Print this Article


ජන්මයෙන් රැගෙන එන පුණ්‍ය ශක්තිය

ජන්මයෙන් රැගෙන එන පුණ්‍ය ශක්තිය

කෙනකු කිසියම් තැනක උපත ලබන්නේ අහම්බයක් නිසා නොව ඔහු සංසාරයේ ගමන්කරන පිළිවෙළ රටාව එය වන හෙයිනි. කෙනෙකුගේ සංසාර ගත ජීවිතයේ ක්‍රමානුකූල සැකැස්ම සකස් කරදෙනු ලබන්නේ කවුද? එහි නිර්මාපකයා කවුද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන යාමේදී බෞද්ධ සූත්‍ර ධර්මවලින් කරුණූ කාරණා පැහැදිලි කරගත හැකිය

පුද්ගලයකු ජන්මයෙන් රැගෙන එන පුණ්‍ය ශක්තියක් තිබේ. එම පුණ්‍ය ශක්තිය සඳහා වර්තමාන මනෝ විද්‍යාවේ බුද්ධිය යන නමද භාවිත කරනු ලැබේ. ඇතැම් කෙනෙකුගේ බුද්ධියෙන් වඩාත් ප්‍රබල සිතිවිලි උදාවන අතර ජීවන අත්දැකීම් ඔස්සේ වෙහෙස වීම තුළින් එය වඩාත් හොදින් වර්ධනය කරගත හැකිය. කෙනෙකුගේ ළමා අවධියෙහිදීම ඔහුගේ හැසිරීම් සහ ක්‍රියාකාරකම් අනුව බුද්ධි වර්ධනය පිළිබඳව අනාවැකිද පළ කළ හැකිය. නමුත් ඇතැම් එබඳු සිද්ධි එම පළ කළ අනාවැකි අසත්‍යය බවට පත් කිරීමට සමත්වේ. ඉන් පෙනෙන්නේ කෙනෙකුගේ බුද්ධිය වර්ධනය වීම සමාජ අත්දැකීම් සහ ඇසුර අනුව වඩාත් ප්‍රබල වන බවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන බුද්ධිමත් පුද්ගලයා සමාජ ඇසුර වඩා හොඳීන් උරාගන්නෙකු වේ. ඔහු ඇසුරෙන් ලබන දැනුම ස්වකීය ජීවිතය සාර්ථක භාවයට පත්කර ගැනීමට සමත් වෙයි.

ලෝකයේ කාල භේදයකින් හා වයස් භේදයකින් තොරව මෙම තත්ත්වය කවදත් එක ලෙස පවතී. මෙම කාරණාව වඩාත් පැහැදිළි කර ගැනීම පිණිස බුදුරදුන් ජීවමාන දවස සිදුවූ සිද්ධියක් දැක්විය හැකිය. එනම් බරණැස් නුවරදී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ පළමු රහත් හැට නම සඳහා ධර්මදේශනා කොට සදහම් අවවාද දී එක්තරා වන ලැහැබක, රමණීය රුක් මුලක වැඩහුන් සේක. එම අවස්ථාවේ සිදුවූ සිද්ධියකි මේ. භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක් ඔවුන්ගේ බිසෝවරුද සමග විනෝද වෙමින් වන ලැහැබේ ඔබමොබ හැසිරුණහ. ඒ කුමරුවරුන්ගෙන් එක්කෙනෙකුට බිරිඳක් සිටියේ නැත. එම නිසා මිතුරන් සමග එකට විනෝද වීම පිණිස තරුණ අඟනක් කැඳවාගෙන ආවේය.සියලුදෙනා එකසේ විනෝද වෙනු දුටු එම තැනැත්තිය ඔවුන්ගේ ප්‍රමාදයක් දැක කුමාරවරු සතු වටිනා කියන බටු මුට්ටු රැගෙන පලා ගියාය.

