Print this Article


බුදුදහම, දේව විශ්වාස සහ කතරගම දෙවියෝ

ශ්‍රී ලංකාව සමස්ත ලෝකවාසීන්ගේ අවධානයට පාත්‍රව ඇත්තේ නිර්මල ථෙරවාද බුද්ධධර්මය ආරක්‍ෂා වී ඇති රටක් හැටියටයි. ථෙරවාද බුද්ධධර්මය යනු මුල් බුදුදහමයි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු උද්ගත වූ මතභේදාත්මක තත්ත්වයන් යටතේ බුදුසසුන නිකාය හෙවත් සම්ප්‍රදාය වශයෙන් බෙදී ගිය බව ශාසන ඉතිහාසයෙන් පෙනේ. දෙවැනි ධර්ම සංගායනාවෙන් පසු දාහතක් දක්වා ව්‍යාප්ත වූ එම භේදය පසු කාලයේදී විද්‍යාමාන වන්නට වූයේ ථේරවාද, මහායාන යනුවෙන් සංගත අකාරයෙනි.

වර්තමානය වන විට ලොව බොහෝ රටවල බුදුදහම ව්‍යාප්ත ව පවතී. ඒ රටවල් අතරින් මුල් බුදුදහමත් සංශෝධනයන්ට ලක් නොවූ ත්‍රිපිටක ධර්මයත් පවතින්නේ ශ්‍රී ලංකාවේ පමණි. අනෙක් රටවල පවතින්නේ මහායාන බුද්ධධර්මයයි.

බෞද්ධ ඉගැන්වීම්වලට අනුව,හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ඕනෑම දෙයක ප්‍රධාන ලක්‍ෂණය වෙනස්වීමයි. අපේ රටේ ථේරවාද ධර්මයට ද ඒ නියාම ධර්මය පොදුය.ඒ අනුව අද වන විට මේ රටේ ථේරවාද සම්ප්‍රදාය තුළද යම් යම් වෙනස්කම් සිදුවී තිබේ. විවිධ ආගමික, සාමාජික හේතු ඊට බලපා ඇත.මේ නිසාම වර්තමාන බුදුසමය තුළ දකින්නට ලැබෙන සමහර කාරණා පිළිබඳව උගතුන් අතර මෙන්ම පොදු ජනතාව අතරද විවිධ කතිකාවන් ඇති වී තිබේ.තෙරුවන් සරණ ගිය බෞද්ධයා දෙවියන් පිදීම,දේව විශ්වාස පිළිගැනීම බුදුදහමට එකඟ ද යන්න එසේ කතිකාවන්ට මාතෘකා වී ඇති එක් කරුණකි. මේ ලිපියෙන් අප උත්සාහ කරන්නේ ත්‍රිපිටක ධර්මයට අනුව ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමටය.

බුදුදහම වැනි ගැඹුරු, එසේම පෞරාණික ධර්මයක් පිළිබඳ යම් යම් කරුණු සාකච්ඡා කිරීමේදි අප ඊට ප්‍රවේශ විය යුත්තේ ත්‍රිපිටකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහ විචාර බුද්ධියක් ඇතිවය. එසේ නොමැතිව ධර්මය පිළිබඳ මතුපිටින් ලබන අක්‍රමවත් දැනුමක් සහිතව තම තමන්ගේ පෞද්ගලික මතවාදයන් සමාජ ගත කිරීම අනුචිතය. බුදුදහමත්,දේවවිශ්වාසත් අතර මතුපිටින් පෙනෙන විසදෘශතාවන් දකින ඇතැම් විචාරකයෝ ගැඹුරින් කරුණු අධ්‍යයනය නොකොට,තෙරුවන් සරණ යන්නකු දෙවියන් පිදීම වැරැදි යැයි කීමට පෙළැඹෙති. මේනිසාම එය හරිද වැරැදි ද යන මතභේදයක් සමාජගතව තිබේ.මේ මාතෘකාව පිළිබඳව කරුණු අධ්‍යයනය කළ යුත්තේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව පමණක් නොව බුදුදහම පහළවීමට තුඩුදුන් ඓතිහාසික පසුබිමද පැහැදිලිව වටහා ගැනීමෙනි.

