කර්මයට
දාසයන් නොවෙමු
දොඩන්දූව පටුවත ශ්‍රී සීලඛන්ධ
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති
දේශීය වෛද්‍ය අමත්‍යාංශයේ උපදේශක
මීවනපලානේ ධම්මරතන හිමි
පූර්ව කර්ම බලයෙන් දිළින්දෙකුව උපන්නත් ප්‍රඥානුගත ක්‍රියා ශූරත්වයෙන්
හෙවත් මෙලොවදී කරන යහපත් කර්ම බලයෙන් ඔහුට මහා ධනවතකු විය හැකි බව මී
කුණක් විකුණා ලත් තුට්ටුවෙන් සාරමසක් තුළ මසු දෙලක්‍ෂයක්
උපයාගත් බව චුල්ල සිටාණන්ගේ කතාවෙන් පෙනේ.
එය එසේ නම් පූර්ව කර්මය සලකමින් කළ අපල යැයි
කියමින් තැවි තැවී සිටීම බෞද්ධයන්ට කිසිසේත්
නොහොබිනා ක්‍රියාවකි. පූර්ව කර්ම වර්තමාන කර්මයෙන් යටපත් කළ හැකි ය
‘කර්මය’ කරනු ලබන්නේ අප විසිනි. එබැවින් අපි කර්මයට ස්වාමි වෙමු. දාසයෝ
නොවෙමු. අපි කර්මයට දාසයෝ වෙමුයි සිතාගෙන සිටීම වනාහි මැවුම්කාරයෙකු
ගැන අදහා ඔහුගේ කැමැත්ත අනුව, අපේ භාග්‍යය හෝ අභාග්‍යය හෝ පැමිණේයැයි
සිතමින් දාස චිත්තයක් උපදවාගෙන සිටීම මෙන්ම මනුෂ්‍යාගේ දියුණුවට බාධා
කරන කාරණයකි.
පූර්ණ කර්මය සම්බන්ධ ඇදහීම වනාහි බෞද්ධාගම මෙන්ම නිපදවන ලද්දක් නොව ඉන්
පෙරත් දඹදිව පැවැති ඇදහීමකි. හින්දු ජෛන ආගම් දෙකේම පූර්ව කර්මය
සම්බන්ධ ඇදහීම පවතී. සත්වයාට මෙලොවදී සිදුවන ශුභා ශුභ රෝගී පීඩා දී
සියල්ල පූර්ව කර්මයෙන්ම සිදුවේයැයි සලකන මිත්‍යා දෘෂ්ටියක් බුදුරදුන්
ජීවමාන කල පැවැති බවත් උන්වහන්සේ ඒ දෘෂ්ටියට තරයේ පහරදුන් බවත්
අංගුත්තර නිකායෙහි අන්තර්ගත මහා තීථා යත්න සූත්‍රයෙන් පෙනේ.අපේ
අභාග්‍යයකට මෙන් බුදුරදුන් ප්‍රතික්‍ෂේප කළ ඒ (සියල්ල පූර්ව කරමයෙන්
සිදුවේය යන) දෘෂ්ඨියම මෙකල බොහෝ බෞද්ධයන් ගෙන සිටින බව පෙනේ. නූගත්
බෞද්ධයන් මේ අයෝග්‍ය ඇදහීමට නිසා යැයි හේතුව අපේ ඇතැම් භික්ෂූන්ගේ ධර්ම
දේශනා සිතිය හැක. ගිහියෝ පමණක් නොව ඇතැම් පැවිද්දෝද මේ දෘෂ්ටියෙන්
යුක්ත වෙති.
