Print this Article


වාර්ෂික චීවර පූජාව හා සත්බුදු වන්දනාව සිදු කැරෙන අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

වාර්ෂික චීවර පූජාව හා සත්බුදු වන්දනාව සිදු කැරෙන අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය


අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි


පුද බිමට ඇතුළුවන ස්ථානයේ ඉදිකොට ඇති බුද්ධප්‍රතිමා වහන්සේ

වසර තිහක පමණ වූ කුරිරු යුද්ධයේ නිමාව දකිමින් සිටි මොහොතක අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, කල්‍යානි සාම ගී‍්‍ර ධර්ම මහාසංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, හා රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දුර දක්නා නුවණින් අපූර්වතම ආගමික කේන්ද්‍රස්ථානයක් බිහි කළහ.

එහි පළමු පියවර වූයේ අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය ආරම්භ කිරීමයි. අක්කර දහයක පමණ භූමි ප්‍රමාණයක් වෙන්කර ගන්නා විට එම ප්‍රදේශය වනයෙන් හා වනසතුන්ගෙන් ගහණ විය. තැන තැන අලි ඇතුන් ද වූහ. 2004 ජූලි 06 වැනි දින මෙම චාරිකාරාමය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. කැලය එළි පෙහෙළි වී බුදු සසුනට පූජාවී 2005 මාර්තු 28 වෙනි දින චාරිකාරාමයේ අභිනවයෙන් ඉදි කෙරෙන විහාරය සඳහා මුල්ගල තැබිණි. එහි ඉදිකළ දෙමහල් සංඝාවාසය විවෘත කරනු ලැබුවේ 2004 නොවැම්බර් 06 වැනි දිනදීය.

සද්ධාරංසි නාහිමියන් විසින් ගොඩනැඟූ චිත්තරූපය අනුව යමින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේලා ගම්නියම් ගම් සැරිසරමින් වැඩම කරවන ආකාරය නිරූපණය කරන ප්‍රතිමා පන්සියයම දැනට නිර්මාණය කර අවසන්ය. ඒ හැම ප්‍රතිමාවකම විශේෂත්වය වන්නේ ජීවමාන මිනිස් ප්‍රමාණයෙන් ඉදිවීමයි. ප්‍රතිමාවල මුහුණුවලද චරිතාංග විවිධත්වය ඇතිවන පරිද්දෙන් වෙනස්කර තිබීම මෙහි තවත් විශේෂත්වයකි.

එය ඈතින් සිට නරඹන්නෙකුට පෙනීයන්නේ ජීවමාන බුදුපියාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ මහවනය මැදින් ගමන් අරඹා ඇති බවයි. මෙබඳු හැඟීම් ඇතිකරගත්තෝ සියවාහන නවතා පුදබිමට ඇතුළු වී විස්මිත දෑසින් ප්‍රතිමා නරඹන අයුරු නිතර දැකගත හැකිය.


ශ්‍රී ධීරානන්ද දහම් පාසලේ දරුවන්ට සද්ධාරංසි නාහිමියන් දහම් පොත් බෙදා දෙමින්.

එම විහාර කර්මාන්තයේ ඊළඟ පියවර වන්නේ මහා ගල්පර්වතයකින් බැස වඩින්නාවූ මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කිරීමයි. එයද නිමකර අවසන් ය. එය අප බුදුරජාණන් වහන්සේ සමනොල කන්දේ සිරිපා සටහන තැබූ අවස්ථාව සිහිපත් කරවන්නකි. පිටතින් පෙනෙන්නේ මහ කළු ගලක්සේ වූවද ඇතුළත ගල්ලෙන් විහාරද ඉදිවී තිබේ. එහි බුදුසිරිතේ එන කතා මූර්තිමත් කර ඇත.


සංඝාවාස ගොඩනැගිල්ල

මෙහි ධර්මායතනයක් ආරම්භ කරනු ලැබුවේ 2006 සැප්තැම්බර් 12 වෙනි දිනය. වන්දනාවේ එන සැදැහැවතුන්ට ලබාගත හැකි පරිදි ඉදිකළ ළිඳ ජලයෙන් පිරී පවතී.