බුදුරජාණන් වහන්සේ භාරතයෙහි පහළවන අවධිය වන විට එහි පැවතියේ එක්තරා අන්දමක ආගමික උන්මාදයකි. හැම කෙනෙකුගේ ම අවධානය යොමු වී තිබුණේ “ කිං සච්ච ගවේසී” (ඇත්ත කුමක් ද) යන ප්‍රශ්නය දෙසටය. තමා ඉදිරිපත් කරන්නේ පරම සත්‍යය බව පවසමින් බොහෝ ආගමික ශාස්තෘවරු මතවාද ඉදිරිපත් කළහ. ඔවුන්ගේ මතවාද එකිනෙකට පටහැනිය. එසේ නම් ඒ සියල්ල සත්‍ය විය නොහේ. ජනතාව ඇත්ත කුමක්දැයි තෝරාබේරාගත නොහැකිව අන්දමන්ද වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ආගමික පරමාධිකාරයක් ගොඩනඟාගෙන සිටි බමුණන්ට එරෙහි වූ පිරිස් එසේ සත්‍යය සොයමින් විවිධ මත ඉදිරිපත් කරන්නට පෙළැඹුණූ බව භාරතීය ආගමික ඉතිහාසය පරීක්‍ෂා කිරීමේදී වටහාගත හැකිය.දේවවාදය ප්‍රමුඛ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි ප්‍රාග් බෞද්ධ භාරතීය සමාජයේ පැවැති බව ත්‍රිපිටකයෙන් පෙනේ.ඒවා අතර අදේවවාදය, විතණ්ඩවාදය,අහේතු අප්පච්චය වාදය, අකිරියවාදය, හේතුවාදය, පුබ්බේකත හේතුවාදය, ආත්මවාදය ආදි විවිධ මතවාද වූ අතර බුදුදහම අනුව ඒ සියල්ල ශාස්වත,උච්ඡේද දෙකට අයත්වේ.ඒ සියල්ල මිථ්‍යා දෘෂ්ටි ගණයෙහි ලා බුදුදහම විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.

බුදුදහම පහළ වන්නේ බුද්ධිවාදයක් ලෙසිනි. එහි අන්තර්ගත වන්නේ තර්කානුකූල දර්ශනයකි. පටිච්ච සමුප්පාදන්‍යාය හෙවත් හේතු ප්‍රත්‍යවාදය පදනම් කරගත් බෞද්ධ දර්ශනය මිනිසාගේ ස්වාමිත්වය තහවුරු කරයි.ලොව උත්තරීතර සත්වයා මිනිසා මිස වෙනත් කිසිදු අදෘශ්‍යමාන බලවේගයක් නොවනබව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ, ඒ අනුව බොහෝ දෙනාට ගැටලුවක් ව පැවැති විශ්වයත්,සත්වයාත් පිළිබඳ යථාර්ථය පැහැදිලි කළේ වඩාත් තර්කානුකූල පදනමකිනි. එනම්, බොහෝ දෙනාගේ සාකච්ඡාවට ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණු විශ්වයේත් සත්වයාගේත් පැවැත්ම පිළිබඳ යථාර්ථවාදි විග්‍රහයකිනි. බුදුදහම අනුව විශ්වයේ පැවැත්මත් නැවැත්මත් ඇත්තේ සර්ව බලධාරි දෙවියකු අත නොව මේ මනුෂ්‍ය ශරීරය තුළ මය. (ඉම මේව බ්‍යාම මත්තකේ කලේබරේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච පඤ්ඤාපේමි)

බොහෝ දෙනාගේ සිත් සතන් තුළ කැකෑරෙමින් පැවැති ප්‍රශ්නවලට බුදුදහමෙන් නිසැක,නිවැරැදි, පිළිතුරු ලැබිණි. බුදුදහම ව්‍යාප්ත වන්නට වූයේ එය ප්‍රඥාවන්තයන් සඳහා දේශිත ධර්මයක් වූ බැවිනි (පඤ්ඤවන්තස්සායං ධම්මෝ, නායං ධම්මෝ දුප්පඤ්ඤාවන්තස්ස) එහි ප්‍රතිඵලයක් ලෙස එතෙක් පැවැති සියලු ආගමික ඉගැන්වීම් අභිභවමින් බුදුදහම ශීඝ්‍රයෙන් පැතිරී යන්නට ද විය.

බෞද්ධ ඉගැන්වීම් අනුව සත්වයා සසර සැරිසරන්නේ අවිද්‍යාව මුල් කර ගත් හේතු ප්‍රත්‍ය නියාමයකට අනුවය. සංසාරය යනු දුක් ගොඩකි. ඒ දුකින් මිදිය හැක්කේ සත්වයාටමය. එය සර්ව බලධාරි දෙවියකුට හෝ වෙනත් අයකුට කළ හැක්කක් නොවේ. මක්නිසාද යත්, සර්වබලධාරි දෙවියා වුවද පෘථග්ජනයකු වන බැවිනි.

සසරින් මිදීමේ ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය අනුගමනය කිරීමෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැකිය. සිවුසස් අවබෝධයෙන් සියලු කෙලෙසුන් නසා නිර්වාණාවබෝධය ලබා සංසාර විමුක්තිය ලබාගන්නට පිළිවන. බෞද්ධ දර්ශනයේ සාරාංශය එයයි. සසර දුකින් මිදීමට වෙනත් මඟක් නැත.

