Print this Article


ධම්මපදට්ඨකථා 16 ආනන්දය , සීවලී තෙරණූවෝත් අප සමග ආවෙහි ද?

ධම්මපදට්ඨකථා 16

ආනන්දය , සීවලී තෙරණූවෝත් අප සමග ආවෙහි ද?

සැරියුත් තෙරණුවෝ වස් පවාරණය කොට රේවත හිමියන් දකින්නට ඛදිරවනය වෙත යෑමට බුදුරදුන්ගෙන් අවසර පැතූහ. සැරියුත් තෙරුන් සමඟ එහි යාමට බුදු හිමියන්ද කැමැත්ත පළ කරමින් තවත් භික්‍ෂූන් පන්සියයක් සමඟ එහි යාමට නික්මුණි. මෙම දීර්ඝ මාර්ගයෙහි ගමන ඇරැඹූ බුදුපිරිස දෙමංසන්ධියකට පැමිණ නතර වූහ. එවිට අනඳ තෙරණුවෝ බුදුහිමියන් අමතා මේ ගමන්මග ඉතා දුෂ්කර බවත් අමනුෂ්‍ය කරදර බහුල බවත් කීහ. එවිට බුදුහිමියෝ ආනන්දය, සීවලී තෙරණුවොත් අප සමඟ ආවෙහිදැයි ඇසූහ. එසේය ස්වාමීනි’යි පිළිතුරු දුන් කළ එසේ නම් දුෂ්කර මාර්ගය තෝරා ගැනීම වරදක් නොවන බව වදාළහ.


බුදුපිරිස ඒ මඟට පිළිපන් කල්හි දෙවියෝ තිස්යොදුන් පුරාම සීවලී තෙරුන්ට උපස්ථාන කරන්නට සෙනසුන්ද, ගිමන් හල ද, දාන ශාලාද ඉදි කළහ. සීවලී තෙරුන්ට ලැබෙන මේ ආහාරපාන බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂූන්ටද දී වළඳවමින් තිස් යොදුනම ගෙවා දැමූහ.


අගසව් සැරියුත් තෙරුන් වහන්සේ පැවිදිව චාලා, උපචාලා, සිසුපචාලා යන සොයුරියන්ද ,මන්ද්‍ර, උපසේන යන සොහොයුරන් දෙදෙනාද පැවිදි බවට යොමු කළහ. එහෙත් සොයුරු රේවත පමණක් නිවසේ ඉතිරි විය. සැරියුත් තෙරුන්ගේ මව මිථ්‍යාදෘෂ්ටික වූයෙන් රේවත පුතුත් පැවිද්දට යනු ඇතැයි බිය විය. තමන්ගේ සුවිශාල ධනයට හිමිකරුවෙකු නොමැතිවේදෝයි යන්නත්, තමන්ගේ කුල පරපුර අවසන් වේදෝ’යි යන්නත් මවගේ සිත තුළ තදින්ම බලපැවැත්වූ සිතිවිලි විය. එබැවින් පැවිද්දට යාමට නොහැකි වන ලෙස ළමා වියේදීම විවාහ බන්ධනයට පත් කළ යුතු යයි ද ඇය කල්පනා කළාය.

