Print this Article


අධිෂ්ඨානය හා ප්‍රාර්ථනාව

අධිෂ්ඨානය හා ප්‍රාර්ථනාව

අධිෂ්ඨානය වනාහි තමා වෙනුවෙන් තමා විසින් ම කළ යුත්තක්. අපට අනුන් වෙනුවෙන් අධිෂ්ඨානයක් කළ නො හැකියි. කළ හැක්කේ ප්‍රාර්ථනාවක් පමණි. එය සිදුවේද නොවේ දැයි ස්ථිර වශයෙන් නො දැනුනත් අනුන් වෙනුවෙන් යම් හොඳ ප්‍රාර්ථනාවක් සිදු කිරීමෙන් අප සිතට දැනෙන්නේ සුවයක්. මෛත්‍රී භාවනාව සිදු කිරීමේදී මා මෙන්ම සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියූ පමණින් සියලු සත්ත්වයන්ගේ සිත්වල වෛරය නැති නොවන බව අප දන්නවා. කුඩා කාලයේ සිට මේ වනවිට අප අනුන් වෙනුවෙන් කෙතරම් මෙත් සිත පතුරුවා ඇද්ද? එසේනම් මේ වනවිට ඒ සෑම දෙනාගේම සිත වෛරයෙන් මිදී තිබෙනවා ද? නමුත් මෙත්‍රීය වැඩීමෙන් අපගේ සිතට ඇතිවන්නේ සැනැසිල්ලක්

ප්‍රාර්ථනාව සහ අධිෂ්ඨානය යන ක්‍රියාකාරකම් දෙකම අපගේ සමජය තුළ නිරන්තරයෙන් ම දකින්නට ලැබෙනවා. මෙම ක්‍රියාකාරකම් දෙකෙහිම එක සමාන අදහසක් ඇතැයි සිතුව ද සැබැවන් ම එය දෙකක්.

සාමාන්‍යයෙන් බෞද්ධයෝ කිසියම් හොඳ කටයුත්තක් සිදු කිරීමෙන් පසුව කිසියම් ප්‍රාර්ථනාවක් සිදුකිරීම ස්වභාවයක්. එසේ ම කිසියම් හොඳ කටයුත්තක් සිදු කරන්නට කලින් ඔවුන් සිදු කරන්නේ අධිෂ්ඨාන කිරීම යි. මේ අනුව අපට වැටහෙන කාරණය නම් ‘ප්‍රාර්ථනාව‘ යනු යම් දෙයක් සිදු කිරීමෙන් පසුව ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් කරනු ලබන ක්‍රියාවක්. එසේම ප්‍රර්ථනාව සිදු කරන්නාගේ සිත තුළ ඒ ප්‍රාර්ථනා කරන දෙය සිදුවේදැයි නිශ්චිත ස්වභාවයක් නැහැ. ඇත්තේ අවිනිශ්චිත ස්වභාවයක්.

ප්‍රාර්ථනා කරන සියල්ලම එලෙසින්ම ඉටු වන්නේ නැහැ. තමන්ගේ කටයුතු ටික සිදුකොට අවසන අනුන්ගේ කටයුතු සිදුවෙන තෙක් බලා සිටින්නෙකුගේ සිත තුළ ඇති වන චිත්ත ස්වභාවය ප්‍රාර්ථකයාගේ සිතෙහි ද ඇතිවන්න පුළුවන්.

නමුත් යමෙක් කිසියම් අධිෂ්ඨානයක් කරනුයේ කිසියම් ක්‍රියාවක අවසානයේ දී නොව ආරම්භයේදී යි. නො සිදුවුණු කටයුත්තක් ඒකාන්තයෙන් ම සිදු කරන්නට සිතන අවස්ථාවෙහි දී සිතේ ඇතිවන චිත්ත ස්වභාවය අධිෂ්ඨානය යි. අධිෂ්ඨාන කරන්නා තම සිතෙහි සිතැඟි කෙලෙසින් හෝ ඉෂ්ඨ කර ගැනීමට උත්සාහවත් වෙනවා. කි‍්‍රයාව සාර්ථක කර ගැනීම සඳහා නො පසුබස්නා වීර්යයෙන් කටයුතු කරයි. අධිෂ්ඨානයක දී ප්‍රාර්ථනා කිරීමේ දී මෙන් නොව ක්‍රියාව සමග ඇති සම්බන්ධය වැඩියි. අධිෂ්ඨානය හා යෙදෙන වචනයක් වන්නේ වීර්යය යි.

