Print this Article


ගිහි පැවිදි සබඳතාව සැනසුමට අත්වැලයි

ගිහි පැවිදි සබඳතාව සැනසුමට අත්වැලයි

භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා වශයෙන් වන , බුදුරජාණන් වහන්සේගේ සිවුවනක් පිරිස ගිහි සහ පැවිදි වශයෙන් පැහැදිලි සමූහ දෙකකට අයත් වෙති. එසේ වුව ද පැවිදි සමාජය නිර්මාණය වන්නේ ගිහිව ඉපිද, ගිහි ගෙයින් නික්ම අනගාරික ජීවිතයක් තෝරාගත් පිරිසකගෙන් බව අමතක නොකළ යුතුය. අගාරිකත්වයෙන් අනගාරිකත්වයට පත්වන ඔවුහු සියලු ගිහි බැඳුම් සිඳ විශේෂ උත්තරීතර ශික්ෂණ මාර්ගයක් අනුගමනය කරමින් සිය අධ්‍යාත්මික සමෘද්ධිය සාධනය කර ගනු පිණිස වෙහෙසෙති. ඒ අතරම ගිහියන්ගේ මාර්ගෝපදේශකයෝ ලෙස ද ක්‍රියා කරන්නාහ.

ආගමික පැවැතුම් අතින් මේ දෙපක්‍ෂය අතර මහත් වෙනසක් දක්නා ලැබේ. ගිහියෝ පස්කම් සුව විඳිමින් මල් ගඳ විලවුන් පරිහරණය කරමින් පවුල් දිවියෙහි සම්බාධ මැද ජීවත්වෙති. පැවිදි පිරිස කම් සුවයෙහි ආදීනව දැන අත්‍යවශ්‍ය සිවුපස පරිභෝගයෙන් තෘප්තිමත්ව ආරාමීය විවේකය, බණ භාවනා සහ ධර්ම ශාස්ත්‍රිය කර්තව්‍යයන්හි නිරත වීම සඳහා වෙන් කර ගනිති. මහබෝසතාණන් වහන්සේ ගිහි දිවිය හැර අනගාරික ජීවිතයට පත් වූයේ ද කෙලෙසුන් නැසීම සඳහා උචිත, විවේකී, නිදහස්, සම්බාධ විරහිත පරිසරයක් පැවිද්ද තුළ පවත්නා හෙයිනි.

ගිහියන්ගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එය පැවිදි විනය තුළදී ප්‍රාතිමෝක්ෂ ශික්ෂා 220 ක් දක්වා වර්ධනයට පත්වන අතර වඩාත් පුළුල් අයුරින් සතර සංවර ශීලය ලෙස ද හදුන්වනු ලැබේ. මේ ප්‍රතිපදා දෙකෙහි පරතරය බුදුරදුන්ගේ ම වචනයෙන් පවසතහොත් හංසයා සහ මොනරා අතර පවත්නා වෙනස බඳුය. මොනරා නීල වර්ණ දිගු, සුන්දර පියාපත් ඇති පි‍්‍රයංකර පක්ෂියකු වුවද ඔහුට හංසයාගේ ජවයට ළං වන්නට නොහැකිය. පියාපත් ඔහුට බරකි. ගිහියා ද හැඩරුව වඩා ගනිමින් විසිතුරුව ඔපවත්ව විසුව ද චාම් සරල දිවියක් ගෙවන පැවිද්දාගේ අධ්‍යාත්මික ශක්තියට සදිසි නොවෙයි.

එතකුදු වුවත් ‘අපි නිකම්ම පුහුදුන් ගිහියෝ වෙමු. පැවිදි උතුමෝ ම උසස් සිල් ගුණ වඩත්වා” යි මුකුලිත නොවී ගිහියන් ද ජීවිතය සහ ලෝකය පිළිබඳ ගැඹුරු සත්‍යයන් වටහා ගැනීමෙහි උත්සුක විය යුතුය. සසර දුක පැවිද්දනට වඩා ප්‍රබල ලෙස ගිහියනට දැනිය යුතුය. දුක පිළිබඳ අවදිකම් වැඩෙත් ම ශ්‍රද්ධාව ඇතිවන බව ද (දුක්ඛුපනිසා සද්ධා) එසේ වූ විට දහම වෙත යොමු වන බව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.

