Print this Article


 

මේ තුන්ලෝ තලය මෙත් ජලයෙන් තෙමා ලූ අපේ බුදුරජාණන් වහන්සේගේ තවත් උතුම් දේශනාවක් තමයි ඔබ වෙත මේ ප්‍රකාශ කළේ. මේ සූත්‍ර පාඨය දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයට අයත් වෙනවා. වරක් “ චම්පා නුවර” විසූ මහත් පිරිවර මෙන්ම කීර්තියක් ඇතිව සිටිසෝණදණ්ඩ බමුණාටයි මේ දේශනාව කර තිබෙන්නේ.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“එවමෙතං බ්‍රාහ්මණ සීලපරිධොතං හි බ්‍රාහ්මණ, පඤ්ඤා, පඤ්ඤා පරිධොතං සීලං, යත්ථ සීලං තත්ථ පඤ්ඤා, යත්ථ පඤ්ඤා තත්ථ සීලං යත්ථ පඤ්ඤා, තත්ථ සීලං”

වාසනාවන්ත පින්වත

මේ තුන්ලෝ තලය මෙත් ජලයෙන් තෙමා ලූ අපේ බුදුරජාණන් වහන්සේගේ තවත් උතුම් දේශනාවක් තමයි ඔබ වෙත මේ ප්‍රකාශ කළේ. මේ සූත්‍ර පාඨය දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයට අයත් වෙනවා. වරක් “ චම්පා නුවර” විසූ මහත් පිරිවර මෙන්ම කීර්තියක් ඇතිව සිටි සෝණදණ්ඩ බමුණාටයි මේ දේශනාව කර තිබෙන්නේ. මෙම පාඨයෙන් පැහැදිලි කර දෙන්නේ කුමක්දැයි කියා අපි බලමු. සැබවින්ම මේ පාඨයෙන් අපේ බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වසරක් තුළ මුළු බුද්ධ ජීවිත කාලය තුළම දේශනා කළ දහම හකුළුවා තිබෙනවා කියා කීවොත් නිවැරැදි යැයි මම කල්පනා කරනවා. ඇයි මම එහෙම කියන්නේ. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සෝණදණ්ඩ බමුණාට ප්‍රකාශ කරනවා බමුණ, ඒක මෙන්න මෙහෙමයි, ප්‍රඥාව සීලයෙන් පිරිසුදු වෙනවා. “ සීලය ප්‍රඥාවෙන් පිරිසුදු වෙනවා. සීලය ඇති පුද්ගලයාට ප්‍රඥාව තිබෙනවා. ප්‍රඥාව ඇති අයට සීලය තිබෙනවා.” මේ ධර්මතා එකකින් එකකට වෙන් කරන්න බැහැ. නිර්වාණගාමී ප්‍රතිපදාවේ ප්‍රධානම ගුණධර්ම දෙක වන්නේත් මේ කරුණු දෙකයි.

මුලින්ම පැහැදිලි කළ පරිදි අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ සෝණදණ්ඩ බමුණා අරමුණු කරගෙනයි. එක් කාලයක බුදුරජාණන් වහන්සේ චම්පා නුවර “ගර්ගරා” නම් පොකුණ ආශ්‍රයෙහි වැඩ වාසය කරන සමයෙහි ඒ අසල ගමක වැසි මහත් පිරිස් සහිතව සිටි සෝණදණ්ඩ නම් බමුණා මේ දේශනාවට නිමිත්ත වුණා. සෝණදණ්ඩ බමුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලිව වටහා ගත් දෙයක් තමා බුදුරජාණන් වහන්සේගේ දහමෙහි පරම සත්‍ය ස්වභාවය. එහෙත් මහත් පිරිස් ඇති බමුණාට තිබුණ එකම බාධාව තම සිත තුළ පැවැති බමුණු මානයයි. බමුණාගේ සිතට වධයක් වූයේ බුදුරජාණන් වහන්සේගේ දහමෙහි යථාර්ථය හරිහැටි පැහැදිලි වුවත්, මහත් පිරිස් ඇති තමා මෙතෙක් බ්‍රාහ්මණයෙකු වශයෙන් ගත් බමුණු මතය එක්වරම එළිපිට ප්‍රතික්ෂේප කර බුද්ධ මතය කෙසේ නම් පිළිගන්නේ ද? කියන කරුණයි. එය තමන්ගේ මහත් වූ කීර්තියට නිගාවක් ද වනවා.