අධිෂ්ඨානය වනාහි තමා වෙනුවෙන් තමා විසින් ම කළ යුත්තක්. අපට අනුන් වෙනුවෙන් අධිෂ්ඨානයක් කළ නො හැකියි. කළ හැක්කේ ප්‍රාර්ථනාවක් පමණි. එය සිදුවේද නොවේ දැයි ස්ථිර වශයෙන් නො දැනුනත් අනුන් වෙනුවෙන් යම් හොඳ ප්‍රාර්ථනාවක් සිදු කිරීමෙන් අප සිතට දැනෙන්නේ සුවයක්. මෛත්‍රී භාවනාව සිදු කිරීමේදී මා මෙන්ම සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියූ පමණින් සියලු සත්ත්වයන්ගේ සිත්වල වෛරය නැති නොවන බව අප දන්නවා. කුඩා කාලයේ සිට මේ වනවිට අප අනුන් වෙනුවෙන් කෙතරම් මෙත් සිත පතුරුවා ඇද්ද? එසේනම් මේ වනවිට ඒ සෑම දෙනාගේම සිත වෛරයෙන් මිදී තිබෙනවා ද? නමුත් මෙත්‍රීය වැඩීමෙන් අපගේ සිතට ඇතිවන්නේ් සැනැසිල්ලක් ම නිසා අනුන්ගේ සිත්වල තිබෙන වෛරය ද නැතිවේවා යැයි අප ප්‍රාර්ථනා කරනවා. අනුන්ගේ සිතෙහි වෛරය නැතිවේවා කියා අපට අධිෂ්ඨාන කරන්න බැහැ.

මෛත්‍රී භාවනාව පුරුදු කිරීමේ දී ද මෙම අධිෂ්ඨානය හා ප්‍රාර්ථනාව වන ක්‍රියාකාරම් දෙක පිළිබඳව දැනුවත්වීම වැදගත්. මෛතී‍්‍ර භාවනාවේ මෛත්‍රීය වැඩීම හා මෛතී‍්‍රය පැතිරවීම ලෙස කොටස් දෙකක් තිබෙනවා. මෛත්‍රීය වඩනවා යනු දියුණු කිරීමයි. මෛත්‍රිය වඩන්නේ හෙවත් දියුණු කරන්නේ තමන්ගේ සිත යි. මෛත්‍රීය පතුරුවන්නේ අනුන් වෙනුවෙන්. මෛත්‍රීය භාවනා කර්මස්ථාන වාක්‍යවලදී අපට දකින්න ලැබෙන්නේ තමන්ට මෛත්‍රී කරන විට ද එය සිදුකරන්නේ ප්‍රාර්ථනාවක් ලෙසින් බවයි. “මම වෛර නැත්තෙක් වෙම්වා! තරහා නැත්තෙක් වෙම්වා! ක්‍රෝධ නැත්තෙක් වෙම්වා!” සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා! මම නිරෝගී වෙම්වා! ආදී වශයෙන් සිංහල භාෂාවෙන් සැකැසී ඇති භාවනා වාක්‍යවලින් පැහැදිලි වෙනවා. අප කීමට උත්සහ කරන්නේ එසේ ප්‍රාර්ථනා කිරීම වැරදි යැයි පැවැසීම නොව, මෛත්‍රී භාවනාවේදී තමාට මෛත්‍රී වැඩීමේදී අධිෂ්ඨානය පෙරටු කරගෙන සිදුකිරීමෙන් එය වඩාත් ප්‍රායෝගික බවයි.

තමන්ට මෛත්‍රීය වැඩිමේ දී ඒ මෛත්‍රී චින්තාවන් බල ගැන්විය යුතුª වෙනවා. එය කළ යුත්තේ ප්‍රාර්ථනාවෙන් නොව අධිෂ්ඨානය තුළිනුයි. ‘’මම වෛර නැත්තෙක් වෙම්වා’’ යන වාක්‍ය තුළ තමන් තුළ ඇති වෛරය නැතිකර දෙන මෙන් වෙනත් කෙනෙකුගෙන් ඉල්ලනවා වැනි ස්වභාවයක් දකින්නට ලැබෙනවා. නමුත් ඒ වෙනුවට ‘’මම වෛර නැත්තෙක් වෙමි’’ යනුවෙන් සිතන්නට අධිෂ්ඨාන කරන්නට හැකිනම් කවුුරු වෛර කළත් මම නම් වෛර කරන්නේ නැහැ. මම මගේ මෛත්‍රී සිත රැක ගන්නවා යන දැඩි අධිෂ්ඨානශීලි ස්වභාවයක් ඇතිවෙනවා. ‘මම වෛර නැත්තෙක් වෙමි’ යන අධිෂ්ඨානශීලි සිතිවිල්ල ‘අහං අවේරෝ හෝමි’ යන පාලි වාක්‍යය හා ද ගැළපී යනවා.

අධිෂ්ඨානය අපට වරදින් මිදෙන්නට අත්‍යාවශ්‍ය වන කරුණක්. තමා විසින් සිදුකරනු ලබන කිසියම් ක්‍රියාවක් වරදක් බවට පත් වුවහොත් ඊළඟට කළයුතු කාර්යය වන්නේ එය වරදක් බව දැන නැවත නො කර සිටීමට අධිෂ්ඨාන කිරීම යි. එසේ අධිෂ්ඨාන කළ තැනැත්තා අන්අය විසින් වරදට පෙළඹවනු ලැබුවද වැරදි නො කර සිටීමට උත්සාහ කරනවා. වඩ වඩාත් නිවැරැදි වන්නට උත්සාහ කරනවා. නමුත් අධිෂ්ඨානය තිබූ පමණින්ම කෙනෙක් නිවැරැදි වන්නේ ද නැහැ.

