Print this Article


විශ්වයම ඒකාලෝක කළ දේශනාවක අසිරිය

විශ්වයම ඒකාලෝක කළ දේශනාවක අසිරිය

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව උතුම් ධම්මචක්ක පවත්වන දේශනාව යි. ධම්ම කියන්නේ ධර්මයට. චක්ක කියන්නේ චක්‍රයට. පවත්වන කියන්නේ ඉදිරියට පෙරලා යාම.

තථාගථයන් වහන්සේ ගේ ධර්මය නැමැති රෝදය ජනතාව වෙතට පෙරලා සම්පේ‍්‍රශනය කිරීම ප්‍රථම ධර්ම දේශනාව නිසා මෙම දේශනාවට ‘ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව‘ කියා කියනවා.

මීට අවුරුදු 2603 කට පෙර ඇසළ පුර පරසළොස්වක පෝදා බරණෑස ඉසිපතනාරාමයේ දී මුවන්ට අභයදානය දුන්න මිගදායේදී ප්‍රථම වතාවට ඉහළ අහස්කුසේ එක් පසකින් උදා වූ ඉර බැස යද්දී අනෙක් පසින් සඳ නැගී එන සන්ධ්‍යා යාමේ තථාගතයන් වහන්සේ පස්වග මහණුන් අමතා වදාළ දේශනාව මෙයයි.

පුරාණ ඉන්දියාවේ තිබිලා තියෙනවා ගංගා දෙකක් වරුණ සහ අසී කියලා. ඒ ගංගා දෙකට මැදිවෙලා නගරයක් තිබුණා ‘වාරානසී’ කියලා. පාලියෙන් එයට බාරානසී යනවා. සිංහලෙන් එයට බරණැස් කියනවා. ඒ බරණැස් නුවර මුවන්ට අභය දානය දුන් ස්ථානයක් මිගදායි කියා තිබෙනවා. සෘෂිවරුන් බරණැස් නුවර යම් යම් කටයුතු වලට පැමිණෙන විට අහසින් බිමට බසින තැන ‘ඉසිපතන’ නමින්් ප්‍රකටව තිබුණා. පස්වග තවුසන් සිටියේ මේ බරණැස් නුවර ඉසිපතන මිගදායේ.

ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ බුද්ධගයා ශීර්ෂයේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සර්වඥතා ඤාණයට පත් වී සත් සතියක් එහි ගත කරන කාලයේ මහ බ්‍රාහ්මයා ආරාධනා කළා ‘ස්වාමිනි ධර්මය තේරුම් ගන්නට හැකියාව තිබෙන අය ලෝකයේ ඉන්නවා. ඔවුන්ට අනුකම්පා කර ධර්මය දේශනා කරන්න”කියා. එවිට උන්වහන්සේ විමසා බැලුවා අවබෝධ කරගත් මේ ගැඹුරු ධර්මය දේශනා කරන්නේ කාටද කියලා. තමාට උපකාර කළ ගුරුවරු මියගොස් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදී සිටියා. ඊළඟට බුද්ධත්වය පිණිස දුෂ්කර ක්‍රියා කරන සමයේ උවටැන් කළ පස්වග තාපයන් බරණැස ඉසිපතන මිගදායේ සිටි බව දැක ඔවුන්ට මේ ධර්මය මුලින්ම දේශනා කළයුතු බවට උන්වහන්සේ තීරණය කළා.

වෙසක් පෝ දවසේ සම්මා සම්බුද්ධත්වයට පත් වී සත් සතියක් ඇවෑමෙන් සතියක ගමන් මඟ ගෙවාගෙන ඇසළ පෝය දවසේ පා ගමනින්ම බරණැස ඉසිපතනාරාමයේ මිගදායට සමීප වුණා. පස්වග තවුසන් අකමැත්තෙන් නමුත් රාජකීය කුමාරයෙක් වන බැවින් පිළිගෙන සුදුසු අසුනක් පනවා උන්වහන්සේගේ අභියස පැත්තකින් වාඩි වුණා.

එවෙලෙහි උන්වහන්සේ තමන් වහන්සේ මේ විශිෂ්ට අනාවරණය ආර්ය සත්‍ය තමන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය පස්වග මහනුන්ට දේශනා කරන්න ආරම්භ කළා.

“පින්වත් මහණෙනි, නිවන් මඟ සොයායන පැවිද්දෙක් විසින් අනුගමනය නො කළයුතු අන්ත දෙකක් තිබෙනවා. ඒ කාමසුකල්ලිකානු යෝගය (ශරීරයට අධික ලෙස සැප දීම) සහ අත්තකිලමතානු යෝගය (ශරීරයට අධික ලෙස දුක් දීම) කාමසුකල්ලිකානු යෝගය විස්තර කරන තැන උන්වහන්සේ වචන පහක් දක්වා තිබෙනවා. හීනෝ (පහත්) ගම්මෝ (නූගත් ගැමියන්ට සුදුසුයි) පෝතුඡ්චනිකෝ (පෘතග්ජනයන්ට ගැලපෙන) අනරියෝ (අනාර්යන්නට ගැලෙපන) අනත්ථ සංහිතෝ (අනර්ථය පීඩාව ඇතිකරන) දෙයක්.

