Print this Article


ප්‍රථම දේවදූතයා

උපන් බිලිඳා ඒ මොහොතේම හැඬීමට පටන් ගනී. දරුවාට, යම් කෙනකු තම ළපටි ශරීරය අතගානවිට, නෑවීම් සේදීම් කරනවිට අපමණ දුකක් දැනෙයි. දරුවාට ඒ මොහොතේ දුක පවසා ගැනීමට හැකියාවක් නැති නිසා හැඬීම විනා වෙත කිසිවක් කර කියා ගැන්මට හැකියාවක් නැත්තේ ය. මෙය උප්පත්ති දුකේ යථා ස්වභාවයි. ‘පළමුවැනි දේවදූතයා’ අපට ලබාදෙන මේ පණිවුඩය අපි නිසි පරිදි වටහා ගනිමු.

ලොව එළිය දකින සත්වයෝ කර්මානුරූපව උප්පත්තිය ලබති. මවුපියන් කොතරම් පි‍්‍රයමනාප දරුවකු බලාපොරොත්තු වූවත්, එම අදහස සඵල නොවන්නට ද පුළුවන. උපතින්ම අංග විකල දරුවකු වන්නට ද ඉඩ ඇත. දෙනෙත් අන්ධ දරුවකු ද විය හැකි ය. බිහිරකු ද විය හැකිය. රෝග බහුල වශයෙන් ඇති අයකු වන්නට ද පුළුවන. සම්මත බරින් අඩු දුර්වල දරුවකු ද විය හැකි ය. අඟ පසඟ පිරිපුන් දරුවකු ද විය හැකි ය. කෙසේ වූවත් උප්පත්තිය දුකම වන්නේ ය.

අපි‍්‍රය වූ අමනාප වූ, දරුවකු ලැබීමෙන් ද හැඬීම්, වැළපීම්, ශෝක, පරිදේව දුක් දොම්නස් පීඩා විඳින්නට සිදුවන්නේ ය. පි‍්‍රය මනාප සිත්කලු දරුවකු ලැබීමෙන් වුවද මවුපියවරුනට හැඬීම්, වැළපීම්, ශෝක පරිදේවයන්ගෙන් අඩුවක් නැත්තේ ය. පි‍්‍රය, අපි‍්‍රය දෙයාකාරයෙන්ම දුකම උරුම වන්නේ ය. සියල්ලන්ම උපත සමඟ මරණය රැගෙන එන නිසා ජරා ව්‍යාධියෙන්ම සත් කැළ අප්‍රමාණ දුක් විඳින්නෝ ය. වයස් භේදයකින් තොරව කාල පරිච්ඡේදයකින් තොරව ළදරු තරුණ, මහලු සැම දෙනාම ජරා, ව්‍යාධි, මරණ යනාදිය මුල්කොටගෙන කායික, මානසික දුක් පීඩා බහුල වශයෙන් විඳින්නෝ ය.

පළමුවැනි දේව දූතයා තුළින්ම අසාරය, අශුභය ප්‍රකට වන ආකාරය දේව දූත සූත්‍රය ඇසුරෙන් මනාව පැහැදිලි කර ඇත. ඒ තුළින් කැමැති පරිදි කිසිවක් අඛණ්ඩව නොපවතින බව පෙන්නුම් කෙරේ. ‘අනිච්ච’ දහම තුළින් මේ බව අපට අවබෝධ කරගත හැකි ය.

කාමයන් කෙරෙහි ගිජු වූ සත්වයා නිරන්තරයෙන් කාම විතර්ක සිතයි. එහිම සිත හසුරුවයි. කොපමණ කාම වස්තු ලදත් සෑහීමකට පත් නොවෙයි. ඌන සිතකින්ම වාසය කරයි. නැවත නැවත පංචකාමයන් සේවනය සඳහා ත්‍රිවිධ දුශ්චරිතයේම යෙදෙයි. කාමයන්ගේ ආස්වාදය පතන ඔහුට එහි ඇති බියකරු භාවය ආදීනවය තේරුම් කරගැනීමට බුද්ධියක් නොවන්නේමය. මිථ්‍යා දෘෂ්ඨීය මුල්කරගෙන මිථ්‍යා සංකල්පනාවන්ම රැස්කරයි. එසේ රැස්කොට මිථ්‍යා කර්ම සමාදානයම බහුලව කරයි. මෙසේ පාපයම අග්‍ර කරගත් බාලතෙම මරණින් මතු අපාය දුක් ඇති නිරයට වැටෙයි. වධකයෝ යමරජුට මෙසේ කරුණු දන්වති.