එසේ වූ විට වෙහෙර විහාර වෙත එළැඹ සඟරුවන හමු වී දහම ඇසීම, ධර්ම සාකච්ඡා කිරීම මෙන්ම ආමිස, ප්‍රතිපත්ති පූජාවනට යොමු වීම ද සිදුවෙයි. ඉඳහිට හෝ පැවිදි ජීවිතය අනුකරණය කරන්නට ගිහියන්ටද සිත් වෙයි.පොහෝ දින පන්සලට ගොස් උපෝසථ අෂ්ඨාංග ශීලය රකින්නේ ඒ සැනසුම ලබනු පිණිස නොවේද? පැරැණියන් සිල්සමාදන් වූයේ ‘අද මේ දවාල /රැය රහතන් වහන්සේ අනුකරණය කරමින් උපෝසථය ගත කරමි’යි කියා පොරොන්දු වෙමිනි. (අජ්ජ ඉමංච දිවසං /රත්තං උපෝසථං උපවසාමි, අරහතං අනුකරෝමි)

පැවිදි පිරිසෙහි පෝෂණ බර දරන්නෝ ගිහියෝය. ඔවුන් එසේ කරන්නේ පැවිදි උතුමනට කායික, මානසික සැහැල්ලුවෙන් යුතුව බණ භාවනාවට විවේකය සපයනු සඳහාය. බෞද්ධ ගිහියන්ගේ කටයුතු අතරට පැවිදි උතුමනට රැකවරණය සහ පෝෂණය සැපයීම ඇතුළත්ය. අංගුත්තර නිකායෙහි පත්තකම්ම වැනි සුත්‍ර කිහිපයක මෙන්ම සිගාලෝවාද සුත්‍රයේ ද මේ පිළිබඳ සඳහන් වෙයි. භික්ෂුන් වහන්සේ ද තමන් ගිහියන් විසින් පෝෂණය කරනු ලබන බව ද තමන්ගේ ජීවිතය ගිහියන්ගේ යහපත සමඟ බැඳී පවත්නා බවද (පරපටිබද්ධා මේ ජීවිකා) නිතර මෙනෙහි කරති. එහෙයින් උන්වහන්සේ අනිවාර්යයෙන්ම ගිහියන් වෙත මෙත් වඩති. සෙත් පතති. නිරතුරුව තමනට ආමිස දානයෙන් සංග්‍රහ කරන ගිහියන් වෙත ධර්මදානයෙන් ප්‍රත්‍යුපකාර කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන්වහන්සේට උපදෙස් දෙනු ලැබ තිබේ.

භික්‍ෂූන් වහන්සේ නමක් තම දායක ගෘහස්ථයනට කෘතවේදි වන ආකාරය සිගාලෝවාද සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වා ඇත්තේ මෙසේය.

* පාපයෙන් වළකයි
* යහපත් කටයුත්තෙහි යොදවයි.
* කාරුණික වෙයි
* නොදන්නා දෙය උගන්වයි
* උගත් දේ වඩාත් පැහැදිලි කර දෙයි
* සුගති මඟ ද නිවන් මඟද කියා දෙයි

මේ තුළ ධර්මය ඉගැන්වීම සහ සදාචාර මාර්ගයෙහි යෙදවීම මනාව අවධාරණය වෙයි. භික්‍ෂූන් වහන්සේගේ අධ්‍යාත්මික නායකත්වය මෙන්ම ගුරු භූමිකාව ද මෙහි මැනැවින් දිස්වේ. කාමභෝග ගිහියා විවිධ හේතු නිසා දුසිරිතට නැඹුරු වීමට ඉඩ ඇත. වාණිජත්වය සහ පරිභෝජනවාදය අධිපතිකොට පවත්නා සමාජයක මේ ප්‍රවණතාව උග්‍ර බව සැලකිය යුතුය. ගිහියන් මිථ්‍යා ආජීවයට යොමුව, එකිනෙකා පරයමින් නැඟී සිටීම සඳහා කූට උපාය මාර්ගයන්හි යෙදෙමින් පස් පව්, දස අකුසල්හි යෙදෙන්නට ඉඩ ඇත. මෙබඳු අනේකවිධ ව්‍යසනයන්ගෙන් ගෘහස්ථයන් ගලවා ගැනීමේ දුෂ්කර එහෙත් අත්‍යවශ්‍ය මෙහෙවර භික්ෂු සංඝයාගෙන් ඉටු විය යුතුය. එමෙන්ම අණ වින, කොඩි විණ, හදි හුනියම්, වශීගුරුකම් ආදි තිරශ්චීන ගර්හිත විද්‍යා ලෙස බුදුරදුන් විසින් හෙළා දක්නා ලද දෙයට හුරුවන්නට ඉඩ නොදී ධාර්මික වූ බෝධිපූජා, පරිත්‍රාණ ශ්‍රවණ වැනි දෙයට ඔවුන් යොමු කර ගැනීම සඟරුවනේ යුතුකමකි. භික්‍ෂූන් වහන්සේ ගිහියාගේ උපදේශකයාය; කුලදේවතාවාය; කලණ මිතුරාය. උන්වහන්සේ ද ධර්මධරව, චරිතාදර්ශයෙන් සන්නද්ධව සහ අධ්‍යාත්මක ශක්තියෙන් පුෂ්ටිමත්ව සිටිනා තරමට මේ කාර්යය පහසු වනු ඇත.