ඒ අනුව රේවත කුමරුගේ මව කුමරු සත් හැවිරිදි වියේදීම කසී සළු හඳවා අභරණ, පළඳවා බොහෝ පිරිවර සමඟ සමාන කුල පවුලක දැරියක සොයා ඈ වෙත රැගෙන ගියේය. ඉන්පසුව සියලු මංගල චාරිත්‍ර නිමවා ජලය පිරූ රන්තලියක දෙදෙනාගේම අත් බහා මංගල පාඨ කියවා දෙදෙනාගේ දියුණුව ප්‍රාර්ථනා කළහ. අනතුරුව ඇගේ නෑයෝ ඇගේ මිත්තණිය පෙන්වා ඇය බොහෝ කලක් සුවසේ දිගාසිරි විඳින අයුරු දක්වමින් එලෙසම මෙම දියණියටත් බොහෝ කලක් යෙහෙන් ජීවත් වන්නැයි ප්‍රාර්ථනා කළහ. එවිට රේවත කුමාරයා මාගේ මිත්තණියන් මා දැක නැත. ඇය කවරාකාරදැයි තම නෑයන්ගෙන් ඇසීය. එවිට නෑයන් කියා පෑවේ පුත, ඔබගේ මිත්තණියන් ඔබ නුදුටුවෙහිද? ඇය එකසිය විසි අවුරුදු වීය. දත් සියල්ල හැලී ඇත. කෙස් පැසී ඇත. සම වැරහැලිය . මුළු සිරුරම වකගැසීය යනාදී වශයෙන් දිරා ගිය වියපත් මිත්තණිය පිළිබඳ තොරතුරු කියා පෑවේය. සත් වියැති රේවත කුමරා වියපත් මිත්තණියගේ දිරා යාම ගැන පිළිකුලක් උපදවා එදින තමා සමඟ යුගදිවියට පත් දැරියද අනාගතයේ එවැනි තත්ත්වයට පත් වන්නේ නොවේදැයි අනිත්‍යය සංඥා උපදවා තම සොයුරු සැරියුත් මේ කරුණු හොඳින් වටහා ගත් බැවින් ගිහි දිවියෙන් නික්ම යන්නට ඇතැයි සිතා රේවත කුමරාද මැයගෙන් වෙන්ව පැවිදි වන්නට යාමට ඉටා ගත්තේය.

ඒ බව නොදත් නෑයෝ මංගල යුවළ අලංකාර රථයක නංවා මංගල ගමන පිටත් කළහ. ටික දුරක් ගිය කුමාරයා සිරුරු කිස කරන්නට අවශ්‍ය බව කියා රථයෙන් බැස වන ලැහැබකට ඇතුළුවී ටික වේලාවක් සිට ආපසු ආවේය. තවත් දුරක් ගොස් එසේම කළ කුමාරයා ආපසු පැමිණ තවත් දුරක් ගොස් එසේම වන ලැහැබකට ගොස් ආපසු නොපැමිණ තම මනාලිය හැරදමා වනයට පලා ගියේය. අනතුරුව වනයෙන් නික්ම ගම් ප්‍රදේශයක භික්‍ෂූන් වසන අරමකට පැමිණ භික්‍ෂූන් වෙතින් පැවිද්ද ඉල්ලා සිටියේය. සර්වාභරණයෙන් සැරැසී තනිව පැමිණි කුමරෙකු පැවිදි කිරීම භික්‍ෂූන් ප්‍රතික්‍ෂේප කළත්, පසුව තමා කවරෙකුද යන්න කියා සිටියෙන් භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. සැරියුත් තෙරුන්ටද ඒ බව දන්වා යැවූහ. රේවත සාමණේරයෝ තමන්ගේ නෑයන් තමා සොයා පැමිණෙතියි බියෙන් කමටහන් රැගෙන එතැන් සිට තිස් යොදුන් දුර පිහිටි ඛදිරවනය නම් ගමට පැමිණ එහි වස් වසා භාවනාවෙහි යෙදී සිව්පිළිසිඹියා රහත් බවට පත්වූහ.

