Print this Article


ගිහියාට නෛෂ්ක්‍රම්‍යය පුරුදු කළ හැකි ද?

 ගිහියාට නෛෂ්ක්‍රම්‍යය පුරුදු කළ හැකි ද?

නෛෂ්ක්‍රම්‍යය (නෙක්ඛම්ම) යනු නික්මීමයි. එනම් අත්හැරීමයි. සමහර අය සිතන්නේ පැවිදිවීම සඳහා ගිහිගෙදරින් නික්මීම පමණක් නෛෂ්ක්‍රම්‍යය හැටියටයි. ගිහිගෙදර අතහැර යෑම උතුම් නික්මීමක් බව සැබැවි. එය අභිනිෂ්ක්‍රමණයකි. එහෙත් බුදුදහමේ නෛෂ්ක්‍රම්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නික්මීම පමණක් නොවේ. එහි සැබෑ තේරුම නම් කාමයෙන් වෙන්වීමයි. කාමය අත්හැරීමයි.

නෙක්ඛම්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්පයට ඇතුළත් එක් සංකල්පයකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගිහි, පැවිදි සැමටම පොදු පිළිවෙතයි. ඒ බව බුදුහාමුදුරුවෝ නගර සූත්‍රයෙහි දී ඉතා පැහැදිලිව වදාළහ. ඒනිසා ගිහි බෞද්ධයනුත් නෛෂ්ක්‍රම්‍යය පුරුදු කළ යුතුය. එහෙත් මෙය කළ හැක්කේ ද යන්න බොහෝ විට ගිහි බෞද්ධයන්ට ඇතිවන ගැටලුවක් බව පෙනේ.

කාමය අත්හැරීමට නම්, පළමුවෙන් ම කාමය යන්නෙහි අර්ථය තේරුම් ගත යුතුය.ඒ සඳහා, නිබ්බේධික, න සන්ති යන සූත්‍ර ධර්මයන්හි ඇතුළත් වන ප්‍රකට ගාථාවක් විමසා බැලීම වැදගත් වෙයි.

න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සංකප්පරාගො පරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං

කාම යනු ලෝකයේ ඇති විචිත්‍ර දේ නොවේ. මිනිසාගේ සිතේ ඇතිවන සංකල්ප රාගය කාමය වේ. ලෝකයේ විසිතුරු දෑ එලෙසම තිබියදී නුවණැත්තෝ , ඒවාට තමන් තුළ ඇතිවන ඡන්දය සංවර කර ගනිති.

කාමය යනු සිතිවිල්ලක් බව මෙයින් අනාවරණය වේ.අරමුණු, විෂය වස්තූන් හෙවත් බාහිරව පවතින දේවල් කාම වස්තූන් පමණි. එනම්, සිතෙහි කාමය (ඇල්ම) හට ගැන්වීමට සමත් දේවල්ය. එනිසා අප මැඩ පැවැත්විය යුත්තේ, අත්හළ යුත්තේ, සංවර කර ගත යුත්තේ සිතේ ඇතිවන ඒ සිතිවිල්ලය. කාම සංකල්පය යනු එයයි. සංකල්ප රාගය යන්නෙහි මෙයට වඩා ගැඹුරු තේරුමක්ද ඇත. ඒ ගැන මෙතැනදී විස්තර වශයෙන් වටහා නොගත්තත් එය යම් තමින් හෝ දැන සිටීම වැදගත්වෙයි.

අප ආශා කරන්නේ බාහිර වූ අරමුණුවලට බව අපට හැඟුණත් ඇත්තෙන්ම නම් අප ආශා කරන්නේ, ඒ බාහිර අරමුණු නිසා අප සිත් තුළ හට ගන්නා සංඥාවන්ටය. ඒවා නිසා සිතේ මවා ගන්නා සිතිවිලි වලටය. එනිසා, ඇත්තෙන්ම අප ආශා කරන්නේ අප ම, අපේ සිත්වල ගොඩනඟා ගන්නා වූ සංකල්පවලටය. කාමය එවැනි එක් සංකල්පයකි. ඒ සංකල්ප රාගය ආශා කිරීම පාලනය කර ගැනීමයි, ඒ සංකල්ප රාගය බැහැර කිරීමයි, නෛෂ්ක්‍රම්‍යය හෙවත් අත්හැරීම යනුවෙන් හැඳින්වෙන්නේ.

