Print this Article


මිනිසා හඳුනා ගනිමු

මිනිසා හඳුනා ගනිමු

සීලාචාර බවක් පෙන්වන මිනිසා තවත් වරෙක අසීලාචාර ලෙස හැසිරෙයි. මිතුරු ස්වභාවයක් පෙන්වමින් පරම හතුරෙකු ලෙස කටයුතු කරයි. එබැවින් මිනිසා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොවන බව ඔහු කියයි. බුදුරජාණන් වහන්සේ පෙස්සගේ අදහස අනුමත කරති. කෙනෙකු සීලාචාරදැ’ යි හඳුනා ගතයුතු නම් කළයුත්තේ දිගු කලක් ඉතා සමීපව ඇසුරු කළයුතු බවයි

පසේනදී කොසොල් රජතුමා දිනක් රාජකාරි ගමනක් යාමට සැරැසුණි. ගමන පිටත්වීමට පෙර, රජු යාමට බලාපොරොත්තුවෙන ස්ථානයේ, ප්‍රදේශයේ තොරතුරු පිරික්සා බැලීම පිණිස චර පුරුෂයන් පිටත් කර හරින ලදී. ඔවුනට පැවරුණු කාර්යය වූයේ එම ප්‍රදේශය පිරික්සා බලා රජතුමාට සංචාරය කිරීමට සුදුසුද නුසුදුසුදැ’යි තොරතුරු වාර්තා කිරීමයි.

මේ අතර රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීම පිණිස පූර්වාරාමයට පැමිණියා. ඒවේලාවේ බුදුරජාණන් වහන්සේ එළිමහනේ සක්මන් කරමිනු’යි හිටියේ. රජු බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පස්ව සිටියා. බුදුරජාණන් වහන්සේ එළිමහනේම වැඩ සිටියා. කොසොල් රජු හා බුදුරජාණන් වහන්සේ අතර ඇත්තේ සමීප සබඳතාවක් වගේම හිතවත්කමක්. එනිසාම මේ දෙදෙනා ඉඩ ලැබෙන හැම වෙලාවකම වගේ මුණ ගැහුණා. සතුටු සාමීචියේ යෙදුණා. එදත් පුරුදු පරිදි කතාබහට වැටුණා. ගතවූයේ ටික වෙලාවයි. ඒ අසල මහපාරේ ගමන් කරන එක්තරා පිරිසක් රජු දැක්කා. සමහරු කෙස් රැවුළු වවාගෙන, දිගැටියට වවාගත් නිය, ඒවායේ කුණු තට්ටු පිරිලා. සමහරෙක් මාස ගණනකින් නාලා නැහැ, කුණු තට්ටු ගණන්. මේ අතර ඇතැමුන් විවිධ වෘත අනුගමනය කරන අය, හතර පයින් යනවා. ඒ සුනඛ වෘතය රකින අය, ගොන්නු වගේ යනවා ඒ ගෝ වෘතය අනුගමනය කරන අය, මේ විදියට තිස් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් පිරිසක් තමයි ගමන් කළේ. බොහොම සන්සුන් ඉරියව්වෙන් ගමන් කරනා මේ පිරිස දුටු කොසොල් රජ, හුනස්නෙන් නැගිට බුදුරජාණන් වහන්සේට පිටු පා, දෑත් නළලත තබා “රාජාහං භන්තෙ පසේනදී කොසලොස් මි” යනුවෙන් ස්වාමීනි මා පසේනදී කොසොල් රජු යයි ප්‍රකාශ කළා. තෙවරක්ම ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ඒ පිරිස කවුදැ’යි රජුගෙන් විමසුවා. ස්වාමීනි, ඒ වෙනත් රහත් පිරිසකැ’ යි අඤ්ඤතරා අරහන්තා’ රජු ප්‍රකාශ කළා. මේ වෙලාවෙදි බුදු හාමුදුරුවන් වහන්සේ රජතුමාට කදිම උපදෙස් හතරක් දෙනවා.