“දේවයිනි, මේ පුරුෂයා බොහෝ පව්කම් කොට නිරයට පැමිණ ඇත. දීර්ඝකාලයක් මවට පියාට අහිත පිණිස, දුක් පිණිස හිංසා පීඩා පමුණුවා ඇත. වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වා නැත. ශ්‍රමණයන් කෙරෙහි දූෂිත සිතින් කටයුතු කර ඇත. ආස්‍රවයන් ප්‍රහීණ කරන ලද රහතන් වහන්සේට කරදර පමුණුවා ඇත. ආක්‍රොශ, පරිභව කර ඇත. දේවයන් වහන්ස, දඬුවම් පනවන සේක්වා”යි ඉල්ලා සිටිති.

යමරජ විසින් පළමුවැනි දේවදූතයා පිළිබඳ මෙසේ විමසනු ලැබේ.

“තා මනුෂ්‍ය ලොව ජීවත්වන කාලයෙහි ප්‍රථම දේවදූතයා නොදැක්කෙහිද?

“දේවයනි, මා දැක්කේ නැත”

“එම්බල පුරුෂය, මිනිස්ලොව පහළ වූ, ඉපිද ටික කලක් ගිය, වා, පිත්, සෙම්වලින් පීඩා විඳින මල මුත්‍රා අසූචි තවරාගත්, සීත උෂ්ණයෙන් දුක් විඳින, අන් අයගේ උපකාර පතන, උඩුකුරුව කෑගසමින් කඳුළු හෙළන කුඩා ළදරුවකු නුදුටුවෙහිද?”

“වහන්ස, එසේ ළදරුවකු දුටුවෙමි”

එසේ වූ පුරුෂයාට යම රජු මෙසේ කියයි. “එම්බල පුරුෂය, තා හට යමක් වැටහෙන කල බලය ඇති කල, මම ද ජාතිය ස්වභාව කොට ඇත්තෙමි, ජාති ධර්මය ඉක්මවා නැත. ජරා ව්‍යාධි මරණය ද ඉක්මවා නැත. සසර දුකින් නිදහස් වීම පිණිස කය, වචනය, මනැස යන තුන් දොරින් කල්‍යාණ වූ සද්පුරුෂ වූ කුසල ක්‍රියා සිදුකිරීම සුගති භවයක් ලැබීමට හේතු වන්නේ ය. එයම සසර දුකෙන් මිදීමට ද හේතු වන්නේය’යනුවෙන් සිතක් පහළකොට අප්‍රමාදව කටයුතු කිරීම යහපතැයි සිතුවෙහිද?”

“ නැත රජතුමනි, මම ප්‍රමාදයෙහිම හැසුරුණෙමි. කළු කර්ම බහුලකොට වැඩුවෙමි.”

“එසේ නම් ප්‍රමාද වූවන්ට මෙහි දඬුවම් පමුණුවමි. මෙය තාගේ මවුපියන් කළ දෙයක්ද නොවෙයි. අඹු දරුවන් කළ දෙයක් ද නොවෙයි. ඥාතීන් කළ දෙයක්ද නොවෙයි. මිත්‍ර අමාත්‍යන් කළ දෙයක් ද නොවෙයි. මහණ බමුණන් විසින් හෝ දෙවියන් විසින් හෝ කරනු ලැබූ දෙයක්ද නොවෙයි. තාගේ දූෂිත වූ සිතින් කළ නපුරු පාප කර්මය ම වේ. එය තා විසින්ම විඳිය යුතු වන්නේ ය.”

