Print this Article


සදහම් ඇස පහළ විය

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො” යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති.

සුපින්වත්නි,

සකල ජන මන සනසන අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් දෙමසකට පසුව බරණැස ඉසිපතනාරාමයේදී පස්වග මහණුන් වහන්සේට දම්සක් පැවැතුම් සූත්‍රයෙන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ සේක.

එතෙක් විශ්වයේ පහළ නොවූ විරූ මෙම උතුම් ශ්‍රී‍්‍ර සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා” ආදී නයින් දේශනා කරන විට දස දහසක් සක්වළ දෙවි දේවතාවෝ සාධූනාදයෙන් පී‍්‍රති ඝෝෂා පවත්වන්නට වූහ. තවද අප අමා මෑණි බුදුරජාණන් වහන්සේ මාගධී භාෂාවෙන් වදාරණ බණ දිව්‍ය බ්‍රහ්මයෝ , අපගේ භාෂාවෙන්ම දෙසති’යි සිතමින් දහම් රස විඳිමින් ශ්‍රවණය කරති.

මෙසේ එදවස දම්සක් පැවැතුම් සූත්‍රාන්ත දේශනාව අසා දැන කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ කෙළ දහසක් පමණ කෙලෙසුන් නසා සෝවාන්ඵලයට පත්වූ සේක.අසංඛ්‍ය සංඛ්‍යාත දෙවිදේවතාවෝ අමා මහ නිවන් සුවයෙන් සැනසුනහ.

අප ගෞතම සර්වඥයන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහොය දින බුදුබව ලබාගැනීමෙන් බුද්ධරත්නයත් ඇසළ මස පුර පසළොස්වක පොහෝදින ධර්මරත්නය හා සංඝරත්නයත් පහළවීමෙන් එතෙක් ලෝකයේ පැවැති අවිද්‍යාන්ධකාරය දුරුකරමින් ඉරදහසක් සඳදහසක් පෑයු කලෙක සේ ධර්මාලෝකයෙන් ඒකාලෝක වන්නට විය.

දම්සක් පැවැතුම් සූත්‍රයෙන් ලොවට හෙළිකළ උතුම් ධර්මය සම්පිණ්ඩනය කළ විට ප්‍රධාන කරුණු කිහිපයක් සේ ගෙනහැර දැක්විය හැකිය.

* අත්හළ යුතු අන්ත දෙක
* අනුගමනය කළ යුතු මධ්‍යම ප්‍රතිපදාව
* එයින් ප්‍රත්‍යක්‍ෂ කරන චතුරාර්ය සත්‍යධර්මය
* ද්වාදසාකාර යථාභූ®ත ඤාණදර්ශනය
* සද්ධර්මය ප්‍රථමයෙන් අවබෝධ කරගත් අඤ්ඤා

කොණ්ඩඤ්ඤ හිමියන්ගේ මාර්ගයෙන් මනුලොව ස්ථාපනය කිරීම

හීන වූ, ග්‍රාම්‍ය වූ, පුහුදුන්, අනර්ථකරවූ යම් ඒ කාම සුඛල්ලිකානුයෝගයක් වේද දුක්වූ අනර්ථකරවු යම් ඒ අත්තකිලමථානුයෝගයක් වේද මේ අන්ත දෙකටම නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන ලදී. ඒ මේ මධ්‍යම ප්‍රතිපදාව වූකලී චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ප්‍රඥා චක්‍ෂුසය ඇති කරන්නේය. ආර්යඥානය ඇති කරන්නේය. සම්‍යක් සම්බෝධිය ලබා දෙන්නේය. නිවන් පසක් කර දෙන්නේය.

මානව පරපුර මිහිමත බිහිවන්නේ කෙසේ හෝ සැප සංකල්පයේ ඇලී ගැලී වාසය කිරීමටය. සෙසු සත්වයන් හා සැසඳීමේදී මානව වර්ග සත්වයාට ඉතා සකසුරුවම් ක්‍රම සකසාගෙන පංච කාම සම්පත්ති භුක්තිවිඳීමේ ශක්තිය,වාසනාව, පරිසරය පවතින නමුත් කාම සංකල්පනා සමාන වන්නේය. එමෙන්ම සෑම සත්වයාම තම ඉඳුරන්ගේ බලශක්තිය ඇති තාක් කාමයන්ගෙන් මුසපත්ව ක්‍රමයෙන් ජාති,ජරා, ව්‍යාධි, ශෝක, පරිදේවාදී නොයෙක් වේදනා විඳිමින් මරණයට ළංවන්නේය.