සංවාසෙන ඛො පන මහාරාජ සීලං වෙදිතබ්බං මේ පළමුවෙනි උපදේශයයි. කෙනෙකුගේ හැදිච්චකම නැතිනම් සීලය දැනගත හැක්කේ සමීපව ඇසුරු කිරීමෙන් බවයි එහි තේරුම. එදා මෙන්ම අදත් යම් යම් පුද්ගලයන් හඳුනා ගැනීමට මිනිසුන් විවිධ මිනුම් දඬු යොදා ගැනේ. ඇඳුමෙන් පැළඳුමෙන්, කතා බහෙන්, සිනහවෙන් ඇතැම්විට පාවිච්චි කරන වාහනෙන් මිනිසුන් මැන ගන්නා සමාජයක් දක්නට තිබෙනවා. විවාහයට කෙනෙකු තෝරා ගැනීමේදී පවා මෙවැනි නිර්නායක භාවිත කරනු පෙනෙයි. මිනිසා හඳුනා ගැනීම පහසු නැත. කන්දරක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එය පිළිගත් බව පෙනෙනවා. පෙස්ස නම් පිරිවැජියා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ තමන්ට ඇතුන් දමනය කිරීමේ හසල දැනුමක් හා පළපුරුද්දක් ඇති බවයි. හීලෑ සතුන් කිසිම අවස්ථාවක චණ්ඩ බවක් නොපෙන්වන අතර, ඔවුන්ගෙන් හිරිහැරයක් ද ඇති නොවන බවයි. එහෙත් මිනිසුන් එසේ නොවන බව ඔවුහු කියති. වරෙක සීලාචාර බවක් පෙන්වන මිනිසා තවත් වරෙක අසීලාචාර ලෙස හැසිරෙයි. මිතුරු ස්වභාවයක් පෙන්වමින් පරම හතුරෙකු ලෙස කටයුතු කරයි. එබැවින් මිනිසා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොවන බව ඔහු කියයි. බුදුරජාණන් වහන්සේ පෙස්සගේ අදහස අනුමත කරති. කෙනෙකු සීලාචාරදැ’ යි හඳුනා ගතයුතු නම් කළයුත්තේ දිගු කලක් ඉතා සමීපව ඇසුරු කළයුතු බවයි.

කොසොල් රජතුමාට දෙන දෙවෙනි උපදේශය මෙසේයි. සං වෝහාරෙන සොචෙය්‍යං වෙදිතබ්බං කෙනෙකුගෙ සිත නැතිනම් අදහස් දැන ගැනීමට කළයුත්තේ දිගු කලක් සමීපව සිට සවන්දීමයි. මිනිස් සිත තුළ ඇසිල්ලක් පාසා සිතිවිලි උපදී. ඒ සියල්ල යහපත් ඒවාද නොවේ. හොඳ මෙන්ම නරක සිතිවිලි ද උපදී. මිනිසුන් හැසිරෙනුයේ සිතේ උපදින සිතිවිලිවලට අනුවයි. සිතිවිලිවල වෙනස්වීම නිසාම හැසිරීමද වෙනස්වන බැවින්, පුද්ගල සිතැඟියාවන් වටහා ගැනීම බොහොමත්ම අමාරු කාර්යයකි. එහෙත් දිගු කලක් සමීපව හිඳීමින් කෙනෙකුට සිහියෙන් යුතුව සවන්දීමට හුරු වුවහොත් ඒ තැනැත්තා සිතන පතන ආකාරය පිළිබඳ යම් තරමක අවබෝධයක් ලබාගැනීමට පුළුවන.

හැම මනුෂ්‍යයෙක් තුළම ආත්ම ශක්තියක් ඇතැයි කියති. එය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. කෙනෙකු සතු ආත්ම ශක්තිය මැන ගැනීමට උපකරණයක් නැත. බුදුරජාණන් වහන්සේ කොසොල් මහ රජතුමාට දෙන තෙවැනි උපදේශය ආත්ම ශක්තිය පිළිබඳවයි. මහරජතුමනි, කෙනෙකුගේ ආත්ම ශක්තිය මැනගතහැක්කේ විපතකට පත් වූ විට ඒ අවස්ථාවට මුහුණ දෙන ආකාරය අනුවයි, ආපදාසු ථාමො වෙදිතබ්බො යනුවෙන් ඒ බව දැක්වෙයි. විපතක් පැමිණි විට ඇතැමුන් විපතට මුහුණ නොදී පලා යති. තව සමහරු විලාප නගා ජීවිතය පවා නැතිකර ගනිති. ඇතැමෙක් නොබියව මුහුණ දී විපතින් බේරීමට කටයුතු කරති. ඒ තැනැත්තා හොඳ ආත්ම ශක්තියක් ඇත්තෙකි.

