Print this Article


අසිරිමත් වාම ශ්‍රී දළදා වහන්සේ

අසිරිමත් වාම ශ්‍රී දළදා වහන්සේ

හේමමාලා දන්ත කුමරු දෙදෙන වාම ශ්‍රී දළදා වහන්සේ වැඩමවාගෙන රා.ව. 301 දී ලක්දිවට පැමිණ කිත්සිරිමෙවන් රජුට දළදා වහන්සේ භාරදීමෙන් අනතුරුව එහි දී රජතුමාට දළදා වහන්සේගේ පැහැය පිළිබඳ සැකයක් ඇති වූ විට දළදා වහන්සේ අහසට පැන නැග ප්‍රාතිහාර්ය පෑ ආකාරය දැකීමෙන් රජතුමා ඇතුළු මහජනතාව අසීමිත බුද්ධාලම්බන පී‍්‍රතියට පත්ව දළදා වහන්සේ රජගෙදරට වැඩමවා සේසත් නංවමින් සිංහාසනයේ වඩා හිඳුවා රන් රිදී මුතු මැණික් වලින් සමන්විත දළදා කරඬුවක තැන්පත් කරනුයේ මුළු ලක්දිවම තුන් වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංශය ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරා නුවර මල්ලව රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ දී අකු ධාතුන් වහන්සේලා දෙනමක්, ලලාට ධාතුන් වහන්සේ, ගී‍්‍රවා ධාතුන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරිවී සෙසු ධාතූන් වහන්සේලා අබපියල්, මුන්පියල් ප්‍රමාණයට ඉතිරි වූ බව මහා පරිනිබ්බාන සූත්‍රය ආදී ඓතිහාසික වාර්තාවන් හි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේගෙන් එක නමක් තව්තිසා දෙව්ලොව ද එක් නමක් නාගපුරයෙහි (නාග ලෝකයේ ද) එක් නමක් ගන්ධාර දේශයේද, එක් නමක් කලිඟු රටේද වැඩ වසති. (නැවත වම් දළදා වහන්සේ ලංකාවට වැඩම වූහ.)

මේ අනුව නාගපුරයෙහි හෙවත් නාගලෝකයෙහි වැඩ විසූ ශ්‍රී දකුණු දළදා වහන්සේ දැනට පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා තුළ ද, එක් දළදා වහන්සේ නමක් වර්තමාන පකිස්ථානයේ කෞතුකාගාරයක සුරක්‍ෂිතව ද වැඩ වෙසෙති. වාම ශ්‍රී දළදා වහන්සේ දැනට රන් රිදී මුතු මැණික් වලින් යුක්ත සියැසින් දැකබලා ගැනීමේ භාග්‍ය උදාකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි වැඩ වසන සේක. මේ අනුව අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන දළදා වහන්සේ එදා බුදුරජාණන් වහන්සේගේ චිතකයෙන් ඛේම නම් මහරහතන් වහන්සේ ලබාගෙන එය බ්‍රහ්මදත්ත රජුට භාරදුන් බව දාඨාවංශ ආදී ග්‍රන්ථයන් හි සඳහන් වේ. බ්‍රහ්මදත්ත රජුගේ දන්ත පුරයෙහි ගුහසීව රජුගේ භාරකාරත්වයට පත් වීමෙන් පසුව නොයෙක් විවිධ සතුරු උපද්‍රව වලට පත් වූ අවස්ථාවක පඬුවස්නම් රජු මෙම වාම ශ්‍රී දළදා වහන්සේ විනාශ කිරීමට ගින්නට දැමීය. නමුත් දළදා වහන්සේ අහසට පැනනැඟී නෙළුම් මලක් මත දිස්වෙනු දැකීය. අනතුරුව දළදා වහන්සේ කිණිහිරක් මත තබා කුළුගෙඩියකින් තැලීය. එසේම, ගැඹුරු වළකට දමා පස්පුරවා ඇතුන් ලවා පෑගවීය. තවද කුණු කසලින් පිරුණු දුගඳ හමන වළකට දැමීය. ඒ සෑම අවස්ථාවකම දළදා වහන්සේ අහසට පැන නැගී නෙළුම් මලක් මත චන්ද්‍ර රේඛාවක් හෙවත් අඩසඳ සේ දිස් වූ ආකාරය දඨාවංශය ආදී ග්‍රන්ථයන්හි සඳහන් වේ.