සත්වයාට වන්නා වූ සංසාරික දුක් පිළිබඳ පරියේෂණාත්මක දැනීමක් ලබන්නට උත්සාහවත්වන්නේ බෝධිසත්වයන් වහන්සේ පමණි. කරුණාවෙන් සිහිල් වූ ප්‍රඥාවෙන් ආලෝකමත් වූ එම බෝධිසත්වයන් වහන්සේ නියත විවරණයේ පටන් කල්ප ලක්‍ෂ ගණන්, සත්වයන් සමඟ ඉපදෙමින්, ගුණදම් වඩමින් සෙසු සත්වයන්ගේ අපේක්‍ෂා හා සාපේක්‍ෂකව නොසිට ජීවිතය හා ලෝකය පිළිබඳ ගැඹුරින් සිතමින් සත්ව සන්තතියේ විමුක්තිය උදෙසාම දාන, ශීලාදී දස පාරමී ධර්මයන් පුරන්නෝය.

අප ගෞතම බෝධි සත්වයන් වහන්සේ ද මනෝප්‍රනිධාන වාක්ප්‍රනිධාන නියත වවරණ ලබා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පන්ලක්‍ෂ දොළොස්දහස් විසි හතර නමක් දකිමින්, වඳිමින් පුදමින් විවරණ ලබමින්, ලොව්තුරා බුදුබවම පතමින් අවුත් මනුලොව ඉපිද පිළිවෙළින් රජ සැපත් අත්හැර සයවසරක් දුෂ්කර ක්‍රියාකොට බුද්ධගයා බෝධින් වහන්සේගේ සෙවණ යටදී ලොව්තුරා බුද්ධත්වයට පත්වී වදාළ සේක.

“සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනංගණෙ විගතුපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනීයෙ ඨිතෙ ආනෙජ්ජපත්තේ ආසවානංඛය ඤාණාය චිත්තං අභිනින්නාමෙසිං සො ඉදං දුක්ඛංති, යථාභූතං අභිඤ්ඤාසිං”

(බෝධි රාජ කුමාර සූත්‍රය)

...ආදි නයින් දේශිත පරිදි තමන්වහන්සේ විසින්ම දැනගනු ලැබූ මධ්‍යම ප්‍රතිපදාව සංඛ්‍යාත ආර්ය මාර්ගය පිළිපැදීමෙන් ආශ්‍රවක්‍ෂය කිරීමේ ඤාණය ලබා මෙය දුක්ඛ සත්‍යය, මෙය සමුදය සත්‍යය, මෙය නිරෝධ සත්‍යය, මෙය දුක්ඛ නිරෝධි ගාමිණී පටිපදා මාර්ග සත්‍යය යන උතුම් චතුරාර්ය සත්‍යධර්මය සත්‍ය ඤාණ, කෘත්‍යඤාණ ,කෘතඤාණ වශයෙන් ද්වාදසාකාර ඤාණය ලබාගත් සේක.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරභවයන්හි අතිදීර්ඝ කාලයක් පුරුදු පුහුණු කළ නෙක්ඛම්ම පාරමිතාවේ බලමහිමයෙන් අභිනිෂ්ක්‍රමණය කොට අධිෂ්ඨාන පාරමිතාවේ ප්‍රතිඵලයෙන් එක්වන් පරමාර්ථයටම යොමුකොට කාම සම්පත්තියෙන් දුරස්ථව බැහැරව ගිය නමුත් අවිද්‍යාවෙන් සත්‍යමාර්ගය වැසි තිබූ නිසා මනුෂ්‍යයකු වශයෙන් උපරිම දුක්වේදනා විඳීම සංඛ්‍යාත අත්තකිලමථානුයෝගය සංඛ්‍යාත අන්තයටම තම මනැස නතුකරන්නට සිදුවු වග අප බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා රාශියකින් දක්වා වදාළ සේක.