පිරිවෙනේ ශාලාව, ධර්මශාලාව, දාන ශාලාව, ශිෂ්‍ය නිවාස, දහම්පාසල් ශාලාව, මෙන්ම දානය පිරිනැමීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ට නේවාසික පහසුකම් සැලසෙන පරිදි දෙමහල් ශාලාවක් ද එම පුණ්‍ය භූමිය තුළ ඉදි කර තිබේ. ඒ සඳහා සද්ධා රංසි නාහිමියන් කළ කැප කිරීම, ගත් වෙහෙස අප්‍රතිහත ධෛර්යය හා චිත්ත බලය මහත්වූ ප්‍රතිඵල ලබා දෙන්නට සමත් වූහ. සැදැහැවතුන්ගේ උදව් උපකාරයෙන් මේ සියලු ඉදිකිරීම් අංගසම්පූර්ණ ලෙස නිමකර ආරම්භ කිරීමට ද ගතවූයේ මාසයක් වැනි කෙටි කාලයකි.

2006 අගෝස්තු මාසයේ ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2006 සැප්තැම්බර් මාසයේ දී නිමකර ඒ මාසයේම 12 වැනි දින පිරිවෙනේ කටයුතු ආරම්භ කරනු ලැබීය.


චීවර පූජා මහෝත්සවයකදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා චීවර පූජාව සිදු කළ අයුරු

නෙල්ලිකුලම පංච සතික චාරිකාරාමය ප්‍රතිමා සහිත විහාර කර්මාන්තයට පමණක් සීමාවූවක් නොවේ. බුදුසසුන සුරැකෙන්නට නම් සිල්වත්, ගුණවත්, උගත් භික්‍ෂු පිරිසක් වැඩ සිටිය යුතු යැයි දූර දර්ශී වූ සද්ධාරංසි නාහිමියෝ ඒ සඳහා ද වැඩපිළිවෙළක් සකස් කළහ. ගම් දනව් වලින් තෝරාගත් පින්වත් දරුවන් පිරිසක් සසුන් ගත කළහ.


ලෙන් විහාරය තුළ ඉදිකර ඇති දසක දසය

චාරිකාරාමයේ ප්‍රතිමා අතරින් සැරිසරන, වත් පිළිවෙත් වල යෙදෙන, දහම් පොත් වන පොත් කරන, ගුරුහිමිවරුන් සමඟ පිඬුසිඟා වඩින මේ සාමණේර හිමිවරුන් දකින සැදැහැවතුන් සතුටින් දොහොත් මුදුන් දී වඳින අයුරු චාරිකාරාමයේ දී දැකගත හැකි සුලබ දසුනකි.

එහි ආරම්භ කර ඇති පිරිවෙන ‘ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන’ නමින් හැඳින්වේ. පිරිවෙනේ අධ්‍යාපනය හදාරන භික්‍ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදෙන්නේද නායක හාමුදුරුවන් වහන්සේ යටතේ උසස් අධ්‍යාපනය හදාරා සාමාර්ථය ලැබූ ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලාමය. ගුරු සේවයේ නියැළී භික්‍ෂූන් වහන්සේලා සඳහාද ආවාස තුනක් ඉදිකර සියලු පහසුකම්වලින් සමන්විත කර 2008 පෙබරවාරි මස 15 වෙනි දින ප්‍රධාන සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩ නිම කිරීමට ද සද්ධාරංසි නාහිමියෝ සමත්වූහ.

ප්‍රතිමා ඉදිකරවීමද භික්‍ෂූන් වහන්සේට අධ්‍යාපනය ලබාදීමද, ගම්මානවල වෙසෙන ළමුන් දහමට යොමුකර ඔවුන් නිසිමඟ ගමන් කරවීමද නෙල්ලිකුලම පංචසතික චාරිකාරාමය කේන්ද්‍රකොටගෙන සිදු කරනු ලබන මහඟු සේවාවන් අතර වේ. ශ්‍රී ධීරානන්ද දහම් පාසල ප්‍රදේශයේ හැදෙන වැඩෙන ළමා ළපටීන්ට යහගුණ ධර්ම වර්ධනයට මහඟු තෝතැන්නක් වී තිබේ. දහම් දැනුම ලබන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, නිල ඇඳුම් සකස්කරදීම සිදුවන්නේ ද නාහිමියන් අතිනි. ළමා සමාජය හා යෞවන සමාජය පිහිටුවා ළමුන් හා තරුණ තරුණියන් යහමඟට ගෙන ඒමට කරන කැපවීමද ප්‍රශංසනීයය.


පංචසතික චාරිකාරාමස්ථ ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ


වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක මහතා එක් ප්‍රතිමාවකට චීවරයක් පැළඳවූ අයුරු.