සෝණදණ්ඩ සූත්‍රයට පසුබිම් වූ නිදාන කථාව දෙස මැනවින් බලනවිට බමුණාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ යම් පැහැදිලි වැටහීමක් තිබුණ බව ප්‍රකාශ වෙනවා. ඒ නිසා බමුණා තමා වටා සිටින තමන්ගේ ශ්‍රාවක පිරිස විසින් බුදුරජාණන් වහන්සේ හමුවෙහි තමන්ගේ අනුශාසක මේ බමුණා බුද්ධ ශ්‍රාවකයෙකු බවට පත්වෙයි යන බියෙන් කෙතරම් ඔවුන් විසින් වැළැක්වුවත් තම පිරිස සමඟ බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් උන්වහන්සේගේ දහම ඇසීමෙන් එහි යථාර්ථය මැනවින් වටහා ගත්තා. එපමණකුත් නොවේ තම පිරිස සමඟ බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහමෙහි ශ්‍රේෂ්ඨත්වය පිළිගෙන වාද විවාද කළා. මේ කුමක් කළත් බමුණාට හැම විටම සිතේ පහළ වූ විතර්කය තමා මෙච්චර පිරිස් ඇතිව සිටින මට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන දහම එළිපිටම පිළිගැනීමෙන් පුංචි මදිකමක් නේද? යන්න. මේ නිසා බමුණාගේ පිළිවෙත වූයේ ප්‍රසිද්ධියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළි නොගෙන හොර රහසේ පමණක් බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීමට කල්පනා කිරීම. මේ නිසා දවසක් තම පිරිසටත් නොදන්වා බුදුරජාණන් වහන්සේ හමුවන බමුණා බුදුරජාණන් වහන්සේට රහසක් ලෙස මෙහෙම ප්‍රකාශ කරනවා.

“ යම් දවසක ඔබවහන්සේ යම් තැනකදී දුටුවොත් ඔබ වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය නිසාම මට ඔබ වහන්සේට ගරු බුහුමන් දැක්වීමේ සිතිවිල්ල ඇති වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක මම ඔබ වහන්සේට නමස්කාර කරන්න එළිපිටම ඉක්මන් වන්නේ නැහැ. මම එවැනි අවස්ථාවක කරන්නේ මගේ හිසේ තිබෙන ජටාව ඉවත් කිරීම පමණයි. මා වාහනයකින් ගමන් කරනවිට ඔබ වහන්සේ පාගමනින් යන අවස්ථාවක් මම දුටුවොත්, මම එවැනි අවස්ථාවක කරන්නේ මම වාහනයෙන් බැස ඔබ වහන්සේට ගරු කළොත් ,මා සමඟ එන පිරිස මට ගරහන නිසා මම මගේ අතේ තිබෙන කෙවිට පමණක් ඔසවලා, එවිට මම ඔබවහන්සේට ගරු කළ බව පමණක් ඔබ වහන්සේ සිතා වදාළොත් හොඳයි.”

මේ ආකාරයෙන් මේ සෝණදණ්ඩ බමුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැබෑවටම තම චිත්ත සන්තානයෙහි ඇති වන ගෞරවය ප්‍රකාශ කරන්නේ බමුණාගේ සිතේ ඒ සමඟ ම ඇති වන පුහු බමුණු මානය ද පෙරදැරි කරගෙනයි. මේ තත්ත්වය අපේ අටුවා සාහිත්‍යයෙන් පැහැදිලි කරන්නේ එදා බමුණු දහමේ පැවැති කුහක ප්‍රතිපත්තිය ලෙසයි.

