Print this Article


තිදොර සංවරය

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

තීණිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්‍ඛණානි, බාල නිමිත්තානි, බාල අපදානිච පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ සුඤ්ඤත වග්ගයේ එන බාල පණ්ඩිත සූත්‍රයෙන් බාලයා හා පණ්ඩිතයා දැන හැඳින ගැනීමට නිර්ණායක ගණනාවක්ම දේශනා කොට තිබෙනවා. බාල ශබ්දය අර්ථ කිහිපයකම යෙදෙනවා. වයසින් අඩු තැනැත්තා හැඳීන්වීමටද බාල ශබ්දය භාවිතා කෙරෙනවා.

මෙහිදී බාල ශබ්දයෙන් අර්ථවත් කෙරෙන්නේ මෝඩයා යන්නයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසත් දී බාලයා හෙවත් අඥානයා හා පණ්ඩිතයා හෙවත් ප්‍රඥාවන්තයා පිළිබඳ හඳුන්වමින් මේ බාල පණ්ඩිත සූත්‍රය දේශනා කළා.බුද්ධදේශනාව අනුව බාලයා හැඳීන ගැනීමට ලක්‍ෂණ තුනක් විද්‍යාමාන වෙනවා.එනම් බාලයා සිත, කය, වචනය යන තුන්දොරින්ම සිදුවන වැරැදි සිදු කරනවා. අන්සතු දේ තමා සතු කර ගැනීමේ විෂම ලෝභයෙන් බාලයා යුක්තයි. ව්‍යාපාද මිථ්‍යා දෘෂ්ටි සිතෙහි රඳා පවතිනවා. බොරු කීම,කේළාම් කීම,පරුෂ වචන කීම,දෙලොවටම වැඩක් නැති හිස් වචන කථා කිරීම යන වචනයෙන් සිදුවන අකුසල කර්ම කරනවා.

එසේම කයින් සිදුවන ප්‍රාණඝාත,අදත්තාදාන, කාමමිච්ඡාචාරය යන කායික වැරැදි කරන්නෙක්ද වෙනවා. දේවදත්ත කෝකාලික ආදි උභයාර්ථයම පිරිහෙළා ගත් අය බාලයන් වශයෙන් හැඳීන්වෙනවා. අත්වැඩ,පරවැඩ, නසන්නා බාලයා වශයෙන් හඳුන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බාලයන් විවිධාකාරයෙන් හඳුන්වා තිබෙනවා. තමා වෙත නොපත් බර උසුලන්නා. තමා වෙත පත්බර නොඋසුලන්නා වශයෙන් බාලයා දෙයාකාරයි. නොකැපදේ කැපයයි ගන්නා හා කැප දේ නොකැප යයි ගන්නෝද මෝඩයෝයි. නිවැරැදි දේ වැරැදි යැයි ගන්නා ද වැරැදි දේ නිවැරැදි යැයි ගන්නාද මෝඩයෙක්. අධර්මය ධර්මය කොට සලකන්නාද ධර්මය අධර්මය කොටසලකන්නා ද බාලයෙක්. විනය අවිනය ලෙස අවිනය විනය ලෙසගන්නාද මෝඩයෙක්. මේ ලෝකයෙහි ඇති වන භය ජනකදේ සියල්ලම බාලයන් නිසයි ඇති වන්නේ. උපද්‍රව ඇති වන්නේ ද බාලයන් නිසයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමට සුදුසු කල්‍යාණ මිත්‍රයෙක් නැති නම් හුදෙකලාව විසීම හොඳ යැයි දේශනා කළා.