බෞද්ධ ගිහි,පැවිදි සබඳතාව රඳා පවත්නේ අන්‍යෝන්‍ය සුහදතාව, ගෞරවය සහ ධාර්මික ප්‍රතිපත්ති මත බව පැහැදිලිය. මේ සබඳතාවෝ වාණිජ ලක්ෂණයන්ගෙන් තොර වෙති. භික්ෂූන් වහන්සේ බොදු ජනතාවට ඔවුන්ගේ පුද පූජා සාර්ථකව ඉටු කර ගැනීම සඳහා මාර්ගෝපදේශ සපයති. මල් පහන් පූජා ආදියෙහිදී වතාවත් නිසි පරිදි කරවන්නේ හුදෙක් දයානුකම්පාවෙනි. ලෞකික ලාභාපේක්‍ෂාවෙන් තොරවය. සපුරන උතුම් සිල් ගුණ හේතුවෙන් භික්ෂූන් වහන්සේ පූජාවට සුදුසු වෙති. උන්වහන්සේ ලබන සිවුපසය වැටුපක් හෝ දීමනාවක් නොව පූජෝපහාරයකි.

ආවාසික හිමිනම අනිවාර්යයෙන්ම ප්‍රජා නායකයෙක්ද වෙයි. එහෙයින් ගොදුරු ගමෙහි වැසියන් ලෙස පැරැණියන් හැඳින් වූ හතරපෝවේ දායකයන් වෙත ඉටු විය යුතු වගකීම් සමූහයක් වෙයි. එය සැවැදෑරුම් ය.

1. ආවාසික හිමිනම ගිහියන් කෙරේ අනුකම්පාවක් හෙවත් හෘදයාගංම සුහද හැඟීමක් ඇතිව වසයි. (අනුකම්පති) උන්වහන්සේ ගිහියනට ඊෂ්‍යා නොකරති. ගිහියකුට ගමේ සිටින හොඳ ම හිතවතා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේය.

2. හැකි තරමෙන් ගිහියන්ද උසස් සිල් රැකීමට යොමුකරමින් සදාචාර සම්පන්න යහපත් පුරවැසියන් කිරීමට වෙහෙසෙති. (අධිසීලේ සම්පාදේති)

3. බුද්ධ ධර්මය සහ බෞද්ධ දර්ශනය ඉගෙන ඒ පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා ගැනීමට ගිහියන් පොළඹවති. (ධම්ම දස්සනේ අභිනිවෙසේති)

4. දායකයන් ගිලන්ව දුබලව සිටින විට ඔවුන් වෙත ගොස් සිත් සනහා දිරිමත් කරමින් අස්වසති. ආසිරි පතති. (ගිලානකෙ උපසංකම්ම සති උප්පාදේති)

5. දායකයන් සැදැහැ සිතින් පිදුදේ සකසුරුවම් ලෙස පරිභෝජනය කරති. ඒවා සඟරුවනේ පොදු සම්පත් හෙයින් ප්‍රවේසමෙන් පරිහරණය කරති. (සද්ධා දෙය්‍යං න විනිපාතේති)

6. නිතර දායකයන් හමුවෙමින් හොඳ, නරක කියා දෙමින් පුණ්‍ය කටයුතු විෂයෙහි උනන්දු කරවති. (ගිහීනං උපසංකම්ම කරෝථ පුඤ්ඤාං)

මේ සියල්ල මීට සියවස් විසි හයකට පෙර වදාළ දේ මුත් විසිඑක් වැනි සියවසේ බෞද්ධ ජනතා අපේක්ෂාවන් සමඟ ද මනාව ගැළැපී සිටියි. එබැවින් ගිහි, පැවිදි සබඳතාවයේ අගය මනාව වටහා ගනිමින් තවදුරටත් මෙම ශාසනික කාර්යභාරය පුළුල් කළ යුතුය.

නව යුගයට ගැළැපෙන ප්‍රබුද්ධ අධ්‍යාපනයකට හිමිකම් ලද බහුශ්‍රැත භික්ෂූන් වහන්සේගෙන් නොසිස් සමාජයක අද අපි ජීවත්වෙමු. සිල්වත් ගුණවත් මහෝත්තමයන් වහන්සේගෙන් අද සමාජය ඌන නොවෙයි. එතුමන් ඇසුරින් ජීවිතයේ නිසි ඵල නෙළා ගන්නට අප තව තවත් පන්සල වෙත ළඟා විය යුතු අතර සඟරුවනද වඩාත් යහපත් හෙට දවසක් උදෙසා ධර්මකාමී බෞද්ධ ප්‍රජාවකට ප්‍රබල නායකත්වයක් සැපයිය යුතුව තිබේ.