බාහිර අරමුණුවලට හෝ ඒ අරමුණු නිසා ඇතිවන සංකල්ප වලට හෝ ඇතිවන ඡන්දය මේ අයුරින් කාමය යනුවෙන් අදහස් කරන බව වටහා ගත හැකියි. තමන්ට වැටහෙන තරමින් ඒ කරුණ තේරුම් ගැනීම මෙතැනට ප්‍රමාණවත්ය. ඒ අනුව, අපට පැහැදිලියි, අත්හැරීමට අවශ්‍යවන්නේ බාහිර අරමුණු හෝ විෂය වස්තූ®න් හෝ නොවන බව. එනම් රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ ආදිය නොවෙයි, අත්හළ යුත්තේ. පරිහරණය කරන භාණ්ඩ නොවෙයි, බැහැර කළ යුත්තේ. පාරිභෝගික භාණ්ඩ නොවෙයි. ඉවත් කළ යුත්තේ, අත්හළ යුතු බැහැර කළ යුතු, ඉවත් කළ යුතු එකම දෙය කාම නම් වූ සිතිවිල්ලයි; සංකල්පයයි.

දැන් අපට ප්‍රත්‍යක්‍ෂ වන කරුණකි ගෙවල්, ඉඩම්, වාහන, පරිහරණය කරන භාණ්ඩ, අඹුදරුවන්, නෑ හිත මිතුරන් මේ ඈ සියල්ලෙන් ඉවත් ව ගිය පමණින්, ඒවා බැහැර ලූ පමණින් සැබෑ නික්මීමක්, නෛෂ්ක්‍රම්‍යයක් සිදු නොවන බව.

රූප නොබලා සිටි පමණින් , ශබ්ද නො අසා සිටි පමණින් , සුවඳ නොවිඳ සිටි පමණින්,රස නොබලා සිටි පමණින්, ස්පර්ශ නො ලද පමණින් සිතෙන් කාමය ඉවත් වීමක් සිදු නොවේ, නෛෂ්ක්‍රම්‍යය සිදු නොවේ.(ඒ නිසා , කාම වස්තුන් කොපමණ ගොඩ ගසා ගත්තත් වරදක් නැතැ’ යි යන අනෙක් අන්තයට යෑම, නිවැරැදි යැයි මෙයින් නොකියැවෙන බව මෙතැනදීම අවධාරණය විය යුත්තකි)

මෙහිදී ගිහි චර්යාව හා පැවිදි චර්යාව අතර ඇති වෙනස විශේෂයෙන් සැලකිය යුතුව තිබේ. පැවිදි වීමේදී ගෙදර දේපොළ අඹුදරුවන් භාණ්ඩ ධනය ඈ සියල්ල අතහරින නමුත් ගිහියාට ඒ සියල්ල පරිහරණය කරමින් ජීවත් වීමට සිදුව තිබේ. පැවිදි පිරිස,අර්හත්වය කරා වහා ළඟා වීමේ ඍජු ප්‍රතිපත්තියක පිහිටා සිටියත්, ගිහිගෙදර තුළ ජීවත්වීමේදී ආර්ය මාර්ගයේ ගමන් කිරීමේ මන්දගාමී ප්‍රතිපත්තියක සිට ක්‍රියා කිරීමට ගෘහස්ථ බෞද්ධයා පෙළැඹී තිබේ.

ගිහියා ගෙදරක් ගොඩනඟා ගත යුතුය. අඹුදරුවන් රැක බලා ගත යුතුය. මවුපියන් පෝෂණය කළ යුතුය.මේ සියල්ල සඳහා ධනය සොයා සපයා ගත යුතුය. පාරිභෝගික භාණ්ඩ රාශියක් පරිහරණය කිරීමටද ඔහුට සිදුවේ.මේ නිසා,නිරන්තරයෙන් සෙසු අයගෙන් තමන්ගෙ දේවල් වෙන් කර ගෙන රැක බලා ගැනීමටද සිදුවේ. මෙහිදී නිරායාසයෙන්ම කාම සංකල්පනා බිහිවීම සිදුවේ. එහෙයින් කාම සංකල්පනාවන්ගෙන් ඉවත්විය හැක්කේ එක්තරා සීමාවක් තුළ පමණය.