එම අවස්ථාවෙහි කිණිහිරෙන් දළදා වහන්සේ ගැනීමට පඬුවස් රජුට නොහැකි විය. බොහෝ දෙනා උත්සාහ කොට අසාර්ථක වූ කල්හි අනේපිඬු සිටුතුමාගේ මුණුපුරෙකු විසින් නොයෙක් පුද පූජා පවත්වන අවස්ථාවෙහි ආශ්චර්යවත් ලෙස දළදා වහන්සේ කිණිහිරයෙන් පිටතට වැඩමවීය. මෙයින් ද සතුටට පත් නොවූ පඬුවස් රජ වෙනත් පෙළහරක් දක්වන ලෙස අණ කළ අවස්ථාවෙහි සුභද්‍ර කුමරු රන් පාත්තරයක පැන් පුරවා දළදා වහන්සේ එම වළ මත තබා පෙළහරක් දක්වන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී රන්වන් හංසයකුසේ දළදා වහන්සේ දියමත පීනන්නට විය. එය සියැසින් දුටු මහජනතාව අපමණ සතුටට පත් වුවද කෝපයට පත් පඬුවස් රජ දළදා වහන්සේ නැවත වළකට දමා ගල් හා පස්වලින් වසා ඇතුන් ලවා පාගවා විනාශ කිරීමට උත්සාහ කළ නමුත් ඒ මොහොතේම පොළව පලා මතු වූ විශාල පියුමක් මත වැඩහුන්හ.

මෙවන් ආශ්චර්යයවත් සිද්ධීන් දුටු පඬුවස් රජ අපමණ සතුටට පත්ව බුදුන් සරණ ගොස් දළදා වහන්සේ තමාගේ ඔටුන්න මත වැඩ සිටින ලෙස ආරාධනා කරනවාත් සමඟම දළදා වහන්සේ ඔටුන්න මතට වැඩි සේක. මෙයින් අසීමිත බුද්ධාලම්බන පී‍්‍රතියට පත්වූ පඬුවස් රජ දළදා වහන්සේට නිති දිනපතා තුන්වේලේ පුද පූජා පවත්වනුයේ ඛීරධාර රජ යුද්ධයකට පැමිණියේ දළදා වහන්සේ ලබාගැනීමේ අරමුණින් වුව ද පඬුවස් රජු දළදා වහන්සේ ඔහුට නොදී සටන් වැදි සතුරුසේනාව පරදවා ගුහසීව රජු වෙතම දළදා වහන්සේ භාරදුන්නේ ය. ගුහසීව රජු ස්වකීය මාලිගාවේ දළදා වහන්සේ තබාගෙන පුද පෙරහර පවත්වමින් සිටින අතර, ඛීරධාර රජුගේ බෑණනුවන් දෙදෙනෙක් දළදා වහන්සේ ලබාගැනීමට දන්ත පුරයට පැමිණ යුද කරන මොහොතේ ගුහසීහ රජ ස්වකීය බෑණනුවන් වන දන්තකුමරු හා හේමමාලා දියණිය කැඳවා තමන් පරාජයට පත් වුවහොත් මෙම දළදා වහන්සේ ලක්දිවට ගෙන ගොස් මහසෙන් රජුට භාරදෙන ලෙස දැන්වීය. යුද්ධයේ දී ගුහසීහ රජු මරණයට පත්විය. ඔවුන් දෙදෙනා දළදා වහන්සේ රැගෙන ලක්දිවට එන අතරමඟ දී නොයෙක් උවදුරු වලට මුහුණ පෑමට සිදු වූ නමුත් දළදා වහන්සේගේ බලයෙන්, දෙවිවරුන්ගේ ආරක්‍ෂාවෙන් ලක්දිවට පැමිණෙන අතර,මුහුද මැදදී දිව්‍ය නාගයින් පුද පූජා පවත්වමින් ගමනට බාධා කරන විට රහත් ථෙරනමක් ගුරුළුවෙස් මවාගෙන නාගයින් පලවා හැර නිරුපද්‍රිතව ලංකාවට පැමිණීමට කටයුතු සැලැස් විය.

