Print this Article


සච්ච විභංග සූත්‍ර දේශනාව

සච්ච විභංග සූත්‍ර දේශනාව

යම් සේ මවක් තම කුස ඔත් දරුවාට අනුග්‍රහ කරන්නී ද සැරියුත් තෙමේද එසේම බඹසර හැසිරෙන්නවුනට අනුග්‍රහ කරන්නේය. යම්සේ පිය කෙනෙක් තමන්ට දාව උපන් දරුවන් පෝෂණය කරන්නේද එසේම මුගලන් තෙමේද බඹසර හැසිරෙන්නවුනට අනුග්‍රහ කරන්නේය. එහෙයින් මෙම දේශනාව සිදුකිරීමට , විස්තර වශයෙන් කීමට, පනවන්නට, පිහිටුවන්නට විවෘත කරන්නට, බෙදා දක්වන්නට, පැහැදිලි කරන්නට පොහොසත් යැයි පවසා සැරියුත් හිමියන්ට ධර්ම දේශනය පවරා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩි සේක.

ආශිර්වාදාත්මක සූත්‍ර දේශනා ඇතුළත් බෞද්ධ ග්‍රන්ථය පිරුවානා පොත් වහන්සේය. එහි අන්තර්ගත ප්‍රධාන සූත්‍රයක් ලෙස සච්ච විභංග සූත්‍රය හැඳින්විය හැකිය. සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකායට අයත් මෙම සූත්‍රයෙහි පවතින එක් සුවිශේෂත්වයක් වන්නේ බුදුරදුන් මාතෘකාව තබා සැරියුත් හිමියන් විසින් දේශනා කරන්නට යෙදීමය.

චතුරාර්ය සත්‍ය පිළිබඳ මෙම සූත්‍රයෙහි දේශනා වන අතර මේ පිළිබඳ සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් හට මනා අවබෝධයක් ඇති බවත් එම දෙනම ආශ්‍රය කරන ලෙසත් සඳහන් කරයි. එය බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන්ම මෙසේ දේශනා කර ඇත.

යම් සේ මවක් තම කුස ඔත් දරුවාට අනුග්‍රහ කරන්නී ද සැරියුත් තෙමේද එසේම බඹසර හැසිරෙන්න වුනට අනුග්‍රහ කරන්නේය. යම්සේ පිය කෙනෙක් තමන්ට දාව උපන් දරුවන් පෝෂණය කරන්නේද එසේම මුගලන් තෙමේද බඹසර හැසිරෙන්නවුනට අනුග්‍රහ කරන්නේය”

එහෙයින් මෙම දේශනාව සිදුකිරීමට , විස්තර වශයෙන් කීමට, පනවන්නට, පිහිටුවන්නට විවෘත කරන්නට, බෙදා දක්වන්නට, පැහැදිලි කරන්නට (විත්ථාරෙන ආචික්ඛිතුං, දේසේතුං පඤ්ඤාපේතුං පට්ඨාපේතුං, විවරිතුං, විභජිතුං උත්තානිකාතුන්ති) පොහොසත් යැයි පවසා සැරියුත් හිමියන්ට ධර්ම දේශනය පවරා විහාරයට වැඩි සේක. එතැන් සිට සැරියුත් හිමියෝ

දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍යය හෙවත් මිනිසා සහිත ලෝකයෙහි යථාර්ථය පැහැදිලි කළහ. ඇවැත්නි, තථාගතයන් වහන්සේ මිගදායේදී මෙතෙක් ලොව කිසිම මහණ බමුණකු දේශනා නොකළ දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කළ සේක. එම සතර වැදෑරුම් ආර්ය සත්‍යය මෙසේය.

දුක්ඛ ආර්ය සත්‍ය නම් පළමුවැනි ආර්ය සත්‍යයි. ජාතිය හෙවත් ඉපදීම දුකකි, ජරාව දුකකි, ව්‍යාධිය දුකකි, මරණය දුකකි, ශෝකය වැළපීම, කයෙහි හට ගන්නා වේදනාව දුකකි, සිතෙහි හටගන්නා දොම්නස මෙන්ම දැඩි වෙහෙසද යන මේවා දුක්ය. පතන දේ නොලැබීමද දුකකි.පඤ්ච උපාදානස්කන්දයම දුකකි.

ජාති හෙවත් ඉපදීම නම් තෘෂ්ණාව හෙවත් ආශාව නිසා විවිධරූපකාය සහිතව ඉපදීම හා මිය යෑම නමැති නොනවතින ක්‍රියාවලියයි. ජරා හෙවත් දිරීම නම ඒ ඒ සත්ව කොට්ඨාශවලදී ශරීරය මේරීම, කෙස් සුදුවීම, හම රැලි වැටීම, දත් දිරා යෑම, ආයුෂ ක්‍රම ක්‍රමයෙන් පිරිහී යෑම,ඇස් කන් නාසාදී ඉඳුරන් දුබලවීම ආදියයි. මරණය නම් ඉපැදුණු අවස්ථාවේ සිට ක්ෂණික මරණයන්වලට පත්වෙමින් ස්කන්ධයන්ගේ බිඳී යෑම සහ සම්මුතිකව ඒ ඒ භවයන්හිදී මරණයට පත්වීමයි.