රජතුමාට ලබාදුන් හතරවෙනි උපදේශය ප්‍රඥාව පිළිබඳවයි. යම් කෙනෙකු ප්‍රඥා සම්පන්නදැ’ යි හඳුනාගත හැක්කේ කෙසේද ? බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් කෙනෙකුගේ ප්‍රඥාවන්ත බව දැනගත හැක්කේ ඉතා දිගු කලක් සමීපව හිඳීමින් සාකච්ඡා කිරීම තුළින් බවයි. සාකච්ඡාය ඛො පන මහාරාජ පඤ්ඤා වෙදිතබ්බා යනුවෙන් ඒ බව දැක්වෙයි.

බුදුරජාණන් වහන්සේට සවන් දී සිටි කොසොල් රජතුමා උන් වහන්සේට ඉතාම සමීප වුණා. හරියට රහසක් කියන්න වගේ. එහෙම කිට්ටු වෙලා රජතුමා මෙහෙම කියනවා. ගෞතමයන් වහන්ස අර ගිය හැම දෙනාම මගේ මිනිස්සු. මම භද්දා. මම යානා මම චාරා. ඒ ගොල්ලො මගෙන් කන බොන අය. මගේ වාහනවලින් යන එන අය, මගේ චරපුරුෂයෝ කියලා ප්‍රකාශ කළා. මේ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ මිනිසුන් හඳුනා ගැනීමේදී සැලකිලිමත් වියයුතු වටිනා කරුණු කීපයක් රජතුමාට ඉදිරිපත් කළා. බුද්ධ දේශනාව වසර දෙදහස් හයසියයකට වඩා පැරැණි වුවත් එහි ඇතුළත් උපදෙස්වල පැරැණි බවක් පෙනෙන්නට නැහැ.

න වණ්ණ රූපෙන නරො සුජානො
න විස්සසෙ ඉත්ථර දස්සනෙ න
සුසඤ්ඤතානං හි වියඤ්ජනෙන
අසඤ්ඤතා ලොක මිමං චරන්ති

සමේ පැහැය, පිටින් ඇති හැඩ වැඩකම තුළින් මිනිසුන් මැනීම නොකළ යුතුයි. වත්මන් සමාජයේ බොහෝ අවස්ථාවල පුද්ගලයන් මනිනු ලබන්නේ ද මේ මිනුමෙනි. සුපිරි හෝටල්වල, මහා පරිමාන වෙළෙඳ සැල්වල හා වෙනත් ආයතනවල ඉදිරිපස පිළිගැනීමේ නිලධාරීන් හැටියට තබා ඇති පුද්ගලයන්ගෙන් මෙය සනාථ කරගත හැකිය.

සමේ පැහැය හා පිට පෙනුමට සලකන්නේ නම් වැඩියෙන්ම සැලකිලි ලැබිය යුත්තෝ සතුන් ය. එසේ සැලකිය යුතු සතුන් මොන තරම් සිටීද ? නයා, පොළඟා, කරවලා, මාපිලා වැනි සර්පයන්ගේ සම කොතරම් විසිතුරුද ? වර්ණවත් ද? ඔවුන්ගේ පිට හැඩය ද සිත් ගන්නා සුළුය. ඇතැම් බල්ලන්, හරකුන්, එළුවන් අතර ද හමේ පැහැයෙන් හා බාහිර පෙනුමෙන් සිත් ඇද බැඳ ගැනීමට සමත් සතුන් වෙති. කැලේ ජීවත්වන දිවියා, කොටියා වැනි සතුනගේ සම කොතරම් වර්ණවත් ද? පැහැපත් ද? දැකුම්කලු ද? උන්ගේ හැඩය ද කදිමයි. හමේ පැහැය හා සිරුරේ හැඩය දෙස බලා උසස් බව, වටිනාකම මනින්නේ නම්, මිනිසුන්ට වඩා තිරිසන් සතුන් අගනේය. විවාහය වැනි ජීවිතයේ වැදගත් තීරණ ගතයුතු අවස්ථාවලදී තම සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේ දී, හමේ පැහැය හා මතුපිට පෙනුම පමණක් සලකා යුග දිවියට පත් බොහෝ දෙනා තම ස්වාමියාගෙන් හෝ භාර්යාවගෙන් ඇතිවන පීඩාකාරී ස්වභාවයන් නිසා දුක් සුසුම් මැද ජීවත් වෙති.

