Print this Article


පවෙහි විපාකය සසරපුරා දුක්මුසුය

සෝවාන් වීමට තරම් පින් මහිම තිබූ එම රෝගී පුරුෂයා එබඳු රෝගී තත්ත්වයක් ඇතිව උප්පත්තිය ලබනු ලැබුවේ පෙර සංසාරයේ කරනු ලැබු බරපතළ පාපකර්මයන් නිසාය. එසේ චර්ම රෝගී කෙනකු වී මිනිස්ලොව උපත ලැබුවේ අපායෙහි දුක් විඳීමෙන් අනතුරුවය. එබඳු බරපතළ විපාක ලැබීම සඳහා ඔහු විසින් කරනු ලැබූ පාපකර්මය වූයේ ‘තගරසිඛී’ නම් වූ පසේ බුදුරදුන් දැක අප්‍රසාද සිතින් කාරා බිමට කෙළ ගැසීම නිසාය. අනුවණයෝ සංසාරය පුරාම පව් කරමින් දුක්මුසු විපාක ලබමින් සංසාරගත ජීවිතය දුෂ්කර බවින් පුරවා ගනිති. නුවණැති යෝ සංසාරය පුරා පින් දහම් කරමින් එම ජීවිතය යහපත් කර ගනී

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයෙහි එම නුවර ‘සුප්පබුද්ධ’ නමින් මනුෂ්‍යයෙක් වාසය කළේය. නමින් සුප්පබුද්ධ වුවද ගතින් රෝගී තත්වයක් පෙන්නුම් කළේය. ඔහුට වැළදී තිබුණේ චර්ම රෝගයකි. සම කැසීම නිසා පලු නැගීමද ඒ නිසා හටගත් බිබිලි ද ඒවා පිපිරීමෙන් තම ශරීරය පුරා තැවරීමෙන් හටගත් අපිරිසුදු ගතියද විය. ශරීර ස්වභාවය මෙබඳු වු නිසාම සුප්පබුද්ධ නම වෙනුවට “කුෂ්ට” යන නමද ආරූඩ වී සුප්ප බුද්ධ කුෂ්ටයා’ යැයි ප්‍රසිද්ධ වී ගියේය. නමුත් අන්‍යයන්ට තමන්ගෙන් කිසිදු හිංසාවක් පීඩාවක් ඇති නොවන සේ ජීවත්වීමට ඔහු වග බලා ගත්තේය.

මෙම සුප්පබුද්ධ කුෂ්ට තෙමේ ආගම දහම ලෙස පිළිගනු ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ දහමයි. හේ බුද්ධරත්නය කෙරෙහි ඇලුණේය. ධම්ම රත්නය කෙරෙහි ඇලුණේය. සංඝරත්නය කෙරෙහි ඇලුණේය. තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති එම රෝගී පුද්ගලයා ශාරීරික වශයෙන් කොතරම් පීඩා වින්ද ද ඒ අසනීප තත්වය සියල්ල මඟහරවා ගනු ලැබුවේ තෙරුවන් ගුණ නිතර මෙනෙහි කිරීමෙන්ය.

ශාරීරික වේදනාව අරමුණු කරගෙන ඔහු වේදනාව මෙනෙහි කරමින් භාවනා කරන්නේ එබඳු අවස්ථාවල කායික වේදනාව මානසික ශක්තිය නිසාම දුරින් දුරුවී යන්නේය. ආගම දහම කෙරෙහි සිතින් පැහැදුණූ සුප්පබුද්ධ සමාජයෙහි පිරිස අතින් කොන්වී සිටියේය.එයට හේතුව වූයේ ඔහුගේ සිරුරෙහි පැවැති චර්ම රෝගයයි. එක දවසක් දෙව්රම් වෙහෙරෙහි බණ අසමින් සිටි සුප්ප බුද්ධ කුමාරයාට මනරම් සදහම් පිළිබඳ කිසියම් අවබෝධයක් හිතට ඇති විය. පෙර සංසාරය පුරා නරක නපුරු ක්‍රියාවන්වල යෙදීමෙහි විපාක ලෙස චර්ම රෝග තත්ත්වය උත්සන්න වුවද ඔහු මේ භවයේදී සිතිනුත්, කයිනුත් බණ දහමට නැඹුරු වුණේය. ඒ බණ ඇසීම නිසා එම රෝගී පුරුෂයා ආර්ය මාර්ගයෙහි පළමු පියවරට පත්විය. එනම් සෝවාන් තත්වයට පත්වීමයි.

එක් දිනක් සක් දෙවිඳු ලෝකය දෙස බලන්නේ සුප්පබුද්ධ නම් රෝගී පුරුෂයා තුළ තෙරුවන් කෙරෙහි පවතින සැදැහැ ඇති බව දැක ඔහු තුළ තෙරුවන් කෙරෙහි පවතින සැදහැති බව බිඳ දමනු පිණිස කුමක් හෝ කළ යුතු යැයි සිතුවේය. අහසින් පැමිණ සක් දෙවිඳු සුප්පබුද්ධ නම් වූ රෝගී පුරුෂයා අසල අහසෙහි සිටියේය. එහි සිට සුප්පබුද්ධ ඇමතුවේය. සුප්පබුද්ධ කියා නමින් ආමන්ත්‍රණය කොට සක්දෙවි රජුහු පැවසුවේ “ මා කියන කාරණාවට එකඟ වන්නේ නම් ඔබට මහත් ඉසුරු ලැබෙන්නට සලස්වමි “ යැයි කීවේය. සුප්පබුද්ධ විමසා සිටියේ ඔබ බලාපොරොත්තු වන කාරණය කුමක්ද? කියාය. එවිට සක්දෙවිඳු කියන්නේ