විමුක්ති මාර්ගයට පිවිසෙන විමුක්තිකාමියා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු මාර්ගය එයයි. එහි දී ඉන්මෙහා හමුවන සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණයන්ගෙන් යුත් ප්‍රපංචයන් වන බැවින් බුදුදහම ඒ සියල්ල ප්‍රතික්‍ෂේප කරයි. දෙවියකුට හෝ බ්‍රහ්මයකුට හෝ අන් කවර නිර්මාපකයකුට හෝ සත්වයා සසර දුකින් එතෙර කරවිය නොහේ. එබඳු නිෂ්ඵල අරමුණු කෙරෙහි එල්බ ගැනීම නිර්වාණාවබෝධයට බාධක වන්නේය.

ඉන්දියාවේ මුල් බැසගෙන තිබුණු ඊශ්වර නිර්මාණවාදය බුදුරදුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඒ අනුවය. විශ්වය යනු කිසිවකුගේ මැවීමක් නොව හේතු ප්‍රත්‍යයන්ගේ සමවායයකි. හේතු ප්‍රත්‍යයන් පවත්නා තාක් විශ්වය පවතී. එය පවත්වාගෙන යන්නකු හෝ පාලනය කරන්නකු නැත. හේතු ප්‍රත්‍ය නැති වූ කල්හි විශ්වයද විනාශ වී යයි. එය විනාශ කරන්නෙක් ද නැත. සත්වයාගේ පැවැත්මද එසේමය. (හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති)

බෞද්ධ දර්ශනය හා වෙනත් ආගමික මතවාදයන් සරල උදාහරණයකින් මෙසේ විග්‍රහ කළ හැකිය. කිසියම් ගමනාන්තයකට ළඟාවීමට නිශ්චිත මාර්ගයක් වෙයි. ඒ මාර්ගයේ ගමන් කරන විට අතුරු මාවත්, සිවුමංසල්, දෙමංසල් , තුන් මංසල්, පෙත් මං හමුවෙයි. ගමනාන්තයට යෑමේ අරමුණින් ගමනෙහි යෙදෙන්නාට ඒවායින් ප්‍රයෝජනයක් නොමැත. ඒවාට යොමු වුවහොත් මග වරදී. එවන් අතුරුමංවලින් ඔහුට ලැබෙන එකම ප්‍රයෝජනය නිශ්චිත ගමන් මාර්ගය හඳුනාගැනීමට මඟ සලකුණු ලෙස මතකයේ තබා ගැනීම පමණි.

බෞද්ධ විමුක්ති මාර්ගයට පිළිපන් තැනැත්තාට අපේක්‍ෂිත ගමනාන්තයට ළඟාවීමට පෙර, ගුප්ත විශ්වාස,දේවඇදහීම්, මිථ්‍යා දෘෂ්ටි, ආදි අතුරු මාර්ග බොහොමයක් හමුවේ. යන්ත්‍ර මන්ත්‍ර, නක්‍ෂත්‍ර ආදි ගුප්ත විශ්වාසයන්හි එල්බ ගැනීම නිශ්චිත මාර්ගය වරදවා ගැනීමකි. එය අතුරු මඟකට හැරීම වැන්න.දේව විශ්වාසයද එබඳුය.මිථ්‍යා දෘෂ්ටිද එබඳුය. ශිල්ප ශාස්ත්‍ර ලලිත කලා ගෘහ ජීවිතය ආදි සසර බැඳුම් ද එසේය. විමුක්තිකාමියාට ඒවා ප්‍රයොජනවත් වන්නේ තම ගමන් මග නිවැරැදිව හඳුනා ගැනීමට මඟ සලකුණු වශයෙන් පමණි.දේව විශ්වාස, යන්ත්‍ර ,මන්ත්‍ර, තන්ත්‍ර නක්‍ෂත්‍ර ආදි ගුප්ත විශ්වාස මිථ්‍යා දෘෂ්ටි ආදියද බෞද්ධ දර්ශනය විසින් බැහැර කරනු ලබන්නේ ඒ අර්ථයෙනි.