දුටු විගස මිනිසුන් විශ්වාසයට නොගතයුතු බව ඊළඟ ඉගැන්වීමයි. කොසොල් රජතුමා තමන්ගේ රාජ භටයන් වෙස් ගන්වා පිටත්කර හැර, ඔවුන් පෙන්වා රහතුන් යැ’ යි හඳුන්වා දුන්න ද බුදුරජාණන් වහන්සේ එය පිළිනොගත්හ. දුටු සැණෙකින් කිසිවෙකු පිළිබඳ එසේ විශ්වාස නොකළයුතු බව රජුට පැහැදිලි කළහ. මිනිසුන්ට නොයෙක් චරිත නිරූපනය කළ හැක. නොයෙක් වෙසින් පෙනී සිටීමට ද හැකියාව තිබේ. සොරු තවුස් වෙස්ගෙන සොරකමේ යති. අපරාධකරුවන්, කාමාතුරයන් සාන්තුවරුන් සේ සැරිසරති. මත්ද්‍රව්‍ය මත්කුඩු ව්‍යාපාරිකයන්, සමාජ සේවකයන්, සමාජ ශෝධකයන් ලෙස පෙනී සිටිති. සිත් ඇද ගන්නා කතා පවත්වති. සංවිධාන ගොඩ නගාගෙන සමාජ නායකයන් ලෙස පෙනී සිටිති. එබැවින් දුටු විගස පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තැබීම කොතරම් භයානක හා අනතුරුදායකදැ’ යි වටහාගත හැකිය.

වෙළෙඳ පොළට යන ඔබ වෙළෙඳ පොළ භාණ්ඩ පිළිබඳව ඔබේ අවධානය යොමු කළහොත්, බුදුරජාණන් වහන්සේ පුද්ගල හැසිරීම් පිළිබඳ කළ ඉගැන්වීම තවදුරටත් තහවුරු කරගත හැකිය. බාල ලෝහ හෝ කෘත්‍රිමව නිපදවන ලද, ලෝහ මෙන් පෙනුමැති ද්‍රව්‍යවලින් සකසා රන් ආලේප කොට, රන් ආභරණ හා රන් භාණ්ඩ යැයි අලෙවි කරනු ලබන දෑ වෙළෙඳ පොළේ දැකිය හැකිය. රන් ආභරණයැ ‘ යි මුලාවී විශාල මුදලක් වැයකොට ඒවා මිලදී ගන්නා අය ද වෙති. කෘත්‍රිමව සකස් කරන ලද ගල් කැට, මැණික් ගල් යැයි අලෙවි කරති. එමෙන් දුර්ගුණ වලින් පිරුණු, අසද්පුරුෂ ගතිවලින් පිරි ඇතැම් මිනිසුන් විශාල වශයෙන් මුදල් වැය කොට නොයෙක් දේ කරමින් ජනතාව ද ඇතැම්විට විශාල වශයෙන් පිරිවරා ගෙන, සමාජ නායකයන් වශයෙන් පෙනී සිටිති. ඔවුන්ගේ ඇතුළත අපිරිසුදුයි, අශෝභනයි. බාහිර පෙනුම සෝභමාන යි.

සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට ඇතුළත් සත්ත ජටිල සූත්‍රය තුළ පැහැදිලි කර ඇති මේ කරුණු තුළින්, පුද්ගලයන්ගේ හැසිරීම් පිළිබඳව කදිම පාඩමක් කියාදෙන අතර, ඇසුරට පුද්ගලයන් තෝරා ගැනීම පිළිබඳවත් මඟ පෙන්වයි. සමාජ සබඳතාවලින් තොරව අපට ජීවත්විය නොහැකි බැවින්, පුද්ගල හැසිරීම් හා ක්‍රියා කාරකම් මනාව වටහා ගැනීමෙන් වඩාත් ඵලදායී සමාජ සබඳතාවක් තුළින් ජීවිතය සරු කරගත හැකිය.