අදද බෞද්ධයන් කුසීත වීය¸ හීන කොටසක්ව සිටින්නේ මේ මිත්‍යා දෘෂ්ටියේ
වරදිනි. කළ අපල යැයි කියමින් ඒ අපලය ක්‍රියාශුරත්වයෙන් හෙවත් අලුත්
කර්ම බලයෙන් යටපත් කරන්නට උත්සාහ නො ගෙන සෙත් පිරිත් තොවිල් පවිල් ආදිය
කරමින් ඒ ගැනම සිතමින් තැවෙමින් නිකරුණේ කල් ගත කරන පිරිස අද ඉතා
අධිකය. එසේ නිතර තැවෙමින් සිටීම ඔවුන්ගේ ශරීර ශක්තිය හා සනීපය තව තවත්
පිරිහී යාමට හේතුවේ. ඒ කාලය තුළ වීර්ය සහගත යහපත් සිතිවිලි නොවුපදනා
බැවින් රැස් කරනු ලබන කර්මය (චේතනා රාශිය) ද යහපත් එකක් නොවේ. එය මේ
ජීවිතය තව තවත් කාලකණ්ණි වීමටද අනාගත භවය දුක්ඛිත කිරීමටද හේතු වන්නකි.
හැර දැමූ මතයක්
බෞද්ධාගම වනාහි කර්මය සම්බන්ධයෙන් පෙර පැවැති ඇදහීම එලෙසම නො
ගත්තේය.එහි ගත යුතු කොටස ගෙන නො ගත යුතු කොටස හැර දැමුවේ ය. පූර්ව කර්ම
බලයෙන් සත්වයන්ට මෙහිදී ලැබෙන විපාක ඇතැයි පිළිගන්නා අතරම මෙලොවදී
විඳින සැප,දුක් සියල්ල පූර්ව කර්ම හේතුවෙනැයි යන ඇදහීම බෞද්ධාගම විසින්
හැර දමන ලදී.
මෙලොවදී විඳින සැප දුක් සියල්ල පූර්ව කර්ම හේතුවෙන් නම් අව්වෙන් ,
වැස්සෙන් , හිම කුණාටු ආදියෙන්, මැසි මදුරු ආදින්ගෙන් පැමිණෙන කරදරත්
පූර්ව කර්මය නිසා විය යුතු ය. ශීත කාලයේදි ශීත අධික වීමෙන් ද උෂ්ණ
කාලයේදි උෂ්ණය අධික වීමෙන් ද ලෝකවාසී සියලු සත්ත්වයන්ට පැමිණෙන අපහසුව
වනාහි පූර්ව කර්ම හේතුවෙන් සිදුවන්නක් නොවේ. එමෙන්ම සත්ත්වයන්ට වැළදෙන
රෝග සියල්ල පූර්ව කර්ම හේතුවෙන්ම නොවේ. මුල්නොවී පෘතුවි පරිණාමයෙන් හා
විෂමභාර සෙවණාදියෙන් හට ගන්නා රෝග සමූහය ඊට අධික යැයි තථාගතයන් වහන්සේ
සීවක සුත්‍රයේදී වදාළහ.
ඉදින් සියල්ල පූර්ව කර්ම හේතුවෙන්ම සිදුවේ නම් මිනිසකු, සොරකු වන්නේ
පූර්ව කර්මයක් හේතුවෙනි. සුරා සොඬෙකු හෝ ස්ත්‍රි‍්‍ර ධූර්තකයෙක්
වන්නේත් පර පණ නසන්නකු වන්නේත් පූර්ව කර්මය හේතුවෙනි. පූර්ව කර්මයේ
විපාකයෙන් සොරෙකු වී නම් කර්ම විපාකයක් වශයෙන් ඔහු කරන සොරකමට නැවත
විපාක දීමක් ඇති විය නොහැක.(කර්මයට විපාකයක් ඇතත් විපාකයට තවත් විපාක
දීම ඉපිද විය නොහැක) ඒ ඇදහීම හැටියට ශ්‍රමණයෙකු වන්නේත් පූර්ව කර්ම
හේතුවෙනි. පූර්ව කර්මයේ විපාකයත් වශයෙන් ශ්‍රමණයෙකු වූවා නම් ඔහු
මෙලොවදී කරන දෙයින් සංසාර මුක්තිය ලැබීම නොහැකි වන්නේ යැයි තථාගතයන්
වහන්සේ තීර්ථයතත සූත්‍රයෙහි තර්ක කළ සේක.
