Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

අමුගොඩ සෝමරතන නා හිමි

අමුගොඩ සෝමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති පණ්ඩිත කුරුවිට සිරි සරණංකරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ “ධම්මජෝතිනි” කාරක සංඝ සභාව විසින් සිරිඅභයතිස්ස වංශාලංකාර, විචිත්‍රභානක, විනයාචාර්ය, මහෝපාධ්‍යාය කවීෂ්වර යන ගරුනාම සම්මුතිය සහිතව තත් නිකායේ අනුනායක ධුරය පිරිනමා ඇත.

සෝමරතන නාහිමියන්ගේ මව්පිය දෙපළ වූ කේ.පී.තෝමිස් අප්පුහාමි මුදලාලි මහතා සහ කේ ඇස්. ඇලිස් නෝනා මහා උපාසික මාතාවයි.1928 සැප්තැම්බර් මස 12 වන දින අමුගොඩ සිත්තරගොඩ දී ජන්මලාභය ලැබූ මේ කුමරු හැඳින්වූයේ කේ.පී.ඇලෙක්මන්ද සිල්වා යන නමින්ය. මූලික අධ්‍යාපනය ලැබුවේ අමුගොඩගම විද්‍යාලයෙනි.

සෝමරතන අනුනාහිමියෝ අමුගොඩ ජයසුමනාරාම පුරාණ විහාරාධිපතිව වැඩ විසූ අමුරපුර සිරිසද්ධම්ම වංශ මහානිකායේ කාරක සංඝ සභික ධුරයක් ඉසුළු සිරිපඤ්ඤාසෝම හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය ලෙස අමුගොඩ සෝමරතන නමින් 1944 මාර්තු මස දහවන දින අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේදී පැවිද්ද ලැබූහ. මූලික වත්පිළිවෙත්, සාමණේර බණදහම්’ තම ආචාර්යපාදයාණන් වහන්සේගෙන් ලබාගත්හ. මූලික අධ්‍යාපනය ලබා ගැනීමට රන්දොඹේ පඤ්ඤාරතන වැලිතර ඥානරතන හා කොස්ගොඩ සුධම්මාලංකාර යන නාහිමිවරුන්ගේ ඇසුර ලැබූහ. උපසම්පදාව සඳහා නිසි වයස් එළඹ සිටි බැවින් 1949 ජුනි මස 11 දින කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාමාධිපතිව වැඩිවිසූ තලල්ලේ ධම්මරතන නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් වැලිතර මහකප්පින වලව්වබද මාධුනදියෙහි පිහිටි “ස්වේජින්” නම් සීමාමාලකයේදී උපසම්පදාව ලැබූහ.

උසස් අධ්‍යාපනය මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණින් 1950දී ලැබීය.

ආචාර්යපාදයන් වහන්සේ අපවත්වීමෙන් පසු 1955 වර්ෂයේදී විහාරාධිපතිත්වයට පත්වූහ. විශේෂයෙන්ම නක්ෂත්‍රය පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිකර ගත් මුන්වහන්සේ ප්‍රදේශයට විශාල සේවාවක් ඉටුකරීමට උත්සුක වූහ. එපමණක් නොව ගම්වැසි දරුවනට දහම් දැනුම ඇතිකරලීම සඳහා “ලුම්බිණී” නමින් දහම්පාසලක් ඇරඹීය. විශේෂයෙන්ම විවේකයක් ලද හැම අවස්ථාවකදීම පුවත්පත්වලට කවි හා ලිපි සැපයීම සිරිතක් බවට පත්විය. “දහම්මග“ නමින් හරවත් ධර්ම ශාස්ත්‍රී ග්‍රන්ථයක්ද උන්වහන්සේ වන්දනා ගථා කෘතියක්ද පළකළ අතර 1955 දී බෞද්ධයාට අවශ්‍ය අත්පොතක් හා පැරණි සිලෝකවය අනුගමනය කරමින් ග්‍රන්ථයක්ද ලියා එළි දැක්වූහ.භක්ත්‍යාංජලී, ළමයින්ට ඔවදන්, ජීවිතයේ දශක,ජයසුමනාරාම පුරාණ විහාර වර්ණනා කෘතියද “වීර ජනපති මහින්ද රාජපක්‍ෂ මැති” නමින් කාව්‍ය ග්‍රන්ථයක්ද පළකොට ඇත.