අත්තකිලමතානු යෝගය විස්තර කිරීමේදී දුක්ඛෝ (දුක් සහගතයි) අනරියෝ (අනාරියන් විසින් කරන එකක් ) අනත්තසංහිතෝ (අනර්ථය ඇතිකරන එකක්) ලෙස වදාළා.

ශරීරයට අධික ලෙස සැප දීමේදී ඇතිවෙන්නේ ඇලීමයි. ඒ වගේම අධික ලෙස දුක්දීමේ දී ඇතිවන්නේ ගැටීමයි. මේ අන්ත දෙක නියෝජනය කරන්නේ ඇලීම සහ ගැටීමයි. මේ ඇලීම හා ගැටීම කියන මානසික සිතිවිලි ඇතිවන්නේ කෙලෙස් සිතුවිලි දෙකක් නිසා. ඒ ලෝභය හා ද්වේෂය යි. එසේනම් ආර්ය සත්‍යය වටහා ගැනීමට මේ ලෝභය සහ ද්වේෂය කියන අකුසල මූලයන් දෙක බරපතල බාධාවක්. එයට මැදිහත් සිත අවශ්‍ය වෙනවා. නො ඇලීම නො ගැටී නො මුලාව පවත්වාගෙන යාම මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් තථාගතයන් වහන්සේ වටහා ගත්තා.

ඊළගට උන්වහන්සේ මේ උභය අන්තයටම ගමන් අවසානයේ තේරුම් ගත්තා මේක නිවන් මඟට අවබෝධයට සුදුසු මඟ නොවේ කියා. එනිසා නැවත මෙ මඟ නො යායුතුයි කියන වැටහීම ඇතිවුවා. ඒ අන්ත දෙකේ නොයා මධ්‍යම මාවත උන්වහන්සේ අවබෝධ කර ගත්තේ කුමක් සඳහා ද? චක්ඛු කරණී ( ඇස් ඇරවන සුළුයි) ඤාණ කරණී ( නුවණ ලබාදෙන එකක්) උපසමාය (කෙලෙස් සංසිදුවන එකක්) අභිඤා්ඤාය ( මනා දැනුමට උපකාරි වෙනවා) සම්බෝධාය (අවබෝධයට උපකාර වෙනවා ) නිබ්බානාය (තණ්හාව ප්‍රධාන වාර සංකේත ක්ලේශ තුෂ්ණාව සහමුලින්ම බිඳීමට උපකාරි වන දෙයක් තමා මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියා කියන්නේ යැයි වදාළා.

තථාගතයන් වහන්සේ මේ පස්වග මනුෂ්‍යයන්ට තමන් වහන්සේ සොයාගත් මේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙටියෙන් නම් වශයෙන් විස්තර කරමින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ලෙස හඳුන්වා දුන්නා.

ආර්ය මාර්ගය තේරුම් ගැනීමේදී ලෞකික හා ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියා කොටස් දෙකක් තිබෙනවා. ලෞකික කියන්නේ ලෝකයට පැවැත්මට උපකාරි වන ලෝකයට අයිති දෙයකට යි. එහෙමනම් ලෝකයට අයිති මාර්ගයේ ඉන්නවා කියන්නේ ඒ මාර්ගය අනුගමනය කළාට සසර දුකෙන් මිදෙන්න බැහැ. ඒ දුකෙන් මිදෙන්නනම් ලෝකෝත්තර වෙන්න ඕන. ඒ තමා ලෝකෝක්කර ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම. ලෞකික මාර්ගය අනුගමනය කිරීම පැවැත්මට හොඳයි. ලෝකෝත්තර මාර්ගය අනුගමනය කිරීම නැවැත්මට හොඳයි. මෙහිදී ලෝකෝත්තර මාර්ගය තුළින් තණ්හාව නැතිවන ආකාරයට මාර්ග අංග දියුණු වෙනවා. ලෞකික මාර්ගයේදී තණ්හාව තිබෙනවා. ඒ තණ්හාව තියාගෙන මේ හොඳ කරුණු පුුරුදු කිරීම යි. තණ්හාවෙන් කරන හොඳ ක්‍රියා පින් බවට පත්වෙන අතර තණ්හාවෙන් තොරව කරන ක්‍රියා කුසල් බවට පත්වෙනවා. කුසලය දියුණු වනවිට නිවන සාක්ෂාත් කර ගන්න පු‍්‍රළුවන්.

ඊළඟට මෙසේ මාර්ගයක් සොයා ගත්තා කියන එක ඒත්තු ගැන්වීම සඳහා ලෝකයේ මිනිසුන් විඳින එහෙත් හරියට නො හඳුනන ආර්ය සත්‍ය හතරක් පිළිබඳව හැඳින්වීමක් කළා. ඒ තමා 1). දුක යනු කුමක් ද? ( ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය අපි‍්‍රය අය හා එක්වීම පි‍්‍රය අයගෙන් වෙන්වීම කැමැතිදේ නො ලැබීම ආදී) 2) දුක ඇති වීමට හේතුව ( තණ්හාවයි) (3) දුක නැති කිරීම ( කාම තණ්හා භව තණ්හා විභාග තණ්හා නිරුද්ධ කිරීම) (4) දුක නැති කීරිමේ මාර්ගය (ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුරුදු කිරීම).