බුදුදහම ප්‍රතික්‍ෂේප කරන්නේ විමුක්තිදායකයකු ලෙස සලකා දෙවියන් යැදීම, පිදීම ඇදහීම මිස දේව සංකල්පය නොවේ. මේ බව අප අවබෝධයෙන් තේරුම් ගත යුතුය. බුදුදහම පහළවීමට පෙර දේවවාදය ලෙස සැලකුªණේ ඊශ්වර නිර්මාණවාදයයි. එහි හරය වූයේ සියල්ල සර්වබලධාරි දෙවියකුගේ කැමැත්ත මත සිදුවන බව පිළිගැනීමය.දේව පූජා නිර්මාණය වූයේ දෙවියන්ගේ කැමැත්ත දිනාගැනීමටය. දෙවියන් සතුටු කිරීමෙන් තම අරමුණු සපුරා ගන්නටය. බුදුදහම අනුව සාවද්‍යවන්නේ ඒ මාර්ගයයි.

ඊශ්වර නිර්මාණවාදය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ දේව සංකල්පය කිසිවිටෙකත් ප්‍රතික්‍ෂේප කර නැත. දෙවියන් නමින් හඳුන්වන අදෘෂ්‍යමාන සත්ව කොට්ඨාසයක් ඇති බවත්, ඔවුන් වෙසෙන දිව්‍යලෝක නම් ලෝක ඇති බවත් උන්වහන්සේ නිරතුරුවම දේශනා කළහ. දේව ලෝකවල උත්පත්තිය ලබන්නේ මිනිස් ලොවදී පින්දහම් කළවුන්ය.

වඩාත් විමසිල්ලෙන් බලන විට දේවවාදී ඉගැන්වීම් වලටත් වඩා සවිස්තර තොරතුරු බුදුසමයෙහි පෙනේ. දෙවිවරු බල පරාක්‍රමය අනුව අල්පේශාක්‍ය ,මහේශාක්‍ය වශයෙන් දෙයාකාර වෙති. වාසයකරන ස්ථාන අනුව, ගෘහාධිගෘහිත වෘක්‍ෂාධිගෘහිත,ආකාශස්ථ ,භූම්‍යස්ථ, දිව්‍ය ලෝකවාසී වශයෙන් විවිධ වෙති.ඇදහීම් අනුව සම්‍යග් දෘෂ්ටික, මිථ්‍යා දෘෂ්ටික වශයෙන්ද දෙයාකාර වෙති.මේ විස්තර ඇතුළත් සූත්‍ර දේශනා විශාල සංඛ්‍යාවක් සූත්‍ර පිටකය පුරා දක්නට ලැබේ. ඒ සියලු කරුණු සම්පිණ්ඩණය කර ගත් විට අපට පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ අස්තිත්වය පිළිගත් බවය. වෙනත් වචනවලින් කියතොත් දෙවියන් නමින් අදෘෂ්‍යමාන සත්වකොට්ඨාසයක් විශ්වයෙහි වාසය කරන බව පිළිගන්නා බව ය.

බුදුදහම මිනිසාගේ ස්වාමිත්වය පිළිගන්නා දහමක් නිසා බෞද්ධයකු දෙවියන්ට වන්දනාමාන කිරීම අනුමත නොකෙරේ. එක් අවස්ථාවක දී බුදුරදුන් වදාළ අන්දමට, දෙදෙව් ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයා ද පන්සිල් රකින දැහැමි ගිහියාට පවා නමස්කාර කරයි. එබඳු පසුබිමක් යටතේ පන්සිල් රකින ගිහියකු පවා දෙවියන්ට වන්දනාමාන කිරීම නිරර්ථක ක්‍රියාවකි. එහෙත් දෙවියන්ට ගරු බුහුමන් දැක්වීම, පුද පූජා පැවැත්වීම, පිං පෙත් අනුමෝදන් කිරීම වරදක් නොවේ. විමුක්ති මාර්ගය, සම්බන්ධ මනුෂ්‍යයාට දෙවියන්ගෙන් පිළිසරණක් නැතත්, ලෞකික ජීවිතය පැත්තෙන් මනුෂ්‍යයාට දේවාශිර්වාදය ප්‍රයෝජනවත් වන බැවිනි.

විශාලානුවර තුන්බිය හටගත් අවස්ථාවේදී ඉන් විපතට පත්වූවන්ට ශාන්තිය උදාකරදීම සඳහා දේශනා කළ සූත්‍රය “රතන සූත්‍රය” යි. ත්‍රිවිධ රත්නයේ මහිමය ප්‍රකාශ කෙරෙන එම සුත්‍රයේදී “ දිවා රෑ දෙක්හි පුද පූජා පවත්වන මනුෂ්‍යයන් ආරක්‍ෂා කර දෙන්නැ”යි බුදුරජාණන් වහන්සේ දෙවියන්ට උපදෙස් දෙයි. (දිවා ච රත්තෝ චහරන්ති යේ බලිං –තස්මාහි නේ රක්ඛථ අප්පමත්තා)

එයින් තහවුරු වන කරුණූ දෙකක් වෙයි. එකක් දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම උන්වහන්සේ අනුමත කළ බවය. අනෙක විපතට පත් මනුෂ්‍යයන්ට පිහිටවීමේ ශක්තියක් දෙවියන් සතුව ඇතැයි පිළිගත් බවය.