භද්දවග්ගිය කුමාරවරු තම යහළුවාගේ ආගන්තුක බිරිඳ නිසා ඇතිවු මෙම විනාශය ගැන කලකිරී වන ලැහැබ ඔබ මොබ ඇය සොයමින් හැසිරුණේය.මෙසේ එහෙ මෙහෙ ඇවිදින පිරිසට ගසක් මුල නිසොල්මනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබේ. හුදකලාව වෙසෙන බුදුරජාණන් වහන්සේ දැක තම බඩුමුට්ටු රැගෙන රහසේ පලා ගිය සෙර දකින්නට ඇතැයි ඔවුහු කල්පනා කළහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අසලට පැමිණි එම තරුණ පිරිස බුදුහාමුදුරුවන් වහන්ස, අපේ යහළුවකුගේ බඩුමුට්ටු නැති වුණා. එය සොරාගනු ලැබුවේ අප සමගම පැවැති අඟනක යැයි සැක කරනවා. ඔබ වහන්සේ වැඩ ඉන්න විට මේ අසලින් ගිය බිරිඳක් දුටුවාදැයි විමසූහ.

එම අවස්ථාවේ මෙම තරුණ කුමාරවරුන් දෙස තම අවධානය යොමු කළ බුදුරජාණන් වහ්නසේ සත්‍යය නිවැරැදිව වටහාගත හැකි පිරිසක් බව තේරුම්ගෙන ඔවුනට ධර්ම දේශනා කරන්නට ඕනෑ යැයි කල්පනා කළහ. ඒ අනුව ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් අසනලද ප්‍රශ්නයට ධර්ම දේශනා සඳහා නිමිත්ත ලෙස තබාගැනීම වඩාත් සුදුසු යැයි උන්වහන්සේ තීරණය කළහ. ඔවුන් විමසු ප්‍රශ්නයට ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා තබාගැනීමට උන්වහන්සේ තීරණය කිරීමෙන් පෙනී යන්නේ දන්නා දෙයින් පටන්ගෙන නොදන්නා ගැඹුර දක්වා යා හැකි බැවිනි. එකට සිටි මිතුරු පිරිස අතර සිටිඑක් අඟනක නැති වීම නිසා තමන්ගේ වටිනා කියන බඩුමුට්ටු අහිමි වීම නිසා භද්දවග්ගිය කුමාරවරු සිටියේ කම්පිත වු සිතිවිලි වලිනි.

බුදුරජාණන් වහන්සේ දුටු එම කුමාරවරු මේ අසලින් ගිය ගැහැණියක දුටුවාදැයි යනුවෙන් විමසනු ලැබූ ප්‍රශ්නයට “ඔව්” හෝ “නෑ” යනුවෙන් පිළිතුරු නොදී ඔවුන්ගෙන් නැවතත් බුදුපියාණන් වහන්සේ ප්‍රශ්නයක්ම අසති. තමන් ළඟ සිට නැති වූ කෙනෙකු සොයා වෙහෙසීම කළ යුතු නමුත්, වඩාත් උතුම් වන්නේ අනුන් ගැන සෙවීමද? නොඑසේනම් තමන් ගැන සෙවීමදැයි බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් විමසා සිටියහ. තරමක් දැනුම් තේරුම් මනසක් සහිත භද්දවග්ගිය කුමාරවරු සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ විමසනු ලැබු ප්‍රශ්නයට උත්තර දුන්නේ තමන්ගේ මනස තුළ මෙතෙක් පැවති ගැටලුවකට විසදුම් නොලැබුණත් එය අමතක කර දමා, කුමාරවරු විමසා සිටියේ බුදු හිමියනේ,සෙවීමෙන් යහපත් සෙවීම නම් තමන් ගැන සෙවීම යැයි කියාය.මෙසේ හටගත් සංවාදය වඩාත් ගැඹුරට පැමිණීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජ ඇඳුම් ඇඳ මහවනය මැද අඟනක සොයමින් සිටි කුමාරවරු ඇතැමෙක් සෝවාන් බවට පත් වූහ. ඇතැමෙක් අනාගාමි වූහ. ජීවිතය යනු කුමක්ද? අප සොයා යා යුත්තේ මොනවාද? ලෞකිකත්වය තුළ සිටින මිනිසා නැඹුරු විය යුත්තේ ලෞකිකත්වය සඳහාමද යන ගැටලු බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් ඔවුන්ගේ නැණ නුවණ වඩාත් දියුණු කර ගත්හ.

