Print this Article


හෙළයේ මහා කලා මංගල්‍ය ගරු ගාම්භීරව පැවැත්වීම අපගේ යුතුකමයි

බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් ස්පර්ශය ලැබුවා වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට සිදුකරන්නාවූ පූජෝපහාරයක් ලෙසත් සතර මහා දෙවිවරුන්ට කරන්නාවු පූජාවක් ලෙසත් පැරැණි රජ දවස පටන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වුණා

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන්නාවූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ විචිත්‍රත්වය ඔප් නංවන ශ්‍රී දළදා මාලිගා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් ගාම්භීර ලෙස පැවැත්වීමේ වගකීම පැවරී තිබෙන්නේ දියවඩන නිලමේ තුමන්ටයි. දියවඩන නිලමේ ධුරයට පත්වූ පසු ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර පෙරහර සංවිධානය කරනුයේ නවවැනි වරට ය. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය විචිත්‍රත්වය සුරැකෙන සේ පෞරාණික චාරිත්‍ර ආරක්ෂා කරමින් පැවැත්වීමට ගෙන ඇති පියවර සම්බන්ධව ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය – අපේ රටේ කොතෙකුත් පෙරහර මංගල්‍යයන් තිබුණත් ඒ සියල්ල අතරින් සුවිශේෂි තත්ත්වයක් හිමි වන්නේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට නේද ?

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් ස්පර්ශය ලැබුවා වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට සිදුකරන්නාවූ පූජෝපහාරයක් ලෙසත් සතර මහා දෙවිවරුන්ට කරන්නාවු පූජාවක් ලෙසත් පැරැණි රජ දවස පටන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වුණා. ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මහ මංගල්‍යයන් වන අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යයයි. මේ අතරින් දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නොමඳ අවධානයට පාත්‍රව තිබෙන්නේ ඇසළ පෙරහර මංගල්‍යයයි. මේ පෙරහර තුළ ආගමික වටිනාකමක් වගේම සංස්කෘතික වටිනාකමකුත් අන්තර්ගතයි. පෞරාණික චාරිත්‍ර ගරු කරමින් උඩරට කලාකරුවන්ගේ දක්ෂතාවන් එළිදැක්වෙන මෙම පෙරහර හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස කොයි කවුරුත් හඳුන්වන්නේ මෙහි විචිත්‍රත්වය හා සමකළ හැකි වෙනත් දෙයක් නොමැති නිසයි. මේ පෙරහර අතීතයේ පටන් අපේ ජන ජීවිතය හා බද්ධව තිබුණා. කෘෂිකාර්මික ජීවන රටාවක් මත ගොඩනැගුණු අපේ අතීත මුතුන් මිත්තෝ දළදා වහන්සේට හා සිව්මහ දෙවිවරුන්ට පූජෝපහාර පවත්වා වර්ෂාව අපේක්ෂා කළා. පෙරහර පෙළ ගැසී ඇත්තෙත් වැස්ස සංකේතවත් වන ආකාරයට කියා ජනප්‍රවාදයේ දැක්වෙනවා. කසකරුවන් තුළින් අකුණු ගැසීම අලි ඇතුන් අඳුරු වලාකුළු ලෙස, වැහි බිංදු බිමට වැටෙන හඬ තම්මැට්ටම් වලින් ඒ වැස්ස දැක සතුටට නර්තනයේ යෙදෙන පිරිස් යනාදී ආකාරයට පෙරහර විග්‍රහ කළ හැකියි. අද සමහරවිට දේශීය හෝ විදේශීය සංචාරකයින් ‍ෙම් අන්තර්ගතය හා පෙළගැස්ම පිළිබඳව අවබෝධයක් නොමැතිව හුදෙක් මෙය කලා උත්සවයක් පමණක් ය යන හැඟීමෙන් දකින්න පුළුවන්. දන්ත ධාතුන් වහන්සේ අප සලකන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසයි. ලෝකයේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන මේ දළදා වහන්සේ උරුම වෙලා තියෙන්නේ අපිටයි. ලාංකිකයින් අප කවුරුත් දන්නවා සෙංකඩගල පුර දළදා මැදුරේ දළදා වහන්සේ වැඩ ඉන්න බව. ඉතින් මේ උතුම් දළදා වහන්සේ උදෙසා කරන්නාවූ පූජෝපහාරය අන් සෙසු සියල්ලන්ට වඩා උතුම් බව අවිවාදිතයි.

ප්‍රශ්නය – මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය තුළ උඩරට කලා ශිල්පීන්ගේ කුසලතා පමණයි නේද දක්නට ලැබෙන්නේ.