මජ්ඣිම නිකායේ ධනංජානි සූත්‍රයට අනුව, ගිහියකු වශයෙන් අනිවාර්යයෙන් ම කළ යුතු යුතුකම් අතර දෙවියන් වෙනුවෙන් යුතුකම කිරීම ද එකකි.අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහි දැක්වෙන පරිදි ගිහි ආර්ය ශ්‍රාවකයා අවශ්‍යයෙන්ම පැවැත්විය යුතු දීමනාවන් අතර “දේවතා බලි” යනු ද එකකි. දේවතා බලි යනු දෙවියන් උදෙසා දෙන පූජාවන්ය.අධම්මික සූත්‍රයට අනුව,දෙවියනට පින් දෙන තැනැත්තා, මවක සිය ඇකයෙහි හොවා රකින පුතකු මෙන් දෙවියන් විසින් ආරක්‍ෂා කරනු ලබයි. නිද්දේසපාළියෙහි සඳහන් වන පුවතකට අනුව,දෙවිවරුන් අතර ඍද්ධිමත්,පරසිත් දන්නා නුවණැති, දිවැස් ඇති මහානුභාව සම්පන්න දෙවිවරු සිටිති. ඔවුනට නොයෙක් ආශ්චර්ය අද්භූ®ත දේ කළහැකිය. දෙවියන් පුදන්නා දෙවියන් විසින්ද පුදනු ලබන බව බෞද්ධ ඉගැන්වීමයි. (දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති) මේ කරුණු ස්වල්පය ඉදිරිපත් කළේ දෙවියන් පිදීම බුදුදහමට පටහැනි නොවන බව තහවුරු කිරීමටය. මීළඟට අපේ අවධානය යොමු විය යුත්තේ කතරගම දෙවිඳුන් වෙතටය. කතරගම දෙවිඳුන් සිංහල බෞද්ධ දෙවියකුද? නොඑසේනම්,දෙමළ හින්දු දෙවියකුද? මේ පිළිබඳ ව මෑත යුගයේ දි උගතුන් අතර වාද විවාද ඇති වූ බව අපි දනිමු. කරුණු වරදවා වටහාගත් සමහර උගත්හු, කතරගම දෙවිඳුන් දෙමළ හින්දු දෙවියෙකැයි මත පළ කිරීමට උත්සුක වූහ.ඊට පදනම් වූයේ වේද ග්‍රන්ථවල දක්නට ලැබෙන ස්කන්ධකුමාරත්, කතරගම දෙවියනුත් එක් අයෙකැයි වරදවා ගැනීමෙනි. කතරගම දෙවියන් හැඳින්වීමට යොදන “කඳ කුමරු” යන පදය එහි දී ඔවුන් සිතුවේ ස්කන්ධ කුමාර , කන්ද කුමාර, කඳ කුමාර යනුවෙන් බිඳී ආ බවකි. එහෙත් අපේ ජනප්‍රවාදවලට අනුව, කන්දේ විසූ කුමාරයා යන්නෙන් කඳ කුමාර යැයි ව්‍යවහාරයට එක් වූවා මිස, ස්කන්ධ කුමාර හා එහි සබඳතාවක් නොමැත.

මේ අවුලට හේතුව,ලංකාවට පැමිණි ද්‍රවිඩ ජන කොටස් කතරගමට පැමිණ දේවපූජා පැවැත්වීමට පෙළැඹීම බව පැහැදිලිය. ඔවුන් සිතුවේ මේ රටේ කඳ කුමරු ඔවුන් ඇදහූ ස්කන්ධ කුමාර කියායි. ඒ අනුව ස්කන්ධ කුමාර හා සම්බන්ධ දේවකථා කතරගම දෙවිඳුන්ට ආරෝපණය කළහ. හින්දු දහමේ හැටියට පුද පූජා පවත්වන්නට, ස්තෝත්‍ර ගායනා කරන්නට වූහ. කල්යෑමේදී බෞද්ධ සම්ප්‍රදාය හා හින්දු සම්ප්‍රදාය මිශ්‍රවීමෙන් සිදුවූයේ කතරගම දෙවිඳුන්ගේ සම්භවය හා පැවැත්ම නිරාකරණය කරගත නොහැකි අන්දමේ අවුලක් බවට පත්වීමය. වර්තමානයේ පවා කතරගම දෙවිඳුන් උදෙසා පැවැත්වෙන පුද පූජා මේ සම්ප්‍රදාය දෙකෙහිම සම්මිශ්‍රණයක්ව තිබේ. කතරගම දෙවිඳුන් අරභයා ඇතිවූ මේ වියවුල වැනිම වියවුලක් ශ්‍රී පාදස්ථානය සම්බන්ධයෙන් ද පවතී. සමනළ කන්දේ බුදුසිරිපා සටහන පිහිටා ඇතැයි සලකා බෞද්ධයන් වන්දනාමාන කරද්දී, හින්දුන් විශ්වාස කරන්නේ එහි ඇත්තේ ශිව දෙවියන්ගේ පා සටහන බවය. ඔවුන් සමනළකන්ද හඳුන්වන්නේ “ශිවනඩිපාදම්” නමිනි. කතෝලිකයන් සමනළකන්ද හඳුන්වන්නේ “ඇඩම්ස් පීක්” (ආදම්ගේ කන්ද) නමිනි. එහෙත් ඓතිහාසික මූලාශ්‍ර අනුව සමනළ කන්ද බුදු සිරිපා පහස ලත් බෞද්ධ පූජනීය සිද්ධස්ථානයකි.