මෙලොවදී කරන කර්මය
මනුෂ්‍යයෙක් ඉපදීමෙන්ම වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් (හෙවත් හීන කුළ
ඇත්තෙක් හෝ උසස් කුල ඇත්තෙක්) නොවන්නේ යැයි කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන්
වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ යයිද තථාගතයාණෝ වසල සුත්‍රයෙහි වදාළහ.
එහි ‘කම්මනා වසලො හොති, කම්මනා හොති බ්‍රාහ්මණො ‘ යවතන්හී කම්මුණ
(කර්මයෙන්) යන්න පූර්ව කර්ම යයි ගත හැකි නොවේ. එය පූර්ව කර්මය නම්
කර්මය නිසා මිනිසා උපදින විටම වසලයෙකු හෝ බමුණකු විය යුතුය.ඉපදීමෙන්
එසේ නොවන බව ‘නජච්චා වසලො හොති’ ආදී මුල් දෙපදයෙන් කියන ලද්දේය.
එසේ නම් මෙහි දක්වන කර්මය කුමක්ද? එය වනාහි වර්තමාන (මෙලොවදී කරන)
කර්මය හෙවත් ක්‍රියාවයි. යමෙක් මේ භවයේදි සතුන් මැරීම රහමෙර ගැනීම ආදි
නීච ක්‍රියාවන් කෙරේ නම් හෙතෙම නීචයෙක (වසලයෙක්) වේ. යමෙක් පස් පවින්
වැළකී සුචරිතයෙහි හැසිරේ නම් හෙතෙම උත්තමයෙකි. බ්‍රාහ්මණයෙකි. පෙර පින්
බෙලෙන් අසූ කෙළක් ධනය ඇති උසස් සිටු පවුලක එකම පුත්‍රයාව උපන් මහා ධන
සිටු තෙමේ රහත්වීමට හේතු සම්පත් පවා ඇතුව සිටියේය. නමුත් ඔහු රහ මෙර
පානයද දූ කෙළීම ආදි දුශ්චරිතවලට වැටී ධනය විනාශ කළ බැවින් (ඔහුගේ
වර්තමාන කර්මය හෙවත් ක්‍රියා පටිපාටිය නිසා) හෙතෙමේ අවසාන කාලයේදි
අනුන්ගේ ඉදුල් බත් කන යාචකයෙක් වූයේය. රහත් වීමේ භාග්‍ය ඔහුගෙන්
අතුරුදන් විය.රහත් වීමේ භාග්‍ය ඇති පශ්චිම භවික පුද්ගලයා රහත් වෙන්ට
පෙර මැරිය නොහැකි යැයිද මිථ්‍යා දෘෂ්ඨිකව සිටියත් ඒ ආත්මයේදි
ඒකාන්තයෙන් රහත් ඵලය ලබන්නේයයිද දැක්වෙන නිදර්ශන කතා බොහෝ ඇතත් මේ
සිටාණන් රහත් ඵලය තබා සෝවාන් ඵලය වත් නොලබා සිඟන්නෙක්ව සිට අනුන්ගේ
ගෙපිළිකන්නක අනාථව මළ බව කියැවේ. ඒ තරම් උසස් පූර්ව කර්ම බලය වර්තමාන
කර්ම බලයෙන් යටපත් වූ බව මෙයින් ප්‍රකටව පෙනේ.
පූර්ව කර්ම බලයෙන් දිළින්දෙකුව උපන්නත් ප්‍රඥානුගත ක්‍රියා ශූරත්වයෙන්
හෙවත් මෙලොවදී කරන යහපත් කර්ම බලයෙන් ඔහුට මහා ධනවතකු විය හැකි බව මී
කුණක් විකුණා ලත් තුට්ටුවෙන් සාරමසක් තුළ මසු දෙලක්‍ෂයක් උපයාගත් බව
චුල්ල සිටාණන්ගේ කතාවෙන් පෙනේ. එය එසේ නම් පූර්ව කර්මය සලකමින් කළ අපල
යැයි කියමින් තැවි තැවී සිටීම බෞද්ධයන්ට කිසිසේත් නොහොබිනා ක්‍රියාවකි.
පූර්ව කර්ම වර්තමාන කර්මයෙන් යටපත් කළ හැකි ය.
