං භික්ඛවේ චිත්තං තං ච ඛෝ පන ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨං) අප උපන් දා සිට සිදුකරන්නේ ලෝකයේ නොයෙක් දේ පිළිබඳ සංකල්ප මනැසෙහි තැන්පත් කරගැනීමයි. මිනිසුන් කවුරුත් ලොව හැසිරෙන්නේ හැඟීම් පදනම් කරගෙන බව එයින් පැහැදිලි යි.

ලෝකය පවත්වා ගෙන යන්නේ මනැස මඟිනි. (චිත්තේන නීයතී ලෝකෝ) ලෝකය පිළිබඳව ගොඩනැඟෙන නොයෙක් අන්දමේ සිතිවිලිවලට අවනත වී හිතුමතයට හැසිරීම් තමන්ගේ මෙන්ම සමාජයේ ද පැවැත්මට හානිකරය. ලෝකයේ ස්වභාව ගැන නිවැරැදි අවබෝධයක් හා සමාජයේ යහපතට හේතුවන හැඩගැස්මක් මිනිසකු තුළ තිබිය යුතුය. ඒ නිසා ගුරුදෙගුරුන් මඟින්, අධ්‍යාපනය මඟින් හා බොහෝ දෙනා පිළිගන්නා පොදු තීරණ,ආචාර ධර්ම,හොඳ නරක, නීති රීති, මඟින් මිනිසකුගේ හැඟීම් පාලනය හා විධිමත් කිරීම සිදුවෙයි.

ඇසට රූපයක් ගොදුරු වූ විට මනැසෙන් තර්ක විතර්ක කිරීමෙන් පසු එය තමන් සැප යැයි හිතන දෙයක් නම්, තණ්හාවෙන් ,ආශාවෙන් ඒ සමඟ බැඳෙයි. සැප වේදනා ගෙන දෙනවා යැයි සිතා ගත් රූපයක් නම් එමඟින් තවත් ඇස පීනවීමට ඒ පසුපස ලුහුබඳියි. කන, නාසය, ආදි අනෙකුත් ඉඳුරන් සමඟ ගැටෙන අරමුණු සම්බන්ධයෙන් ද මිනිසා හැසිරෙන්නේ ඒ අයුරිනි. තමන් පි‍්‍රයකරන වස්තු තමන් සතුකර ගත්තත් මිනිසකුගේ තණ්හාව කෙළවර වන්නේ නැත. රන් කහවනු වැසි වැස්සත් තණ්හා භරිත මිනිසා තෘප්තිමත් වන්නේ නැත. ඔහු සිතා සිටින සැපය එහි නොමැති බැවිනි. ඒ නිසා ඔහුගේ මනැස හැමදා ම හිස් වූවකි. සතුටින් පිරෙන්නේ නැත. ඔහු කටයුතු කරන්නේ තණ්හාවේ දාසයකු මෙනි. (ඌණො ලෝකො අතිත්තෝ තණ්හා දාසෝ)

ඇසට රූපයක් අරමුණ වූ විට සිතේ පැළපදියම් ව තිබෙන අත්දැකීම් අනුව ඒ අරමුණ ගැන අකැමැත්තක් අමනාපයක් ඇතිවන අවස්ථා ද තිබේ. ඇසට ගොදුරු වුණේ තමන් ඇකැමැති පුද්ගලයකු වන්නටද පුළුවන. එවිට සිතෙහි ඇතිවන්නේ තරහකි. වෛරයකි. දරුණු වේදනාවකි. ඒ නිසා, ඇස ගැටුන දසුන පිළිකෙව් කරන්නට වෙහෙසෙයි. පසිඳුරන්ට ගොදුරුවන අනෙකුත් දේවල් සම්බන්ධයෙන්ද මිනිසා කටයුතු කරන්නේ ඒ අයුරිනි. පි‍්‍රය, අපි‍්‍රය, සැප දායක, දුක් සහිත වශයෙන් ලෝකයේ තිබෙන දේ බෙදා ගනිමිනි. ඇසින් රූපයක් දුටු විට එය පි‍්‍රය දෙයක් නම්, එහි ඇලෙයි. අපි‍්‍රය දෙයක් නම් එයට වෛර කරයි. (සෝ චක්ඛුනා රූපං දිස්වා පියරූපේ සාරජ්ජති.අප්පිය රූපේ ව්‍යාපජ්ජති) ඒ අරමුණු කෙරෙහි දක්වන නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහු සිත කිලිටි කරගනියි. පසිඳුරන්ට ගොදුරුවන කාම වස්තු ලෙස සැලකෙන අරමුණ ඇසුරෙන් සැප විඳින්නට දක්වන ආශාව නිසා, ඒවා තමන් සතු කරගැනීමේ අදහසින් ඇතැම් අය දරුණු ක්‍රියාවලට පෙළඹෙති. බුදුදහමේ සඳහන් අන්දමට, පිරිමියකු වැඩියෙන්ම ඇල්මක් දක්වන්නේ කාන්තාව කෙරෙහිය. කාන්තාව තුළ පස්කම් සැපයම පවතින බැවිනි. (පඤ්ච කාම ගුණා ඒතේ ඉත්ථි රූපස්මිං දිස්සරේ) ඒ හේතුවෙන් සමාජයේ බොහෝ ගැටුම්වලට කාන්තාව මුල්වන බවක් ද පෙනේ. ජාති, ජරා, මරණ දුක් පීඩා සහිත සසර පැවැත්ම සිදුවන්නේ පසිඳුරන් හා ගැටෙන අරමුණු කෙරෙහි පුද්ගලයා දක්වන ප්‍රතිචාර පදනම් කරගෙනය. (ජරා, මරණ, දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති- මහා තණ්හාසංඛය සූත්‍රය)