ශෝකය නම් විපත් කරදරවලදී ඇතිවන කායික මානසික වියැළීමයි. එයින් එදිනෙදා කටයුතු මනාව ඉටුකළ නොහැකි වීමයි. පරිදේවය හෙවත් වැළපීම නම් ව්‍යසනයකදී හඬගා හැ¼ඩීම යි. ගුණ කියමින් හෝ හඬගා දොස් කියමින් හෝ වැළැපීමයි. කායික දුක නම් කයෙහි හටගන්නා අමිහිරි වේදනාවන්ය. ලෙඩ වීම හා සාමාන්‍ය තත්ත්වයෙන් කය නොතිබීම කායික දුකය. දොම්නස නම් සිතට සුවදායක නොවන, මනාප නොවන අමිහිරිදේ නිසා සිතට දැනෙන අසහනය යි පි‍්‍රය නොවන බවයි. උපායාස හෙවත් දැඩි වෙහෙස නම් යම් කරදරයකදී පීඩාවිඳීම, ක්ලාන්ත ගතිය සහ බලවත්ව රෝගී වීමයි.

ප්‍රාර්ථනා කරන දේ නොලැබීමද දුකකි. අනෙකා ලබන සැපය, අනෙකා සතු බලය, නිලය හා ආර්ථික තත්ත්වය තමාටත් එසේ ලැබේවා’යි පෘථග්ජන සියල්ලෝම පාහේ ප්‍රාර්ථනා කරති. එහෙත් සැමට එය එකසේ නොලැබේ. එමෙන්ම කායික මානසික නිරෝගී බව සහ මනාරූපයක් තමන්ට ලැබීමේ ආශාව පවතී. එහෙත් එය ඒ ආකාරයෙන්ම සිදු නොවේ. ළමා කාලයේ සිටම ඇති කරගත් බලාපොරොත්තු ඉටු නොවීම මේ දුකට හේතුවයි.

පඤ්ච උපාදානස්කන්ධය දුක් වන්නේ වෙනස්වීම නිසාවෙනි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර , විඤ්ඤාණ යන සියල්ලම දුකකි.

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් කාම තණ්හා , භව තණ්හා හා විභව තණ්හාවයි. ඇලීම හෙවත් ආශාව නිසා ඇතිවන දුක පිළිබඳ වන උතුම් සත්‍යයයි. කුමන දර්ශනයක්, ලබ්ධියක් විශ්වාස කළද,නොකළද මේ සත්‍යය පොදු ය.

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් ඉහත කී තෙවැදෑරුම් තෘෂ්ණාවන් නැති කිරීමයි. අත්හැරීම, දුරැලීම, විනාශ කිරීම හා එයින් මිදීමයි. දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යය නම් ඉහත දක්වන ලද තෙවැදෑරුම් තෘෂ්ණාව නැති කරන මාර්ගයයි. එම මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සච්ච විභංග සූත්‍රයේදී සැරියුත් හිමියන් එම මාර්ගය විස්තර කරන්නේ මෙසේය.

* සම්මා දිට්ඨි නම් මෙය දුකයැයි දැනීම, හේතුව දැනීම හා නැතිවීම දැකීමය. එසේ දුක නැති කිරීමේ පිළිවෙත දැකීමය.

* සම්මා සංකප්ප නම් අව්‍යාපාද හෙවත් ක්‍රෝධයෙන් ඉවත්ව මෛත්‍රී සංකල්පනාවෙන්ද අවිහිංසා හෙවත් හිංසාවෙන් තොරව සිටීමේ අදහසින්ද ගිහිගෙයින් ඉවත්වීම හෙවත් නෙක්ඛම්ම සංකල්පනාවෙන්ද යුතුවීමය.

* සම්මා වාචා නම් බොරු කීම, කේලාම් කීම, රළු වචන කීම සහ හිස්වචන කීම, කීමෙන් වැළැකීමය.

* සම්මා කම්මන්ත නම් සතුන් මැරීම, සොරකම් කිරීම සහ කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැකීමය.

* සම්මා ආජීව නම් වැරැදි දිවිපැවැත්මෙන් ඉවත්ව දැහැමින් උපයාගත් දෙයින් ජීවත් වීමයි.

* සම්මා වායාම නම් නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩිදියුණු කිරීම, නූපන් අකුසල් නූපදවීම සහ උපන් අකුසල් මැඩ පැවැත්වීම පිළිබඳ උත්සාහ කිරීම, වීර්ය කිරීම හා දැඩි ලෙස වීර්ය කිරීමය.

* සම්මා සතිය නම් සතර සතිපට්ඨානයෙන් යුතුව නීවරණ ධර්ම පිළිබඳ අවබෝධය සහිතව කායික, මානසික, හික්මීම ඇතිකරගෙන ජීවත්වීමයි.

* සම්මා සමාධි නම් කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්ව ඇලීම මුලිනුපුටා චතුර්ථ ධ්‍යානයෙන් යුතුව වාසය කිරීමයි. ඒ තුළ දොම්නස් සොම්නස් , දුක සැප නැත.

සැරියුත් හිමියන්ගේ එම දේශනය භික්‍ෂූහු මහත් ගෞරවයෙන් යුතුව සතුටින් පිළිගත්හ.