අධිෂ්ඨානය වරදින් මිදෙන්නට අතශ්‍යවශ්‍ය කාරණයක් සේ ම ඇතැමෙක් වැරැදි කරන්නට ද මෙය යොදා ගන්නා අවස්ථා තිබෙනවා. ඇතැමෙක් අධිෂ්ඨාන කර ගෙන සිටින්නේ තවත් කෙනෙකුට රිදවීමට හෝ පළි ගැනීමට නම් එබඳු අධිෂ්ඨානයකින් යුක්ත තැනැත්තා තමන්ගේ අදිටන ඉටුකර ගන්නා තුරු ක්‍රියාත්මක වෙනවා. එනිසා අධිෂ්ඨානය යනු හොඳට සහ නරකට දෙකටම යොදන ක්‍රියා බලගැන්වීම හේතුªවන දෙයක්. ප්‍රාර්ථනාවට වඩා අධිෂ්ඨානය සැම ලෙසින්ම බලවත්.

ඇතැමෙක් උත්සාහයෙන් කටයුතු නො කළ ද යම් යම් කටයුතු ප්‍රාර්ථනා අනුව සිදුවෙනවා යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. එසේවන්නේ මේ භවයේදී පැතු පමණින් ම නොව ඒ පැතූ® දෙය ඉටු වන්නට අවශ්‍ය ක්‍රියාව කලින් ජීවිතයක දී හෝ සිදුකර තිබෙන නිසා යි. බොහෝ දෙනාට පුන්‍යකර්මවල විපාක මේ භවයෙහි දී විපාක දෙන විට ඒ අය සිතන්නේ අප කිසිවක් නො කර ම අපට හොඳ විපාක ලැබෙනවා කියා. නමුත් සත්‍ය එය නොවේ. එම විපාකයට අදාළ ක්‍රියා කිසියම් අවස්ථාවක දී සිදුකර තිබීම යි. හේතුඵල න්‍යායට අනුව ක්‍රියාවක් නැති ව විපාකයක් ඇතිවන්නේ නැහැ.

එනිසා භාවනාවෙන් අප විශේෂයෙන් ම අපේක්ෂා කරන්නේ අපගේ මෛත්‍රීය නිසා අන් සත්ත්වයන් සුවපත් කිරීමට නොව අපගේ සිතෙහි ඇති වෛරය ආදී සිතිවිලි නැති කර ගැනීමට යි. තමන්ට මෛත්‍රීය වැඩීම සහ අනුනට මෛත්‍රීය පැතිරවීම යන කාරණා දෙක ම සිදුකරන විට මෛත්‍රී සිතිවිලි පහළ වන්නේ තමන්ගේ සිත තුළ යි. ඒ තුළ සහනය පළමු ව ලැබෙන්නේ තමාට ම යි.

මෛත්‍රී භාවනාව සිදු කිරීමේ දී සාම්ප්‍රදායකත්වයෙන් මිදී තමන් සිත තුළ ඇතිවිය යුතු ගුණ ධර්ම හොඳ සිතිවිලි ඇතිකර ගැනීමට අප උත්සාහයවත් විය යුතුයි. ඒ නිසා නිතිපතා භාවිතයේ දී උපකාර වෙන මෛත්‍රී භාවනා සිතිවිලි මෙසේ යි

මම වෛර නැත්තෙක් වෙමි
(අහං අවේරෝ හෝමි)

මම තරහ නැත්තෙක් වෙමි
(අහං අඛ්‍යාපජ්ජෝ හෝමි)

මෙම දුක් පීඩා නැත්තෙක් වෙමි
(අහං අනීඝෝ හෝමි)

මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙමි
(අහං සුඛි අත්තානං පරිහරාමි)

මා මෙන්
(අහං විය)

සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
(සබ්බේ සත්තා අවේරා හොන්තු)

සියලු සත්ත්වයෝ තරහ නැත්තෝ වෙත්වා
(සබ්බේ සත්තා අඛ්‍යාපජ්ජා හොන්තු)

සියලු සත්ත්වයෝ දුක්පීඩා නැත්තෝ වෙත්වා
(සබ්බේ සත්තා අනීඝා හොන්තු)

සියලු සත්ත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා
(සබ්බේ සත්තා සුඛි අත්තානං පරිහරන්තු)

මේ ආදී වශයෙන් තමන්ට මෛත්‍රීය වැඩීමේ දී අධිෂ්ඨානය පෙරටු කරගත් සිතිවිලිත්, අනුන්ට මෛත්‍රීය පැතිරවීමේ දී ප්‍රාර්ථනාව පෙරටු කරගත් සිතිවිලිත් පුරුදු කරන්නේ නම්, එය වඩාත් අර්ථාන්විත තමාට සමීප භාවනාවක් වෙනවා යනු අපගේ විශ්වාසය යි.