මේ කරුණු සලකා බලන විට අන්ධානුකරණයෙන් යුතුව, රූපය ස්ථිරසාර වූ දෙයක් ලෙස සලකා අහංකාර මානයෙන් යුතුව දූසිරිතතෙහි යෙදෙන ලෝකයාට සසර බිය වටහාගත හැකි ය. ළදරුවාගේ කය තුළම අසාරය, අසුබය නුවණින් විමසා බලා, අකුසල කර්ම රැස්කිරීම නවතා, නූපදීම සඳහා වීර්යය උපදවා ගැනීමට ප්‍රථමදේවදූතයා තුළින් ම කරුණු අවබෝධ කරගැනීමට හැකියාව ඇත. එහෙත් මේ අවබෝධය ලබනු වෙනුවට අද සිදුවන්නේ කුමක්ද? අසාරය සාරවත් ලෙස දකින ඇතැම් පියවරු දරුවකු බිහිවූ පසු පී‍්‍රතිය විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිත කරමින් මදයට පත්වෙති. මෙය දහම නොදත් අනුවණ, දුබල බාල ජනයාගේ ක්‍රියාවලියකි. අහිංසක මාතාවක නව මසක් අනේකවිධ දුක් පීඩා විඳ දරුවකු බිහිකළ පසු ස්වාමියා වගකීමෙන් කටයුතු කළ යුතු ය. පවුල් ජීවිතය පෙරටත් වඩා සංවිධානාත්මකවද මානසික සුවය සැලසෙන අයුරින් ද ගත කිරීමට දක්‍ෂ වීම ස්වාමියාගේ යුතුකම වන්නේ ය. ආසාර දේ සාරකොට ගෙන මුදල් ද විනාශ කරගනිමින්, කාලයද විනාශ කරගෙන පවුල් ජීවිත අඩාල කරගන්නා ස්වාමිවරුන් අතර, මහත්මා ගති ඇති, මෙලොව පරලොව උභය දියුණුව සලසාගෙන දැහැමි ජීවිත ගත කරන සද්පුරුෂ ගුණයෙන් යුතු, ස්වාමිවරුන් ද ලොව නැත්තේ නොවේ. එවැනි අය ජනසමාජයේ අල්ප වෙති. මෙසේ හෙයින් පරලොව සුගති භවයක් කරා යන්නෝ ද ස්වල්ප වෙති. බොහෝ ජනයා අකුසල් කොට සතර අපායාදි දුකටම වැටෙන්නෝ ය. මනුෂ්‍යත්වය ලැබීමේ පරම දුර්ලභභාවය අවබෝධ කර ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි.

නැවත අපි ‘ප්‍රථම දේව දූතයා’ දෙසට හැරෙමු. උපන් බිලිඳා ඒ මොහොතේම හැඬීමට පටන් ගනී. එවිට මවගේ සිත ද දරුවාකෙරෙහි අනුකම්පාව උපදවා දුකට පත්වෙයි. දරුවාට, යම් කෙනකු තම ළපටි ශරීරය අතගානවිට, නෑවීම් සේදීම් කරනවිට අපමණ දුකක් දැනෙයි. දරුවාට ඒ මොහොතේ දුක පවසා ගැනීමට හැකියාවක් නැති නිසා හැඬීම විනා වෙත කිසිවක් කර කියා ගැන්මට හැකියාවක් නැත්තේ ය. මෙය උප්පත්ති දුකේ යථා ස්වභාවයයි. රාත්‍රි සුව නින්දක් ලැබූ මවට හා පියාට ද දරුවකු ඇති වූ පසු එසේ තවදුරටත් සුවනින්දක් ලැබීමට අවස්ථාවක් නැත. වරින් වර දරුවා අවදි වී හඬන විට ඔහු සනසාලීමට ළඟින් සිටිය යුතු ය. දිවා රාත්‍රි දෙකෙහිම දරුවා වෙනුවෙන් තම ජීවිතය කැපකිරීමට සිදුවේ.

