Print this Article


දමනය කළ සිත ගෙන දෙයි යහපත

උදා වු වස්කාලය ගිහි පින්වතුන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. දිනපතා බෝධිපූජා, බුද්ධ පූජා පවත්වා වස් සමාදන්වී සිටින ස්වාමින් වහන්සේට උපස්ථාන කර කුසල් රැස් කර ගැනීමට හැකිවෙනව.  භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කරමින් සිත පහදවාගෙන බවුන් වඩා අනාගාමි ඵලය දක්වා පැමිණීමට මාතිකා මාතාවට හැකිවුණා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ථකාමනිපාතිනෝ චිත්තස්ස දමතෝ සාධූ චිත්තං දන්තං සුඛාවහං

පින්වත්නි,

අදාළ ගාථාවේ සරල අදහස වන්නේ නිගාකොට හික්මවන්න අපහසු වූ යුහුසුලු වූ හැම අරමුණකටම ලගින ස්වභාවය ඇති මෙම පුහුදුන් සිත දමනය යහපති. දමනය වූ සිත සැප ගෙනදේ යනුයි. ධම්මපදය බෞද්ධ අත්පොතට අයත් මෙම ගාථාව සිත දමනය කිරීමට අපහසු වූ එක් භික්‍ෂුවක් අරභයා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක.

උපසම්පදා භික්‍ෂුන්වහන්සේ වස් වසා වැඩ සිටින කාලයයි මේ. එය බෞද්ධ පින්වතුන්ට ලැබෙන්නේ අවුරුද්දකට එක් වරක් පමණයි. භික්‍ෂූන් වහන්සේට පමණක් නොවෙයි ගිහි පින්වතුන්ටද මෙම වස්තුන් මාසය තුළ විශේෂයෙන් කුසල් රැස්කර ගැනීමේ අවස්ථාව උදාවෙනවා.

බුද්ධ කාලයේ සිට පැවැත එනසිරිතට අනුව මෙම වස්සාන සමය තුළ භික්‍ෂූන් වහන්සේ පිණ්ඩ පාතයේ නොවඩින අතර භාවනානුයෝගීව හුදකලාව භාවනාකර මාර්ගඵල අවබෝධය ලබා ගත්තා. ගිහි පින්වතුන් ද බොහෝ දෙනෙක් මෙම කාලය තුළ මාර්ගඵල අවබෝධය ලබාගත්තා. බුද්ධ කාලයේ දී භික්‍ෂූන් වහන්සේ වස් සමාදන්ව නිසංසල පරිසර ඇති ස්ථාන සොයා වඩිනව. ගිහි පින්වතුන් මෙම ස්වාමීන්වහන්සේලාට තාවකාලික කුටි තනාදී උපස්ථාන කරනව. එබැවින් මෙම වස්තුන් මාසය ගිහි පැවිදි දෙපක්‍ෂයටම ඵලදායි වුණා.

වස් විසීමට සුදුසු ස්ථානයක් සොයමින් යන මෙවැනි භික්‍ෂූන් වහන්සේ තිස්නමක් ‘අල්ලගාම’ නම් ප්‍රදේශයේ දිනක් පිණ්ඩපාතයේ වඩිනව. එම ගම ප්‍රධානියාගේ භාර්යාව වන ‘මාතිකා මාතාව‘ නම් උපාසිකාව එම භික්‍ෂූන් වහන්සේලා දුටුවහ. තම ගම් ප්‍රදේශයේ වස් වාසය කරන ලෙස ඇය එම භික්‍ෂූන් වහන්සේලාට ආරාධනා කළා. ඇය ගම්වැසියන්ද කැටුව ගම කෙළවර වනගත ප්‍රදේශයක තාවකාලික කුටි, පැන් පහසුකම් ආදිය සලසා එම භික්‍ෂූන් වහන්සේ එහි වස් විසීමට සලස්වා උපස්ථාන කළා.

භික්‍ෂූන් වහන්සේලාගෙන් කමටහන් ලබාගත් මාතිකා මාතාවද ඉඩ ලද සෑම විටම භාවනා කළා. ඇය භාවනාව දියුණු කර අනාගාමී ඵලය දක්වා පැමිණියා. භික්‍ෂූන් වහන්සේට මාර්ගඵල අවබෝධය එතෙක් ලබාගැනීමට අපහසුවුණා. මාතිකා මාතාවට පරචිත්ත විජාණන ඤාණය පහළ වී තිබුණා. භික්‍ෂූන් වහන්සේට මෙතෙක් කිසිම මාර්ගඵලයක් ලැබී නැතිබව ඇය දුටුවා. ආහාර ඌනතාවයෙන් චිත්තශක්තිය මෙන්ම කායික ශක්තිය දුර්වලවීමෙන් මෙය සිදුවී ඇතැයි ඇය සිතුවා.