හේමමාලා දන්ත කුමරු දෙදෙන වාම ශ්‍රී දළදා වහන්සේ වැඩමවාගෙන රා.ව. 301 දී ලක්දිවට පැමිණ කිත්සිරිමෙවන් රජුට දළදා වහන්සේ භාරදීමෙන් අනතුරුව එහි දී රජතුමාට දළදා වහන්සේගේ පැහැය පිළිබඳ සැකයක් ඇති වූ විට දළදා වහන්සේ අහසට පැන නැග ප්‍රාතිහාර්ය පෑ ආකාරය දැකීමෙන් රජතුමා ඇතුළු මහජනතාව අසීමිත බුද්ධාලම්බන පී‍්‍රතියට පත්ව දළදා වහන්සේ රජගෙදරට වැඩමවා සේසත් නංවමින් සිංහාසනයේ වඩා හිඳුවා රන් රිදී මුතු මැණික් වලින් සමන්විත දළදා කරඬුවක තැන්පත් කරනුයේ මුළු ලක්දිවම තුන් වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංශය ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

එතැන් පටන් අභයගිරියෙහි ද දළදා වහන්සේ වඩා හිඳුවමින් රාජ්‍ය සංකේතය බවට දළදා වහන්සේ පත් කොට භික්‍ෂූන් වහන්සේ සම්බන්ධ කරගෙන දළදා වහන්සේට පුද පූජා පවත්වනුයේ, එතැන් පටන් සෑම රජකෙනෙක් ම ස්වකීය මාලිගාවේම තබමින් පුද පූජා පෙළහර පවත්වමින් බුද්ධෝපස්ථානය කළ ආකාරය ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

අනුරාධපුරයෙන් පසු පොළොන්නරු යුගයේ ද විජයබා, පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදී රජවරුන් ද ඒ ආකාරයෙන් ම දළදා වහන්සේ ස්වකීය මාලිගාව සමීපයෙහි දළදා ගෘහයක් කරවා දළදා වහන්සේට පුද පෙළහර පැවැත්වීය. කාලිංග, මාඝ, චන්ද්‍රභානු ආක්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙනගිය අතර, භික්‍ෂූන් වහන්සේද දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි සපු ගහක සඟවා බුරුම රටට පැන ගියහ. දෙවන පරාක්‍රමබාහු රජතුමා එකී දළදාවහන්සේ හා පාත්‍රාධාතුන් වහන්සේ බෙලිගලටත් ඉන් අනතුරුව දඹදෙණියටත් වැඩමවා පුද පූජා පැවැත් වූ අතර, එතැන්පටන් යාපහුව, කුරුණෑගල ආදී රාජ්‍ය කාලවලදී ද ද ඒ ඒ රජවරු ස්වකීය මාලිගාව සමීපයෙහි ම මාලිගාවක් සාදවා දළදා වහන්සේ තැන්පත් කොට පුද පූජා පවත්වාගෙන අවුත් නැවතත් රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් හා පරසතුරු උවදුරු නිසා ගම්පොලට ද එයින් කෝට්ටේට දළදා වහන්සේ ගෙනගොස් සීතාවක රාජ්‍ය කාලය වන විට රත්නපුරේ, කුරුවිට, දෙල්ගමු රජමහ විහාරයෙහි කුරහන්ගල යට සඟවා තබමින් පුද පූජා පැවැත් වීය.

