Print this Article


බුදුසමයේ ප්‍රායෝගිකත්වය

බුදුසමයේ ප්‍රායෝගිකත්වය

බුදුදහම ප්‍රායීගිකව ක්‍රියාත්මක කිරීමෙන් දියුණුවට පත් වූ පිරිසක්ද දක්නට ලැබේ. මෙය බුදුසමයේ වරදක්ද නැතහොත් සමාජයේ වරදක්ද? යන්න විමසා බැලිය යුතු වේ.මේ ගැටලුව විසඳා ගැනීමේදී අපගේ අවධානය යොමුවිය යුතු අංශ රැසක් තිබේ. වටිනා දහමක් ලැබුණද අපගේ ආධ්‍යාත්මික දියුණුව මෙන්ම භෞතික දියුණුව අප වෙත ළගා වී නොමැත්තේ දහමෙහි ප්‍රායෝගික පදනම වටහා නොගැනීම මෙන්ම ධර්මය ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද යනුවෙන් ශ්‍රාවකයාට ඉදිරිපත් නොකිරීමේ හේතුවෙනි. බුදුරජාණන් වහන්සේ ධර්මය ඉදිරිපත් කිරීමේදි ප්‍රායෝගික අනුපුර්ව ප්‍රතිපදාවක් අනුගමනය කළ සේක. සාගර වෙරළේ සිට පිළිවෙලින් ගැඹුරට යන්නාක් මෙන් ධර්මයත් අනුපූර්ව ප්‍රතිපදාවක් යටතේ ඉදිරිපත්කොට තිබේ. එම අනුපූර්ව ප්‍රතිපදාව සකස් වී තිබෙන්නේ නොදන්නා දෙයින් දන්නා දෙයට ගමන් කරන ආකාරයටය. සීලය යටතේ පුද්ගලයාගේ බාහිර ශික්‍ෂණය ඇති කොට පිළිවෙලින් අභ්‍යන්තර ශික්‍ෂණය ද සඳහා යොමු වූවකි. බුදුසමය, ශ්‍රද්ධාවෙන් ආරම්භ කොට ප්‍රඥාවෙන් කෙළවර වන්නක් ලෙස ඉදිරිපත් කොට තිබේ.

බුදුසමය එයටම ආවේණික වූ ප්‍රායෝගික ආචාරවිද්‍යාත්මක (සීල) මනෝවිද්‍යාත්ම (සමාධි) දාර්ශනික (පඤ්ඤා) යන ත්‍රිවිධ පදනමකින් යුක්ත වේ. බුදුසමයේ මූලික අරමුණ පුද්ගලයා සංසාරික ජීවිතය තුළ මුහුණ දෙන දුක්ඛදායක තත්ත්වයෙන් ඔහු මුදවා විමුක්තිය අත්පත්කරගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදීමය. බෝසතාණන් වහන්සේ බුද්ධත්ත්වයට පත්වීමෙන් අර්ථවත් වන්නේ දුක පිළිබඳ ප්‍රායෝගික ගැටලුවට ස්ථාවර විසඳුමක් සොයාගැනීමයි.

දුකින් මිදීමට මග පෙන්වන බුදුදහමේ සියලු ඉගැන්වීම් ප්‍රායෝගික අගයකින් යුක්තවේ. එහි පුද්ගල විමුක්තිය මෙන්ම සමාජ විමුක්තියත් එකසේ අවධාරණය කරයි. මෙකී ප්‍රායෝගික දර්ශනය එකම අරමුණක් ඇතිව ගිහි කාමභෝගී ජීවන ප්‍රතිපදාව හා විරාගික පැවිදි ප්‍රතිපදාව වශයෙන් දෙයාකාරයකින් ක්‍රියාත්මක කළ යුත්තකි. මෙහි වෙනස බුදුරජාණන් වහන්සේ මොණරා හා හංසයා අතර පවතින වෙනස හා සමානකොට දක්වා තිබේ. පිල්බර සහිත විසිතුරු පක්‍ෂියෙකු වන මොණරාට වේගයෙන් පියාසර කළ නොහැකිවේ. එහෙත් සාකල්‍යයෙන්ම සුදු වර්ණයෙන් යුක්ත හංසයාට වේගයෙන් පියාසර කළ හැකි වේ. මේ අනුව ජවය හෙවත් පියාසර වේගයෙන් මෙන්ම බාහිර ස්වභාවයෙන්ද මෙම පක්‍ෂින් දෙදෙනා එකිනෙකාගෙන් වෙනස්වේ. ගිහි භුමිකාව සම්බාධ සහිත කෙලෙස් වැඩීමට උපකාරීවන්නකි.