තල්ගස්පේ ජයවර්ධනාරාමය, තලගස්පේ කිරිදොළ ඉන්ගලහේනේ බෙරලියවනයෙහි ආරණ්‍ය සේනාසනය හා කැටැන්දොළ බෝධිරාජාරාමය යන විහාරයන් ආරම්භ කළහ.

උන්වහන්සේ ප්‍රදේශයේ විවිධ ජාතික ආගමික සාමාජික සේවාවන් සිදුකරනු ලැබීය.

85 වන වියෙහි වැඩවසන, අමුගොඩ සෝමරතන අනුනාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය තෙරුවන් සරණින් ලැබේවායි ප්‍රාර්ථනා කරමි!

අයි.එම්. වී.සී. ගුණසේකර
ඇල්පිටිය සමූහ
 


දික්වැල්ලේ ධම්මාලෝක නා හිමි

අවුරුදු 86 ට වැඩි වූ තම පැවිදි ජීවිතය තළින් වේළුවනාරාම විහාරස්ථානය පිහිටි මාතර වේරදුව හා ආසන්න ගම් ප්‍රදේශවලට මෙන්ම සම්බුද්ධ ශාසනයට ඉමහත් මෙහෙයක් ඉටු කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි සිරි අරියවංශ වංසාලංකාර ආභිධම්මික දික්වැල්ලේ ධම්මාලෝක නා හිමිපාණන් වහන්සේ.

උන්වහන්සේ 1914 අගෝස්තු 13 වැනි දින දික්වැල්ලේ වත්තේගම ගම් පියසේදී ජන්ම ලාභය ලැබූහ. එච්. ආර්. දනෝරිස් සිල්වා මහතා පියාණන් වූ අතර ආර්. දිනෝහාමි මහත්මිය මෑණියෝ වූහ. මූලික පාසල් අධ්‍යාපනය දික්වැල්ල මොග්ගලීපුත්ත තිස්ස විද්‍යාලයෙනි (වර්තමාන කුමරතුඟු මුනිදස් මහ විදුහල)

දහතුන් වැනි වියේදී 1927 අගෝස්තු 12 වැනි දින මාතර වේරදුව වේළුවනාරාමයේදී එවකට විහාරාධිපතිව වැඩ විසූ පාතේගම ශ්‍රී‍්‍ර ආර්යවංශ මහ නා හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් දික්වැල්ලේ ධම්මාලෝක හිමි නමින් පැවිදි බිමට ඇතුලත් වූහ.

තම ගුරුහිමිපාණන් වහන්සේ වෙතින් බණ දහම් හෙරණවත් පිළිවෙත් රැගත් අතර 1928 පෙබරවාරි 10 දින මාතර වල්පොල සිරි මංගල පිරිවෙණට ඇතුළත්ව ඉගෙනුම් කටයුතු ආරම්භ කළහ. කෝට්ටගොඩ සෞගතෝදය පිරිවෙණ හා පානදුරේ ගොරකපොළ විද්‍යාරාජ පිරිවෙණට ඇතුළත්ව ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගයෙන් සාමාර්ථය ලැබූහ. 1935 ජූලි 08 වැනි දින උපසම්පදාවට පත්වූ දික්වැල්ලේ ධම්මාලෝක හිමිපාණෝ අධ්‍යාපනය ලබන අතර තුරේම තමා ප්‍රවෘජ්‍යභූමියට ඇතුළත් වූ වේරදුව වේළුවනාරාමයට වැඩමකර ආගමික ශාසනික කටයුතු වල නිරතවූහ.

එවකට විහාරාධිපතිත්වය දැරූ දෙවිනුවර සුමනසාර මාහිමිපාණන්ගේ උපදෙස් අනුශාසනා ලබමින් විහාරස්ථානයේ දියුණුවට උන්නතියට කටයුතු කිරීම නා හිමිපාණන් ගේ අපේක්ක්‍ෂාව විය. 1947 දී ශ්‍රී ආරියවංශ දහම් පාසල ලියාපදිංචි කරවා ගැනීමට හැකිවිය.