කතරගම දෙවිඳුන් සම්‍යග් දෘෂ්ටික දේශීය බෞද්ධ දෙවියකු බව අපේ ඓතිහාසික මූලාශ්‍රවලින් හා ජනප්‍රවාදවලින් තහවුරු වෙයි. ඒ සම්බන්ධ ඉතිහාසය බුදුරජාණන් වහන්සේ තුන්වැනි වර ලක්දිවට වැඩම වූ අවස්ථාව දක්වා ඈතට විහිදී යයි. ධාතු වංසයෙහි විස්තර වන අන්දමට බුද්ධත්වයෙන් අටවැනි වසරේ දී ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සංචාරය කළ ස්ථාන අතරින් එකක් වන්නේ “කාචරගාම ” (කතරගම ) යයි. ඒ වන විට එය ස්වාධීන රාජ්‍යයක් වූ අතර, එහි පාලකයා වූයේ මහා ඝෝෂ නම් ප්‍රදේශාධිපතියෙකි. බුදුරජාණන් වහන්සේ කතරගම දී සමවත් සුවයෙන් වැඩ සිටියේ මහාඝෝෂට අයත් කිහිරි උයනෙහිය. එහිදී බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පත් මහා ඝෝෂ විශාල ජනතා සහයෝගයක් ලැබීමෙන් ජනාදරයට පත් වූවෙකි. එතුමා බොහෝ පිරිසකට (සේනාවකට) නායකත්වය දුන්නේය යන අර්ථයෙන් පසු කලදී මහාසේන නමින්ද හැඳින්වෙන්නට විය. එතුමාගේ මරණයෙන් පසු මහාසේන නමින් දේවත්වාරෝපණයෙන් පුද පූජා ලබන්නට වූයේය.මරණින් මතු දේවත්වයෙන් පිදුම් ලබන තවත් දෙවිවරුන් රැසක් අපේ රටේ වෙයි.අයියනායක, මින්නේරි දෙවි, විභීෂණ, ගම්භාර යනු ඉන් සමහරකි. කොටබෝව කුඩා කතරගම දේවාලයෙහි එවන් දෙවිවරුන් 64 දෙනෙකුන් පුද පූජා ලබන බව ද මෙහි දී සිහිපත් කළ යුතුය. මහාඝෝෂ මහසෙන් දෙවියන් බවට පත් වූයේද ඒ අනුවයි. එසේ සලකන විට මහසෙන් යනු සිංහල, බෞද්ධ මාර්ගඵල ලාභි දෙවියෙකි. එතුමා කතරගම ප්‍රදේශය ආශ්‍රීතව ජීවත්වීම නිසා “ කතරගම දෙවියන්” ලෙස ප්‍රසිද්ධියට පත් වූයේය.අලුත්නුවර බණ්ඩාර දෙවියන්ද එබඳුය.දැනට කිරිවෙහෙර සෑ මළුවෙහි දකින්නට ලැබෙන්නේ යට කී මහසෙන් සුරිඳුන්ගේ ප්‍රතිමාවයි. කතරගම මහා දේවාලය අදත් හැඳින්වෙන්නේ “රුහුණූ කතරගම මහසෙන් මහාදේවාලය” නමිනි.