මිනිසාට තම මිනිස්කම අමතක වන්නේ මෙම අන්ත දෙක නිසාය. එමෙන්ම ජාති ජරාදී අනන්ත දුක්කරදර විඳීමට සිදුවන්නේ ද වැරැදි ප්‍රතිපදා නිසාමය.

තණ්හා ජාලයේ ඇලී ගැලී සිටින සත්වයා කාමරාගයෙන් උන්මාදවීම නිසා යථාර්ථ ලෝකය අමතක වන්නේය. එමෙන්ම අවිද්‍යාන්ධකාරයෙන් මුළාවන සත්වයා මිථ්‍යා විශ්වාසයේම එල්බගෙන අනන්ත දුක්විඳින්නේය.

සම්මා දිට්ඨි සංඛ්‍යාත නිවැරැදි දැකීම ඇත්තේ යම් සිතකද එහි දෙවැනුව ඇතිවන්නේ යහපත් කල්පනාව නම් වු සම්මා සංකල්පයයි. මව් කුසින් බිහිවන සත්වයාට අරමුණූ වන්නේ උපන් පරිසරයට අනුගත ලෝකයයි.

දිගුකලක් යනතුරු ඔහුගේ දිට්ඨියත්, සංකල්පයත් ගතානුගතික වන අතර සම්‍යක් දිට්ඨි සංඛ්‍යාත උසස් ඤාණයක් ඇතිවීමට නම් බුද්ධධර්මයම දැනගත යුතු වන්නේමය. එහෙත් එය ප්‍රථමයෙන් ඉබේම ඇතිවන දෙයක් හෝ චින්තන මාත්‍රයක් හෝ නොව සසර අති දීර්ඝ කාලයක් පුරුදුපුහුණු කළ චින්තන ශක්තියක් වන්නේය.

අරමුණු අනුව චින්තනයත් , චින්තනයෙන් වචනයත්, කර්මාන්තයත්, එමෙන්ම සම්මා ආජීවයත් එකිනෙකට සාපේක්‍ෂකව අනුපිළිවෙළට ජනිත වන්නේය. අධිශීල ශික්ෂාවට සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඇතුළත් වන අතර සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන අධි සමාධි යන ශික්ෂාවට ඇතුළත් වන්නේය. තවද අධිප්‍රඥා ශික්ෂාවට සම්මාදිට්ඨි, සම්මාසංකප්ප යන අංග දෙක සංයුක්ත වන්නේය.

පින්වතුනි, මෙම උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ජීවිතය යහමඟට යොමුකරන උදාර නිරවුල් ජීවන මාර්ගයක් වශයෙන්ද අපමණ කලක් සසර සැරිසරමින් ජාති, ජරා, ව්‍යාධි මරණාදී අප්‍රමාණ දුක්විඳින සත්වයන්ට සදාකාලික නිවීම නම්වූ නිවන් සුව ලබාදෙන්නාවූ, බුදු,පසේබුදු,රහත් යන ආර්ය උත්තමයන් වහන්සේ අනුගමනය කළ උත්තමතම මාර්ගය වශයෙන්ද පවතින්නේය.

අවිද්‍යාන්ධකාරයෙන් සත්‍යධර්මය වැසී යන ලෝකයට ප්‍රඥාලෝකය උදාවන්නේ මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙනි.

මෙසේ අප බුදුරජාණන් වහන්සේ මෙම උතුම් දම්සක් සූත්‍ර දේශනාව පවත්වද්දී දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයෝ දහම් රසින් පින පිනා එක පැහැර සාධුනාද පැවැත්වූහ .තම තමන්ගේ සතුටු පමණින් පුද පූජා පැවැත්වූහ.

එදවස ඉසිපතනාරාමයේදී දේශනා කළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා දැනගත්, නිවන් සුවයෙන් සැනසුන අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන්ගේ පටන් මේ දවස දක්වා කෙළලක්‍ෂ ගණන් සත්වයන් සේම ඔබ සැමටද එම ධර්ම ඥානය පහළවේවා ! සදාකාලික සැපය උදාවේවා!

තෙරුවන් සරණයි!