Print this Article


කුසල් වැඩෙන වස් සමය

කුසල් වැඩෙන වස් සමය

වසරකට වතාවක් එළැඹෙන මෙම උතුම් වස් සමය තුළ සිත, කය, වචනය සංවර කොට ගෙන උතුම් කුසලයෙහි යෙදීම තමනට වැඩදායක වනු ඇත. මොහොතක් පාසා පින් වර්ධනය වන මේ උතුම් වස් සමය තුළ ස්වකීය ජීවිතවල ඇති අඩුපාඩු සකස්කොට ගෙන තුනුරුවනට ගෞරවයෙන් උපස්ථාන කළ යුතු ය. එසේ ලැබෙන පිනෙන් මෙලොව දිවිය අර්ථවත් කර ගැනීමටත්, පරලොව දිවිය සැපවත් කර ගැනීමටත් අධිෂ්ඨාන කර ගැනීම අවැසි ය.

සෑම වෙහෙර විහාරස්ථානයකම වැඩ වසන උපසපන් භික්ෂූන් වහන්සේගේ වස් සමාදන් වීම සිදු වන්නේ ඇසළ පුර පසළොස්වක පොහොයත් සමඟයි. වසරකට වතාවක් එළැඹෙන කඨින චීවර පූජාව සඳහා පූර්ව සුදානමක් එයින් ඉස්මතු කරනු ඇත. හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ඍතු තුනක් තිබේ. එම ඍතු තුනෙන් වස්සාන ඍතුව වැසි කාලයට සම්බන්ධව පවතී.

බුදුන් කල එම වැසි සමය තුළ ද භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත කටයුතුවල යෙදුණහ. එය භික්ෂූන් වහන්සේට එතරම් ගැළැපෙන ක්‍රියාවක් නොවීය. අලුතෙන් දලුලන තණ පාගමින්, වැස්සේ තෙමුණු සිවුරු දරා ගනිමින් මහමඟ භික්ෂූන් වහන්සේ ගමන් කිරීම ජනතාවගේ ප්‍රසාදය පිණිස හේතු නොවීය. පසුව බුදු හිමියෝ ගිහි –පැවිදි දෙපක්ෂය ගැනම සිතා භික්ෂූන් වහන්සේට වස් විසීමට අනුදැන වදාළහ. “අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උප ගන්තුං” මහණෙනි, මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමි’යි වදාළ සේක. බුදුහිමිගේ මෙම අනුදැනුම පිළිගත් භික්ෂූන් වහන්සේ එය කාල වශයෙන් කවදා ආරම්භ කොට කවදා අවසන් වන්නේ ද යන වග ප්‍රශ්න කළහ. පසුව බුදු රජාණන් වහන්සේ එය පෙරවස් හා පසු වස් වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන බව දේශනා කළ සේක.

ඇසළ පුන් පොහොය දිනයෙන් පසු දින එනම් අව පෑළවියෙහි පෙර වස් සමාදන් විය යුතු බවත්, ඉන් මසක් ඉක්මගිය කල්හි පසු වස් සමාදන් විය යුතු බවත් අනුදැන වදාළහ. පෙර වස් සමාදන් වීමට යම් විධියකින් අපහසුතාවක් උදා වුවහොත් පසු වස් සමාදන් වීමේ පිළිවෙත ඉන් ධ්වනිත වේ. එහි දී බුදු හිමි භික්ෂූන්ගේ අපහසුතාව ගැන ද දැක දැන එම ක්‍රම දෙක අනුදැන වදාරා ඇත. එහිදී උපසපන් භික්ෂූන්ගේ විනයට සම්බන්ධ කරුණු ගැන අවධානය යොමු කොට ඇත.

