Print this Article


අවිද්‍යාවෙන් මිදෙන අන්දම

අවිද්‍යාවෙන් මිදෙන අන්දම

පැහැදිලි නිරවුල් මනැසක් ඇතිකර ගැනීම සඳහා සිතෙහි හටගන්නා ධර්මතා මැනැවින් වටහාගැනීම අවශ්‍යවනවා. එසේම කයෙහි අසාර බව නුවණෙන් මෙනෙහි කිරීමත් වුවමනායි.සංස්කාරයන්ගේ ‘අනිච්ච’ ස්වභාව වටහාගැනීමෙන් පමණයි මානසික සන්හිඳියාව ඇතිකරගත හැකි වන්නේ. ඒ සඳහා අනුගමනය කළ යුතු දහම ප්‍රායෝගික භාවිතයට යොදාගැනීමේදී ඔබට වැදගත් වන කරුණු කිහිපයක් කියාදීමට අදත් මා බලාපොරොත්තු වනවා.

මිනිසා තුළ අවිද්‍යාව පවතින තෙක් කර්ම රැස්කිරීම සිදුවනවා. ඊට අනුරූපව විපාක විඳීමටත් සිදුවනවා. දුක් විපාක ලැබෙන විට තමා අකැමැති වූවත් කාල පරිච්ඡේදයක් නොමැතිව කඳුළු සලමින් දුක්ඛදායක වේදනාව විඳීමට සිදුවනවා. චේතනාව යහපත් කරගෙන සිදුකරගත් හොඳ කර්මවල සැප විපාකත් අප කරා පැමිණෙනවා. එහෙත් එය තාවකාලික නිසා වහා වෙනස් වී විපරිණාමයට පත්වනවා. සතර මහා ධාතුන්ගේ පහළවීමක් යම් තැනක ඇතිවුවානම් ඒ තුළ ජරා, ව්‍යාධි, මරණය පවතිනවා.

මේ කරුණූ පිළිබඳ තවදුරටත් විමසා බලමු. දුක අවබෝධ කර ගැනීමට සුගතිභූ®මි අතරින් වඩාම උචිත ස්ථානය මනුෂ්‍යයකු වශයෙන් මිනිස්ලොව උපත ලැබීමයි. එහිදී මවුකුසේ නව මාසයක් අප්‍රමාණ දුකක් විඳීමට සිදුවනවා. නිත්‍ය වූ සුඛයක් බලාපොරොත්තුවෙන් මව්කුස කරා පැමිණෙන බ්‍රහ්මලෝකවල ආයුෂ ගෙවී එන සත්වයන් ද දිව්‍යලෝකවල ආයුෂ ගෙවී පැමිණෙන සත්වයන්ද මිනිසත් භවයෙන් චුත වී නැවැත මව්කුස වෙත පැමිණෙන සත්වයන්ද යනාදි වශයෙන් සත්වයන් ක්ෂණ මාත්‍රයෙන් නැවත දුකට පත්වීම සිදුවනවා.

මේ ආකාරයෙන් ප්‍රතිසන්ධියේ සිටම අප විඳින දුක් වේදනාවන් ද වහා වෙනස්වෙමින් විපරිණාමයට පත්වනවා. එහෙත් ඔබට වැටහෙන්නේ නිත්‍ය වූ දුක්ඛ වේදනාවක් පවතින බවයි.උදාහරණයක් වශයෙන්, දත් කැක්කුම දැනෙන විට දුක්ඛ වේදනාව බහුල වශයෙන් ඇතිවනවා. එහෙත් දත යනු සතර මහා ධාතුන්ගේ එකතුවක්. ධාතුන්ගේ ස්වභාව නිරතුරු වෙනස්වීමයි. හටගන්නවා - බිඳෙනවා . රූපය පවතින තාක් දුක උරුමවනවා. ළදරු, තරුණ,මධ්‍යම, මහලු, භේදයකින් තොරව රූපස්කන්ධය දුකම බව තේරුම්ගන්න. ස්ථීර වු සුඛයම කෙසේවත් ළඟා කර ගත නොහැකියි. සත්වයා යනු රූපස්කන්ධයම පමණක් නොවේ. නාම ධර්ම වන වේදනා, සංඥා, සංඛාර විඤ්ඤාණයද ඇතුළත් වනවා. එම නිසා දුක්ඛ වේදනාවද ඇතිවී නැතිවනවා. සුඛ වේදනාවද ඇතිවී නැතිවනවා. මැදිහත් වේදනාවත් ඇතිවී නැතිවනවා. එසේ නම් ස්ථීර වු, අඛණ්ඩ වූ පංචස්කන්ධයක් නැත. ස්කන්ධයන් වහා ඇතිවී වෙනස්වීම ස්වභාව කොට පවතිනවා. මෙලෙස ‘අනිත්‍ය’ දහම ලොව සත්‍ය බව වටහා ගන්න.