පළමු රාජසිංහයන් නිසා ඇති වූ සම්බුද්ධ ශාසනයේ විනාශය නිසා එකදු උපසම්පදා භික්‍ෂුවක් වත් නැති වූ අතර, ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථත් විනාශයට පත් විය. නැවත රාජ්‍ය වර්ෂ 1542 දී වික්‍රමබාහු රජතුමා කන්ද උඩරට සෙන්කඩගල පුර රාජධානිය පිහිටුවාගෙන රජතුමාගේ මාලිගාව සමීපයෙහි දෙමහල් පොහොයගෙයක් බඳවා ඒ සමීපයෙහිම දාගැබෙහි පාත්‍රධාතූන් වහන්සේ ද නිදන් කොට පෝයමළු විහාරය නමින් නම් තබා ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා ගැටඹෙතොට උපසම්පදාව පිහිටුවා පෝයමළු විහාරයේ භික්‍ෂූන් වහන්සේ වඩාහිඳවූ බව මහාවංශාදී ඓතිහාසික ග්‍රන්ථයන් හි සඳහන් වේ. දෙවන විමලධර්මසූරිය රජු කල වාම ශ්‍රී දළදා වහන්සේ දෙල්ගමුවෙන් වැඩමවා රජතුමාගේ මාලිගාව සමීපයෙහි ම මාලිගාවක් සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා පෝයමළු විහාරය ආදී විහාරයන් හි වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ විසින් දළදා තේවාව සිදු කරන මොහොතේ දී පෘතුගීසීන් හා ඕලන්ද ජාතීන් පැමිණ දළදා මාලිගාවට දෙවතාවක් ගිනි තැබීය. එවන් අවස්ථාවන් හි තේවාවෙහි නියුතුව සිටි පෝයමළු විහාරය හෙවත් වර්තමාන මල්වතු විහාරයෙහි හා අස්ගිරි විහාරයෙහි වැඩවිසූ භික්‍ෂූන් වහන්සේ දඹුළු කැලයෙහි ද පුසුල්පිටියෙහි ද සඟවා ගෙන ආරක්‍ෂා කොට නැවත දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදි කළ දෙමහල් මාලිගාවට වැඩමවා දළදා වහන්සේ වඩා හිඳුවමින්, පුද පූජාවන් පැවැත්වූහ.

මේ අයුරින් දළදා වහන්සේට පුද පූජාවන් පවත්වන අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය වන විට එකදු උපසම්පදා භික්‍ෂුවක්වත් නැතිව සම්බුද්ධ ශාසනයත් ධර්ම ශාස්ත්‍රත් අධ්‍යාපනයත් අන්ත පරිහානියට පත් වූ වකවානුවක වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේගේ හා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ බලවත් උත්සාහයත් ශ්‍රද්ධාවත් නිසා සියම් රටෙන් උපාලි හිමියන් ඇතුළු පිරිස ගෙන්වා රා.ව. 1753 ජූලි 15 දින ඇසළපුන් පොහෝදා රජතුමාගේ මල්වත්ත පූජා කොට එහි ඉදිකරවන ලද රජතුමාගේ රාජස්ථාන ශාලාවම විසුංගාම පෝයසීමාව බවට පත්කොට පළමු වරට කොබ්බෑකඩුවේ හිමියන් ද, වැලිවිට සරණංකර හිමියන් ද, හුලංගමුවේ හිමියන් ඇතුළු පෝයමළු විහාරයෙන් පස්නමක් ද අස්ගිරි විහාරයෙන් නාවින්නේ හිමියන් ද යන සයනම උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනය ආරම්භ කළ අතර, එතැන්පටන් ලක්දිව නොයෙකුත් සාමණේරයන් වහන්සේලා මල්වතු විහාර උපෝෂතාගාරයේ ද ඉන් අනතුරුව 1762 සිට අස්ගිරි විහාර උපෝෂථාගාරයේ ද උපසම්පදා කරමින් අද දක්වාම සම්බුද්ධ ශාසනය පවත්වාගෙන ඒමට කටයුතු සැලැස් වීය.

