Print this Article


සසුනේ ආරක්ෂාවට ගිහි පැවිදි සබඳතාව අත්‍යවශ්‍යයි

සසුනේ ආරක්ෂාවට ගිහි පැවිදි සබඳතාව අත්‍යවශ්‍යයි

පින්වත් පුතුන් පැවිදි බිමට එක් කර ගන්නට වඩාත් උනන්දු වන්නේ ශාසන ලැදි බෞද්ධ භික්‍ෂූන් වහන්සේ. එහෙත් මෙවර රන්මුතුගල මහා විහාරයේ කඨින පින්කම බාරගත් නිකාඩෝ සමූහ අධිපති සුනිල් ගුණවර්ධන ගිහි පින්වතා විසින් දරුවන් පැවිදි කරවන ලෙස ඉල්ලා සිටීමත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සියල්ල සැපයීමට බැදී සිටින බව පැවසීමත් ආර්ය ශ්‍රාවක ගණයට එක්වන්නට බලාපොරොත්තුවෙන් සිටින පින්වත් දරුවන්ට සුවිශේෂී අවස්ථාවක්

තථාගතයන් වහන්සේ, සම්මා සම්බුද්ධත්වයට පත් වූ දා සිට පන්සාළිස්වසක් පුරා තමන් වහන්සේ ගේ ජීවිතය කැප කළේ සියලු ලෝ සතුන්ගේ හිත සුව පිණිසයි. සසර කතරේ යා යුතු මඟ නොදැන මං මුලා වූ සත්ත්වයා දුකින් මුදාගනු පිණිසයි. උන්වහන්සේ තම ප්‍රථම ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අමතා දේශනා කොට වදාළේ

‘චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය.....’

ලෝක සත්ත්වයාගේ හිත පිණිස, සුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන ලෙසටයි. උන්වහන්සේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ හඳුන්වා දුන්නේ මේ ලෝකයේ ඉදිරියෙන් ගමන් කරනා පිරිසක් ලෙසයි. එනම් පසුපසින් ගමන් ගන්නා වූ පුහුදුන් මිනිසුන්ට තම ජීවිතය නිවැරැදි මාවතකට යොමුකර ගන්නට මඟ කියා දෙන්නා වූ ආදර්ශවත් ගුරුවරුන් ලෙසයි.

අප දැන් ජීවත් වන්නේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබ වසර 2600 ක් ඉක්ම වූ යුගයකයි. මෙහිදී උන්වහන්සේ ගේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නා වූ බුද්ධ පුත්‍රයන් වහන්සේට පැවරෙන වගකීම සුවිශාලයි. අධර්මයෙන් මංමුලා වූ ජනතාවට සත්‍ය වටහා දී ධර්මාවබෝධය ලබාදී යහමඟට ගැනීමට ඇප කැප විය යුතු වන්නේ උන්වහන්සේ යි.

අද ලාංකීය සමස්ත බෞද්ධ සමාජය පිළිබඳව විමසීමේදි බෞද්ධයන් දහසකට මඟ පෙන්වන්නට වැඩ ඉන්නේ එක් භික්‍ෂූන් වහන්සේ නමක් පමණයි. මේ බෞද්ධ ජනතාව අතර තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීල,සමාධි, ප්‍රඥා ආදී ගුණධර්මයන් වඩා භෞතික හා අධ්‍යාත්මික සංවර්ධනය වෙත ළඟා වූ අය ඉන්නවා. ඒ හා සමගම තුනුරුවන් පිළිබඳ සැබෑ පැහැදීමක් නැති, ධර්මය ගැන අවබෝධයක් නැති, අඩුම තරමේ පංච ශීලයවත් ආරක්‍ෂා කර ගන්නට නොහැකි වූ, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යා සහගත සිතිවිලිවලින් බර වූ බෞද්ධයින් යැයි කියා ගන්නා පිරිසක් ද සිටිනවා.

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ සංසාර ගමනේ මෙසේ මං මුළා වූ අසරණයන්ට නිවැරැදි මඟ පෙන්වා දෙන්නට උනන්දු නොවුණේ නම් බෞද්ධ සමාජය පරිහානියට ළඟා වීම වැළැක්විය නොහැකියි. දැන් උදාවී තිබෙන්නේ මේ පිළිබඳව ගිහියන් ගේ මෙන් ම පැවිදි උතුමන් ගේද අවධානය යොමු විය යුතු කාලයක්. විශේෂයෙන් මේ වස් පින්කම් කාලයේ ඒ සඳහා හොඳ ආරම්භයක් ලබා දිය හැකියි. මන්ද වස්සාන සමය කියන්නේ ගිහි පැවිදි සබඳතාවය වඩාත් තීව්ර වන කාලයක් නිසා.