වේදනාවද ඇති වී වහා නැතිවනවා. සංඥාවත් ඇතිවී නැතිවනවා. සංස්කාරයන්ද ඇති වී නැතිවනවා. විඤ්ඤාණයේ ස්වභාවත් එයමයි. එසේනම් දුක යනු උපාදානය වීමයි. දැඩිකොට අල්ලා ගැනීමයි. සැප වේදනාව,මමය, මගේය කියා ආත්ම කොට ගැනීමෙන්, දුක් වේදනාව මමය ,මගේය කියා ආත්ම කොට ගැනීමෙන් , මැදිහත් වේදනාව මමය, මගේය යනුවෙන් ආත්මකොට ගැනීමෙන් දුක් හට ගැනීම සිදුවනවා.

දුක තුනීවන්නේ සංස්කාර ධර්මයන් වහා වෙනස්වන බව තේරුම් කර ගැනීමෙන් . ත්‍රිවිධ වේදනා (සැප, දුක, මැදිහත්) නුවණින් විමසා බලනවිට එහි අනිත්‍ය ස්වභාව මැනැවින් ප්‍රත්‍යක්‍ෂ කර ගත හැකියි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නාවු යම් වේදනාවක් වන්නේ නම් එය ස්ථිර නොව අස්ථිර වනවා.

උදාහරණයක් ලෙස ඔබ සිතා බලන්න. ඔබට හොඳ ආසනයක් ලැබුණා. ඔබ එහි වාඩිවනවා. හරිම සැපයි කියා සිතනවා. එහෙත් ඔබ හිතුවේ නැහැ, සැපය වෙනස්වන බව. සැපයි කියා ස්ථිර කර ගැනීම අධික දුකට, සන්තාපයට හේතු වන බව සිතන්න. ඔබ කැමැති නැහැ සැප වේදනාව දුක් වේදනාවක් බවට පත්වනවාට. එහෙත් යථාර්ථය නම් වෙනස් වීමට පත්වීමයි. එසේනම් ‘අනිච්ච’ දහම මෙනෙහි කිරීම දුක තුනීකරගැනීමට ඒකායන ක්‍රමය බව සලකන්න. සැප වේදනාව වෙනස් වෙමින් වෙනස්වෙමින් දුක්ඛ වේදනාව බවට පත්වනවා. එම දුක්ඛ වේදනාවද පරිවර්තනය වෙමින් මැදිහත් වේදනාවට පත්වනවා. එම මධ්‍යස්ථ වේදනාවද විපරිණාමයට පත්වෙමින් යළි දුක්ඛ වේදනාවක් හටගන්නවා. මෙසේ වෙනස් වී යන ත්‍රිවිධ වේදනාවන් ‘අනිච්ච’ බව නුවණින් දැකීම සැනසීමට හේතු කාරණා වනවා. එයම රාග, ද්වේශ,මෝහ ගිනිනිවීමටත් සියලු ක්ලේශයන්ගේ සන්සිඳීමටත් හේතුවනවා.

මේ ආකාරයෙන් සිදුනොවන කිසිවක් ලොව නැහැ. සියලු සංස්කාරයන්ගේ ස්වභාව එයයි.එහෙයින් මේ කය ඇසුරෙන් නිත්‍ය වු සැපයක් බලාපොරෙත්තු නොවන්න. රූපයෙහි සාරයක් බලාපොරොත්තු නොවන්න. වේදනාවන්හි සාරයක් බලාපොරොත්තු නොවන්න. සංඥා, සංඛාර, විඤ්ඤාණයන්හි සාරයක් බලාපොරොත්තු නොවන්න.

රූපය යනු පෙණපිඬක් බඳුයි. වේදනාව දියබුබුලක් වැනියි. සංඥාව යනු මිරිඟුවක්, සංස්කාර කෙසෙල් කඳක් මෙන් වනවා. විඤ්ඤාණය මායාකාරයකු හා සමානයි. එබැවින් පංචස්කන්ධයේ කිසිදු හරයක් නැත්තේමයි. ස්ථිර වූ සුඛයක් නොමැත්තේමයි. වහා ඉපිද බිඳෙන සුළුයි. මැටි කලයක් බිඳී විනාශ වන්නේ කෙලෙසින්ද එලෙසින්ම පංචස්කන්ධයද බිඳෙන සුළුයි. එබැවින් පංචස්කන්ධය පිළිබඳ කලකිරීම සියලු දුකෙන් මිදීමට මාර්ගය වනවා.