ධර්ම ශාස්ත්‍රය අධ්‍යාපනය වැඩිදියුණු කළ වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහාවිහාරයේ භික්‍ෂූන් වහන්සේත් සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේත්, සතරදේවාල පෙරහර බලන අවස්ථාවේ දී දළදා වහන්සේ උදෙසා ද මෙවන් පෙරහරක් පැවැත්වීම සුදුසු යැයි කරන ලද යෝජනා හා අදහස් ද කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව පෙරහරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස්වීය.

මෙවන් පෙරහරක් පැවැත්වීමට මුල් වූයේ ක්‍රි.ව. 112 දී ගජබා රජතුමා සොළින් විසින් පැහැරගෙන ගිය පාත්‍රා ධාතූන් වහන්සේත් දේවාභරණත්, සිංහලයන් 12000 ක් හා මැරූ අය වෙනුවට සොළීන් 12000 ක් යන 24000 ක් ගෙනවුත් පුද පෙළහර පැවැත් වූ ආකාරය පූජාවලිය රාජාවලිය හා පැරකුම්බාසිරිතේ සඳහන් වන අතරම, එකී ගජබා රජතුමා විසින් ක්‍රි.ව. 112 දී පිහිටුවන ලද සෝමවතී මින්විලු සෙල්ලිපියෙහි මැනවින් සඳහන් වේ. එහි දී විජයග්‍රහණයෙන් අපමණ සතුටට පත් රජතුමා උක්ත පිරිස හා දේවාභරණත්, පාත්‍රාධාතූන් වහන්සේත් ගෙනවුත් දකුණු දළදා වහන්සේ වැඩවසන සෝමවතී චෛත්‍යරාජයා අබියස එම පුද පෙළහර පැවැත් වූ බව “ගාමිණී අභය යුද ජී රජ අඩියගම මණි අගිය විහරට දිනි” යනුවෙන් ගාමිණි අභය යුද ජි හෙවත් යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය යන ගෞරව නාමය සෝමවතියේ වැඩ විසූ භික්‍ෂූන්වහන්සේ විසින් රජතුමාට පිරිනැමූ අතර, කීය ඇළක් කපවා එම ප්‍රදේශයම මණි අගිය හෙවත් සෝමවතී විහාරයට පිදූ බව එකී සෙල් ලිපියේ සඳහන් වේ. 28 වන පිටුවට

මේ අයුරින් ගජබා රජතුමා විසින් ආරම්භ කළ පෙරහර එතැන් පටන් වසර 1700 ක් පමණ කාලයක් මුළුල්ලෙහි ඒ ඒ රාජ්‍ය කාලවලදී පවත්වාගෙන අවුත් එකී පෙරහරම මහනුවර දී පැවැත්වීමට හේතු වූ බව සඳහන් කළ හැකි ය. මේ අයුරින් දළදා වහන්සේ උදෙසාම වාර්ෂික පෙරහර පවත්වමින් පුද පූජා පවත්වන අතර, දළදා වහන්සේගේ ආශිර්වාදයන් ලබාගන්නා මොහොතේ දී බ්‍රිතාන්‍ය පාලකයින් දළදා පෙරහර නැවත් විය. එකල දැඩි නිය¼ගයක් ඇති විය. මෙයට හේතුව පෙරහර නොපැවැත් වීම නිසා යැයි භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව ප්‍රකාශ කළ බවත් එවිට ඔබගේ ආගමේ හැටියට පෙරහර පවත්වා වැසි වස්සන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අභියෝග කළේ ය. මල්වතු අස්ගිරි විහාරය භික්‍ෂූන් වහන්සේත් බෞද්ධ පිරිසත් එකතු වී චාරිත්‍රානුකූලව පෙරහර පටන්ගෙන දෙවන දිනයේම දැඩි නියගය අවසන් කරමින් මහා වැසි ඇදහැලී මහා ගංවතුරක් ද ඇති වූ ආකාරය දළදා වතුර නම් ග්‍රන්ථයේ ද සඳහන් කරයි.මෙසේ මල්වැස්සක් මෙන් පටන් ගත් වැස්ස පෙරහර පාන්දර ගෙවදින විට මහා ධාරාණිපාත වැස්සක් බවට පත්විය. මෙම දළදා මහිමය විදේශිකයන්ටත් මෙන්ම සෙසු ජනතාවටත් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක ගැනීමට හැකි විය.

