Print this Article


සිත පුහුණු කරන්නාගේ ශීලය සුරක්ෂිත යි

සිත පුහුණු කරන්නාගේ ශීලය සුරක්ෂිත යි

සිත අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ඨයට නො වැටෙන තැනකින් සිත පවත්වන්න පුළුවන්නම් පමණයි අපට වරදින් මිදිය හැක්කේ. සිතේ මේ චිත්ත ගතිය උපදින තාක් කය වචනය රකිනවා කියන දේ අමාරුයි. සිතේ කෙලෙස් ඉපදෙන්නට හේතු මූලයන් මොනවාද කියා දැනගත යුතු යි. අප ගත්තොත් ශීලය, ශීලයට උපකාර පිණිස තමා කමටහන තිබෙන්නේ. මේ ශාසනයේ තිබෙන කර්මස්ථාන තිබෙන්නේ් ශීලයට උපකාර පිණිස. ශීලය සම්පූර්ණ වනවිට සමාධිය. සීලය සමාධියේ කෙළවර කොට පවතිනවා

තථාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙලා දුක්විඳින සත්ත්වයන් දුකෙන් එතෙර කරවීම සඳහා සුන්දර ධර්මයක් වදාළා. එහිදී මේ ධර්මය පුරුදු කරන කෙනෙක් දාන, ශීල, භාවනා ලෙසත් එයින් එහාට ශීල, සමාධි, ප්‍රඥා ලෙසත් වෙන් වෙන් වශයෙන් අර්ථ කොට දක්වා වදාළා.

’ශීලය’ මේ ධර්මයේ දී අපට මුලින්ම හමුවෙනවා. තිදොරින් සංවරය සඳහා අවශ්‍ය වන්නේ ශීලය යි. ශීලයේ ඇති ආනිශංසත් උන්වහන්සේ වෙන් වෙන් වශයෙන් වදාළා. අප ඉපදිලා ඉන්නේ සුගතියක් වූ ලෝකයක. සුගතියක් වූ මිනිස් ආත්මයක් ලබා ගැනීම බොහෝ දුෂ්කර යි. එසේ ලැබුණ මේ මිනිස් ජීවිතය අකුසලයෙන් මුදවා සුසිල්වන ආකාරය ඉතා වැදගත්.

ඒ සඳහා අපට මුලින්ම කාය කර්ම, මනෝ කර්ම, වාග් කර්ම පිළිබඳව දැනුමක් අවශ්‍ය වෙනවා. මානසික ගතිය සිතේ බලවත්නම් කාය, වාග්, කර්මයන්ගෙන් මිදීමක් නැහැ. අවිද්‍යාව බලවත්නම් සොරකම, කාමමිථ්‍යාචාර, මුසාවාද කියන කර්ම වලින් නිදහස් වෙන්න අමාරුයි.