ස්වාමියා කර්මය නොව මනුෂ්‍යයායි
කර්මය අපට අයත් නම් අප විසින් පූර්වයේදී මුළාවෙන් රැස් කළ අයෝග්‍ය
කර්මය යහපත් ක්‍රියා කිරීමෙන් යටපත් කිරීමට අප සමත් විය යුතුය.
මුලදී සත්ත්වයා කර්ම කිරීමට පටන් ගත්තේ එයින් තමා කෙළවරක් නැති කරදරයකට
වැටෙන බව නොදැන ය. කර්මය යහපත් වුවත් අයහපත් වුවත් (හෙවත් කුශල වුවත්
අකුශල වුවත්) ඒ නිසා සත්වයාට සංසාර යෙහි ඇවිදින්නට සිදුවේ. සසර ඇවිදින
විට දුකෙන් නිදහස් වීමක් නැත්තේය. ඉපිද සිටින සියලු දෙනා සැප විදීමට
කැමැත්තෝය. ඒ කැමැත්ත නිසා පැමිණෙන කරදර දුරුකර ගැනීම පිණිස සත්ත්වයෝ
මුලදි ක්‍රියා කළෝය. ඉබේ වැවෙන දේ සැමදාම සොයා ගැනීම අපහසු වූ බැවින්
ඒවා නැති විට සාගින්නෙන් පැමිණෙන දුක වැළැක්වීම පිණිස ගොවිතැන් කරන්නට
පටන් ගත්හ.වෛරයක් නිසා මිනිසෙක් තවත් මිනිසෙකු මරන්නේත් පළි ගැනීමේ
ආශාව පුරවා ගැන්ම පිණිස ය. නැතහොත් ඔහුගෙන් තමාට සිදු වන පාඩුවක් නැති
කර ගැනීම පිණිස ය.සොරකම් කරන්නේ ඒ ගන්නා ධනයෙන් තමා සුවපත් වීම පිණිස
ය.බොරු කියන්නේ තමාට යම් කිසි ලාභයක් හෝ සැපයක් එයින් ලැබිය හැකිය යන
බලාපොරොත්තුවෙනි. මෙසේ මනුෂ්‍යයන් විසින් යහපත් වූ හෝ අයහපත් වූ යම්
පමණක් ක්‍රියා කරනු ලැබේ නම් ඒ සියල්ල සැප ලැබීමේ බලාපොරොත්තුවෙන්ම
කරනු ලැබේ.
කර්මය සම්පූර්ණයෙන්ම නැති කිරීම
මෙසේ හොඳ නරක නොදැන ක්‍රියා කරන මනුෂ්‍යයාට නරක ක්‍රියා කිරීමෙන් තව
තවත් දැඩි දුක් ලැබෙන බව ධර්මයෙන් උගන්වන ලදී. සසර සිටින තාක් සැප
කැමැති නම් දන් දීම, අනුන්ට උපකාර කිරීම ආදී යහපත් ක්‍රියා කළ යුතු බව
හෙයින් කියාදෙන ලදී.බෞද්ධ ආගම වනාහි එපමණකින් තෘප්තියට නොපැමිණියේය.
බෞද්ධ ආගමේ පරමාර්ථය සියලු දුක් මුලින් සුන් කොට නැති කිරීම ය.දන් දීම
ආදි කුසල ක්‍රියාවලින් සැප ඇති තැන්හි ඉපදිය හැක වුවත් එය ස්ථීර සැපයක්
නොවේ. එය අනිත්‍ය අසාර සැපයකි. ඒ සැප ඇති භවය හැර දමා යන්ට සිදුවේ.
කුසල ගෙවී ගියහොත් නැවත දුකට වැටේ.නැවත කුසල් කළ යුතුය. ඒ කුසලයද විපාක
දී ගෙවී යන්නේය. අනිත්‍ය වූ සෑම දිනම සැප ගෙන දීමට සමත් වූ ලෞකික
කුසලයක් නැත්තේය. ඔය විදියෙන් සසර නැවත නැවත උපදින විට සැප ලැබීමේ
බලාපොරොත්තුවෙන් අයෝග්‍ය ක්‍රියා (අකුසල) කොට නරකයෙහි හෝ තිරිසන්
භවාදියෙහි ඉපදීමත් සිදු වන්නේය. එබැවින් මුලදී අවිද්‍යාව නිසා හටගත්
කුශල අකුසල කර්ම සියල්ලම නැති කිරීම බෞද්ධාගමේ පරමාර්ථය යි.