පැවිදි පිරිසට මෙන් අබ්‍රහ්මචර්යා විරමණය නොව ඒ වෙනුවට කාම මිථ්‍යාචාරය විරමණය ගිහියාට අනුදැන ඇත්තේ එනිසාය. මෙතැනදි එය මෛථූන කාම විරමණයට සීමා වූ පටු අරුතකින් යෙදුණද, අනෙකුත් තන්හිදී එය පුළුල් ලෙස විග්‍රහකර දක්වා තිබේ.ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා කම්මන්තය ගැන කෙරෙන විග්‍රහයේදි අබ්‍රහ්මචර්යා විරමණය නොව, කාම මිථ්‍යාචාර විරමණය අවධාරණය වීම, ආර්ය මාර්ගය ගෘහස්ථයාට ද අදාළ බව ප්‍රකට කරන්නකි.

සත්වයා භවයට බැඳ තබන බැමි (සංයෝජන) අතරින් කාමච්ඡන්දය හා ව්‍යාපාදය (කාමරාග, පටිඝ) සපුරා බැහැර වන්නේ ආර්ය මාර්ගයේ තුන්වැනි පියවරේදීය. එනම් අනාගාමි මාර්ගඵල ලාභයේදීය. ගිහියාට සෝතාපන්න ,සකදාගාමී මාර්ගඵලයනට පිවිසිය හැක්කේ කාමච්ඡන්දය හා ව්‍යපාදය ඉතිරිව තිබියදීම පළමු,දෙවැනි මගපල ලද හැකි නිසාය.

මේ පසුබිම තේරුම් ගෙන ගිහියා “මගේ”දේවල් රැක ගනිමින් කාම වස්තුන් පරිහරණය කරමින්, කාමසංකල්පනාවනට යට නොවී නෛෂ්ක්‍රම්‍යය වැඩිය හැකි ආකාරය සිතා බැලිය යුතුය. භාණ්ඩ හා සේවා පරිභෝග කරන අපි කවුරුත් පාරිභෝගිකයෝ වෙමු.ඒ භාණ්ඩ ආර්ථික විද්‍යාවේ භාෂාවෙන් නම් ආර්ථික භාණ්ඩය. ඒවාම ආගමික ව්‍යවහාරයේ හැටියට කාම වස්තූ®න් ලෙස හැඳින්විය හැකිය.කාම වස්තුªන් පරිභෝග කරමින් කාම සංකල්ප උපදවා නොගෙන සිටීම පහසු කාර්යයක් නොවේ.මේ සඳහා කිසියම් ක්‍රමානුකූල ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට සිදුවේ. එය බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවන්හිදී විවිධ ආකාරයෙන් දේශනා කොට ඇත. අප කළ යුත්තේ ඒ දේශනා තම තම නැණ පමණින් වටහා ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට අවංක උත්සාහයක් දැරීමය.

මාත්‍රඥතාව මේ සඳහා මේ දහමෙහි ඉදිරිපත් වන අර්ථවත් වචනයකි. පමණ දැනීම යන තේරුම ඇති මෙය විග්‍රහ කර දැක්වීම සඳහා ක්‍රම කිහිපයක් දැක්වේ. ගිහි, පැවිදි උභය පක්ෂය උදෙසාම පරිභෝජනය හැසිරවීම සඳහා පෙන්වා දී ඇති වචන පහක්, භාණ්ඩ හෙවත් කාමවස්තු පරිහරණයේ මාත්‍රාව හැදින ගැනීමට උපකාරී වෙයි.

අගථිතෝ, අමුච්ඡිතෝ , අනජ්ඣාපන්නෝ, ආදීනවදස්සාවී, නිස්සරණපඤ්ඤෝ නම් වූ මේ වචනවල සාමාන්‍ය සරල සිංහල තේරුම වන්නේ නොඇලී, මුළානොවී, නොගැළී, ආදීනව දකිමින් ,හැරයෑමේ නුවණින් යුතුව පරිභෝජනයෙහි යෙදිය යුතුය යන්නය.