පැවිද්ද නිදහස් බැදීම් රහිත වූවකි. බැඳීම් සහිත ගිහිජීවිතයක් ගතකරන්නෙකුට කඩිනමින් විමුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වීම අපහසුය. නිදහස් පැවිද්ද වූ කලී විමුක්තිය පිණිස නිරන්තරයෙන්ම කැපවිය හැකි තැනකි. මේ අනුව ගිහි සහ පැවිදි භූමිකාව සාකල්‍යයෙන්ම වෙනස් වේ.මෙය ආරම්භයේදීම වටහා ගත් බව සූත්‍ර සාහිත්‍යයෙන් පැහැදිලිවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් යොමුකළ බොහෝ දෙනෙකු තුළ ඇති වූ ආකල්පය නම් පිරිසුදු බ්‍රහ්මචරීය ජීවිතයක් උදෙසා පැවිද්දට පත්විය යුතු බවයි. ගිහිභූමිකාව යටතේ විමුක්තිය සාධනය කළ නොහැකිය යන්න මෙයින් කිසිසේත්ම අදහස් නොවේ. ගිහිව වෙසෙමින් මාර්ගඵල සාධනය කරගත් විශාල උපාසක උපාසිකා පිරිසක් පිළිබඳ පෙළ ග්‍රන්ථවල දක්නට ලැබේ. එහෙත් ගිහි භූමිකාව තුළ විමුක්තිය සාධනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව මුල් අවදියේ සිටම පිළිගත් බව දීඝජානුකෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අසන ප්‍රශ්නවලින් පැහැදිලි වේ.

දෙලොව දියුණුවට මඟ

මෙනිසා බුදුරජාණන් වහන්සේ ගිහි කාමභෝගී පිරිසට ඔවුන්ගේ ලෞකික ජීවිතය සතර අපායෙන් මුදවාගෙන සුගති සංඛ්‍යාත ලෝකයන්හි ගමන් කරමින් දීර්ඝකාලීව විමුක්තිය සාක්‍ෂාත් කරගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළහ. ගිහි සමාජය සඳහා ධර්මය දේශනා කිරීමේදී බුදුරජාණන්වහන්සේ නිරන්තරයෙන්ම එයට අවධාරණය කළ බව දීඝජානුකෝලිය පුත්‍රයාට මෙන්ම සිගාලක තරුණයාට කළ දේශනා මගින්ද ගිහි විනයට අයත් මංගල සුත්‍රයෙන් ද පැහැදිලිවේ. බුදුරජාණන් වහන්සේ ගිහි සමාජය සඳහා දේශනා කළ සෑම ඉගැන්වීමකින්ම පෙන්වා දෙන්නේ පවුල් ඒකකයට ආර්ථික, සාමාජීය,ආධ්‍යාපනික හා දේශපාලනික ආයතන වඩාත් නිවැරදි හා අර්ථවත්ව පවත්වාගන්නේ කෙසේද යන්නයි. ගිහියාගේ දෙලොව දියුණුව පිණිස අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන නිසා බුදුසමය ප්‍රායෝගිකව තම ජීවිතයට යොදා ගැනීමට හැකියාව තිබේ. මේ වනාහි උපතින්ම බෞද්ධ වූවෙකුට පමණක් නොව අන්‍ය ලබ්ධික අයෙකුට වුවද පහසුවෙන් අනුගමනය කළ හැකි ඉගැන්වීමකි. බුදුසමය කිසිවිටෙකත් විශේෂ ජනවර්ගයක් හෝ ජාතියක් සඳහාම දේශනා කළ එකක් නොවේ. එය ප්‍රඥාවන්තයින් සඳහා දේශනා කළ දහමකි. (පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මො දුප්පඤස්ස)