එමෙන් ම දළදාවලි නම් කාව්‍යයේ ද දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන් ගණනාවක්ම සඳහන් වේ. දඹදෙණියේ විජයබා රජතුමාගේ කාලයේ දී එතුමා විසින් සාදවන ලද දළදා මැදුරේ සිදු වූ ආශ්චර්යයමත් සිද්ධීන් අතර, එම දළදා වහන්සේට පූජා කිරීමට මල් සොයා ගැනීමට දුෂ්කර වූ බව රජතුමාට දන්වනවාත් සමඟම මහා හඬක් ඇතිවෙමින් ගලක් පිපිරී අරුම පුදුම ගල්මලක් මතුවිය. එසේම එකී රජතුමා සතුරන්ගෙන් දළදා වහන්සේ ආරක්‍ෂා කර ගැනීමට කැලෑවක් මැදින් යන විට පුසුල්පිටිය නම් ස්ථානයෙහිදී කරඬුවෙන් දළදා වහන්සේ අහසට පැන නැගි ආකාරයත් සඳහන් වේ. මල්වතු විහාරයෙහි වැඩ විසූ අතිගෞරවාර්හ වැලිවිට ශ්‍රී සරණංකර මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සඳහන් කර ඇති අයුරින් දළදා වහන්සේ තැන්පත් කොට ඇති රන් කරඬුවෙන් රිදී කෙඳි හා සමාන බුද්ධ රශ්මිධාරාවක් මාලිගාවේ රන්කොත සමීපයෙහි අහසට පැනනැගී පසළොස් බඹයක් පමණ ඈතට ගොස් සමන්පිච්චමල් රාශියක් මෙන් ද සුදු නෙලුම් මල් රාශියක් මෙන් ද පුළුන් රාශියක් මෙන් ද සුදො සුදුවන් බුද්ධ රශ්මි ධාරාවන් අහස්කුස බබුලුවමින් අහසට පැන නැගී බොහෝ වේලාවක් දක්නට ලැබුණු ආකාරය සඳහන් කිරීමත් මේ අයුරින් දළදා වහන්සේගේ ආශ්චර්යයමත් සිද්ධීන් සියැසින් දැක ගැනීමට හැකි වූ අවස්ථා සඳහන් වේ.