පිළිතුර - මෙරට අවසන් රාජධානිය කන්ද උඩරටයි. දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව සංවිධානය කෙරුණු පෙරහර මංගල්‍යය හැඩවුනේ උඩරට පාරම්පරික කලාකරුවන්ගේ කුසලතා වලින්. එදා පටන් පැවත එන සම්ප්‍රදායන් ගරු කරමින් අදත් ඒ ආකාරයෙන්ම නුවර පෙරහරේ දක්නට ලැබෙන්නේ උඩරට වෙස් නැටුම් ඇතුළු මේ පළාතට ආවේණික කලා ශිල්ප පමණයි.

ප්‍රශ්නය – අද හැමදේම වාණිජ කරණයට හසුවෙනවා. මෙම පසුබිම තුළ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය එම තත්ත්වයට නතු නොවී පෞරාණික වටිනාකම් ආරක්ෂා කර ගනිමින් පැවැත්වීම අභියෝගයක් නේද ?

පිළිතුර – වාණිජ කරණයට මේ උතුම් පෙරහර යටපත් වෙන්න මා කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. පෙරහර පමණක් නොව පෙරහර ගමන් ගන්නා විදියක්වත් වාණිජ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා භාවිත කරන්න අවසර නැහැ. අතීතයේදි කලාකරුවන් පෙරහරට දායකත්වය ලබා දුන්නේ තමන්ගේ රාජකාරියේ කොටසක් ලෙසයි. අද වනවිට එම තත්ත්වය වෙනස් වෙලා. අප පෙරහරේ ගමන් කරන සෑම කලාකරුවෙකුටම වැටුපක් ගෙවනවා. එසේ වූවා කියා එමඟින් පෙරහර වාණිජ කරණයට ලක්වීමක් සිදුවන්නේ නැහැ. උදාහරණයක් ලෙස මාලිගාවේ පණික්කියෝ හතර දෙනා ගනිමු. ඔවුන් නටනවා. නැටුම් කණ්ඩායමක් යනවා. ජීවනෝපාය වෙනුවෙන් අපි ඔවුනට මුදල් ගෙවනවා. පැරණි නිලය ඒ ආකාරයෙන්ම තිබෙනවා. පැරණි සම්ප්‍රදායන් රැකගන්න අද මුදල් යම් ප්‍රමාණයකට වියදම් කළයුතු වෙනවා.

ප්‍රශ්නය – මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරේ විචිත්‍රත්වය ඔප් නංවන අතරතුර එහි ගුණාත්මක බව ආරක්ෂා කරන්න ගත් පියවර මොනවාද ?

පිළිතුර – මම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට පත්වූ පසු පවත්වන නවවන පෙරහර මෙයයි. ඇත්තටම පෙරහරේ විචිත්‍රත්වය රැඳී තිබෙන්නේ කලාකරුවන් අතයි. අප හැම වෙලාවෙම ඔවුන් දිරිමත් කළොත් තමයි ඔවුන්ගේ හොඳම දේ ගන්න පුළුවන්. පාරම්පරික කලාවන් පරපුරෙන් පරපුරට නොනැසී එන්න නම් එම කලාකරුවන්ට මෙන්ම කලාවට සමාජ පිළිගැනීමක් තිබිය යුතුයි. ආර්ථික වටිනාකමක් ඊට ගැබ්ව තිබිය යුතුයි. එසේ නොවුනහොත් තරුණයන් කලාව හැර ගොස් වෙනත් වෘත්තීන් තෝරා ගැනීම වළක්වන්න බැහැ. දළදා මාලිගා පෙරහරට සම්බන්ධ වෙන්න පාසල් නැටුම් කණ්ඩායම් වලට අවස්ථාව ලබාදී තිබෙනවා. සමහර පෙරහර වලදී පාසල් නැටුම් කණ්ඩායම් යොදා ගන්නේ මූල්‍යමය ගෙවීම් අඩු නිසා එමඟින් පිරිවැය අවම කර ගන්නයි. අප කරන්නේ එවැන්නක් නොවේ. කලාකරුවන් ගත්තම ආධුනික, ප්‍රවීණ හා පරිණත ජ්‍යෙෂ්ඨ යන අවධි තුන පසු කරනවා. පාසල් සිසුන් අප තෝරා ගන්නේ දක්ෂතා ඇගයීමට ලක් කිරීමෙන් පසුවයි. ඉතින් මේ දරුවන්ට මා පෙර කිවූ අවධි තුනම පසු කරන්න අවකාශ සැලසෙනවා. පෙරහර තුළ නර්තනය, වාදනය, ගායනය යන අංශ තුනම පසුගිය වසර 08 ක කාලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනීය තත්ත්වයක් වෙත ගෙන ඒමට මා විශාල උත්සාහයක් ගත්තා. පෙරහරට සම්බන්ධ වෙන ඕනෑම කලාකරුවෙකුගෙන් ඇහුවොත් මාලිගාව පැත්තෙන් ඔවුන්ට ඉටුවන සේවය කුමක්ද කියලා ඔවුන් පැහැදිලි උත්තරයක් දෙයි. මම නැටුම් උගත් අයෙක්. මාලිගාවේ පෙරහරේ කිසිම නැටුම් කණ්ඩායමක නටන්න බැරි අය ගන්නේ නැහැ. කිසිම වාදන කණ්ඩායමක වයන්න බැරි අය නැහැ. මා මෙය කියන්නේ ඉතා වගකීමෙන්. පසුගිය වසරේ මම මාලිගාවේ බෙර සංචිතයක් ඇති කළා. පෙරහරට සම්බන්ධ වෙන කොයි කණ්ඩායමට ද බෙර අඩු අප මාලිගාවේ සංචිතයෙන් ඒ අඩුව පුරවනවා.

