Print this Article


ඇලීමෙන් තොර වින්දනයට සංගීතය බාධාවක් නොවේ

ඇලීමෙන් තොර වින්දනයට සංගීතය බාධාවක් නොවේ

මෙම ලිපියේ මුල් කොටස ජූලි 22 වන දා පත්‍රයේ පළවිය

ඒ නිසා ගද්‍ය පද්‍ය නිර්මාණයේ දී යොදාගත්තේ බුදුසිරිත හා බුදුදහම යි. පාරම්පරික ශාන්ති කර්ම, බලිතොවිල් ආදියට පවා යොදාගත්තේ තෙරුවන් කෙරෙහි බැතිය වැඩෙන ගීතිකා ය. ලාංකික සංගීතයේ එක් සන්ධිස්ථානයක් වන ටවර්හෝල් යුගයේ දී අන්‍යාගමික ගායකයන් පවා බොහෝවිට ගායනා කළේ බුදුගුණ හා බුදුබණ ඇතුළත් ගීතයන් ය. ලාංකික සමාජය වඩාත් ලෞකිකත්වයට නැඹුරු වීමත්, විශ්ව සාහිත්‍යයේ බලපෑම් නිසාත්, මේ වනවිට ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයට විවිධ අංග එක් වී ඇත. වර්තමානයේ ගීත රචනයේ යෙදෙන භික්ෂූන් වහන්සේලා ද වෙති. ඉහත සඳහන් පරමාර්ථ ඇතිව එසේ කිරීම වරදක් නොවේ. කවි බණ ද සමාජයේ ඉතා ජනප්‍රිය දේශනා ක්‍රමයකි.

අපේ තරුණ පරපුර සංගීතය කෙරෙහි උනන්දුව නිසා බුදුදහම ද සංගීතයට මුසුකොට ඔවුන්ට දියයුතු යැ යි කල්පනා කරන බෞද්ධ ගිහි පැවිදි පිරිසක් සිටිති. අපේ සම්ප්‍රදාය වූයේ කවර සාහිත්‍යය අංගයක් වුව ද, බුදුදහමට ගැලපෙන ලෙස හසුරුවා ගැනීම යි. කිසියම් නිර්මාණයකින් බුදුදහමට හානියක් සිදුවන බව පෙනුණොත් බෞද්ධයෝ එයට එරෙහි වූහ. බෞද්ධ ගාථා, පිරිත් සූත්‍ර ආදියට සංගීතය මුසු කිරීමෙන් බුදුදහමට හා බෞද්ධ සම්ප්‍රදායට හානියක් සිදුවන බව එසේ කරන අය සිතන්නේ නැත. පසුබිම් සංගීතය යොදා ගායනා කිරීමෙන් ශ්‍රාවකයන් තුළ ධර්මය කෙරෙහි රුචිකත්වය වැඩෙන බව ඔවුහු කියති. පිරිත් සූත්‍රවලට තනු යොදා ප්‍රසිද්ධ සංගීතඥයන් ලවා ගායනා කරවීම ද පසුගිය කාලයේ සිදු විය. මේ ක්‍රමය දිගටම පැවතුනොත් අනාගතයේ දී පිරිත් මණ්ඩපය වටා සංගීත සංදර්ශනයකට මෙන් පිරිස එක්රොක් වන්නට ඉඩ ඇත. පැරණි වන්නම් පසෙක තබා අලුත් ගී තනුවලට බෙර ගසන, නලා පිඹින කලාකරුවෝ ද වෙති. වර්තමාන සංගීතය මුසු කරගෙන මේ හිතාමතා නැති කරගන්නේ අපට උරුම වූ වටිනා සාම්ප්‍රදාය බව බෞද්ධයන් මෙන් ම කලා කරුවන් ද තේරුම් ගත යුතු ය.