බාලයා මේ ආත්මභාවයේ දීම තුන් ආකාරයකින් දුක් දොම්නස් විඳීනවා. ඉහත සඳහන් කළ දස කුසල් කළ අඥානයා පිරිසක් අතර හෝ වීථීයක සිටින අවස්ථාවක එතැන සිටින සෙසු පිරිස් දසඅකුසල් කිරීම ගැන අවඥා සහගතව කථා කරයි නම් එය අසා සිටින එම පව්කාර තැනැත්තා එම පවිටු ක්‍රියා මා ද සිදුකොට ඇත යනුවෙන් සිතා දුකට සොම්නසට පත්වීම පළමුවන දිට්ඨධම්ම විපාකයයි. යළිත් බාලයා තමා වැනි අපරාධකාරයෙකු රාජපුරුෂයන් විසින් අල්ලා ගන්නා ලදුව කසවලින් තැලීම්, අත්පා කැපීම්, ආදි දෙතිස් වධදෙනු දැක තමන් අල්ලාගතහොත් මේ වධබන්ධන මටත් දෙන්නේ යැයි බාලයා මෙලොවදීම තැවෙනවා. තවද මෝඩයා වයස්ගත වී හෝ රෝගීව හෝ පුටුවක හී ඇඳක හෝ බිම හෝ සිටින විට තමා කළ පාප ක්‍රියා තමා ඉදිරියෙහි එල්ලී එල්ලී තිබෙන්නාක් මෙන් දකින්නට ලැබී ඒවා ගැන සිතා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් දුකට දොම්නසට පත් වෙනවා. නැතහොත් කළ කම් පර්වත ඡායාවක් සේ පැතිර පවතිනු දක්නට ලැබී දොම්නසට පත්වෙනවා. පව්කරුවාට මෙසේත් සිතෙයි. අහෝ මම මෙබඳු පාප කර්ම කළ කෙනෙක්. මා පින් දහම් කරගෙන නැත. පව්කම් කිරීමෙන් අපාගත වෙනවා නම් මාත් මරණින් පසු අපාගතවන්නේ යැයි ශෝකවෙයි. තිදොරින් පව්සිදු කරගත් අනුවණයා මරණින් පසු අනන්ත දුක් ඇති අපායක උපදිනවා.ඔහු එය අකැමැති වුවත් කළකම් අනුව ඔහුට ලැබෙන්නක්. අපා දුක උපමාවකින් දැක්විය නොහැකි බව වදාළ බුදුරජාණන් වහන්සේ අතින් ගත හැකි කුඩා ගල්කැටයක් අතට ගෙන භිෂූන්ගෙන් මෙසේ විමසුවා. මහණෙනි,,මේ අතේ තිබෙන ගල්කැටයත් හිමාලය පර්වතයත් සසඳනවා නම් කෙසේවේද? එවිට භික්‍ෂූහු, ස්වාමිනි මේ ගල්කැටය හිමාලය පර්වතයෙන් සියයකින්, දහසකින් හෝ සියක් දහසකින් සමාන නොවන්නේ යැයි පැවසුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙම අපාදුක් එවැනිය. වසර සියයක් හෝ වසර දහසක් හෝ වසර ලක්‍ෂයක් හෝ අපාදුක විස්තර කළත් විස්තර කළ නොහැකි යැයි වදාළා. ඉන්පසු ලොව වෙසෙන සත්ත්වයන් පිළිබඳව දේශනා කරමින් මෙසේ වදාළා. මහණෙනි, පෙර භවයන්හිදී රස තෘෂ්ණාවෙන් අකුසල් කොට තණකොළ අනුභව කරන සත්ත්වයන්,අසූචි අනුභව කරන සත්ත්වයන්, දියෙහි උපන් සත්ත්වයන් ආදි සත්ත්වයන් දෙලොව පව්කොට මරණින් පසු අපාගතව අපා දුක් විඳ පෙර කළ පිනකින් මිනිසෙක්ව ඉපදුනත්, උපදින්නේ නීචකුලවල දිළිදුව, අංගවිකළ වූවන් ලෙසයි. එසේ ඉපදුනත්, මනුෂයෙක් වීම අතිශය දුර්ලභ කරුණක්. උපමාවකින් පැහැදිලි කරතොත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් වැනි