භික්‍ෂූන් වහන්සේ සිතන සිතන ආහාර ඇය දානයට සැපයුවා. මෙසේ තමන්වහන්සේ කැමැති කැමැති ආහාර දානයට සපයන මාතිකා මාතාව මාර්ගඵල අවබෝධ කර ඇති බව දැනගත්තා. තමන්වහන්සේලාගෙන් කමටහන් ලබාගත් මාතිකා මාතාව තමන්වහන්සේලාට කලින් මාර්ගඵල අවබෝධය ලබා ගැනීම ගැන භික්‍ෂූන් වහන්සේ අපහසුවට පත්වුණා. උන්වහන්සේලා කථිකාකර හුදකලාව වනගත වී භාවනා කර මාර්ගඵල අවබෝධ කරගත්තා. වස්තුන් මාසය අවසානයේ බුදුරජාණන් වහන්සේ මුණගැසී මෙම සියලු පුවත් ප්‍රකාශ කළා. මාතිකා මාතාව භික්‍ෂූන් වහන්සේලාට කළ උපස්ථාන ඇසූ එක් භික්‍ෂුවකට රස තෘෂ්ණාව ඇති වූහ. එම භික්‍ෂුවටද අල්ලගාමයට යාමට සිතුණා. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගත් එම භික්‍ෂුවද අල්ලගාමයට ගියා.අල්ලගාමයට ගිය මෙම භික්‍ෂුවට ද මාතිකා මාතාව හොඳින් උපස්ථාන කළා.

කැමැති කැමැති ආහාර දානයට ලබාදුන්නා. භික්‍ෂුව ද දිව පිනවන රස දෙයම සිතනවා. මාතිකා මාතාව පසුදින එය සපයනව. ‘මා සිතන සිතන සියලු ආහාර මෙම මාතාව මට සපයන්නේ මගේ සිත දැනගනයි.’ යනුවෙන් සිතන භික්‍ෂුව අපහසුවට පත් වුණා. භික්‍ෂුව ආපසු බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා. බුදුරජාණන් වහන්සේ මාතෘකා කළ ගාථාව එම භික්‍ෂුවට දේශනා කර දුවන සිත දමනය කර ගැනීමට නැවැත අවවාද දී අල්ලගාම ප්‍රදේශයටම යැව්වා. පුහුදුන් සිත පිළිබඳ හරි අවබෝධයක් ලැබූ එම භික්‍ෂුව මාර්ගඵල අවබෝධ කරගත්තා.

උදා වු වස්කාලය ගිහි පින්වතුන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. දිනපතා බෝධිපූජා, බුද්ධ පූජා පවත්වා වස් සමාදන්වී සිටින ස්වාමින් වහන්සේට උපස්ථාන කර කුසල් රැස් කර ගැනීමට හැකිවෙනව. භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කරමින් සිත පහදවාගෙන බවුන් වඩා අනාගාමි ඵලය දක්වා පැමිණීමට මාතිකා මාතාවට හැකිවුණා. ඇය තම සිතේ ස්වභාවය හඳුනාගත්තා. පංචකාම උල්පතක් බව තේරුම් ගත්තා.

පංච උපාදානස්කන්ධ නමැති මායාවෙන් වසා ඇති දෙයක් බව දැන ගත්තා. එය මනාව අවබෝධ කරගත් ඇය එයින් අත්මිදීමට මෙම වස් කාලය උපයෝගි කරගත්තා. සිතේ ස්වභාවය අවබෝධ කරනොගත් නිසා අප සියලු දෙනාම අනන්ත සසරේ දුක්විඳිනව. මෙම වස් කාලය ගිහිපින්වතුන්ට ද සිත පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාගැනීමට තෝ තැන්නක් වෙනව. ශාරීරික, පාරිභෝගික, උද්දේශික, වන්දනාව තුළින් බුදුපියාණන් වහන්සේ තම හදවත් තුළ තැන්පත් කරගැනීමට මේ හොඳම කාලයයි. සංඝරත්නය ඇසුර ලබමින් උපස්ථාන කරන විට මෙම පුහුදුන් සිත පිළිබඳ අවබෝධය ලබා ගැනීමට හැකිවෙනවා.

මෙම සිත අනුන් නිසා යැපෙන්නක් පමණයි. මෙම සිතට ලැගුම් ගන්නනම් රූපයක් අවශ්‍යමයි. රූපයක් නැතිනම් සිත නමැති නාම කොට්ඨාසයට ක්‍රියාත්මක වන්න බැහැ. රූපය ද ක්‍ෂණයක් පාසා ඉපදෙමින් මැරෙමින් යන, දිරායන, පොළවට පස්වන අස්ථිර දෙයක් පමණයි. නාමය යනු දිරන්නවත් දෙයක් නැති මිරිඟුවක් බඳු දෙයකි. අනිත්‍ය වූ කිසිම හරයක් නැති මෙම රූප සහ නාම හඳුනානොගතහොත් සිත දමනය කරන්න බැහැ. සිත යනු අනුන්ගෙන් යැපෙන බොරු කාරයෙක් බව අඳුනාගන්න ඕනැ.

මාතිකා මාතාව මෙය හරිහැටි අවබෝධ කරගත්තා. සිත නමැති බොරුවට රැවටුනේ නැහැ. එනිසා ඇයට අනාගාමි ඵලය දක්වා සිත දියුණු කරගැනීමට හැකිවුවා. වසරකට එකවරක් පමණක් උදාවන මෙම වස්සානකාලයෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන සසරදුක නිවාගැනීමට අදිටන් කරගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.