Print this Article


එදා තෙරණියන් ගැයූ ගීතිකා

එදා තෙරණියන් ගැයූ ගීතිකා

බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් නිමවන ලද ගයන ලද රසවත් එමෙන්ම හරවත් පද්‍ය බන්ධනයන්ගෙන් පෙළ දහම බෙහෙවින්ම පොහොසත්ව ඇත්තේය. ඒවා හැඳින්වෙනුයේ ගාථා නාමයෙනි. ධර්මෝපදේශ ලබාදීම, අත්දැකීම් ප්‍රකාශ කිරීම හා විමුක්ති ප්‍රබෝධය ප්‍රකාශ කිරීමාදි අපේක්ෂාවන් එහිලා ප්‍රමුඛ වූබව සැබෑවකි. එහෙත් රසෝත්පාදනය එහිලා අපේක්‍ෂා නොකරන ලදැයි කිසිසේත්ම කිව නොහැකිය. ඇතැම් විට පෙළ දහම තුළම අන්‍ය ලබ්ධිකයන්ගේ ප්‍රකාශන මෙන්ම දේව භාෂිතද පද්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත්කොට ඇත්තේය.

පාලියෙහි දීඝ, මජ්ජිම හා අංගුත්තර යන නිකාය ග්‍රන්ථයන් බෙහෙවින්ම ගද්‍යමය දේශනාවන්ගෙන් යුක්තවෙයි. එහෙත් එම ග්‍රන්ථ වලද පලින් පල පද්‍යමය ප්‍රකාශන ද දක්නා ලැබෙයි. සංයුත්ත නිකාය ගද්‍ය,පද්‍ය උභයාංශයෙන්ම සමන්විතය. එහි සගාථවග්ගය, නිදාන වග්ගය වැනි කොටස් වෙසෙසින්ම පද්‍ය නිර්මාණවලින් පිරී ඇත්තේය. ඛුද්දක නිකාය ග්‍රන්ථ පසළොසකින් යුක්ත වන අතර ඉන් සමහරක් මුළුමනින්ම පද්‍ය සංග්‍රහයන් වේ. සමහරක් අර්ධ වශයෙන් පද්‍යමය වන්නේය. ඛුද්ධක පාඨ, ධම්මපද, උදාන, ථෙර ථෙරි ගාථා, සුත්තනිපාත, ජාතක, අපදනා, බුද්ධවංස වැනි කොටස් මුළුමනින්ම වාගේ පද්‍ය සංග්‍රහයන් වේ. විනය හා අභිධර්ම පිටක ග්‍රන්ථවල ද පලින් පල පාලි පද්‍ය දැකගත හැකිය. එසේම බෞද්ධ පාලි සාහිත්‍යයටම අයත් පසුකාලීන අටුවා ටීකාදියෙහිද රසවාහිනී ,දාඨාවංස ආදි අතිරේක ග්‍රන්ථවලද පද්‍ය නිර්මාණය දැකගත හැකිය.

සූත්‍රාන්ත පිටකයේ ඛුද්දක නිකායට අයත්’ ග්‍රන්ථ පහළොවෙන් දෙකක් වන ථෙරගාථා සහ ථෙරිගාථා බුදුරදුන් දවස වැඩ සිටි තෙරවරුන් සහ තෙරණියන් විසින් නිමවා ගයන ලදදේ යයි සැලකෙන ඉතා රසවත් එසේම හරවත් පද්‍ය සමූහයකින් යුක්ත වෙයි. බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත පෙරදිග සාහිත්‍යයෙහිම ඇතුළත් ඉතා විශිෂ්ට ගණයේ සාහිත්‍ය නිර්මාණ ලෙස සැලකිය යුතු මෙම පද්‍යවල කර්තෘත්වය පිළිබඳ නූතන විද්වතුන් විවිධ මත පළකොට තිබේ. කෙසේ වුවද වඩාත් පැරැණි ධර්ම ග්‍රන්ථ දෙකක් ලෙසද ථෙර, ථෙරි ගාථා විද්වතුන්ගේ සම්භාවනාවට ලක්ව ඇත.