සිත අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ඨයට නො වැටෙන තැනකින් සිත පවත්වන්න පුළුවන්නම් පමණයි අපට වරදින් මිදිය හැක්කේ. සිතේ මේ චිත්ත ගතිය උපදින තාක් කය වචනය රකිනවා කියන දේ අමාරුයි. සිතේ කෙලෙස් ඉපදෙන්නට හේතු මූලයන් මොනවාද කියා දැනගත යුතු යි. අප ගත්තොත් ශීලය, ශීලයට උපකාර පිණිස තමා කමටහන තිබෙන්නේ. මේ ශාසනයේ තිබෙන කර්මස්ථාන තිබෙන්නේ ශීලයට උපකාර පිණිස. ශීලය සම්පූර්ණ වනවිට සමාධිය. සීලය සමාධියේ කෙළවර කොට පවතිනවා. එනිසා ශීලයට යි කමටහන ඕන. එවිට අවදි වූ කෙලෙස් සහිත සිත යටපත් කර ගන්නට මනා ලෙස පාලනය කර ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ගත්තොත් ගොවියා කෙත, කුඹුර රකින්න ඕන. මේවා රකින්න ගෙදර ඉඳල බැහැ. අදාල කුඹුරට, පැලට යන්න ඕන. පැලට ගිහින් එතැනට වෙලා නිදා ගෙනත් බැහැ. පැලට ගිහින් නිදා ගත්තොත් කෙත රැකෙන්නේ නැහැ. පැල තුළ ඉදගෙන කළයුතු කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් කෙතට පැමිණෙන වනසතුන් සතුරන් එලවා පලවා හැරීමයි. ඊළඟට සතුන් එනකම් නො සිට ඈත සිටියදීම ඔවුන් පලවා හැරීම යි. ඒ වගේ සිල් රකින කෙනාටත් රකින්න කෙතක් තියෙනවා. ඒ කයෙන් වචනයෙන් රැකෙන්න ඕන. ඒ ටික රකින්න ඕනනම් පැල් රකින කෙනා රකිනවා වගේ සිත රකින්න ඕන. ආපු සතුන් එලවා දැම්මා වගේ උපන් අකුසල් දුරු කරන්නත් ඕන. කෙලෙස් ඉපදෙන්නේ නැති විදිහට කෙලෙස් සතුරන්ට කෙලෙස් නමැති වන සතුන්ට කෙතට ඇතුළු නො වන සේ සුරක්ෂිත කර ගන්නා වැඩපිළිවෙලක් අපට අනුගමනය කරන්න වෙනවා. ඒ සඳහා තමයි බුදුගුණ, මෛත්‍රීය, අසුභය හා මරණසති යන කර්මස්ථාන තිබෙන්නේ.

මෙසේ සංවර වෙද්දී අමතක නො කළ යුතු තවත් කොටසක් තිබෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය යි. ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ඉන්ද්‍රිය පාලනයක් කරන්න වෙනවා. මේ දොරටු වලින් තමා අර වන සතුන් සේ කෙලෙස් ඇතුල් වෙන්නේ. ඒ සතුරා ඇතුල් වන දොරටු පාලනයක් කරන්න ඕන. මෙතැන දී පළමුව මේ දොරටුවල අරමුණු ලැබීමෙන් සිතේ විවිධ කෙලෙස් හටගන්න පුළුවන. එකවර අපට ඉන්ද්‍රිය පාලනයක් කරන්න බැහැ. නමුත් ඉන්ද්‍රිය අසංවර වීමේ විපාකය කොතැනට ද එන්නේ කියා දැනගන්න ඕන. ඇස අසංවර වුණේ ඇසට ලැබෙන පි‍්‍රය අරමුණු නිසා සිත කාමයට පත් කරනවා. කාම රාගය, කාමච්ඡන්දය ඇස පිනවනවා. එතැන පාලනයක් නැති වුණොත් අදත්ථාදානය කාමමිඡ්චාරය, මුසාවාදය කියන මේ වැරැදි වෙන්න පුළුවන්. ඒ වගේම ඇසට අපි‍්‍රය අමනාප අරමුණක් ලැබීමෙන්් සිතේ් ද්වේශය ඇතිවෙලා එය ව්‍යාපාදය දක්වා එන්න පුළුවන්. එතැන දමනය කරගන්න පාලනය කර ගන්න පිළිවෙලක් නැතිවුවොත් ප්‍රාණඝාත පිසුණාවාච පරුසාවාච ඇතිවෙන්න පුළුවන්.

මේ විදිහට ලැබෙන අරමුණත් සමග ඊට සාපේක්ෂව සිත කෙලෙසීමෙන් සිතේ අකුසල ගති ඉපදීම නැගිටීම ස්වභාවය කොට ඇති බව මතක තබා ගන්න. එනිසා මේ අරමුණු වලින් ආයතන සුරක්ෂිත කර ගන්නට නම් ඔබ සිල් සමාදන්වූ දවසට පන්සලක් ආරාමයක් භාවනා මධ්‍යස්ථානයක් තෝරා ගන්න. එහිදී යම් පමණට හෝ සිත කෙලෙසෙන කිලිටි කරන විසමභාව අරමුණු අඩු බවක් ලැබෙනවා. එනිසා යි ඒ තැන්වලට යා යුත්තේ. සිත පාලනයක් නැති තැනදී ලැබෙන අරමුණු ඉදිරියේ සිතේ ක්ලේශ බැඳීම ස්වභාව කොට ඇතිවයි ජීවත් වෙන්නේ. ඒ දේ දැනගෙන මේවා ලැබුණොත් මෙතැන කෙලෙස් නැගිටිනවා අවදිවෙනවා කියන වැටහීම ඇතිකෙනා තමාගේ සිත දිහා බලලා ඒවා පාලනය කර ගන්න උත්සාහ කරනවා.