දුර්ලභ කරුණක් යැයි පැහැදිලි කළා. තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සේක්. මහණෙනි, මිනිසත් බව ලැබූ මේ පව්කරුවා දිළිඳු බව නිසා හෝ අවලක්‍ෂණ නිසා හෝ අංග විකලත්වය නිසා හෝ නැවතත් පව්කොට අපාදුකට පත්වෙති. මෙසේ අපාදුක් විඳවන නිසා බාලයාට සසර දිග යැයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුපියාණන් වහන්සේ පණ්ඩිතයා ගැන දේශනා කරනවා. ඉහත බාලයා පිළිබඳ වදාළ චරිත ලක්‍ෂණයන්ගෙන් වැළකී අර්ථය අනර්ථය දැනගෙන, පින් දහම් කරන්නා පණ්ඩිතයායි. එම තැනැත්තා කිසියම් ස්ථානයක සිටින විට එහි සිටින ජනයා සීලාදි ගුණදම් වඩන තැනැත්තන්ට මෙලොවදි සහ පරලොවදි ලැබෙන ආනිශංස පිළිබඳව කරන කථාබහ අසන්නට ලැබෙයි. එවිට ඔහු මේ කියන පස්පව් මා කරන්නේ නැත. මා පස්පවින් වැළකී කරුණා, මෛත්‍රි ආදි ගුණධර්ම වඩන්නෙක් යැයි මෙලොවදීම සොම්නසට සතුටට පත්වෙයි. එමෙන්ම ඉහත කී වැරදි කළ පුද්ගලයෙක් රාජපුරුෂයන් විසින් අල්ලාගෙන ගොස් රජතුමා පැනවූ දඬුවම් කරනු දැක, මම මෙවැනි වැරැදි කර නැත. එනිසා එවැනි වධ හිංසා මට ලැබෙන්නේ නැතැයි සතුටුවෙයි. එය මෙලොවදී ලැබෙන දෙවන සතුටයි. නුවණැත්තා පුටුවක හිඳගෙන සිටින විට ඇඳක,බිමක, වැතිරී සිටින විට හෝ තමා විසින් කරන ලද හොඳ වැඩ සිහිපත් වෙයි. එවිට ඔහු ‘මා පෙර පාපකර්ම හෝ දරුණු ක්‍රියා හෝ දුශ්චරිත ක්‍රියා හෝ කර නැත. මා කළේ දානාදි කුශල ක්‍රියාවන්ය. පව් නොකළ කුසල් කළ පුද්ගලයන් උපදින්නේ සුගතියෙකයැයි සිතා මෙලොවදීම සතුටුවෙයි.ඒ තෙවැනි වර සතුටු වීමයි. තිදොරින් සිදුවන පව් නොකළ, පුණ්‍ය කර්ම සිදුකරගත් නුවණැත්තා සුගතියෙක උපත ලබයි. බුදුරජාණන් වහන්සේ දිව්‍යලෝකවල ඇති සැප කියා නිමකළ නොහැකි බව වදාරා ඇත.

උපමාවකින් දක්වතොත් සත් රුවනින් යුත් අතිශය රූමත් දිගාසිරි විඳින බමුණන්ද පි‍්‍රයකරන සක්විති රාජ්‍ය සම්පත්තිය පවා දෙව්ලොව සැපතට සමාන කළ නොහැකියි. මෙසේ වදාරා දෙව්ලොව ඉපිද දෙව් සැප විඳින නුවණැත්තා දෙව්ලොවින් චුත වූ විට,මේ මිනිස්ලොව උසස් ධනවතව ඉපිද උපධි සම්පත්, ධනසම්පත් ලබාගෙන පින්කම් කරගෙන නැවත නැවත මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් ලබා සසරින් නිදහස් වන බව දේශනා කළා.

මෙසේ හෙයින් අනුවණයින් කරන පාපකර්ම නොකොට තුන්දොර ආරක්‍ෂා කරගෙන පුණ්‍ය කර්මයන්හි නියැළී දෙව් මිනිස් සැප කෙළවර උතුම් වූ නිවන් සැපත ළඟාකර ගැනීමට නැණවතුන් සේ උත්සාහ කළ යුතුයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!