යම් විධියකින් උපසපන් භික්ෂුවක නියමිත දිනයේදී වස් සමාදන් නොවුණහොත් එය ඇවතක් වනු ඇත. එම ඇවැත දුක්කටාපත්ති කියා හඳුන්වා ඇත. විශාඛා උපාසිකාවගේ ඉල්ලීම මත බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට “අනුජානාමි භික්ඛවෙ වස්සිකසාටිකං චාතු මාසං අධිට්ඨාතුං තතොපරං විකප්පෙතුං” “මහණෙනි වස් සාර මාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප්‍රයෝජන ගන්නටත් එයින් පසු පවරා දීමටත් අනුදැන වදාරමි”යි ආදි වශයෙන් දේශනා කළ සේක. වස් එළැඹෙන දිනය වස්සාන ඍතුව ලබන දිනට සිදු නොකොට වෙනසක් කළ හැක්කේ රජුගේ විශේෂ ඉල්ලීමක් අනුව පමණි. “මහණෙනි, රජවරුන්ට අනුකූල වන්නට අනුදනිමි’යි යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.

වස් වසන ස්ථාන පිළිබඳ අවධානය යොමු කිරීමේදී බුදුන් කල සමහර භික්ෂූන් වහන්සේ භික්ෂු ජීවිතයට එතරම් නොගැළැපෙන ස්ථානවල ද වස් විසීම සිදු කර ඇති අතර එය ජනතාවගේ අප්‍රසාදයට ලක්වීමත් සමඟ බුදු හිමියෝ ඒ පිළිබඳ අවධානය යොමු කළහ.ඒ අනුව විශාල ගස් බෙනවල, අතුපතර විහිදී ගිය විශාල ගස්වල දෙබල අතර, සොහොන්වල මිනී වළලන කුටිවල, විශාල කුඩ යට සහ විශාල සැලි යට ආදි තැන් වස් විසීමට නුසුදුසු ස්ථාන ලෙස නම් කර ඇත.

ඉහත දැක්වූ කරුණු පිළිබඳ අවධානය යොමුකොට වස් විසීම වැදගත් වේ. වස් සමය තුළ භික්ෂු, භික්ෂුණින්ගේ චර්යාමය වෙනසක් ද වෙනදාට වඩා බලාපොරොත්තු විය යුතු අතර ඒවා වත්පිළිවෙත් සමඟ වැඩි දියුණු කළ යුතුය. උපාසක, උපාසිකාවන්ට ද වෙනදාට වඩා විහාරස්ථාන ඇසුරු කරමින් ත්‍රිවිධ චෛත්‍ය වැඳීම, සිවුපසයෙන් භික්ෂූන් වහන්සේට උපස්ථාන කිරීම,දාන ශීල භාවනා දී පින්කම් සිදුකිරීම වැදගත් වේ. භික්ෂූන් වහන්සේ මේ වස්කාලය බව නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු අතර විහාරස්ථානයෙන් පිටත වැඩම කිරීමේ දී ‘සන්තාහකරණයෙන් ‘ ගමන් කිරීමාදිය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. “අයං වස්සාන කාලො” යනුවෙන් විහාරස්ථානයේ ලියා තැබීමෙන් භික්ෂූන් වහන්සේටත් ගිහි පක්ෂයටත් වස්කාලය නිතර මෙනෙහි වීමට හේතුවක් වනු ඇත.

වසරකට වතාවක් එළැඹෙන මෙම උතුම් වස් සමය තුළ සිත, කය, වචනය සංවර කොට ගෙන ඒ තුළින් උතුම් කුසල් කටයුතු සිදු කිරීම තමනට වැඩදායක වනු ඇත. මොහොතක් පාසා පින් වර්ධනය වන මේ උතුම් වස් සමය තුළ ජීවිතවල ඇති අඩුපාඩු සකස්කොට ගෙන තුනුරුවනට ගෞරවයෙන් උපස්ථාන කොට එම ලැබෙන පිනෙන් මෙලොව දිවිය අර්ථවත්කර ගැනීමටත්,පරලොව දිවිය සැපවත් කර ගැනීමටත් අධිෂ්ඨාන කර ගත යුතුය. වස් සමය අවසන් වීමෙන් උදා වන බලගතුම කඨින පින්කමට ද දායක වී එම පිනෙන් උතුම් නිවන්සුව ප්‍රාර්ථනා කර ගන්නා ලෙස සියලු සැදැහැවතුනට සිහිපත් කර දෙනු කැමැත්තෙමි.