මෙහිදී අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අපට පැහැදිලි කර දෙනු ලබන ධර්මානුකූල දේශනාව යි. සෝණදණ්ඩ සූත්‍රයට අනුව මේ බමුණාට බුදුරජාණන් වහන්සේ ගැන යම් පමණක නිවැරැදි වැටහීමක් තිබුණා. ඒ නිසා තමා වටා සිටින පිරිස කෙතරම් වැළැක්වුවත් බුදුරජාණන් වහන්සේ හමුවීමටත් ගියා. එපමණකුත් නොවේ තම පිරිස සමග කීපවරක්ම බුදුරජාණන් වහන්සේගේ උසස් බව පැහැදිලි කරමින් වාද විවාදත් කළා. ඒ වෙන කොටත් බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කර දී තිබුණ ශීලය හා ප්‍රඥාව පිළිබඳ බමුණාට යම් වැටහීමක් ඇති වී තිබුණා. මේ අවස්ථාවේදී බමුණාට කොපමණ වූ දැනුමක් බුදු රජාණන් වහන්සේ පිළිබඳ තිබුණත්, එක්වරම බුද්ධමතය අනුව කටයුතු කිරීමට තරම් බමුණු මානය ඉඩ දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමාගේ යටහත් බව, සුවච බව පෙනෙන්නට ඉඩ හැරියොත් තම පිරිස වෙතින් එතෙක් තමා ලද ගරු බුහුමන් අහිමිවන බවත්, ඒ නිසා සමාජයේ එතෙක් තමා මවා ගෙන තිබුණු ප්‍රතිරූපය නැති වන බවත් දන්නා බමුණාට ඒ පිළිබඳ යටි සිතේ අසතුටක් ඇති වී තිබුණා. එපමණක් නොවේ මෙහෙම ගියොත් එතෙක් තමා සමාජයේ ලබා තිබුණු ප්‍රභූ®ත්වය තමාට අහිමි වන බව බමුණාට පැහැදිලි වුණා. මේ නිසා බමුණා ගත් මඟ තමා කාටවත් නොදැනෙන විදියට හොර රහසේ බුදුරජාණන් වහන්සේට පමණක් දැනෙන විදියට උන්වහන්සේට ගරු බුහුමන් දැක්වීමට සංකේතාත්මකව හිසෙන් ජටාව ඉවත් කිරීම, තම අතේ තියෙන කෙවිට ඉහළ නැංවීම ආදී ක්‍රියාවන් කළා.

මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බමුණාට පැහැදිලි කර දෙන්නට යන්නේ බමුණා කියන්නේ කුමන ගුණධර්ම ඇති අයට ද ? යන්නයි. හැබෑ බමුණෙකු වන්නේ කෙසේද ? යන්න මෙයින් උන්වහන්සේ පැහැදිලි කර දක්වනවා.

මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ සීලයෙන් හා ප්‍රඥාවෙන් සම්පූර්ණ පුද්ගලයා බමුණකු වන බවයි. එනම් බ්‍රාහ්මණයෙකු තුළ මේ ගුණධර්ම දෙක මැනවින් සපුරා තිබිය යුතුයි. ඒ උත්තමයා රහතන් වහන්සේයි, ශීලයේත්, ප්‍රඥාවේත් සුසංයෝගය ලෙසයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ හඳුන්වා දෙන්නේ. ජාතිය, ගෝත්‍රය, රූපසම්පත්තිය, හෝ වෙනත් පිරිස් බලයක් තිබුණාට එය රහතන් වහන්සේ පිළිබඳ එකදු ලක්ෂණයක් නොවෙන බවයි. මේ කරුණෙහිදී මුලටම සම්පූර්ණ විය යුත්තේ සීලයයි. බුදුදහමේ උගන්වන මුල්ම සීලය පංචසීලයයි. මේ ශීලයම තවදුරටත් සංවර්ධනය වී පියවරෙන් පියවර ඉහළට ගමන් කරනවා. සිල්වත් පුද්ගලයා පිළිබඳ බාහිරව අපට සාමාන්‍යයෙන් දැකිය හැකි ස්වරූප දෙකක් තිබෙනවා. අවිහිංසක බව එක ලක්ෂණයක්. අනික තමා අල්පේච්ඡතාව. සිල්වතාගේ මූලික වශයෙන් තව අයෙකුට බියක්, ත්‍රාසයක් ඇති වන්නේ නැහැ. හානියක් නැහැ, සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන මේ පුද්ගලයා ලද දෙයින් සතුටට පත් වෙනවා. ඒ නිසාම නිහතමානී ගුණය ඉස්මතු වෙනවා. ඔහු සමාජය ඉදිරියේ නැති ගුණ මවා පාන්නේත් නැහැ. ඒ නිසාම ඇති ගුණ හුවා දක්වන්නෙත් නැහැ. නිදසුනක් ලෙස එළවළුවක් ආහාරයට ගැනීමෙන් යැපෙන යම් අයෙක් ගැන සිතා බලමු. ඔහු තමා මස්මාංස වලින් වැළකී සිටින අයෙකු බව අනෙකුත් අය ඉදිරියේ කියා පාමින් තමාගේ අවිහිංසක බව ප්‍රදර්ශනය කිරීමේ අදහසක් ඇතිව ක්‍රියා කරන්නේ නම් ඔහු සිල්වතෙක්වත් ගුණවතෙක්වත් වන්නේ නැහැ. ඔහුත් සමාජය ඉදිරියේ තමන්ගේ උසස් බව හුවා දක්වන කෙලෙස් දියුණු කර ගන්නා අයෙක්.