කුල පුතුන් පැවිදි බිමට එක් කර ගන්නට වඩාත් උනන්දු වන්නේ ශාසන ලැදි බෞද්ධ භික්‍ෂූන් වහන්සේ. එහෙත් මෙවර රන්මුතුගල මහා විහාරයේ කඨින පින්කම බාරගත් නිකාඩෝ සමූහ අධිපති සුනිල් ගුණවර්ධන ගිහි පින්වතා විසින් දරුවන් පැවිදි කරවන ලෙස ඉල්ලා සිටීමත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සියල්ල සැපයීමට බැදී සිටින බව පැවසීමත් ආර්ය ශ්‍රාවක ගණයට එක්වන්නට බලාපොරොත්තුවෙන් සිටින පින්වත් දරුවන්ට සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම රන්මුතුගල රජමහා විහාරයේ භික්‍ෂූන් වහන්සේ සියක් නමකට නේවාසිකව පිරිවෙන් අධ්‍යාපනය ලැබීමේ පහසුකම් සලසා තිබෙනවා.

මෙහි දී අපගේ බලාපොරොත්තුව ගතින් මෙන්ම සිතින් ද පැවිදි වූ භික්‍ෂූන් වහන්සේ නමක් බුද්ධ ශාසනයට දායාද කිරීමයි.

අතීතයේ අපේ රට ,ජාතිය මෙන්ම ආගම ද ආරක්‍ෂා කරගන්නට වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි, කුඩා පොළ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි, ඈ ආදී සංඝ පීතෘන් වහන්සේ ගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම මහත් සේ උපකාරී වුණා. එවන් භික්‍ෂූන් වහන්සේ අද පවා විරල නොවුණත් ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් භික්‍ෂූන් වහන්සේ තව තවත් ශාසනයට එක් කර ගැනීම අත්‍යාවශ්‍යයි.

අපේ බුදු හාමුදුරුවෝ දේශනා කොට වදාළේ අප ජීවත්වෙන මේ පින් බිමේ වසර පන්දහසක් කල් සම්බුදු සසුන පවතින බවයි. ගෙවී ගිය කාලය ඉන් අඩක් පමණයි. බුදු පියාණන් දේශනා කළ ලෙස එසේ ශ්‍රී සද්ධර්මය නො නැසී පවත්වාගෙන යන්නට නම් සැබෑ භික්‍ෂූන් වහන්සේ බිහි කළ යුතුයි. මොන තරම් දහම් පොත පත ග්‍රන්ථාරූඪ කෙරුණත් ධර්මය ආරක්‍ෂා කර ගන්නට බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ද අත්‍යවශ්‍යයි. මන්ද සාගරයක් තරම් ගැඹුරු වූ ශ්‍රී සද්ධර්මය මනාව අවබෝධ කොට ගෙන පුහුදුන් ගිහියාට සරලව අවබෝධ කර දෙන්නේ උන්වහන්සේ වන නිසයි. මේ නිසා උගත් භික්‍ෂු පරපුරක් බිහි කිරීමට විශේෂයෙන් ගුරු හාමුදුරුවන් වහන්සේ කැප විය යුතුයි. සාමණේර පදවිය බලාපොරොත්තුවෙන් පන්ඩුපලාසයන් සේ සිටින අයට ඒ කාල සීමාවේදී අදාළ ඉගැන්වීම් මනාව කළ යුතුයි.

අපේ පින්වත් දරුවෝ පැවිදි බිමට එක් වන්නේ කෙළිසෙල්ලම් සියල්ල අත හරිමින්. අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, නෑදෑ හිත මිතුරන්ගෙන් ඈත්වෙලා ඉන්න මේ දරුවන් ගේ හිත නොතලා ශාස්ත්‍රය ගැන කලකරීමක් ඇති නොවන තැනට කටයුතු කිරීම ගුරු හාමුදුරුවන් ගේ යුතුකමක්.

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ රැක ගැනීමත්, කුලදරුවන් පැවිදි බිමට එක් කර ගැනීමත් භික්‍ෂූන් වහන්සේ ගේත්, ගිහියන්ගේත් වගකීමක්.

ඒ වගේම අද සමාජය තාක්‍ෂණික අතින් ඉතාම දියුණුයි. තරුණ භික්‍ෂූන් වහන්සේත් අන්තර්ජාලය පරිහරණය කරනවා. ගුරු හාමුදුරුවන්ට මේ තත්ත්වය ඉවසන්නට සිදු වුණත් එය පාලනයකට හසු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

ඉංගි‍්‍රසි අධ්‍යාපනය බෞද්ධ භික්‍ෂූන් වහන්සේට අනාගතයේදී ඉතාම වැදගත් .අපේ දරුවෝ අද වැඩි දෙනෙක් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරනවා. අනාගතයේ ඔවුන්ට ධර්ම දේශනා කළ යුතු වන්නේ ඉංගී‍්‍රසි බසින්. අද මෙවැනි කතා සමහරෙක් හාස්‍යයක් සේ සැලකුවත් අනාගතයේ අපට මුහුණ දෙන්නට වන්නේ එවැනි සමාජයකට. ඒ සමාජයට ධර්මාවබෝධය ලබා දෙන්නට බෞද්ධ භික්‍ෂූන් වහන්සේ භාෂා දැනුමෙන් ද පරිපූර්ණ විය යුතුයි.