ජනප්‍රවාදවලට සහ හියු නෙවිල්ගේ කෘති එකතුවෙහි කන්දමාලය,කඳකුමර පුවත වැනි ලේඛනවලට අනුව, කතරගම දෙවිඳුන් උදෙසා දෙවොලක් ඉදිකරන ලද්දේ දුටුගැමුණු මහරජතුමන් විසිනි. ඒ ද්‍රවිඩයන් හා සටනට යෑමේදී තමන්ට සහයෝගය දෙන මෙන් කළ ආයාචනය ඉටුවීම වෙනුවෙන් කෘතගුණ සැලකීමක් වශයෙනි.ඉතා ප්‍රබලයකු ලෙස වසර 44 ක් අනුරාධපුරයේ පාලනය ගෙන ගිය එළාර පරාජය කරන්නට තමාට හැකිවූයේ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය නිසා බව දුටුගැමුණු රජතුමා විශ්වාස කළේය.සටනට යෑමට පෙර දේවාශිර්වාදය ඉල්ලා සිටියේ දෙවියන්ගේ තෙද බල පරාක්‍රමය පිළිබඳ රජු තුළ පැවැති විශ්වාසය නිසා ය.

දුටුගැමුණු රජතුමාගේ සටනෙහි තේමාව වූයේ “ මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයාගේ චිරස්තිථිය සඳහාය “ යනුයි.කතරගම දෙවිඳුන් දෙමළ හින්දු දෙවියකු විණී නම්, බුදුසසුනේ චිරස්තිථිය උදෙසා ද්‍රවිඩ පාලකයකුට එරෙහිව කරන සටනකට එවන් දෙවියකුගෙන් පිහිට පැතී යැයි සිතීම හාස්‍යයට හේතුවක් වන්නේය. එසේ පිහිට ලැබිණැයි සැලකීමද විහිළුවකි. රජු කතරගම දෙවියන්ගෙන් පිහිට පැතුයේ එම දෙවියා සිංහල ජාතියට ආදරය,කරන, ලක්දිවට හා බුදුසසුනට ආදරය කරන සම්‍යග් දෘෂ්ටික දෙවියකු වූ හෙයිනි.

තම පොරොන්දුව පරිදි ඉෂ්ටාර්ථ සිද්ධියෙන් පසු දේව මන්දිරය ඉදිකරවන ලද්දේ අති උතුම් බෞද්ධ පූජනීය සංකේතයක් ලෙස වැඳුම් පිදුම් ලැබූ කතරගම අෂ්ටඵලරුහ බෝධින් වහන්සේ සෙවනෙහිය. මිථ්‍යා දෘෂ්ටික දෙවියකුට බෞද්ධ සෙවනක දේවාලයක් ඉදිකරන්නට මහා බෞද්ධ නරපතියකු වූ දුටුගැමුණු රජතුමා කිසිසේත් ඉදිරිපත් නොවන්නේය.

කතරගම මහාදේවාලයේ පැවැත්වෙන චිරාගත චාරිත්‍ර සියල්ල දුටුගැමුණු මහරජතුමාගේ රාජ නියෝග පරිදි ක්‍රියාත්මක වන ඒවාය. දෛනිකව හා වාර්ෂිකව පැවැත්වෙන සියලු දේව පූජා විධිවලදි ප්‍රමුඛත්වය ලැබෙන්නේ රත්නත්‍රයටය. ඒ වෙනුවෙන් ඉදි වූ විහාර මන්දිරයක් මහාදේවාලයට යාබද ව ඉදිකර ඇති අතර, එකී කටයුතු සඳහාම වූ රාජකරි නිලයක් ද වෙයි. පිරිත් නිලය ලෙස නම් කර ඇති ඉහත කී තනතුරට අදාළ සියලු කාර්යයන් පැවැරී ඇත්තේ කිරිවෙහෙර රාජ මහා විහාරයටය. කතරගම මහාදේවාලයේ තේවා මඬුල්ල ඉතිහාසයේ ආරම්භයේ සිට අද දක්වා ම සිංහල බෞද්ධයන්ගෙන් සමන්විතව තිබීම තවත් විශේෂත්වයකි. එය කෙටිකාලයකට හෝ වෙනස් වී ඇත්තේ 1818 කැරැල්ල සම්බන්ධයෙන් ඉංගී‍්‍රසින්ට ලැබුණු වාර්තා අනුව,ඊට කතරගම දේවාලය සම්බන්ධ බවට සැක කිරීමෙන් දේවාල භාරකත්වය හින්දු පූජකයන්ට පැවරුණු වසරකට මඳක් අඩුවැඩි කාලය තුළ දී පමණි. ඒ පළිගැනීමක් හැටියටය. කෙටි කාලයක් තුළ දී හින්දු පූජකයන් පලවා හැර යළි සිංහල බෞද්ධ උරුමය තහවුරු කරගෙන තිබේ.