ප්‍රශ්නය - පෙරහරේදී සුවිශේෂී අවධානයක් යොමුවන්නේ අලි ඇතුන්ටයි. සධාතුක කරඬුව වැඩම වන මංගල හස්තිරාජයාගේ පටන් පෙරහරේ ගමන් කරන අලි ඇතුන් ප්‍රමාණය පෙරහරේ ගාම්භීරත්වය ඔප් නංවනවා. අද පෙරහරට සම්බන්ධ කරගන්න ප්‍රමාණවත් තරම් හීලෑ අලි ඇතුන් නොවීම ගැටලුවක් නේද ?

පිළිතුර – හීලෑ අලි ඇතුන්ගේ විශාල හිඟයක් තිබෙනවා. ඒත් දළදා මාලිගාවේ පෙරහරට මෙය ලොකුවට දැනෙන්නේ නැහ. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පැවැත්වෙන පෙරහරට අලි ඇතුන් සම්බන්ධ කරන්න හීලෑ අලි හාම්පුතුන් ගොඩක් කැමතියි. අනිත් කාරණය මා අලි හිමියෙක්. මාලිගාවෙත් ඇත් පන්තියක් තිබෙනවා. මම පෞද්ගලිකව ගොඩනඟාගත් සම්බන්ධතා මත මට අවශ්‍ය අලි ඇතුන් ප්‍රමාණය සොයාගන්න පුළුවන්. ඒවා අප කැපවීමෙන් ගොඩනඟා ගත් දේවල්. සතර මහ දේවාල වලටත් සොයා දෙනවා. පසුගිය වසරේ දළදා පෙරහර, කතරගම පෙරහර හා දෙවුන්දර පෙරහර එකම දිනවල තිබ්බේ. අපි කතා කරලා ඉන්න අලි ටික කාටවත් ගැටලුවක් ඇති නොවන ලෙස බෙදා ගත්තා. අද වනවිට හීලෑ අලි ඇතුන් 120 ක් පමණ තමයි ඉන්නේ. කරඬුව වඩමවන්න පුළුවන්. දළ ඇත්තු පස් දෙනයි. දළදා මාලිගාවේ ඉන්දිරාජා, නැඳුන්ගමුවේ රාජා, කතරගම වාසනා, වෑවලදෙණිය ඇතා හා මිල්ලන්ගොඩ පොඩි ඇතා මේ ඇත්තු පස් දෙනයි. මේ පස් දෙනාගෙන් තුන් දෙනෙක් මට අනිවාර්යයෙන්ම අවශ්‍යයයි. මාලිගාවේ ඇත් පන්තියේ අලි 12ක් ඉන්නවා. ඒ අතරින් නව දෙනෙක් ඇත්තු.

ප්‍රශ්නය – මහනුවර ඇසළ පෙරහර ආගමික උත්සවයක් මිස සැණකෙළියක් නොවෙයි නේද ?

පිළිතුර – ඔව් ඇත්තටම මේක දළදා වහන්සේට හා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර මහ දෙවිවරුන්ට කරන්නාවූ පූජෝපහාරයක්. පෙරහර කාලසීමාව තුළ නගර සීමාව තුළ මත්පැන් අලෙවිය මෙන්ම මස් අලෙවිය ද තහනම් කරනවා. සැණකෙළි තියන්න පුළුවන් නගරයෙන් පිටයි. ජනතාව බොහොම හොඳ විනයක් ඇතිව පෙරහර නරඹනවා. ඒ ලැබෙන සහය අප අගය කරනවා. පෙරහර නරඹලා ගිය පසු ඊළඟ දවසේ දෛනික රාජකාරි නගරය තුළ සිදු කෙරෙන නිසා ඊට බාධාවන දේවල් කරන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. පෙරහර නරඹන්න එද්දි රැගෙන එන පොලිතින් නගරයේ නොදමා ආපසු රැගෙන යන්න.

සධාතුක කරඬුව පෙරහරේ මංගල හස්ති රාජයා මතින් වැඩම කරනවිට නැගිටලා ආචාර ගෞරව කරන්න. දේවාල හතරේ දේව ආභරණ වැඩම කරනවිට දෙව් හාමුදුරුවන් ලෙස සලකා ගරු බුහුමන් කරන්න.

සාකච්ඡා කළේ : අසේල කුරුළුවංශ