සැරියුත් තෙරණුවෝ වස් පවාරණය කොට රේවත හිමියන් දකින්නට ඛදිරවනය වෙත යෑමට බුදුරදුන්ගෙන් අවසර පැතූහ. සැරියුත් තෙරුන් සමඟ එහි යාමට බුදු හිමියන්ද කැමැත්ත පළ කරමින් තවත් භික්‍ෂූන් පන්සියයක් සමඟ එහි යාමට නික්මුණි. මෙම දීර්ඝ මාර්ගයෙහි ගමන ඇරැඹූ බුදුපිරිස දෙමංසන්ධියකට පැමිණ නතර වූහ. එවිට අනඳ තෙරණුවෝ බුදුහිමියන් අමතා මේ ගමන්මග ඉතා දුෂ්කර බවත් අමනුෂ්‍ය කරදර බහුල බවත් කීහ. එවිට බුදුහිමියෝ ආනන්දය සීවලී තෙරණුවොත් අප සමඟ ආවෙහිදැයි ඇසූහ. එසේය ස්වාමීනි’යි පිළිතුරු දුන් කළ එසේ නම් දුෂ්කර මාර්ගය තෝරා ගැනීම වරදක් නොවන බව වදාළහ.

බුදුපිරිස ඒ මගට පිළිපන් කල්හි දෙවියෝ තිස්යොදුන් පුරාම සීවලී තෙරුන්ට උපස්ථාන කරන්නට සෙනසුන්ද, ගිමන් හල ද, දාන ශාලාද ඉදි කළහ. සීවලී තෙරුන්ට ලැබෙන මේ ආහාරපාන බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂූන්ටද දී වළඳවමින් තිස්යොදුනම ගෙවා දැමූහ. සීවලී තෙරුන්ගේ පින බුදුරදුන් ඇතුළු සියල්ලන්ම අනුභව කරමින් රේවත තෙරුන් විසූ ඛදිරවනය වෙතට එළඹිණි. රේවත තෙරණුවෝද බුදුපාමොක් පිරිසට සියලු සංග්‍රහ කළහ. භාග්‍යවතුන් වහන්සේ මසක්පුරා සීවලි තෙරුන්ගේ පිනෙහි ආනුභාව විඳිමින් මසක කාලයක්ම රේවත තෙරුන් වෙත විසූහ.

පසුකලෙක සීවලී තෙරුන් කිනම් හේතුවකින් මෙතරම් ප්‍රත්‍යලාභී වීමට හේතුව කුමක්දැයි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙතින් විමසූහ. එවිට බුදුරදුන් වදාළේ මීට අනූ කල්පයකට පෙර විපස්සී බුදුරදුන් කල විපස්සි බුදුරදුන්ට අසදෘශ මහා දානයක් පිළිගැන්වීමට තීරණය කොට ඒ සඳහා සියල්ල සොයා ගත්තත් මී පැණි සහිත මී වදයක් සොයා ගත නොහැකිව මසුරන් දී රජතුමා දස දිසාවෙහි මිනිසුන් පිටත් කළ බවත් මගියෙකු ගම්මුලාදෑණියෙකු වෙත රැගෙන යන මීවදයක් දැක කහවණු දහසකට එය ඉල්ලා සිටි බවත්, මගියා එය මහා දානයකට බව දැනගෙන තමා තුළ ශ්‍රද්ධාව උපදවා ගෙන නිර්ලෝභී සිතින් මෙය පූජා කළ ආකාරයත් බුදු හිමියෝ භික්‍ෂු පිරිසට වදාළහ. එම මගියා එම පිනෙන් ආයු කෙළවර දෙව් ලොව ඉපිද එයින් චුතව විවිධ භව සම්පත් ලබා අවසන ගෞතම බුදුරදුන් සමයෙහි මෙසේ ඉපිද ‘දඬුවැල්බෑය’ දන් දීමේ පිනෙන් ප්‍රත්‍ය ලාභීන්ගේ අග්‍රස්ථානය ලද බව ද වදාළහ.

මේ අනුව කෙනෙකුගේ ප්‍රත්‍යලාභය කීර්තිය, යසස අහඹුවෙන් නොලැබෙන බවත් ඒ සඳහා මෙැවනි දුෂ්කර දාන පූජා සිදු කළ යුතු බවත් මෙම කථාවෙන් මොනවට පසක්වෙයි ද?


ධම්මපදට්ඨකතා 15 ආනන්දය සර්පයා දුටුවෙහිද?