බුදුරජාණන් වහන්සේගේ තිසරණ පිළිගැනීම

ධර්මය ලොව කවර අයෙකුට වුවද සුදුසුවේ. කවර අයෙකු වුවද තිසරණය පිළිගන්නේ නම් ඔහු බෞද්ධයෙකු බවට පත්වේ. බෞද්ධ වීම පිණිස අනුගමනය කළ යුතු විශේෂ චාරිත්‍රයක්ද නොමැත. කෙනෙකු අයිති සංස්කෘතිය හෝ ජාතිය එයට බාධාවක් නොවේ. වැදගත් වන්නේ ඔහුට හෝ ඇයට මෙම ධර්මය වටහාගැනීමට අවශ්‍ය ප්‍රඥාව තිබේද යන්න පමණි. ධර්මය දේව රහසක් හෝ ගුරුමුෂ්ටියක් රහිත වූවකි. විවෘත වූ තරමටම බබළන්නකි. (විවටො විරොචති) එසේම එය නිදහස් චින්තකයකින් යුක්ත වන අතර බලහත්කාරයෙන් ආරෝපණය කරන්නක් නොවේ. “එන්න බලන්න” යන (එහිපස්සික) කාරුණික ආරාධනාවෙන් යුක්තව ඉදිරිපත් කරන්නකි. දුකින් මිදීමට මඟ පෙන්වන දහමක් වන අතර එය මඟ කැඳවාගෙන යන්නක් නොවේ. බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශකයෙකි. ගැලවුම්කරුවෙකු නොවේ.

අනුපූර්ව ප්‍රතිපදාව

ගිහි සමාජය සඳහා බුදුරජණන් වහන්සේගේ ඉගැන්වීම අර්ථවත් වන්නේ එකී සමාජයේ වෙසෙන්නන් තුළ ආධ්‍යාත්මික හෝ භෞතික වශයෙන් දියුණුවක් ඇතිවන්නේ නම් පමණි. ලාංකික ගිහි බෞද්ධ සමාජය නිරීක්‍ෂණය කිරීමේදි එවන් දියුණුවක් අත්පත්කරගෙන ඇත්තේ සුළුතර පිරිසක් පමණක්ය යන්න පැහැදිලි කරුණකි. සදාචාර පරිහානිය පිළිබඳ පුවත් නිරන්තරයෙන්ම අසන්නට හා දකින්නට ලැබේ. මේ අතර බුදුදහම ප්‍රායීගිකව ක්‍රියාත්මක කිරීමෙන් දියුණුවට පත් වූ පිරිසක්ද දක්නට ලැබේ. මෙය බුදුසමයේ වරදක්ද නැතහොත් සමාජයේ වරදක්ද? යන්න විමසා බැලිය යුතු වේ.මේ ගැටලුව විසඳා ගැනීමේදී අපගේ අවධානය යොමුවිය යුතු අංශ රැසක් තිබේ. වටිනා දහමක් ලැබුණද අපගේ ආධ්‍යාත්මික දියුණුව මෙන්ම භෞතික දියුණුව අප වෙත ළගා වී නොමැත්තේ දහමෙහි ප්‍රායෝගික පදනම වටහා නොගැනීම මෙන්ම ධර්මය ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද යනුවෙන් ශ්‍රාවකයාට ඉදිරිපත් නොකිරීමේ හේතුවෙනි. බුදුරජාණන් වහන්සේ ධර්මය ඉදිරිපත් කිරීමේදි ප්‍රායෝගික අනුපුර්ව ප්‍රතිපදාවක් අනුගමනය කළ සේක. සාගර වෙරළේ සිට පිළිවෙලින් ගැඹුරට යන්නාක් මෙන් ධර්මයත් අනුපූර්ව ප්‍රතිපදාවක් යටතේ ඉදිරිපත්කොට තිබේ. එම අනුපූර්ව ප්‍රතිපදාව සකස් වී තිබෙන්නේ නොදන්නා දෙයින් දන්නා දෙයට ගමන් කරන ආකාරයටය. සීලය යටතේ පුද්ගලයාගේ බාහිර ශික්‍ෂණය ඇති කොට පිළිවෙලින් අභ්‍යන්තර ශික්‍ෂණය ද සඳහා යොමු වූවකි.බුදුසමය, ශ්‍රද්ධාවෙන් ආරම්භ කොට ප්‍රඥාවෙන් කෙළවර වන්නක් ලෙස ඉදිරිපත් කොට තිබේ. විමුක්තිය වනාහි ආරම්භයේදීම සිදුනොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාව අනුගමනය කළ යුතුවේ.