ථෙරගාථාවෙහි තෙරවරුන් දෙසිය හැටහතර දෙනකු විසින් ගයන ලද ගාථා ඇතුළත්ය. ඒ යතිවරුන්ගෙන් සමහරු තම තමන් පසක් කළ මඟ පල සිහිකරමින් එයින් උපන් නිරාමිස පී‍්‍රතියෙන් ගී ගයති. සමහරු තමන් ලද සමවත් සුවයම දක්වනු පිණිසද, සමහරු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙසද ගී ගයති. ඇතැම් යතිවරුන්ගේ ගීතිකා සම්බුදු සසුනෙහි උතුම්බව කියයි. ඒ හැම පද්‍යයක්ම පාහේ අපූරු රසවත් උපමා, රූපක මුසුකොට ගනිමින් සිය අත්දැකීම් පවසනු පිණිස නිමවන ලද්දේය. වෙසෙසින්ම සොබා දහමෙහි, පරිසරයෙහි අසිරිය මතුකරන්නේය.

ථෙරිගාථාවෙහි තෙරණියන් සිය දෙනෙකුන් විසින් ගයන ලද ගීතිකා ඇතුළත්ය. මෙයින් බොහෝ තෙරණියෝ තමන් බුදුසස්නෙහි පැවිදිවීමට පෙර ගත කළ දුක් සහිත කටුක අසහනකාරි ජීවිතයද, පැවිද්දෙන් පසු ලද උතුම් සැනසුම ද අතිශයින්ම හැඟුම්බරව පවසත්, නො එසේ නම් රහත්බව ලබා එහි සුවයම කියත්. වෛදික බ්‍රාහ්මණ සමාජ ක්‍රමය විසින් වෙසෙසින්ම ගැහැනිය පහත් කොට සලකන ලද බවද, විවිධාකාරයෙන් ඇයගේ අයිතිය උදුරාගනිමින් ඇයට චෝදනා, නින්දා අපහාස නඟන ලද බවද ඉතා ප්‍රකටය. පුරුෂාධිපත්‍ය තුළ නිබඳවම ජීවත්වීමට ඇයට සිදුවිය. ගැහැනිය කවර හැටියෙකින් වත් විශ්වාස කළ නොහැකි, කුරිරු යක්ෂණියකැයිද කියන ලදී. ඇගේ මුව සිරියාවන්ත වුවද වචන මිහිරි වුවද හදවතෙහි හලාහල විෂ ඇතැයි බමුණෝ ඉගැන්වූහ. ඒ එක් අතෙකිනි. අනෙක් අතින් විටෙක දරුවන් හදා වඩා දුක්ගන්නා මවක ලෙසද විටෙක ගෘහ කටයුතුවලින් පීඩාවට පත් මවක ලෙසද මහමෙහෙවරක් කළ ස්ත්‍රියට විඳින්නට සිදුවූ දුක් ගැහැට අපමණ විය. ථෙරිගාථා වෙන් පිළිබිඹු වන එක් ඉතා වැදගත් පැත්තක් නම් එදා ගැහැනිය විඳි අපමණවත් එකී දුක් පීඩාවන්ය. අනේක විධ ගැහැටය. මෙසේ දුකට පත්ව සිටි සමාජය තුළ අවම කොට සලකන ලද බොහෝ මවුවරුද, බිරින්දෑවරුද ,දියණිවරුද බුදුදහමෙහි ආශිර්වාදයෙන් අපමණ සැනසුමක් උදාකරගත්හ. දරුවන් අහිමිව ස්වාමිවරුන් අහිමිව සිටි ස්ත්‍රීන් ද විටෙක එබඳු ස්වාමිවරුන්ගේ ගැහැටින් පීඩාවිඳි. ගැහැනුන් ද දුප්පත්කමත් අනේකවිධ ගෘහකටයුතුත් නිසා දුක්විඳි ස්ත්‍රීන් ද ථෙරිගාථාවෙන් දැකගත හැකිය. ජීවිතයේ මහා ඛේදවාචකයන්ට මුහුණ දී කිසිත් පිළිසරණක් නොලැබ සිටි ස්ත්‍රීහුද ඒ අතර සිටිති. ඔවුන් අතරින් ඇතැමෙක් කාමාතුර නිර්ලජ්ජි පිරිමින්ට ඇඟමස් විකුණා දිවි ගෙවීමට සිදුවීමෙන් දුකට පත් ගණිකාවෝය. පිරිමින්ගේ අසම්මත ලිංගික ක්‍රියාවනට ගොදුරක් වූ තරුණියෝද ඒ අතර වූහ. රාජ මහේෂිකාවන් අතරද විවිධ හේතූන් නිසා අමනකාම භෝගී දිවිපෙවෙත පිළිබඳ බලවත් කලකිරීමෙන් කල්ගෙවූ ස්ත්‍රීහු සිටියහ. මොවුන් අතුරින් පසුකලෙක බුදුසස්නෙහි උතුම් වූ පැවිද්ද ලබා උසස් ආධ්‍යාත්මික සුවය. සැනසුම මෙන්ම ඒ හා සමගාමී වූ බාහිර භෞතික සැපයද උදා කරගත්තෝ භික්‍ෂූණීහු වෙති. ඉන් ඇතැම් භික්‍ෂුණීහු ලෞකික වූ ධ්‍යාන සමාපත්ති ආදිය ලබාගත්තෝය. සමහරු සියලු කෙලෙස් නසා රහත් පලයද ලැබුවෝය. අපමණ දුක් ගැහැට හා කලකිරීම්වලින් මිදී පැවිදිව තමන්ලද ඒ නිරාමිස සුවය, උතුම් විමුක්තිය විසින්, උද්දාමයට පත්කරන ලද ඒ තෙරණියන් මුවින් නිතැතින්ම ගලා ආ උදාන ගීතිකා ථෙරිගාථාවෙහි ඇතුළත් වෙයි. ථෙරිගාථා අටුවාව එම උදාන ගීතිකාවනගේ නිදාන කථා වාර්තා කරයි. අත්දැකීම් ආශි‍්‍රත භාව ගීත ලෙස උසස් තැනක් ගන්නා එම පද්‍ය නිර්මාණ කවිත්වයෙන්ද අගතැන්පත් නිමැවුම් ලෙස සැලකිය හැකිය. එක් තෙරණියක් මෙසේ ගයයි.