ඊළඟට තමන් වහන්සේ චතුරාර්ට සත්‍ය වටහා ගත් ආකාරය පැහැදිලි කළා. වට තුනකින් දොලොස් ආකාරයකට කරුණු 12 වටහා ගැනීම. මේ වට තුන තමා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන්නේ. ආර්ය සත්‍ය හමුවේ කළයුතු කාර්යය කෘත ඥාන ලෙසත් කළයුතු කාර්යභාරය කළාට පසු ඇතිවන අවබෝධය කෘත්‍ය ඥාන ලෙසත් කළයුතු කාර්ය බාරය කළා කියා ඇතිවන අවබෝධය කෘත ඥාන ලෙසත් හඳුන්වා දුන්නා.

උන්වහන්සේට මේ දැනුම ඇතිවුණේ පෙර ගුරුවරයෙකුගෙන් නො ඇසූ ආකරය දහම් ඇස පහළ වුණා. ඤාණය පහළ වුණා. අවිද්‍යා අන්දකාරය නැති වුණා. ප්‍රඥාව පහළ වුණා. මෝහන්ධකාරය නැතිවෙලා ප්‍රඥා ලෝකය පහළවුණා කියලා අවබෝධ වුණා. මේ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින්ම සත්‍ය ඤාණ කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් තමන් වහන්සේ අවබෝධ කර ගත්තා කියා පැහැදිලි කළා. මේ අවබෝධයට පත් වෙනවාත් සමග තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා කියලා ප්‍රකාශ කළා.

මේ ආර්ය සත්‍ය අවබෝධ වෙනවාත් සමඟම සිත කෙලෙසුන්ගෙන් මිදීම සගවාගත නො හැකි වුණා. මේ මගේ අවසාන උපත. මින්පසු උපතක් නැහැ කියා උන්වහන්සේ පස්වග තවුසන් සත්‍යයේ පිහිටලා ප්‍රසාදයට පත්කළා. එවිට ඔවුන්ට ශ්‍රද්ධාව ඇතිවුණා. මෙහි සිටි කොණ්ඩඤ්ඤ තාපසතුමා නුවණින් මේ කරුණු සිහිකරන විට සිතේ තිබුණ සංයෝජන ධර්ම තුනක් නැතිවෙලා සෝවාන්ඵලයට පත්වුණා.

මීට වසර 2603 කට ප්‍රථම ප්‍රථම මාර්ගඵල ලාභියා බිහිවෙනවාත් සමග ලෝක ඉතිහාසයේ බරණැස ඉසිපතන මිගදායේ තෙරුවන් පහල වුණා. මේ අසිරිමත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට එතැනට කෝටි ගණන් දේව බඹුන් වට වුණා. කිසිවෙකුටවත් ආ පස්සට කරකවන්නට බැරි ආකාරයට අර්ය සත්‍යය ජනතාවට අතරට පෙරලා හැරියා. කිසිම ශ්‍රමණයෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට දෙවියෙකු කිසිවෙකුට මෙය මෙසේ නොවේ කියා ආපස්සට කරකවන්නට නො හැකි ආකාරයට මේ දේශනාව වදාළා කියා භූ®මාට දෙවියෝ සාදු නාද පැවැත්වුවා. ඒ සාදු නාදය සමග ලෝකයේ ප්‍ර‍්‍රථම වතාවට සාදු නාදය මිගදායේ දී මුළු විශ්වයටම මුසු වී ගියා. මේ සාදු නාද අසා ඉහළ දිව්‍ය ලෝකවල දෙවියන් අනුපිළිවෙලින් සාදුනාද පැවැත්වූවා. ඔවුන්ගේ සාදුනාද අසා රූපවචර බ්‍රහ්මලෝකවල බ්‍ර‍්‍රහ්මයන් ද ඒ සාදු නද අසා සුද්දාවාස බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් ද අනුපිළිවෙලින් සාදු නද පැවැත්වූවා. මේ සාදු නාද හිඟුම් දුන්නා. කම්පා වුණා. හෙළ වී ගියා. ඒ මොහොත්ම අප්‍රමාන වූ ආලෝක ධාරාවන් මුළු විශ්වයේම ඒකාලෝක කරමින් පැතිරි ගියා. ඒ ඇතිවූ ආලෝක දාරාව මුළු විශ්වයම ආලෝකවත් කළා.

තථාගතයන් වහන්සේ “කොණ්ඩඤ්ඤට වැටහුණා කොණ්ඩඤ්ඤට වැටහුණා” කියා උදානයක් ප්‍රකාශ කළා. ඉන් පසුවයි උන්වහන්සේගේ් නමට ඉදිරියෙන් ‘අඤ්ඤා’ කියන පදය යෙදුනේ.

සටහන : නයනා නිල්මිණි