පවින් වැළකීම

මෙකී අනුපූර්ණ පිළිවෙත් යටතේද ගිහි සමාජය උදෙසා අනුගමනය කළ හැකි දහමක් ඉදිරිපත්කොට තිබේ. පළමුව අවධානය යොමුකර තිබෙන්නේ ගිහි සමාජය පවින් වළක්වා සුගතියට යොමුකිරීම කෙරෙහිය. ආධ්‍යාත්මික විමුක්තිය සොයායන භික්‍ෂූන් වහන්සේද ගිහි සමාජයට ස්වර්ග මාර්ගය පෙන්වාදිය යුතුයැයි සිගාලෝවාද සුත්‍රයෙහි දක්වා තිබේ. මෙම ස්වර්ග මාර්ගය වනාහි දේව සැපත හා මිනිස් ලොව උපතයි. සුගති යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. එහි ඉපදීමට අනුගමනය කළ යුතු දශකුශල ප්‍රතිපදාව ධම්මචරියා සමචරියා යටතේ සාල්‍යෙයක සූත්‍රයෙහි දක්වා තිබේ. දස කුසල ප්‍රතිපදාවම ගිහි සදාචාරය හා සම්බන්ධවේ. ගිහි සමාජ සදාචාරය සකස්විය යුත්තේ මෙකී දසකුසල ප්‍රතිපදාව යටතේය.මෙසේ සදාචාරවත් වන පුද්ගලයාගේ සෙසු කරුණු වන ධනය ඉපයීමත්, ජීවන පිළිවෙතත්, ලෞකික සමාජ කාර්යභාරයත් ධර්මානුකුලව සිදුවිය යුතු බව අවධාරණය කරයි. බුදුසමයට අනුව ධර්මානුකුල වීම හා ලෞකික ජීවිතය අතර වෙනසක් නොමැත.

ලෞකික දියුණුවයි සදාචාර සම්පන්න ජීවිතයයි

ලෞකික දියුණුවත් සදාචාර සම්පන්න ජීවිතයත් එකිනෙකට සම්බන්ධ වේ. පුද්ගලයෙකු විසින් මෙම උභයාර්ථයම එකවර සාධනය කරගත යුතුවේ. උභය ලෝක විජය යනුවෙන් අදහස් කරන්නේ එයයි. එවන් දියුණුවක් සඳහා බුදුසමය ප්‍රායෝගික ජීවිතයට අදාළ කර ගත හැකි ආකාරය පහදා දීම අවශ්‍ය වේ. මෙ යටතේ ගිහි සමාජය මුහුණ දෙන දෛනික සමාජ, ආර්ථික ගැටලු මෙන්ම ආභ්‍යන්තරික මානසික අර්බුදද දහම ඇසුරෙන් විමසා බලා විසඳුම් ඉදිරිපත් විය යුතුවේ.බුදුසමය ඉදිරිපත් කරන විසඳුම් සර්වකාලීන අගයකින් යුක්ත හෙයින් අප පළමුව කළ යුත්තේ ඉහතින් දැක් වූ භුමිකා මැනවින් හඳුනා ගැනීමයි. එම හඳුනා ගැනීමෙන් ගිහි කාමභෝගී සමාජයට නිවැරදි මගපෙන්වීමක් ලබාදිය හැකි මෙන්ම ලෞකික දියුණුවද අර්ථවත් කරගත හැකිවේ.

බුදුසමයේ ප්‍රායෝගිකත්වය ලිපිමාලාවේ 02 වන කොටස නිකිණි පසළොස්වක පත්‍රයේ පළවේ.