බුදුරජාණන් වහන්ස් සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙක එහි පැමිණි දේව පුත්‍රයෙක් මෙසේ විමසුවා.

අන්තො ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ඡාමී
කො ඉමං විජටයෙ ජටං

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඇතුළත ද අවුල් ය. පිටත ද අවුල් ය.මේ ලෝක සත්ත්වයා අවුලෙන් අවුලට පත්ව සිටී මේ අවුල නිරාකරණය කරගන්නේ කෙසේද?

ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මෙසේ දේශනා කළා.

සීලෙපතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයේ ජටං

‘සීලයෙහි පිහිටියාවූ, ප්‍රඥාව ඇති, සිත හා ප්‍රඥාව වඩන, වීර්යය ඇති පුද්ගලයා ගැටලු නිරාකරණය කර ගන්නේ ය.’

අපේ භික්‍ෂූන් වහන්සේ උත්සාහ කළ යුතු වන්නේ බෞද්ධ ජනතාව කෙරෙහි කායික, වාචසික, සංවරය ඇති කොට ආධ්‍යාත්මික සංවරය උදෙසා මෙහෙයවීමයි. නිවැරැදි ධර්ම මාර්ගයේ ගමන් කරවීමටයි. මිළිදු නාගසේන වාදයේදී නාගසේන හාමුදුරුවෝ

“සියෝ ජීවිත පරියාධානේමී”

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කවර බාධක හමුවේ වුවද සිංහයකු සේ ඉදිරියට ගමන් කරන බව පෙන්වා දුන්නා. පැවිදි බව ලබන කුල දරුවකුට සසුන් ගත වන්නට පෙර ගුරුහාමුදුරුවන් වහන්සේ විසින් පැවිදි ජීවිතය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම වැදගත්. එසේ නොමැතිව ගතින් පමණක් පැවිදිවන කුල දරුවා ටික දිනකින් ම, එසේත්, නැතිනම් තුරුණු වියේදි උපවැදිවන්නට පුළුවන්. ගතින් හා සිතින්ද පැවිදි කළ යුතු වන්නේ ඒ නිසයි.

භික්ෂුවක් වීම යනු තමන්ගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම නැති වී යාමක්. උන්වහන්සේට රකින්නට කෙනෙක් හෝ ආරක්‍ෂා කරන්නට වස්තුව නොවේ. කිසිවකු හෝ කිසිවක් පිළිබඳ බැඳීමක්ද නොවේ. වස්තුව හෝ සැප සම්පත් පිළිබඳ ආදරයක් නොවේ.

අනාගතය ගැන සිහින මවන්නේ නැති උන්වහන්සේ අතීතය ගැන පසු නොතැවෙයි. වර්තමානයේ පමණක් ජීවත්වෙයි. මේනිසා සමාජයට සේවය කිරීමට සුදුසුම පුද්ගලයා උන්වහන්සේයි. මේ බව ගුරු හාමුදුරුවන් වහන්සේ තම ගෝල හාමුදුරුවන් වහන්සේට නිරන්තරයෙන් අවධාරණය කළ යුතුයි. තමන් කරන්නා වු කාර්යය පිළිබඳ නිතර නිතර මෙනෙහි කරනවා නම් හරි වැරැද්ද තේරුම් ගැනීම පහසුයි. අපේ බෞද්ධ සමාජය පිරිහීමට පත් වන්නේ, විවිධ සංවිධානවලට බෞද්ධයන් අන්‍යාගමිකයින් බවට පත් කර ගැනීමට පහසු වන්නේ මාර්ගෝපදේශකයන් වහන්සේ තමන් වහන්සේට අදාළ කාර්යය නිවැරැදිව ඉටු නොකර වෙනත් කටයුතුවල නිරතවීම නිසයි.

ලෝකයාගේ හිත සුව පිණිස පරාර්ථ සේවයේ නිරත භික්‍ෂූන් වහන්සේ දැනුමින් සන්නද්ධ වීම ද අත්‍යවශ්‍යයයි. ගණිතය, විද්‍යාව, භූගෝලය ආදි විෂයයන් ගැන මෙන්ම මෙම ලෝකය ගැන දැනුම්වත් වීමද අවශ්‍යයයි. එහෙත් ප්‍රමුඛතාවය දිය යුතු වන්නේ බෞද්ධ ධර්මය පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබා ගැනීමටයි.

අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ‘සංගාමෙ මතං සෙයේ‍යී’ සංඝයා වහන්සේ ඉදිරියට යා යුතු වන්නේ පරාජය නොවූ කෙනකු ලෙස බවයි. ඒ උතුම් ගුණැති භික්‍ෂූන් වහන්සේ ගේ පරාර්ථ චර්යාව සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට අපේ බෞද්ධ සමාජය තම සහයෝගය ලබාදිය යුතුයි. ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් ආරක්‍ෂා වන්නේ එසේ කටයුතු කරන්නේ නම් පමණයි.

සාකච්ඡා කළේ: තාරක වික්‍රමසේකර