දකුණු දළදා වහන්සේ ඇතුළු සෙසු ධාතූන් වහන්සේලා ද මහනුවර දළදා මාලිගාවේ පූජාවන් පවත්වන අවස්ථාවන් හි උදේ පෙ.ව. 6.00 ටත්, පෙ.ව. 10.15 ටත් ප.ව. 7.00 ටත් පූජාවන් තැන්පත් කොට දොරවසා තේවාව කරන භික්‍ෂූන් වහන්සේ ඇතුළු රාජකාරී පිරිස දළදා කුටියෙන් පැමිණෙන අවස්ථාවන්හි එකී ධාතුන් වහන්සේලා වඩින බව නොයෙකුත් අවස්ථාවන් හි ප්‍රකාශ කොට ඇති ආකාරය ප්‍රත්‍යක්‍ෂ වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2500 ක් සම්පූර්ණ වූ මොහොතේ වෙසක් පොහොය දිනට සතියකට පෙර 2006 අප්‍රේල් 23 පෙ.ව. 10.15 ට ෂඩ්වර්ණ රශ්මිය හා වර්ණවත් ආලෝක ධාරාවන් සෝමවතී චෛත්‍ය රාජයාගෙන් නිකුත් වීමත්, ප.ව. 7.00 ට වර්ණවත් ආලෝක ධාරාවන් සහිත සුදු හංසයෙක් හා ඇත් පැටවෙක් චෛත්‍ය රාජයාට ඉහළ අහසේ නොයෙකුත් මිනිස් වෙස්ගත් රූප හෝ දේව රූප දක්නට ලැබීමත් දළදා මාලිගාවේ තේවාව අවසන් වී දොරවල් වසන විට පෙ.ව. 7.00 ටත්, දහවල් 11.00 රාත්‍රී 8.00 ටත් ෂඩ්වර්ණ රශ්මියෙන් බබලන ආලෝක ධාරාවන් සහිත දළදා කරඬුවම චෛත්‍ය රාජයාගේ ගර්භය මත 2010 අගෝස්තු 22 දිනත් 2013 මැයි 05 දිනත් දකින්ට ලැබීමෙන් එම අවස්ථාවන් ඡායාරූප මඟින් ලබාගෙන සකල ජනතාවට සියැසින්ම දැකබලා ගැනීමට අන්තර් ජාලයේ පවා ඇතුළත් කිරීමෙන් දළදා වහන්සේගේ ආශ්චර්යවත් හා ප්‍රාතිහාර්ය අවස්ථා සඳහන් කළ හැක.

මෙවන් ආශ්චර්යවත් අවස්ථා දිස්වන අයුරින් ම දකුණු දළදා වහන්සේගෙන් නිකුත් වන ෂඩ්වර්ණ රශ්මි මාලාවන්, දළදා කරඬුව ඇතුළු නොයෙකුත් දෙවි දේවතාවුන් සහිත රූප, සුදු ඇත් පැටවුන් හා සුදු හංසයන් ද වැඳගෙන සිටින නොයෙක් මිනිස් රූපයන් වැනි රූප ද චෛත්‍යාරාජයාට ඉහළින් අහසේ දක්නට ලැබීමත් චෛත්‍යරාජයා තුළින් නිකුත් වන ශබ්ද පූජාවන්, මිණිගෙඩි ශබ්ද, සාධුකාර නාද, පිරිත් දේශනාදිය සිය කණින් ඇසීමටත් ලැබීම වැනි ආශ්චර්යවත් සිද්ධීන් සිදුවන අතර, මහකෙළ නාගරාජයා ධර්මාශෝක මහරජතුමාට මවා පෙන්වූ බුද්ධ රූපයත්, රුවන්මැලි සෑයේ ධාතු නිදහන් අවස්ථාවේ දුටුගැමුණු රජතුමාට දක්නට ලැබුණ බුද්ධ රූපයත් පිළිබඳ මහා වංශයේ හා ජිනකාලමාලී ආදී ග්‍රන්ථයන් හි සඳහන් වන අතරම, දකුණු දළදා වැඩවසන සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ ගර්භයට සම්බන්ධවම අහසේ 2013 පෙබරවාරි 04 පෙ.ව. 01.30 ට පිරිත් දේශනා පවත්වන අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය හෙවත් බුද්ධ ශරීරයම සියැසින් දැක ඡායාරූප ගතකොට සකල ලෝකයාටම අන්තර් ජාලය තුළින් හා ඡායා රූප හා සී.ඩී පට තුළින් දැක බලා ගැනීමේ අවස්ථාව උදා කර ඇති බව ද මෙහිලා සඳහන් කරමි.

මේ අයුරින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩවසනවා හා සමාන උන්වහන්සේගේ අසිරිමත් වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන දළදා පෙරහරෙන් ලැබෙන ආශිර්වාද මහිමයෙන් සකල ලාංකික ජනතාවටත් සමස්ත ප්‍රජාවටත් අසීමිත ශාන්තියක් සිදු වේවායි ප්‍රාර්ථනය කරමි.