Print this Article


කර්මය තුළින් ලැබෙන ප්‍රතිසන්ධිය

 කර්මය තුළින් ලැබෙන ප්‍රතිසන්ධිය

අප යම් දෙයකට ගැටෙන්නේ කම්පාවෙන්නේ කොතැනන ද? අප ඇලුම් කරන දේ අපට නො ලැබෙන විට ඇලුම් කරන දේ ඒ ආකාරයෙන් නො පවතින විට අප පි‍්‍රය කරන දේට කවුරුන් හෝ කැමැතිවන විට එයට හානියක් විපතක් කරන විට අප තුළ ගැටුම් ඇතිවෙනවා. ඒ අනුව ද්වේෂ කියන ගතියට එහායින් තිබෙන හේතුව තමා ලෝභය. ලෝභය ඇති නිසාමයි ගැටෙන්නේ.

තථාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙලා දුක් විඳින සත්ත්වයන්ට ඒ දුකෙන් එතෙර වන මාර්ගය වදාළා. සරල දෙයින් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන ආකාරයට මේ දහම තුළින් ඉගැන්වෙනවා. අපගේ සිතේ ඇතිවන අකුසල හෝ අකුසල මූලයන් විටක අපත් දුගතිය කරාද යොමු කරනු ලබනවා.

මේ අකුසල මූල මෙසේ තේරුම් ගන්න. ගහේ වැඩිලා, මල්ඵල දරමින් ඒ ගස පවතින්නේ තව බොහෝ පරම්පරා ගණනක් පවතින්නට බීජ නිපදවන්නේ මුල සවිමත්නම් පමණ යි. මුල සවිමත් නැත්නම් ගහ ඉදිලී කඩා වැටෙනවා. ඒ වගේම ඒ අකුසල නමැති ගහ තව තවත් මල්පල දරමින් තව බොහෝ කාලයක් අකුසල විපාක විඳිමින් ඒ විපාක විඳවනවා. තව තවත් අකුසලයම රැස් කරමින් පරම්පරාගතව සාංසාරික පැවැත්ම ඇත්තේ මේ කියන හේතු මූලයන් නිසා.

ඒ හේතු මූලිකවන මේ කරුණ බොහෝ කලක් අපට අහිත පිණිස පවතිනවා. එහි ලොකු අනතුරක් තිබෙනවා. අප උදාහරණයක් ලෙස ගතහොත් කොහොඹ හෝ කරවිල ඇටයක් මහ පොලොව මත රෝපණය කළහොත් පොළොවේ තිබෙන ජලය පොහොර ආදිය උරාගෙන මෙය වැඩෙනවා. මේ කොහොඹ ඇටය නැවත වතාවක් හදන්නේ් අනේක වූ කටුක වූ අමිහිරි රසැති කොහොඹ පැලයක්ම යි. දැන් රෝපණය කළේ එක ඇටය යි. හැදුනේ එක ගහ යි. හැබැයි ඒ ගසේ හැදෙන ඇට ගණන, ඵල ගණන විශාල යි. අර පුංචි බීජයෙන් හැදුන ගහ දිරාපත් වන්නේ තව කොහොඹ පරම්පරාවක් වැඩෙන්න හේතු හදල යි. අප කරගත්තේ එක කර්මයක් වෙන්න පුළුවන්. ඒ කර්මයට ලැබෙන්නේ එක ප්‍රතිසන්ධියක් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිසන්ධියෙන් ලැබෙන ජීවිතය අප අර බීජයන්ගෙන් හට ගත්ත ගහට උපමා කළොත් ඒ ගසේ හටගන්න ඵල බොහෝ වුනා වගේ මේ ජීවිතය තුළත් එකම කර්මයකින් හට ගන්න පැලය තුළ තව බොහෝ පැල බීජ හට ගන්නට පුළුවන් කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම ලෙස.

එක ඇටයකින් එක බීජයකින් එහෙම නැත්නම් එක කර්මයක් හට ගත්තා. නමුත් ඒ ගසේ දැන් එක බීජයක් නොවේ හැදෙන්නේ. එක කර්මයක් නොවේ රැස් වෙන්නේ. කර්ම බොහෝ යි. ඒවාට විපාක ලැබෙනකොට ඒ විපාකත් නැවත නැවත කර්ම නිපදවනවා. මේ කර්ම පරම්පරාව බොහෝ දීර්ඝ යි. කොහොඹ පරම්පරාව වගෙ යි. එතැනදී අප දැනගත යුතු තවත් කරුණක් තිබෙනවා. මිහිරි රස ඇති, මිහිරි ස්වභාවය ඇති මී අඹ ඇටයකුත් රෝපණය කළොත් පොළොවේ ඒ සියල්ලම ඒ ජලයම ඒ වාතයම ඒ සුළඟම රැගෙන ගහ වැඩෙනවා. නමුත් ඒ ගසෙන් ඵලය එකක් වෙන්නේ නැහැ. ඒ ගහෙන් බොහෝ ඵල දරනවා. නමුත් ඒ පැලය මිහිරි හෝ මිහිරි රස ඇති ඵලයක්. මිහිරි රස වුවත් මිහිරි ඵලයක් වුවත් පරම්පරා වශයෙන් ගත්තාම බොහෝ පරම්පරාවක් බොහෝ කලකට රස බැලිය හැකිව තිබෙනවා. කර්මය කියන විෂයත් ඒකම යි.

