Print this Article


බෞද්ධ පුදපූජා සංස්කෘතිය

බෞද්ධ පුදපූජා සංස්කෘතිය

කර්තෘ : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ - නුගේගොඩ
මිල – රු. 1550. 00

බෞද්ධ සංස්කෘතිය විෂයෙහි විද්වත් සම්භාවනාවට පත් කෘති කිහිපයක් සම්පාදනයෙන් රචනයෙන් හා අනුවාදයෙන් පාඨක ජන සමාජයේ මහත් අගැයුමට ලක්වූ මහථෙර නමක් වූ පූජ්‍යතර මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් විසින් විරචිත ‘ බෞද්ධ පුද පූජා සංස්කෘතිය” කෘතිය විචාරයකට වඩා සේවනයෙන් ලත් ආස්වාදය සඳහනු වස් මේ කුදු සටහන ලිවීමට පෙලඹුනෙමි.

ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා යන දෙවැදෑරුම් පූජා විධි අතුරින් බුදුන් වහන්සේගේ වඩාත් අගැයුමට ලක්වූයේ ප්‍රතිපත්ති පූජාවයි. එහෙත් හුදී ජනයන් අතර වඩාත් ජනප්‍රියව හා ප්‍රචලිතව ඇත්තේ ආමිස පූජා බව බෞද්ධ ජන සමාජය දෙස බලද්දී පසක් වන කරුණකි.

කිසියම් කෘතියක නිර්මාතෘන්ගේ අරමුණ කවරේද යන්න එකී නිර්මාණයෙහි ඵලය විමසීමෙහිදී වැදගත් වනුයේ මඳ වශයෙනි. එහෙත් නිර්මාතෘගේ අරමුණ කුමක් වීද යන්න ඒ අරමුණ සාධනය වී ඇද්ද නිශේධනය වී ඇද්ද යන්න විමර්ශනයෙහි ලා වැදගත් වන්නේය. ( කතුවර අරමුණ කුමක් වී ද යන්න එහි අන්තර්ගතයෙන්ම ගම්‍ය වෙයි! ) සිය කෘතියේ අරමුණ කිමෙක් ද යන්න කතු හිමියෝ මෙසේ සඳහති.

“බෞද්ධයා වන්දනා පුද පූජා පින්කම් සඳහා යොමු කරවන පොත් පත් කොතෙකුත් ලියැවී ඇත. එහෙත් මෙම ග්‍රන්ථය තුළින් අප අදහස් කරන්නේ, බෞද්ධ පුද පූජා ක්‍රම හුවාදැක්වීමට හෝ ඒවා විවේචනයට ලක් කිරීමම නොවේ. බුද්ධ කාලය දක්වා ඇති අතීතයට ගමන් කරන බෞද්ධ වන්දනා හා පූජා විධිවල සමාරම්භය, විකාශය, පූජා වස්තු සහ ඊට අදාළව සංවර්ධනය වූ සාහිත්‍යය කලා ශිල්ප ආදිය පිළිබඳ අධ්‍යයනයක් කිරීම මෙම කෘතියෙහි මූලික අරමුණ වශයෙන් සඳහන් කළ යුතුය.”

මේ අරමුණ සාක්ෂාත් කිරීමට කතු හිමියන් යත්න දරනුයේ පරිච්ඡේද සප්තකයක් ඔස්සේ ය. බෞද්ධ පුද පූජා සංස්කෘතියේ සමාරම්භය, ධාතු වන්දනාව, බෝධි වන්දනාව, චෛත්‍ය හා ස්තූප වන්දනාව, බුද්ධ ප්‍රතිමා වන්දනාව, සංකේත වන්දනාව, ශ්‍රී ලංකාවේ වන්දනා හා පුද පූජා සංස්කෘතිය යනු ඒ උල්ලාස සප්තකයයි. මේ කෘතියෙහි පැනෙන එක් විශේෂත්වයක් නම් උක්ත පරිච්ඡේද සප්තකයේ දී ම කතු හිමියන් එහි ප්‍රභවය විකාසනය හා අද්‍යතන ස්වරූප විග්‍රහ කිරීමට දරන ප්‍රශශ්ත ප්‍රයත්නය යි. එය ප්‍රශස්ත ප්‍රයත්නයකැයි සඳහන් කිරීමට පෙළඹුනේ මන්දැයි විමසිය යුත්තකි.