උත්සාහයත් පුද්ගලයෙකු විසින් වනාහි කල්ප කෝටි ගණනක් මුළුල්ලේ විපාකාදි
ගෙවී යා යුතු කර්ම රාශියක් වුවත් මොහොතකදී විනාශ කොට දැමිය හැක්කේය.
අංගුලිමාල තෙමේ සිය ගණන් මිනිසුන් මැරු වේය. නමුත් තමා ගත් මඟ වැරැදි
යැයි දැන ගත්පසු හෙතෙමේ ඒ ක්‍රියාවන් හැර දමා ශ්‍රමණයෙක් වීමත්
උත්සාහයෙන් ක්‍රියාකොට ඒ අකුසල් සියල්ලත් කුසල් සියල්ලත් විනාශ කොට
නැවත භවයෙහි නූපදින්නකුගේ තත්ත්වයට පැමිණියේය.
බුද්ධාගමේ පරමාර්ථය නම් මුලදී මෝඩකම (අවිද්‍යාව) නිසා පටන්ගත් කුශල්
අකුසල් ක්‍රියා සියල්ල (හෙවත් ක්‍රියාකාරිත්වය) විනාශ කොට දමා ශාන්ත
භාවයට පත්වීමය. ඒ අවස්ථාව පැමිණි විට කුසල් අකුසල් විභාගයෙන් ඵලයක්
නැත්තේය. කුසල වුණත් අකුසල් වුවත් ඒ දෙකම ඔහු විසින් ඉවත ලනු ලැබේ. ඔහු
විසින් කර්මය මුළුමනින්ම දුකට හේතු වන දෙයකැයි දැන එය සහමුලින් විනාශ
කරනු ලැබේ. කුසලය වනාහී ඔහුට ඒ ක්‍රියාව සමෘද්ධ කර ගැනීමට උපකාර කරයි.
යම් සේ මහමුහුදකින් එතෙර වනු කැමැත්තෙන් ඔරුවක් සාදයිද, එමෙන් සසරින්
එතෙර වනු තැනැත්තේ පින්රැස් කරයි. මුහුදෙන් හෝ ගඟෙන් එතෙර වූ පසු ඒ
මිනිසුන් විසින් මෙය අපට බොහෝ උපකාර වූවකැයි කියමින් ඒ නැව හෝ ඔරුව හෝ
කර ගසා ගෙන යන සිරිතක් නැත්තේය. එමෙන්ම මාර්ගඵල පිළිවෙළින් නිවන් දකින
පුද්ගලයා තමාගේ ගමනට කුසලයක් ආධාර කර ගන්නා නමුත් සසරින් එතෙරවීම
නැමැති නිවන ලැබූ පසු ඔහුට කුසලයෙන් ඵලයක් නැත්තේය. එබැවින් ඔහු විසින්
කුසල් අකුසල් දෙකම හැර දමනු ලැබේ.
මෙසේ බුද්ධාගම උගන්වන්නේ කර්මයට දාසයන් වී සිටීමට නොව කර්මයේ
ස්වාමීත්වයට පැමිණ එයින් ගත යුතු ප්‍රයෝජනය ගෙන එය විනාශ කොට දැමීමට ය.
ආරහථ නික්‍ඛමථ
යුඤ්ජ ථ බුද්ධ සාසනෙ
සුනාථ මච්චුනො සෙනං
නළාගාරංච කුඤ්ජරො
චීව¸රම්භය. කරව්, නික්මෙව්,බුදුරදුන්ගේ අවවාදයෙහි යෙදෙව්,ඇතකු බට ගෙයක්
බිඳ දමාන්නාසේ මාරයාගේ සේනාව බිඳ දමව් යනාදී නොයෙක් බුද්ධ දේශනාවලින්
ප්‍රකාශ වන්නේ මේ අදහසයි. |