ඒ නිසා මේ සංසාර ජීවිතය කල්ප ගණන් ගමන් කරන්නේ මේ කර්ම හේතුවෙන්. මෙහිදී ඔබට පැහැදිලියි අඹ ඇටයත් කොහොඹ ඇටයත් දෙකම පරම්පරා පැවැත්මට හේතුකරණා වෙනවා. හැබැයි ඊටත් වඩා ගැඹුරින් විමසීමේ දී කොහොඹ සහ අඹ ඇටයට පිහිට වුණේ පෘථිවිය යි. පෘථිවි රසය යි. ජලය යි. උණුසුම, වාතය එකම ආහාරයකින් මේ බීජ දෙකම වැඩුනේ. එකම ආහාරය උරාගෙන හැදෙන මේ ගස් දෙකෙන් හැදෙන ඵලය එකක් රසයි. එකක් නීරසයි. මේ රස හෝ නීරසතාවය ආවේ කොහොන් ද? පොළොවේ තිබෙන නීරස භාවය උරාගෙන කොහොඹ ගහ හැදුනා ද? පොළොවේ තිබෙන රස කොටස උරාගෙන අඹ පැලය හැදුනා ද? ඒ ඒ ඵලයට අයිති නීරස බව හෝ රස ඇති කළේ ඒ බීජයෙන්. ඒ හැකියාව තිබෙන්නේ කර්ම ගතිය තුළ යි.

ඔබ හිතන්න ප්‍රතිසන්ධිය කර්ම වශයෙන් ලබනකොට ඒ ප්‍රතිසන්ධිය ලැබෙන කර්ම ගතියයි මේ කය මේ ආයතන මේ භවයට බෙදන්නේ. උපන් බීජයේ කර්ම ගතිය යි. එනිසා අප සිදුකරන කර්මවල තිබෙන කර්ම ගතිය මිහිරි හෝ අමිහිරි වෙන්න පුළුවන්. මිහිරි වුවත්, අමිහිරි වුවත් මේ දෙකම පරම්පරාවකට අයිති බව අමතක නො කළ යුතු යි. මේ නිසා බුදුරජාණන් වහන්සේ අප මේ දෙපැත්තේම සියලු කර්ම ක්ෂය කළයුතු තැනකට අපේ ප්‍රතිපදාව යොමුවිය යුතු බව අවධාරණය කොට වදාළා.

අප හිතේ අකුසල ගති උපදින්නට හේතු වූ අකුසල මූල මොනවාද? ලෝභ කියන අකුසල මූලයට සමාන්තරවයි අවිද්‍යාව දැඩි ලෝභය කියන දේ සිතේ ඇතිවෙන්නේ. ඒ ගතියට අනුවයි සොරකම, කාම මිත්‍යාචාරය, මුසාවාද කියන කාය, වාචී කර්ම සිදුවන්නේ. ද්වේෂ කියන මූල ගතියට අනුවයි ව්‍යාපාදයත්, ව්‍යාපදයට අනුව ප්‍රාණඝාත, පිසුනාවාච, පරුසාවාචා සිදුවන්නේ. මෝහ කියන මූලයට අනුවයි මිසදුටු බව ඊට අනුරූපවයි සම්ප්‍රප්පලාප වාග් ගතිය සිදුවන්නේ. මේ සියල්ලම ත්‍රිවිධ දුෂ්චරිත එක් තැනකට ගත්තාම රාග, ද්වේෂ,මෝහය හෝ ලෝභ ද්වේෂ මෝහය යි.