පසිඳුරන් පිනවමින් මනැස තෘප්තිමත් කරන්නට මෙන් ම තමන් ඇකැමැති දේ නැතිකරන්නට දරන වෑයම නිසා මිනිසා නිරතුරුවම ගැටලුවලට මුහුණ දෙයි. ඒවා මානසික අර්බුද බවට පත්ව නොයෙක් අයුරින් ප්‍රතික්‍රියා දක්වයි. එය සමාජයට බලපායි. මනුෂ්‍ය ඝාතන, සොර මැරකම්, ස්ත්‍රි දූෂණ ආදිය එහි ප්‍රතිඵලයයි. ලෝකය විසිතුරු ලෙස පෙනුනත්, මිනිසා සිතන තරම් එය සුන්දර නැත. ලොව සැම දෙය ම වෙනස්වන සුළුය. එය දුකකි. නුවණැත්තන් කරන්නේ පසිඳුරන් ඇසුරෙන් මනැසට ලැබෙන දේ සමඟ තණ්හාවෙන් නොබැඳී, නොඑල්ලී මනැස මැනැවින් පාලනය කරගැනීමය. එවිට දුක්වේදනා ඇති නොවන බව බුදුරදුන් දේවතා සංයුත්තයේ ‘න සන්ති’ සූත්‍රයෙහි පැහැදිලි කර ඇත.

තෘෂ්ණාව,ද්වේෂය වැනි නපුරු කෙලෙස් මනැස තුළ උත්සන්නවීම නිසා ඇතිවන අභ්‍යන්තර හා බාහිර අර්බුද මැඩපැවැත්වීමට නම් මනැස පාලනය කළ යුතුවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු මූලික උපදෙස් කිහිපයක් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

1. නපුරු හැගීමක් ඇති වූ විට එහි විරුද්ධ පැත්ත ගැන කල්පනා කිරීම
2. අරමුණු සමඟ බැඳීමෙන් සිදුවන හානිය ගැන මෙනෙහි කිරීම
3. සිත වෙනත් අරමුණක් කෙරෙහි යොමුකිරීම
4. එම නරක හැඟීම ඇති වූ ආකාරය ගැන නුවණින් විමසා එයින් මිදීම
5. සිතේ දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇති කර ගැනීම

ලොව පවතින සියලු දේවලට පොදු වූ අනිත්‍යතාව ගැන නුවණින් කල්පනා කිරීමෙන් අරමුණු කෙරෙහි ඇතිවන අහිතකර මානසික බැඳීම නැතිකර ගන්නට පුළුවන. මනැසේ හැසිරීම අනුව කිසියම් කෙනකු පි‍්‍රය මනාප වශයෙන් සලකන අරමුණු තවත් කෙනෙකුට අපි‍්‍රය අමනාප වන්නට පුළුවන. එකම දෙයක් ගැන එකිනෙකා සිතන හැටි වෙනස් ය. ස්වාමියා පි‍්‍රය කරන දෙය බිරිඳට අප්‍රසන්න වන්නට පුළුවන. එය තේරුම් නොගෙන ක්‍රියා කිරීමෙන් ගැටුමක් හටගන්නට ඉඩ ඇත. ඉන්ද්‍රිය බද්ධ ලෝකයේ විවිධ කාරණා සම්බන්ධයෙන් සිත පාලනය කරගන්නට හැඩගැසිය යුත්තේ එබැවිනි.

ලෝකයේ පවතින විවිධ කාරණා නිසා මතුවන සංකල්ප, මතවාද සමග දැඩිව බැඳුණු මිනිස්සු ගැටුම්, අඩදබර, කෝලාහල ඇතිකරමින් ලොවෙහි හැසිරෙති. (සඤ්ඤං ච දිට්ඨිං ච යේ අග්ගහේසුං - තේ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ) කෙනකු කලක් අපි‍්‍රය කළ, අකැමැති, වුණ දෙය පසුව ඔහුට පි‍්‍රයමනාපවන්නටත් පුළුවන. එය මිනිස් සිතේ ස්වභාව යි.ලොව කිසිවක් ස්ථිර නැත. එනිසා තාවකාලික අදහස්, හැඟීම් හේතුවෙන් ගැටුම්, අමනාපකම් ඇතිකරගැනීම තේරුමක් නැති දෙයකි.

බුදුදහමේ අවසාන ඉලක්කය වන්නේ නිවන් සැපත ළඟා කරගැනීම යි. එය කළහැක්කේ ලොව පවතින දේ කෙරෙහි සිතෙහි පවතින තණ්හා මූලික බැඳීම මුළුමනින්ම නැතිකිරීමෙනි. අපිරිසුදු මඩ ගොහොරුවෙන් මතු වී මඬෙහි නොගෑවි බැබළෙන පියුමක් මෙන්, ලෝකයේ පවතින විවිධ අරමුණු සමඟ බද්ධ නොවී, තණ්හාවෙන් වෛරයෙන් මිදුණු පිවිතුරු සිතකින් දිවි පෙවෙත ගතකරන්නට අප වෑයම් කළ යුතුය. එම ජීවන රටාව හැඳින්වෙන්නේ පද්මාකාර ප්‍රතිපදාව යනුවෙනි.