හින්දු දේවාල සම්ප්‍රදායට අයත් වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ හෝ මූලික පුද පූජා ලක්‍ෂණ කතරගම මහාදේවාල යෙහි දක්නට නොලැබේ. බුදුදහමට අනුකූල නොවන සමහර අංග දේව පූජා විධිවලට එකතු වී ඇත්තේ පසු කාලයකදී ද්‍රවිඩ හින්දුබැතිමතුන් විසින් ඔවුන්ගේ දෙවියෙකැයි සලකා කරන ලද පුද සිරිත්වල ආභාසය නිසාය.මේ කරුණු තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි ප්‍රබල සාධකයක් තිබේ.දේව මන්දිරය තුළ බෞද්ධ භික්‍ෂූන් ලවා සෙත් පිරිත් සජ්ඣායනය කොට දේවාලය පුරා පිරිත් පැන් ඉසින එකම දේවාලය කතරගම මහසෙන් මහාදේවාලයයි.

සතරවරම් දෙවිවරුන් පිළිබඳ සංකල්පය භාරතීය ආභාසයෙන් ලැබුණූ අදහසක් වුවද ලාංකේය බෞද්ධයා ඊට බෞද්ධ මුහුණුවරක් දි තිබේ. ඒ අනුව ලංකාවේද සතරවරම් දෙවිවරුන් ලෙස සැලකෙන මහානුභාව සම්පන්න දෙවිවරු සිවු දෙනෙක් වෙති. ඒ කතරගම, උපුල්වන්, සුමන සමන් හා විභිෂණ යන සිවුදෙනාය.සිංහල බෞද්ධයා විශ්වාස කරන අන්දමට ඒ දෙවිවරුන්ට භාරවී ඇත්තේ ලක්දිවත්, සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කිරීමය. ඉතිහාසය පුරා වරින් වර ඉතා දරුණු ආක්‍රමණිකයන් ලක්දිවට පැමිණුනත්, ඒ හැම ආක්‍රමණිකයකුම පරාජයට පත්වුණේ එකි සිවුවරම් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම නිසා බව පිළිගනු ලැබේ.

මේ සියලු කරුණු සැලකිල්ල ගත් විට අපට බොහෝ ගැටලුවලට විසැඳුම් ලබා ගන්නට පිළිවන.එවිට මේ පිළිබඳව පවත්නා දුර්මතයන්ද ප්‍රතික්‍ෂේප වෙයි. බුදුදහම දෙවියන් පිළිගනී.බෞද්ධ පරමාර්ථවලට අනුව තිසරණ සරණ ගිය බෞද්ධයා දෙවියන් සරණයෑම වරදකි. සරණ යෑම යනු විමුක්ති දායකයකු වශයෙන් සලකා පිහිට පැතීමය. එහෙත් බෞද්ධයා දෙවියන් පුදන්නේ එබඳු ආකල්පයකින් නොවේ.

සාමාන්‍ය මනුෂ්‍යයන්ට නොමැති ශක්තීන් දෙවියන් සතුව ඇතැයි බුදුදහම පිළිගනී. එබඳු දෙවියකු ගෙන් පිහිට පතන අයකුට පිහිට වීමට දෙවියනට හැකිය.ලෞකික ජීවිතයේ ගැටලු සමනය කරගැනීමේ අරමුණින් පුද පූජා පවත්වා පින් පෙත් පමුණුවා ලෞකික ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම හෝ ඉල්ලා සිටීම වරදක් නොවේ. විමුක්ති මාර්ගයට යොමුවුණූ විමුක්ති කාමියකුට එවන් පිහිටක් අනවශ්‍ය බව සැබෑ වුවත්, ලෞකික සමාජය තුළ ජීවත්වන පෘථග්ජන ගිහි බෞද්ධයකුට දෘෂ්‍යමාන පුද්ගලයන් ගෙන් පිහිටක් නොලැබෙන විට අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් පිහිටක් අපේක්‍ෂා කිරීම සහේතුකය. එය ධර්ම විරෝධී ද නැත.

කතරගම දෙවිඳුන් සිංහල බෞද්ධ සම්‍යග් දෘෂ්ටික දේවතාවකු ලෙස අප පිළිගන්නා නිසා එබඳු දෙවියකුගෙන් තෙරුවන් සරණ ගිය බෞද්ධයකු පිහිට පැතීම නිර්දෝෂී ක්‍රියාවක් වන්නේ ඒ අනුවය. කෙසේ වෙතත් අවසාන වශයෙන් සිහි තබා ගත යුත්තක්ද තිබේ. එනම්, ඕනෑම කාර්යයක් ඵලදායිවන්නේ ඒ පිළිබඳ මනා අවබෝධයක් සහ විශ්වාසයක් ඇත්නම් පමණක් බවය.” විස්සාසා පරමා ඤාති” (උතුම් ම ඤාතියා විශ්වාසයයි) යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ද ඒ නිසාය.