මිදුනෙමි මිදුනෙමි මැනවින් මිදුනෙමි
කුදු තුනකින් මම හොඳ හැටි මිදුනෙමි
මෝල්ගහෙන් වංගෙඩියෙන් කුදු සැමියාගෙන් මිදුණෙමි.
මරණින් උපතින් සසර දුකින් මම බව තණ්හාවෙන් සැබැවින් මිදුණෙමි – බුද්ධ ජයන්ති මුද්‍රණය (ගීය 11)

කොසොල් දනව් වැසි මුත්තා විවිධාකාර පීඩනයට බඳුන්ව හෙම්බත් වූ අතිශය අසහනකාරි ජීවිතයක් ගතකළ ගැහැනියකි. තරුණ වූ ඇයට නොගැළපුණු ඇගේ සැමියා කුදුගැහැණූ කයක් ඇති විරූපී කාමාතුරයකි. මවුපියන් විසින් ඔහුට සරණ කර දෙනුලැබු මුත්තා දුක් පීඩාවන් උරුමකොට විසුවාය. ඒ මහලු සැමියා ඇසුරින් ලද සැපයක් නොවීය. ඔවුන් නිවසේ දැසිදැස්සන් නොවුයෙන් ඒ දිළිඳු ගැහැනිය නිමක් නැති ගෘහ කටයුතුවලින්ද පීඩාවට පත්ව සිටියාය. වී කෙටීම් ආදි දුෂ්කර ගෘහ කටයුතු උරුමව සිටි ඇයට එයින්ද ගිහි ජීවිතය එපා විය. ගිහිකමෙහි කලකිරුණු මුත්තාවෝ පසුකලෙක ඒ සියල්ලෙන් මිදී පැවිදිව ගුණදම් වඩා තණ්හාව නැතිකොට දුකින් මිදී ගත්තෝ එසේ ගායනා කළෝය. මේ තවත් තෙරණියකගේ ගැයුමකි.