මෙසේ සිල්වත් බව වැඩි දියුණු වීම නිසා බාහිර රූපාදී අරමුණුවලින් සිත නොසන්සුන් බවකට පත් නොකරයි. ඉන්ද්‍රීය දමනයක් ඇතිව ජීවත් වීමට ප්‍රයත්න දරන ඔහු කල්‍යාණමිත්‍ර ආශ්‍රය අපේක්ෂා කරනවා. ඒ අනුව සමාධියට සිත මෙහෙයවන්න කැමති ඔහු තරහ, වෛරය, ආශාව, මුලාව සිඳ දමා සිත දියුණු තත්ත්වයට පමුණුවාලීමට උත්සාහවත් වෙනවා. ප්‍රථම ධ්‍යානාදී උසස් මානසික තත්ත්වය ඇති කර ගැනීමේ ශක්තිය ඇති කර ගැනීමට සමත් වී සැබෑ බ්‍රාහ්මණයෙකු හෙවත් රහතන් වහන්සේ නමක් බවට පත් වීමේ අවස්ථාව උදා කර ගන්නවා. එවිට දැන් අපට පැහැදිලි වෙනවා. ප්‍රඥාව දක්වා දිගු ගමනක යෙදීමට පුද්ගලයාට අවස්ථාව සලසා දීමේ මූලික පාදම හෙවත් පදනම වන්නේ සීලය බව. මේ අනුව සීලයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයත්, පිරිසුදු වෙනවා. මේ ගුණාංග දෙක එකකට එකක් වෙන් කරන්නට හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන ජටාගොත්ත බමුණාට එම සූත්‍රයේදී මැනවින් මේ කරුණ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තමන් වහන්සේ ඉදිරියේ ජටාගොත්ත බමුණා ප්‍රශ්නයක් අසනවා. ස්වාමීණි, ශ්‍රමණ භවත් ගෞතමයෙනි, පුද්ගලයා ඇතුළතත් ගැට ඇති කර ගෙන පිටතිනුත් ගැට ඇති කර ගෙන ගැට පිට ගැට තව තවත් ඇති කරගෙන ප්‍රශ්න මැදයි ජීවත් වන්නේ. මේ ප්‍රශ්න හෙවත් ගැට කොහොමද ලිහා දමා ගන්නේ ? තවත් ආකාරයකින් කියනවා නම් ගැටලු හෙවත් ප්‍රශ්න බාධක නැතිව ජීවත් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වන්නේ සීලයෙහි පිහිටන තැනැත්තා උත්සාහයෙන් හා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව සිත සමාධියට යොමු කර ප්‍රඥාව ඇති කර ගැනීමෙන් පසු මේ සියලුම ගැටලු ලිහෙන හෙවත් විසඳෙන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණා. උන්වහන්සේගේ සෑම දේශනාවක්ම අවසන් වන්නේ මේ ආකාරයෙන් ප්‍රඥාව ඇති කර ගැනීම දක්වා වන මේ ගමන් මඟ පැහැදිලි කිරීමෙනුයි. අවසානයෙහි සෝණ බමුණා ඇතුළු ඔහුගේ සමස්ත ශ්‍රාවක පිරිසම තෙරුවන් සරණ ගිය බුද්ධශ්‍රාවකයන් බවට පත් වුණා.