“බුදුහු බුදුහු නොවෙයි , දහම් දහම් නොවෙයි, සඟ සඟ නොවෙයි , යනුවෙන් ප්‍රකාශ කරන ලෙසය. එම අවස්ථාවේ තෙරුවන් ගැන සැදැහැති සුප්පබුද්ධ කල්පනා කරන්නේ මා ඉදිරිපිට සිටින්නේ සක්දෙවිඳුය. ඔහුගේ ඉල්ලීම ඉටු කළහොත් මට ඉමහත් ඉසුරු ලැබෙන්නේය. මම අද දුගී දුප්පත් කෙනකු බවට පත්වී සිටියද, රෝගී තත්ත්වයෙන් පෙළුණද මම ආර්යය මාර්ගයට පිවිසි කෙනෙක් වෙමි.ඒ නිසා සක් දෙවිඳුගෙන් ලැබෙන ඉමහත් ඉසුරුවලට වඩා මට මා ලැබූ ආධ්‍යාත්ම සුවය ප්‍රමාණවත් වෙයි. තෙරුවන් කෙරෙහි මා තුළ ඇති සැදැහැති බව සක්දෙවිඳුගේ ඉල්ලීමට වුව වෙනස් කිරීම මා වැනි කෙනෙකුට තරම් නොවෙයි කියාය. මෙසේ කල්පනා කර සුප්පබුද්ධ ඔබ සක්දෙවිඳු වුවද, ඔබට මොළේ නැතැයි කියා ඔහු පලවා හැරියේය.

සක්දෙවිඳු රජු සුප්පබුද්ධ නම් ආර්ථික අතින් දිළිඳු ආධ්‍යාත්මික අතින් මහත් වත්පොහොසත්කම් ඇති පුද්ගලයා පිළිබඳව ඉමහත් සතුටට පැමිණ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ සුප්පබුද්ධ නම් රෝගී පුරුෂයාගේ නොසෙල්වෙන ශ්‍රද්ධා සම්පත්තිය පිළිබඳ වර්ණනා කරනු ලැබීය.

සුප්පබුද්ධ නම් රෝගී පුරුෂයාට අලුත උපන් දෙනක විසින් අනිනු ලැබ කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපත ලැබුවේය.සෝවාන් වීමට තරම් පින් මහිම තිබූ එම රෝගී පුරුෂයා එබඳු රෝගී තත්ත්වයක් ඇතිව උප්පත්තිය ලබනු ලැබුවේ පෙර සංසාරයේ කරනු ලැබු බරපතළ පාපකර්මයන් නිසාය. එසේ චර්ම රෝගී කෙනකු වී මිනිස්ලොව උපත ලැබුවේ අපායෙහි දුක් විඳීමෙන් අනතුරුවය.එබඳු බරපතළ විපාක ලැබීම සඳහා ඔහු විසින් කරනු ලැබූ පාපකර්මය වූයේ ‘තගරසිඛී’ නම් වූ පසේ බුදුරදුන් දැක අප්‍රසාද සිතින් කාරා බිමට කෙළ ගැසීම නිසාය. අනුවණයෝ සංසාරය පුරාම පව් කරමින් දුක්මුසු විපාක ලබමින් සංසාරගත ජීවිතය දුෂ්කර බවින් පුරවා ගනිති. නුවණැතියෝ සංසාරය පුරා පින් දහම් කරමින් එම ජීවිතය යහපත් කර ගනී. සුප්පබද්ධ නම් වූ කුෂ්ට රෝගී බවින් පෙළුණු පුද්ගලයාද සංසාරය පුරා මෙම අංශ දෙකෙහිම ක්‍රියාදාමයන්හි යෙදුණූ කෙනෙකි. පෙර සංසාරයේ පව්ද කරනු ලැබීය. වර්තමානයේ පින්පෙත්ද කරනු ලැබීය. කෙතරම් රෝගී බවින් සිටියද මෙම අත්බැව්හි ඔහු තුළ පැවැති නොසෙල්වෙන සැදැහැමහිමය නිසා. සක්දෙවිඳුගේ පවා ප්‍රශංසාවට හේතු විය.

මේ අනුව මිනිස් ශරීරය තුළ හටගන්නා ඇතැම් රෝග සංසාරගත කායික, මානසික දුෂ්චරිත නිසාද සිදුවන බව පෙනේ. ප්‍රමාණවත් ඖෂධ ගැනීමෙන් පවා සුව නොවන ඇතැම් රෝග සංසාරගත පුද්ගල විෂමාචාර නිසා සිදුවන ඒවා ලෙස බණ පොතෙහි එන කරුණු අනුව තෝරා බේරා ගත හැකිය. පුද්ගලයන් වශයෙන් මෙබඳු තත්ත්වයකට පත් වූ කල්හි කළ යුතු වන්නේ එයට එරෙහි වූ හොඳ යහපත් ක්‍රියාවල යෙදීමය. එනම් තමා තුළ පවතින අකුසලය නිසා හටගත් රෝගී තත්ත්වයට ප්‍රතිවිරුද්ධ දේවල් කිරීමය. සුප්පබුද්ධ නම් රෝගි පුද්ගලයා එබඳු තත්ත්වයකට පත් වූයේ තගරසිඛී නම් බුදුරදුන් කෙරෙහි අප්‍රසන්න සිතින් උන්වහන්සේට පෙනෙන සේ කාරා කෙළ ගැසීමය. වර්තමානයෙහි ඔහු කරනු ලැබුවේ සක්දෙවිඳුට පවා සෙලවිය නොහැකි සේ බුදුරදුන් කෙරෙහි අපමණ සැදැහැයෙන් බැඳි සිටීමය.

සටහන: හේමමාලා රන්දුනු