තථාගතයන් වහන්සේ එක් දේශනාවක වදාළා තියුණු විෂ ඇති කටු වනයකට කෙනෙකු යා යුතුනම් ඔහු ඒ වනාන්තරයට පිවිස පියවර ඔසවන්නේ තබන්නේ හාත්පස බලලා. උඩත් බලනවා හිස පැත්තට කටු ඇද්ද කියා. දෙපැත්ත බලනවා දෙ පැත්තේ පැටලෙන කටු ඇද්ද කියා. බිම බලනවා පයේ ඇනෙන කටු ඇද්ද කියා. මේ විදිහට හාත්පස බලලයි පියවරක් ඉදිරියට තබන්නේ. උන්වහන්සේ වදාළා ඒ යන කෙනා කුෂ්ඨ රෝගියකු නම් ඊටත් වඩා පරිස්සම් විය යුතු බව. නිරෝගි කෙනෙකුගේ කටුවක් ඇනුනොත් දරුණු වේදනාවක් ඇතිවෙනවා. කුෂ්ඨ රෝගියෙකුනම් කටුවක් ඇනුනොත් ඒ වේදනාව තියුණු වෙනවා. එනිසා කුෂ්ඨ රෝගියෙක් කටුලැහැබක පැටලෙන කොට කොතරම් ප්‍රවේශම් වෙනවා ද? ඒ වගේ අපත් මේ ආයතන හය පරිශීලනය කරන්න ඕන. මේ ආයතනවලට ගැලපෙන්න රූපාදි අරමුණු බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ කටු අකුලක් ලෙසයි. කටු අකුල් ඇනුනොත් රිදෙන්නේ කොහෙ ද? කොහේද තුවාල වෙන්නේ? කියා සිහිනුවණින් විමසිය යුතු වෙනවා. සිතේ අවදිවන කෙලෙස් වලින් සිදුවන විපාක භයානක යි. කල්ප ගණනක් නිරයේ පැසෙන්න වන අකුසල් අපට උපදිනවා. කෙනෙකුගේ සිතේ දැඩි ලෝභය මිත්‍යාචාරයට බලවත් වුවොත් ඒ උපන් අකුසලය ප්‍රහානය සඳහා, දමනය සඳහා අනිත්‍ය වශයෙන් අසුභ වශයෙන් පිළිකුල් ලෙස බලලා සිත දමනය කළයුතු වෙනවා. සමහර විට ඒ අරමුණේ දී සිත ද්වේශ සහගත වෙන්නත් පුළුවන්. එය වර්ධනය වෙලා ප්‍රාණ ඝාතනයක් දක්වා පරුෂ වචනය දක්වා වැඩෙන්න පුළුවන්. දුරට යන්න නොදී එය පාලනය කරන්න නම් බුද්ධිය අවශ්‍ය වෙනවා. මේ දේ කළොත් මට සතර අපායට යන්න වෙනවා කියා සිහිය උපදවා ගත යුතු වෙනවා. සිල් රකින කෙනා නිතර බුදුගුණ භාවනා වවැඩිය යුතුයි. හරියට වගා බිමට වන සතුන්ට එන්න නොදී ඈතින්ම පලවා හරිනවාක් මෙන් සිතේ අකුසලයක් හට ගත් විට ඇති වූ තැනින්ම එය නැති කිරීමට තථාගත ගුණවලට පුළුවන්. මෙසේ සිත පුහුණු කරන්න වුවමනාවක් ඇති කෙනොගේ් ශීලය සුරක්ෂිතයි. ඔහුද සුරක්ෂිතයි.