1977 ජුනි 19 දා නව විහාරාධිපති හිමියන් ලෙස දික්වැල්ලේ ධම්මාලෝක නාහිමියන් පත්විය. නාහිමියන්ගේ කාලවකවානුව තුළ විහාරාංග ගණනාවක් එක්විය.

විහාරාධිපති තනතුර දරමින් කරන ලද ආගමික හා ශාසනික මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් නාහිමි යන්ට සිරි අරියවංස වංසාලංකාර ආභිධම්මික සම්මාන උපාධිය පිරිනමන ලදී.

මාතර කඩවත් සතර ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සහ මාතර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති තනතුරින්ද පිදුම් ලැබූහ. ශ්‍රී‍්‍ර ලාංකේය සම්බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් විපුල සේවාවක් කළ දික්වැල්ලේ ධම්මාලෝක නා හිමියෝ 99 වැනි වියේදී 2013.05.23 රාත්‍රියේ අපවත් වී වදාළහ. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 2013.05.26 ඉරිදා පැවැත්විණ.

දික්වැල්ලේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා.


අරම ධම්මාලෝක නා හිමි

මාවනැල්ල වදුරාගොඩ ශ්‍රී උපෝෂථ බෝධිරාජාරාමාධිපති, විශ්‍රාමික ධර්මාචාර්ය, සර්වාංග හා සර්ප විෂ වෛද්‍ය විශේෂඥ අරම, ධම්මාලෝක නාහිමිපාණන්ගේ 80 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් උන්වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහනක් විහාරස්ථ දායක සභාව, ශ්‍රී ධම්මරක්‍ඛිත දහම් පාසල සහභාගීත්වයෙන් පැවැත්විණි.

වයස අවුරුදු එකොළහේ දී පැවිදි ජීවිතයට කෙහෙල්පන්නල ධම්මරතන මා හිමියන්ගේ ආචාර්යත්වයෙන් ඇතුළත්ව 1954 දී මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබූහ.

1962 දී රජයේ විද්‍යාල කිහිපයකම ධර්මාචාර්ය වශයෙන් පත්ව තිස් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබාගත් ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර සංඝරාජ පිරිවෙණෙනේ ධර්ම ශබ්ද ශාස්ත්‍රය ප්‍රගුණ කරගෙන ධර්මදේශකයාණන් කෙනෙකු වශයෙන් ධර්ම ශාස්ත්‍රිය කටයුතුවල නිරත වන ශ්‍රී ධර්මරක්ෂිත දහම් පාසලේ ආදි කර්තෘන් වහන්සේ වන අතර වසර තිහකට අධික කාලයක් එහි ප්‍රධානාචාර්ය වශයෙන්ද සේවය කර උසස් තත්ත්වයේ දහම් පාසලක් බවට පත්කරන ලදී. වෛද්‍යවරයෙකු වශයෙන් නිහඬ සේවාවක් පරාර්ථකාමිව ඉටු කරන ධම්මාලෝක නාහිමිට තව තවත් ශාසනික ආගමික සාමාජික සේවාවන්හි නිරතව සේවය කිරීමට තිසරණ සරණ ප්‍රාර්ථනා කරමු.


අලගොඩ මේධංකර හිමි

සාරසියපත්තුවේ ගල්ලෑල්ලගම, ගල්කොටුව, පුරාණ විහාරාධිපති අලගොඩ ශ්‍රී සුමංගල මේධංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 1919 නොවැම්බර් මස 16 වන දින සාරසියපත්තුවේ අලගොඩ ග්‍රාමවරයේ පදිංචි ව සිටි පී. කිරිබණ්ඩාර හා ජී. උක්කු අම්මා යන පින්වත් දෙමාපියන්ට අතිජාත පුත්‍රයෙක්ව ජන්මලාභය ලබා ගිහි කල ජී. උක්කුබණ්ඩාර නම් විය.