මාත්‍රඥතාව රැක ගැනීම සඳහා අනුගමනය කළ හැකි තව ක්‍රමයකි ත්‍රිවිධ සන්තෝෂයෙන් තෘප්තිමත් වීම. යථාලාභ, යථා බල, යථා සාරුප්ප යනුවෙන් දැක්වෙන එයින් කියැවෙනුයේ ලද පමණට, බල පමණට, ගැළැපෙන පමණට පරිහරණයෙහි නියැලීමයි.

ආහාරේ මත්තඤ්ඤුතා යන්න තවත් ක්‍රමයකි. අහරෙහි පමණ දැනීම එයින් අවධාරණය වේ. මෙහි ආහාර යන්න කබලිංකාර ආහාරයට සීමා නොවී ඵස්සාහාර, මනෝසංචේතනාහාර, විඤ්ඤාණාහාර ද ඇතුළත්ව සතරවිධ අහාරයටම පොදු ලෙස ගැනීමෙනි එහි පෘථුලාර්ථය දැක ගත හැක්කේ.

ඉන්ද්‍රිය සංවරය යනුද ඉන්ද්‍රියානුසාරී අරමුණු අනුභවයෙහි දී සීමා තබා ගැනීමය. තව නොයෙකුත් ආකාරයෙන් මාත්‍රාව අවධාරණය වී ඇතත් මෙහි දී මෙපමණකින් සෑහීමට පත් විය හැකියි.පාරිභෝගික භාණ්ඩ හා පරිභෝජන අරමුණු අවශ්‍යතා වුවමනා හා ආශා යනුවෙන් වර්ග කර ගැනීමෙන් දහමෙහි අවධාරණය වන මාත්‍රඥතාව හැඳින ගත හැකියි. එසේ හැඳින ගත් තැනැත්තාට ආශා පසුපස හඹා නොගොස් අවශ්‍යතා හා සුව පහසුව සලසන වුවමනා සුදුසු පරිදි සපුරා ගනිමින් නෛෂ්ක්‍රම්‍යය ප්‍රගුණ කළ හැකියි. මාත්‍රඥතාව පුරුදු කළ හැකි ක්‍රම නම් වශයෙන් සඳහන් කිරීමකට වඩා විස්තර කිරීමට මෙතැන අවකාශ මඳය. එය වෙනම සලකා බැලිය යුතු කරුණකි.

මාත්‍රඥාතාව ද ඒ සඳහා අනුගමනය කළ හැකි ක්‍රමද දැන ගත් තැනැත්තාට පාරිභෝගික භාණ්ඩ පරිහරණය කිරීමේදී සීමා තබා ගත හැකිය. ඉන්ද්‍රිය පිනවීමේ සීමා තබා ගැනීම යනුවෙන් අදහස් වන්නේ එයමය. තමන් සනිටුහන් කර ගත් සීමාවෙන් එහා ඇති සියල්ල අත්හැර දැමිය හැකිය.මෙහිදී අවශ්‍යතා සපුරා ගැනීම නෛෂ්ක්‍රම්‍යයට බාධකයක් නොවන බව තේරුම් ගත යුතුය.අවශ්‍යතාවලට සීමා නොවී, සුවපහසුව සලසා ගැනීමද දහමට පටහැනි නොවේ. එහෙත් එය සදාචාර ප්‍රතිපත්ති උල්ලංඝණය නොවන පරිදි විය යුතුය. ආශාවත් අවශ්‍යතාවත් මෙන්ම ආශාවත්, සුවපහසුවත් අතර ඇති පරතරය සදාචාර ප්‍රතිපත්ති වලට එකඟව තේරුම් ගත් බෞද්ධයාට ගිහි දිවියද සාර්ථක කර ගනිමින් නෛෂ්ක්‍රම්‍යයයෙහි ද යෙදෙමින් ආර්ය මාර්ගයට පිවිසීම දුෂ්කර කටයුත්තක් නොවේ.