වියළි උණගස් පැලෙන කටුක හඬින් මිදුණෙමිය
මොහොලින්ද පිලුණු බත්හැලියෙන්ද මිදුණෙමිය
කටුක දිවි ගෝර වනපෙත දුරැර ආවෙමිය
රුකමුල්හි දැහැන් සුවයට ලංව සැනසෙමිය
(ගීය 23, පිට 10)

මේ සුමංගල මාතාවගේ ගීයයි. ගෘහස්ථ ජීවිතයේ විවිධ කටුක අත්දැකීම්වලින් අපමණ පීඩාවට පත්ව සිටි ඇයද අසරණ ගැහැනියකි. ඇගේ එකම පුත්‍රයාද සුමංගල නමින් පැවිදිව සිටියේය. වි කෙටීම ආදි දුෂ්කර කටයුතුද ඇයට නිමක් නොවීය. ඇගේ සැමියා බටපොතු කාර්මිකයෙකි. බට පතුරින් ඔහු විවිධදේ තනන්නට ඇත. රළු බටපතුරු මෙන්ම ඔහුද රළු නපුරු අයෙකුවු බව පෙනේ. ඔහුගෙන් සුමංගල මාතාව ලද සුවයෙක් නොවීය. ඔහුගේ බටපොතු කර්මාන්තයද ඇයට රුචි නොවීය.

උණ බට පැළෙන රළු හඬ බෙහෙවින්ම කටුකද අමිහිරිද විය . දැසි දසුන් නොවු ඒ දිළිඳු නිවසෙහි ඕ ආහාර පිසුවාය. ඉදුල් කළ අහර ඇති පිළුණුව දුගඳ හමන හැළිවළං සේදුවාය. පසුකලෙක මේ සියලු දුක් ගැහැටින් මිදී පැවිදි වූ සුමංගල මාතාව කෙලෙස් නසාලනු පිණිස රුක්මුල්හි බවුන් වඩා දැහැන් උපදවා ගත්තීය. දැහැන් සුවයෙන් වසන්නී ඉහත කී පරිදී උදන් ඇනුවාය. මේ තවත් තෙරණියකගේ ගැයුමකි.

මේ සිරුර සරහා උමතුවන සේ මෝඩ පිරිමින් උගුල ඇටවූ වැදිසේ බලා සිටියෙමි නිවස ගණිකා දක්වා රහස් නොරහස් පෙන්වා පැළඳි අබරණ සිනහවෙන් මායාවෙන් රැවටුයේවෙමි බොහෝ පිරිමින් ඒ මම...  මුඩුකළේ වෙමි හිස දැරුවෙමි රන් කසාවත් යැපෙන්නෙමි පිඬුවෙන් පසක් කළේ වෙමි නිවන් අගපල  (ගිය 72,73 පිට 24)

මේ විමලා තෙරණියගේ උදානයයි. ඇය පෙර අබිසරු ලියකි. ගණිකාවකි. පිරිමිනට කය විකුණා දිවි ගෙවු ගැහැනියකි. ඒ අශෝභන නිර්ලජ්ජි ජීවිතය ඇයට කෙමෙන් එපා විය. සිය සිරුර සලෙලුන් මුළාවන සේ සරසාගෙන, සතුන් දඩයමට රැක සිටින වැද්දකුමෙන් ඕ එදා පිරිමින් දඩයමට රැක සිටියාය. සිය සිරුරේ රහස් නොරහස් තැන් පෙනෙන සේ වාඩිවී සිටියාය. පැළැදි අබරණද දක්වමින් සිනහ පෑවාය. මායම් පෑවාය.

පසුකලෙක ඒ නිර්ලජ්ජි පහත් දිවිපැවැත්මෙහි කලකිරුණු විමලාවෝ ඉන් මිදී පැවිදිවූවෝ සසර දුකින්ද මිදී රහත් වූවෝය. මේ තවත් තෙරණියකගේ ගීයකි.