මෙම දරුවා මාර්තුගොඩ රජයේ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා, ඉක්බිතිව පුරාකෘත පුණ්‍ය ඵල මහිමෙන් ස්‍යාමෝපාලි වංශික අස්ගිරි මහා විහාරයීය ප්‍රථම මහානායක වූ උරුලෑවත්තේ ධම්මසිද්ධි නා හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ ගලගෙදර ධර්මකීර්ති ශ්‍රී ගුණරතනාභිධාන අනු නා හිමියන්ගේ ද්විතීය ශිෂ්‍ය සංඝශෝභන ගුණයෙන් යුතු වූ ගල්ලෑල්ලේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1934 මාර්තු 28 වැනි දින අලගොඩ මේධංකර නමින් පැවිදිබිමට පත්විය.

පසුව පැවිදි දිවියේ මූලික අධ්‍යාපනය සපුරුණු වස් හරන්කහව ඉල්ලගොල්ල පූර්වාරාමාධිපතිව වැඩ විසූ ප්‍රවචන කීර්ති විනයාචාර්ය කරල්ලියද්දේ ශ්‍රී සරණපාලාභිධාන නා හිමි යටතේ අධ්‍යාපනය හැදෑරූහ.

උගතමනා බණ දහමින් යුතුව නිසි වයස් සපිරණු උන්වහන්සේ 1941 දී ස්‍යාමෝපාලිවංශක අස්ගිරි මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේදී එවක මහානායක ධුරය හෙබ වූ මුල්ලේගම ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොට උපසම්පදාව ලබා ගත්හ.

උපසපන් භික්‍ෂුවක් ලෙස ගල්ලෑල්ලගම ගල්කොටුව පුරාණ විහාරයෙහි අධිපතිත්වය දරමින් දායක දායිකාවන්ට අමිල වූ ආගමික හා සාමාජික සේවාවන් නිහඬව නිහතමානීව සිදු කළහ.

විෂ වෛද්‍යාචාර්යවරයෙකු ලෙස ලංකාවේ සතර දිගින් පැමිණි පිංවතුන් වෙනුවෙන් ලාභ, කීර්ති, ප්‍රශංසා නොබලා නොමිලේ වෙදකම් කොට දහස් ගණනින් ජනයා සුවපත් කළහ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වු ශ්‍රී දංෂ්ට්‍රාධාතුන් වහන්සේ උදෙසා තේවා කටයුතු සිදුකර ගැනීමටද උන්වහන්සේට එවක අස්ගිරි මහාවිහාරයීය මහානායක ධුරන්ධරව වැඩ විසූ පලීපාන ශ්‍රී චන්ද්‍රානන්ද මහා නා හිමියන්ගේ කාලවකවානුව තුළ ලැබීම භ්‍යාගයක් කොට සැලකිය හැකිය.

ගල්කොටුව පුරාණ විහාරය තදනුබද්ධව ශ්‍රී‍්‍ර සුචරිතෝදය නමින් දහම් පාසලක් ආරම්භ කළහ.

ගමට අඩුපාඩුවක්ව තිබූ ප්‍රාථමික රජයේ පාසලක් ඉදිකිරීමට පන්සල් භූමියෙන් භූමි භාගයක් පවා පරිත්‍යාග කිරීමට උන්වහන්සේ නිර්ලෝභී වූහ. ශාසනාභිවෘද්ධිය සඳහා දරුවන් සසුන් ගත කිරීමටද උන්වහන්සේ බුද්ධිමත් වූහ. මෙලෙස ආගමික, සාමාජික හා ශාසනික යුග මෙහෙවරක් ඉටුකරමින්, දැනට පැවිදි දිවියට සැපත්ව අවුරුදු 79 ක් පමණ වන අතර, ජන්මලාභයෙන් අවුරුදු 95 ක් සපුරා විෂ වෛද්‍යාචාර්ය අලගොඩ ශ්‍රී සුමංගල මේධකංර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගැල්ලෑල්ලගම ගල්කොටුවෙ පුරාණ විහාරයේ විහාරාධිපති ලෙස වැඩ වසන උන්වහන්සේට නිදුක් නීරෝගි සුවය ඉත සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටින්නෙමි.