ඔබට කැමැතිනම් පුළුවන් ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා දහමට අනුව විමර්ශනයක යොදවන්න. අප යම් දෙයකට ගැටෙන්නේ කම්පාවෙන්නේ කොතැනන ද? අප ඇලුම් කරන දේ අපට නො ලැබෙන විට ඇලුම් කරන දේ ඒ ආකාරයෙන් නො පවතින විට අප පි‍්‍රය කරන දේට කවුරුන් හෝ කැමැතිවන විට එයට හානියක් විපතක් කරන විට අප තුළ ගැටුම් ඇතිවෙනවා. ඒ අනුව ද්වේෂ කියන ගතියට එහායින් තිබෙන හේතුව තමා ලෝභය. ලෝභය ඇති නිසාම යි ගැටෙන්නේ. ආශාවෙන් බැලුවේ නැත්නම් අපේ නොවේනම් අනෙක් කෙනා ලෙඩ වුණාට, මිය ගියාට, ක්ෂය වුණාට, වෙන් වුණාට අපට අලුතින් දුකක්, වේදනාවක්, කම්පනයක් හට ගන්නේ නැහැ. ද්වේෂයට හේතුවත් තමා තෘෂ්ණාව. තාෂ්ණාව පවතින්න හේතුවක් තිබෙනවා.

නිදර්ශනයක් විමසා බැලුවොත් පුංචි දරුවෙක් දිලිසෙන වස්වතුක් දකිනවා. ඒ දිලිසෙන වස්තුව දකින ළදරුවා දණගාගෙන, බඩගාගෙන, ඒ ස්ථානයට ඇවිත් ඒ දේට අත තබනවා. එයට අත තිබ්බොත් අත පිච්චෙනවා. පිච්චුනාම අඬනවා. දැන් අප බැලුවොත් මේ දරුවා අඬන්නේ ඇයි? පිච්චුන නිසා. පිච්චුනේ ඇයි? අල්ලපු නිසා. ඇල්ලුවේ ඇයි? ලස්සනට දිලිසෙන්නට පෙනුන නිසා. ඔහු එබඳු දුකකට නො වැටෙන්නට නම් කුමක්ද කළ යුත්තේ? ගිනියම් වී දිලිසෙන බව සත්‍යයක් වුණත් ඒ දිලිසෙන දෙය ඇල්ලුවොත් දවන තවන පිලිස්සෙන නපුරක්වන බව නො දන්නකම නේද? මේ දිලිසෙන දෙය අල්ලන්න දරුව යොමුකළ මානසික ගතියක් තිබෙනවා. එය පිළිස්සෙනවා කියා ඇත්ත දැනගත්තොත් දිලිසෙනවා, ලස්සනයි තමා. ඒත් එකට අත තියෙන්නේ නැහැ. ඇත්ත දන්න කෙනා ඒක අල්ලන්නේ නැහැ. ඇල්ලුවේ නැතිනිසා පිච්චෙන්නෙත් නැහැ. පිච්චුනේ් නැතිනිසා රිදෙන්නේ නැහැ. රිදෙන්නේ නැති නිසා අඬන්න ඕන වෙන්නෙත් නැහැ. ඇල්ලීම කියන හැඬීම, වැළපීම කියන තැන අප ගැටීමට එකතු කළොත් එයට හේතුව ආසාවෙන් දැකීම වශයෙන් දැක්වුවත් ඒ ආශාවෙන් ස්පර්ෂ කරන්න හේතු වුණේ මෙහි යථාර්ථය නො දන්නා අනුවණකම යි. එනිසා හැමවිටම ලෝභය කියන ගතිය හේතුව මූලය මුලාව වෙනවා.

අවිද්‍යාව කියන තැන දක්වා ඒ වචනය පැහැදිලි කරගතය යුතු යි. මේ සියලු අකුසල වලට මෝහය මූලික වී ඇතිබව. බොහෝ අකුසල පොදුවේ ගත්විට අයිතිවන්නේ මෝහයට යි. තවත් ආකාරයකට බැලුවොත් මෝහය නසන මෝහය නැතිකරන වැඩපිළිවෙලකින් තොරව අකුසලයකින් මිදීමක් නොවන බව. මේ කියන ගති ටික යටපත් කරලා ගත හැකි කුසල ගතිත් උන්වහන්සේ වදාළා.

ලෝභය වෙනුවට අලෝභයත්, ද්වේශය වෙනුවට අද්වේශයත්, මෝහය වෙනුවෙන් අමෝහයත් මුල් වෙනවා. එවිට ලෝභ ද්වේශ මෝහය මතුවෙනකොට ඒ හේතුවෙන් හට ගන්නා ක්‍රියාකාරීත්වය මනෝ කර්ම, කාය කර්ම, වචී කර්ම දක්වා සියල්ල කුසල වෙනවා. ඒ අනුව අපට ගැලපෙන ආකාරයට තම තමන්ගේ් නුවණ ප්‍රමාණයට මෙය බෙදා ගන්න පුළුවන් වෙනවා.

සටහන : නයනා නිල්මිණි