ගීත ස්වරයෙන් ධර්මය කියන විට දේශකයාත්, ශ්‍රාවකයාත් ගීත ස්වරයෙහි ඇලෙන බවත්, දහම කෙරෙහි යොමු නො වන බවත් ගීතස්සර සූත්‍රයේ දැක්වෙ යි. සංයුත්ත නිකායේ ආණී සුත්‍රයේ තථාගත ධර්මයට එල්ලවන හානිකර තත්ත්වයන් ගැන සඳහන් කර තිබේ. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද දහම අවබෝධ කරගන්නට සිත යොමු නො කර මතු කාලයෙහි කවීන් විසින් දේශනා කරන ලද, කවීන් විසින් නිපදවන ලද විසිතුරු දේශනාවලට සිත යොමුකරනු ඇත. එවිට ගැඹුරු දහම අතුරුදහන් වෙයි. සංගීත ස්වරයෙන් දහම් දෙසීමෙන් සිදුවන්නේ අර්ථය කෙරෙහි නොව ශබ්ද රසයට සිත යොමුවීම යි. මෙයින් අදහස් වන්නේ මිහිරි හඬින් විසිතුරු වදනින් දහම් දෙසීම ගැන නොවේ. සැරියුත් තෙරණුවන් සැළලිහිණියකු සේ සිත් ගන්නා මිහිරි හ¼ඩින් දහම් දෙසූ බවත්, භික්ෂූන් සතුටින් එයට සවන් දුන් බවත් ථෙරගාථා පාලියෙහි සඳහන් වෙයි.

පිරිතට සංගීතය යොදා ගැනීම වරදක් නම්, සර්ව රාත්‍රික පිරිත් දේශනාවල දී වරින්වර හේවිසි පූජා පැවැත්වීමත් වරදක් නොවේ දැයි කෙනකුට ප්‍රශ්න කළහැක. පිරිත් දේශන අතරතුර බෙර වාදනය සිදු කෙරෙන්නේ නො පෙනෙන බලවේගයන්ට කරන දැනුම්දීමක් වශයෙනි. මහායාන භික්ෂූහු සූත්‍ර දේශනා කරන අතර ලීයෙන් තැනූ මැඩියකුගේ රුවැති උපකරණයකට හා බෙරයකට තට්ටු කරති. එයින් අදහස් කරන්නේ ජලයේ හා අහසේ සිටින සතුන්ට සදහම් පණිවිඩය දැනුම් දීමයි. එය සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයකි. බෞද්ධ සම්ප්‍රදායට අනන්‍යතාවක් තිබේ. ඒවා ආරක්ෂා කරගතයුතු ය. සූත්‍ර සජ්ඣායනය යාච්ඤාවක ස්වරූපයට පරිවර්තනය කරගත යුතු නොවේ. දේවාල කපු මහතකු සීනුවක් සොලවමින් කරන යාදින්නකට මෙන් තේරුම ගැන නොසිතා හඬට වශී වී එයට සවන් දී සිටීමෙන් දහමෙන් ප්‍රයෝජනයක් නො ලැබෙ යි. එමගින් සිදුවන්නේ ශබ්ද රසයෙන් මෝහනයට පත්වී බුද්ධිය වැසීයාම යි. එනම් අර්ථ රසයක් නො ලැබෙන බැවිනි.

රෝගාබාධ සුවකරන බව කියන ඇතැම් ආගමික කණ්ඩායම් ආගමික මෙහෙයන්හිදී දැඩි ශබ්ද තරංගයකින් යුත් වාද්‍ය භාණ්ඩ භාවිත කරනු ලැබේ. ඇතැම තැන්වල පටිගත කළ ශබ්ද භාවිත කරන අවස්ථා ද ඇත. ඔවුන් එසේ කරන්නේ රෝගීන් මෝහනය කිරීමට යි. රෝග සුවකරන බව කියන ඕනෑම තැනක සංගීතය යොදාගන්නා බව පෙනී යයි. එය භයානක දෙයකි. වංචනික වැඩ පිළිවෙළකි. එයින් සිදුවන කායික හා මානසික විපර්යාසය නිසා ජීවිතය පවා අහිමි වන්නට පුළුවන.