ළමා වැඩිහිටි හා තරුණ පිරිස් විහාරස්ථානයට කැඳවමින් ආගමික වත් පිළිවෙත් පිළිබඳ පුහුණුවද ලබා දෙති. එපමණක් ද නොව ප්‍රදේශයේ පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන්ට පොත් පත් පෑන් පන්සල් ආදී අධ්‍යාපනික උපකරණ වාර්ෂිකව ලබා දීමට ද උන්වහන්සේ ඉදිරිපත් වී සිටිති.

ශාසනික සේවාවෙන් නොනැවතී තවත් සමාජ මෙහෙවරකට නැඹුරුව සිටින සද්ධාරංසි නාහිමියෝ ඇලයාපත්තුව මූලික රෝහල් භූමියේ සියලු පහසුකම් සහිත භික්‍ෂු වාට්ටුවක් හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් රෝහල් වාට්ටුවක්ද ඉදිකර දී ඇත. මීට අමතරව රෝහලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට ද කටයුතු කරති. රුපියල් පන්දහසක් වටිනා බෙහෙත් ද්‍රව්‍ය සෑම මාසයකටම වරක් බැගින් ලබා දෙනු ලැබේ.

එදා රට සුරැකීමට පිළිපන් රණවිරුවන් සඳහා ද උන්වහන්සේගේ කරුණාබර නෙත් යොමු කෙරිණි. ආබාධිත වූ රණවිරුවන් උදෙසා කෘතිම පාද ලබාදීමත්, තුවාල ලැබූ රණවිරුවන් උදෙසා ලේ දන්දීම්, බෝධි පූජා, සති පිරිත් පවත්වා ආශිර්වාද කිරීම හා ඔවුන්ට එදිනෙදා අවශ්‍යවන දෑ ලබාදීමත් සිදුකළහ.


ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් පළමු රෝගියා ඇතුළත් කිරීමට ලේඛනගත කළ අයුරු.

තායිලන්තය, බුරුමය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, දඹදිව වැනි රටවලද සංචාරය කරමින් භාවනා පන්ති මෙහෙයවා බෞද්ධ ජනතාවගේ සිත් සතන් නිවී පහන් කරවන්නට ද උන්වහන්සේ සමත් වූහ.


ලෙන් විහාරය තුළ දර්ශනයක්

ජාතික ආගමික හා ශාසනික වශයෙන් කැපවීමකින් අධිෂ්ඨානයකින් කටයුතු කරන සද්ධාරංසි නාහිමියන් කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභායක්ත කාරක සංඝ සම්මුතියෙන් උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් හා ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීස්වර ධර්ම ප්‍රභධීරානන්දාභිධාන’ යන ගෞරව නාමයෙන් ද පිදුම් ලබා සිටිති.

සද්ධාරංසි නාහිමියන්ගේ මූලික බලාපොරොත්තුව වන්නේ නෙල්ලිකුලම පංචසතික චාරිකාරාමයේ දැනට ඇති සුළු සුළු වැඩ කොටස් කඩිනමින් නිමකර මේ වසර අවසාන භාගයේ දී මෙම පුදබිම උත්සවාකාරයෙන් බෞද්ධ ජනතා අයිතියට පැවරීමය. දැනට වන්දනාකරුවන් සඳහා අවශ්‍ය රථගාල්, සෞඛ්‍ය පහසුකම්, ජල විදුලි පහසුකම් සියල්ල සපුරා තිබේ.

නෙල්ලිකුලම පුදබිමේ මූර්තිමත් කර ඇති බුදුන්වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාට වාර්ෂික චීවර පූජා හා සත්බුදුවන්දනාව 2013 අගෝස්තු මස 24 වැනි දින පස්වරුවෙහි ඉතා උසස් අයුරින් සිදු කිරීමට ද සද්ධාරංසි නාහිමියෝ කටයුතු සංවිධානය කර ඇත. මෙම මහා පුණ්‍යකර්මයට සුදුවතින් සැරැසී සම්බන්ධ වන්නැයි සද්ධාරංසි නාහිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.

 


උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන් වෙත උන්වහන්සේගේ මෑණියන් වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනී ඇන්.ඇම්. සෝමාවතී මාතාව පිරිකරක් පූජා කළ අයුරු.


පුදබිම සැදැහැවතුන්ගේ වන්දනාවට.....