බඳුනක් හා සැරයටියක් අතැතිව
වැන්දඹුවක් වී සිඟා දොරින් දොර
සත් අවුරුද්දක් විඳිදුක් නිමකර
සැනසෙමි තෙරණිය පටාචාර ලඟ
(ගී 123,පිට 34)

ඒ චන්ද්‍රා තෙරණිය ගැයු ගීයකි. ඇය ගෘහ ජීවිතයේ විවිධ කටුක අත්දැකීම්වලින් සිත් තැවුලටත් වේදනාවටත් පත් අසරණ ගැහැනියකි. කලෙක විවාපත්ව සිටි ඇය පසුව සැමියා අහමිව වැන්දඹුවක් වූවාය. ඇය රක්නා පිණිස උපන් දරුවෝද නොවූහ. ඉතා දිළිදු ගැහැනියක වූ චන්ද්‍රාවනට සිදුවූයේ සිඟන්නියක වීමටය. නැදෑයින්ගේද හිතවතුන්ගේද පිහිටක් ඇයට නොවීය. දිවි රක්නට අහර ද විළි වස්නට වස්ත්‍රද නැතිව සිඟමනටවන් ඕතොමී කුසගින්නෙන් ද ශීතෝෂ්ණාදියෙන්ද හෙම්බත්ව සත් වසරක්ම දුක් වින්දා ය. ඇයට පිහිට වූයේ දුක දන්නා පටාචාරා තෙරණියයි. පැවිද්ද ලද චන්ද්‍රාවෝ ඉන්ලද සැනසුම එසේ ගීතවත් කළෝය. මේ තවත් එබඳුම තෙරණියකගේ ගීයකි.

දහසක් මසු නොව අඩක් ලැබූයෙන්
අඩ්ඪකාසි වෙමි රාගිනි ඇවිලුව
නිවුනා සිත කලකිරුනා ලොව ගැන
මිදුනා කෙලෙසුන්ගෙන් සිත අවුරන
(ගීය 25, පිට 12)

ඒ අඩ්ඪකාසි ගැයු හැටිය. ඇයද ගිහි කල ගණිකාවකි. පහත් ජීවිතයක් ගත කර පසුව එහි කලකිරුණු තැනැත්තියෙකි. අඩරැයකට ඇය හා එක්වීමට අය කළ මුදල කාසි ජනපදෙය් දිනක ආදායමෙන් අඩකි. මුලු රැයකට අය කළ මිල කාසි දනව්වේ දින මුළු ආදායම වුයේය. එබැවින් අඩ්ඪකාසි නම් වු ඕ තොමෝ පසුකලෙක සිය පහත් දිවියෙහි කලකිරී පැවිදිව පිළිවෙත් පුරා රහත්ව එසේ උදන් ඇනුවෝය. මේ තවත් තෙරණියකි.

පුතු මළ සොවින් මා විඳි දුක් අපමණය
උමතුව සිතින් සිහිනුවණද නැති උනිය
නිරවත් කයින් විළිබිය සිඳගත්නෙමිය
විසිරුනු සිතින් තැන තැන සැරිසැරුවෙමිය
කුසලගොඩ සොහොනේද
වීදියේ අගුපිලද
සාපිපාසා මැදින්
ගතවිනිය තෙවසරක්

ලොව්තුරු ගුණ සපිරි ඒ සම්බුදු මහිමි
දැක වැඳ දහම සිසිලෙන් දුක් ගිනි නිවමි
පැවිදිව කෙලෙස් සැම නැතිකොට සිත සැදිමි
සැම දුන් නසා නිවනින් මම සැනසුනෙමි (ගීය 133,, පිට 36)

වාසෙට්ඨි තෙරණියගේ ගීය එසේ විය. ඕතොමා ගිහි කල විවාපත්ව සිටියා පුතකු වැදු මවක්ද වූවාය. පුතු නිසා ලද සොම්නස දොම්නසක් වූයේ ඔහු මිය යෑමෙනි. දරුදුකින් උමතු වු වාසෙට්ඨි නිරුවත්ව විසිරුණු කෙස් ඇතිව තැන තැන ඇවිද ගියාය.කසලගොඩ, අමුසොහොන, නුවර විදිය ඇයට නිවහන විය. සා පිපාසා දුක් අපමණ විය. පුරා තුන් වසරක් ගෙවිණි. දිනක මියුළු නුවරදී බුදුරදුන් දුටු ඕ තොමෝ බණ අසා පැහැදී පැවිදිව පිළිවෙත් පුරා රහත් වූවාය.

මෙබඳු භාව ගීත රැසකින් ථෙරිගාථාව රසවත්ව තිබේ. මෙහි දක්වන ලද්දේ අවස්ථා කිහිපයක් පමණි.