එක් අවස්ථාවක මව අසනීප වන විට මව රෝහලවෙත හෝ වෙනත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු වෙත රැගෙනයාමට, පියාට සිදුවෙයි. මෙය දිවා රාත්‍රි කාල පරිච්ඡේදයකින් තොරව වෙහෙසවීමට සිදුවන අවස්ථාවකි. තවත් විටෙක ළදරුවා අසනීප වෙයි. දෙදෙනාම එවිට දරුවා වෙනුවෙන් වෙහෙස විය යුතු ය. මව සහ දරුවා තරමක් සුව වන විට පියා වෙහෙස වී රෝගී තත්ත්වයකට පත්වෙයි. එවිට මවට සිදුවන්නේ දෙදෙනාම වෙනුවෙන් මහත් වූ කැපකිරීමක් සිදුකිරීමයි. එහිදී මවගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින්ම දුර්වල වෙයි. අවශ්‍ය කරන විවේකය, පෝෂණය සතුට හීන වන විට ඇයගේ කායික හා මානසික සුවය පිරිහී යයි. ඇතැම් මවුවරුන්ට ස්වාමියාගේ සහ නිවෙසේ ජීවත් වන සෙසු අයගේ තාඩන, පීඩන ආදි අමානුෂික ක්‍රියා හේතු කොට ගෙන මහත් වූ දුක් වේදනා විඳීමට ද සිදුවෙයි. ජන සමාජයේ එවන් විපත්තිදායක කනගාටුදායක සිදුවීම් බහුල වශයෙන් සිදුවනු දක්නට ලැබේ.

ඇතැම් අය තම බලය, ශක්තිය උපයෝගි කරගෙන තම බිරිඳට හා දරුවාට පමුණුවන හිංසා, පීඩාදිය නිසා ජීවිත විනාශවීම් පවා සිදුවෙයි. අන්ධ බාලතෙම තමා පසුපස අකුසල කර්ම විපාක හඹා එන බව නොදැන තව තවත් අකුසල කර්ම සිදුකොට තාවකාලිකව සුවවේදනා වින්දත්, සතර අපාදී දුකට පත් වී විපාක ගෙවන කාලසීමාවක් නොදැක බොහෝ කලක් දුක් වේදනා විඳියි.

එම නිසා හරි අවබෝධයක් නොමැතිව කටයුතු කිරීමෙන් සසර දිගුවෙන බවත්, දීර්ඝ කාලයක් අමිහිරි දුක් වේදනා විඳීමට සිදුවන බවත්, නුවණින් විමසා වටහාගත යුතු ය. එම නිසා ප්‍රථම දේවදූතයා තුළින් සසර අසාරය දැක ජාති සංවේගය උපදවා ගැනීම යහපත් ය. මළ මුත්‍රා ගොඩේ වැතිරී දරුවා හඬයි. දුක්වේදනා ප්‍රකාශ කර ගැනීමට නොහැකිව හඬයි. ඒ මේ අතට ඉරියව් වෙනස් කරගැනීමට නොහැකිවද හඬයි. වාත වේදනා, පිත් කිපීම, සෙම් කිපීම ආදියෙන් ද මහත් දුක් විඳියි. ඇතැම් දරුවෝ තුන්දොස් කිපීමෙන්, විවිධ රෝගයන්ගෙන් මිය යති. මේ තුළ ජරා, ව්‍යාධි මරණයම විද්‍යාමාන වේ. දද, කුෂ්ඨ ආදී චර්ම රෝග සෑදී දුක් විඳී. ආහාර අපත්‍ය වී ද දුක් විඳීයි. නා නා පණු රෝගයන්ගෙන්ද විඳින දුක් පීඩාව ඉමහත්ය. මෙලෙස ළදරුවාම ඔබට ප්‍රකාශ කරන්නේ මා දෙස බලා අසාරය මෙනෙහි කර නූපදීම සඳහා අප්‍රමාදව කටයුතු කරගන්න යන පණිවිඩයයි.

පළමුවැනි දේවදූතයා අපට ලබාදෙන එම පණිවුඩය අපි නිසි පරිදි වටහා ගනිමු. නුවණැතිව කටයුතු කර විමුක්ති සාධනය වෙනුවෙන් අප්‍රමාදී වෙමු.