පංචස්කන්ධය කෙරෙහි වන ඡන්දරාගය, ආශාව, උපාදානය දුරු කරගැනීම සඳහා නාම - රූප ධර්මයන්ගේ ස්වභාව මෙසේ මෙනෙහි කරමු.

* අනිච්චතො – අනිත්‍ය වශයෙන්
* දුක්ඛතො – දුක් වශයෙන්
* රොගතො – රෝගයක් වශයෙන්
* ගණ්ඩතො – ගඩු වශයෙන්
* සල්ලතො – හුලක් වශයෙන්
* අඝතො - පවක්, විපතක් වශයෙන්
* ආබාධතො – ආබාධ වශයෙන්
* පරතො – අකීකරු වශයෙන්
* පලොතතො – කොටසින් කොටස බිඳෙන සුළු වශයෙන්
* අලේණතො – රක්‍ෂිත නොවන වශයෙන්
* භයතො – බියකරු වශයෙන්
* උපද්දවතො – උපද්‍රව වශයෙන්
* සුඤ්ඤතො – හරවත් නොවන වශයෙන්

මෙසේ නුවණින් මෙනෙහි කරමින් භාවනා මනසිකාරය වශයෙන් ගනිමින් සුදු, කළු, ලස්සන, කැත,. උස, මහත, ළදරු, තරුණ,මහලු යනාදි වශයෙන් අප දකින පංචස්කන්ධය බිඳෙනබව වටහාගන්න.

උපතේ සිටි මිය යන මොහොත දක්වා ඉපදෙන ඉපදෙන නාම - රූප ධර්මයන් ඒ ඒ මොහොතේම බිඳෙන සුළුයි. මෙය මගේය යනුවෙන් ආත්මීය වශයෙන්,උපාදාන වශයෙන් නොගත යුතුයි. සතර අපාගත සත්වයන්ද මනුලොව සත්වයන්ද දිව්‍යලෝකවල සත්වයන් ,බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ද යන කාම, රූප, අරූපී භවත්‍රයේම සත්වයන්ගේ ස්වභාව ඉපිද බිඳීයාමයි. මේ බව අනිච්ච, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණෙන් පිරිසිඳ අවබෝධ කර ගත යුතුයි.

පුහුදුන් අශ්‍රැතවත් සත්වයන් නුනුවණින් මෙනෙහි කරන නිසා පංචස්කන්ධය සාරවු ස්ථිරවූ සුඛ, සදාතනික ලෙස දකිනවා. බෞද්ධ, අබෞද්ධ, බොහෝ ජනයා උදේ කාලයෙත් මමය, දහවල් කාලයේත් මමය, රාත්‍රි කාලයේත් මමය යනාදි වශයෙන් ගනිමින් දෘෂ්ඨියට වැටි සිටිනවා. යෑම්, ඉඳීම්, සිටීම්, නිදාගැනීම්,අතපා දිග හැරීම් හැකිලීම් ආදි සියලු කටයුත්තෙහිම, රූපය මමය,වේදනාව මමය, සංඥා මමය, චේතනා මමය, විඤ්ඤාණය මමයි ආදි වශයෙන් අතීත, අනාගත, වර්තමාන යන තුන්කල්යිම මමය යන ස්ථීර පුද්ගලයකු සත්වයකු ඇතැයි ශාශ්වත දෘෂ්ඨිය ගෙන කටයුතු කරනවා. සමහරුන්ට මාගේ ආත්මය නැතැයි උච්ඡේද දෘෂ්ඨිය ඇතිවනවා. බොහෝ දෙනෙකු සැප, දුක, මැදහත් වේදනා විඳින ස්ථීර සත්වයකු ඇතැයි විශ්වාස කරනවා. මෙසේ මිථ්‍යා දෘෂ්ඨි සහිත අංග අටෙන් යුතුව සිතනවා. එවැනි පෘථග්ජන තෙමේ ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්’ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයෙන් මිදෙන්නේ නැත. එසේනම් ඔහු සසරෙන් මිදෙන්නේ කෙසේද?

මෙබඳු දෘෂ්ඨින්ගෙන් මිදී සම්මා දිට්ඨිය ඇතිකර ගැනීම විමුක්ති ප්‍රතිලාභයට මඟ වනවා.නිරන්තර සිහි නුවණෙන් කටයුතු කරමින් නාම - රූපයන්ගේ ත්‍රිලක්‍ෂණය විමසා බැලීමට මෙතෙක් උගත් කරුණු උපකාරවත් කරගන්න.