එකී තෙවදෑරුම් අවස්ථා සුවිශද කිරීමට උන්වහන්සේ පෙරපර දෙදිග මූලාශ්‍ර වෙත මෙන්ම මහායාන හා ථේරවාද මූලාශ්‍ර වෙත සම්ප්‍රදායන් හරහා ගමන් ගනිති. එහිදී යතිවර දෘෂ්ටියකට වඩා මෙහි දැකිය හැක්කේ මධ්‍යස්ථ විචාරකයෙකු ලෙස නිදහස් මනසින් යුතුව විමංසනශීලීව කරුණු ගවේශනය කරමින් ඉදිරිපත් කිරීමය. එක් සම්ප්‍රදායක් පමණක් විශිෂ්ටය. ශ්‍රේෂ්ඨය අනුගම්‍යය වශයෙන් පක්‍ෂග්‍රාහී නොවී ආධානග්‍රාහීවයෙන් ඈත්ව කෙරෙන විග්‍රහය නිදහස් චින්තනයට මග පාදන්නකි. උන්වහන්සේ මතු කරන සාධක සංසිද්ධි ඔස්සේ වෙනත් ගවේශකයෙකුට සෙසු ප්‍රතිමතධාරී මංපෙතක් ද නිර්මාණය කර ගැනීමට පිළිවන. බෞද්ධ පුද පූජා විධි ජනප්‍රිය සම්ප්‍රදායයක් වෙමින් ලක්දිව ජන සමාජයේ ප්‍රචලිත වෙතත් එහි ප්‍රභවය කෙසේ වී ද යන්න බොහෝ දෙනා නොදනිති. විචාරක්‍ෂියෙන් නොව සම්ප්‍රදාය හා පොදු පිළිගැනීම මතම භාවිත කරති. මෙයට දිය හැකි හොඳම නිදසුන බෝධි පූජාවයි. බෝධි පූජාව කෙලෙස කවුරුන් විසින් කවරදා අරඹන ලද්දක්දැයි ප්‍රශ්නයක් විමසතොත් ලැබෙන ජනප්‍රිය පිළිතුරක් නම් “ පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන් විසින්ය” යන්නයි.

මේ ජනප්‍රිය හා සුලබ පිළිතුර ඉක්මවා පූජ්‍යතර බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ බෝධි පූජාවේ සමාරම්භය දක්වනු වස් බුදුරදුන් ධරමාන සමය තෙක් විමර්ශනාක්‍ෂිය මෙහෙයවති. ආනන්ද බෝධි රෝපණයෙන්, බෝධි පූජාව ඇරඹුණු සැටි ද, ලක්දිව ශ්‍රී මහා බෝධි රෝපණය ද ඉනික්බිති දෙතිස් ඵලරූ බෝධි රෝපණයෙන් බෝධි පූජා ප්‍රචලිත වූ සැටි ද දක්වා පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජා ක්‍රමය සහ එහි ශාඛා ප්‍රශාඛා හා විකසනය මධ්‍යස්ථ විමංසකයෙකු හා ශාස්ත්‍රීය ගවේශකයෙකු ලෙස ගෙනහැර දක්වති. ධර්ම ශාස්ත්‍රෝන්නතිය උදෙසා ඉවහල් වනුයේ අත්තුªක්කංසනයෙන් හා පරවම්භනයෙන් මිදුණු එබදු මධ්‍යස්ථ පිළිවෙත්ය. අධ්‍යයන මාර්ගයකි.