තිස්දෙනාම, බුදුරජාණන්වහන්සේ සරණ යමින් උන්වහන්සේගේ සදහම් මග ශක්තිමත්ව ව්‍යාප්ත කිරීම සඳහා එක සිතින් එකතු වූහ. භද්දවග්ගිය කුමාරවරු ජීවිතය තුළ අහම්බෙන් මුහුණ දුන් ගැටලුවකට විසදුම් සෙවීමට යන අතර මඟ අහම්බෙන් හමුවු බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා රහත්වීම නිසා ජීවිතයේ ලද ශක්තිය පිළිබඳ කතා බහ දම් සභා මණ්ඩපයේදී සවස්යාමේදී භික්‍ෂූන්වහන්සේලා අතර ඇතිවූහ. එම අවස්ථාවේ දම් සභා මණ්ඩපයේ වැඩ සිටි සියලු භික්‍ෂූන් වහන්සේලාගේ සැක දුරු කරමින් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අසා මීට පෙරත් මේ පිරිස දහමට අවනත වු අයුරු දැක්වෙන තුන්දිල ජාතක කතාව පැහැදිලි කරනු ලැබූහ.

එම සිද්ධිය දවස අපට වැදගත් වන්නේ අප පෙර සඳහන් කළ ජන්ම පුණ්‍ය ශක්තිය කෙනෙකුගේ ජීවිතය තුළ විකසිත වීම සඳහා ඉගෙනුම් අත්දැකීම් අත්‍යවශ්‍ය වන බව පැහැදිලි කර ගැනීම සඳහාය.

භද්දි වග්ගිය කුමාරවරු පෙර සංසාර ගත ජීවිතය තුළ වරින්වර ආත්ම භාව වල එකට උපත ලබා සමගි සම්පන්නව ඉඳ, දහමට අවනත වීමද සිදුකරනු ලැබ ඇති බව තුනදිල ජාතක කතාවෙන් හෙළිවේ. ඉන් පෙනෙන්නේ සත්ත්වයා භවයෙන් භවය සැරිසැරීමේ කිසියම් විධිමත් පිළිවෙළ රටාවකට අනුව එය සිදුවන බවයි. කෙනකු කිසියම් තැනක උපත ලබන්නේ අහම්බයක් නිසා නොව ඔහු සංසාරයේ ගමන්කරන පිළිවෙළ රටාව එය වන හෙයිනි. කෙනෙකුගේ සංසාර ගත ජීවිතයේ ක්‍රමානුකූල සැකැස්ම සකස් කරදෙනු ලබන්නේ කවුද? එහි නිර්මාපකයා කවුද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන යාමේදී බෞද්ධ සූත්‍ර ධර්මවලින් කරුණූ කාරණා පැහැදිලි කරගත හැකිය. චුල්ලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සත්ත්වයා ඒ ඒ භවවල උපත ලැබීම, උපතෙන් පසු ලබන සැප සම්පත් නොලබන දේ පිළිබඳවත් කරුණූ දක්වමින් පැහැදිලි කරනු ලබන්නේ කර්මය විසින් සත්ත්වයාගේ උපත, ගති ස්වභාවය සියල්ල තීරණය කරනු ලබන බවයි. ඉගෙනුම් අත්දැකීම් හෙවත් උට්ඨාන වීර්යය මගින් මෙම ශක්ති විශේෂය වඩාත් තීව්‍ර කරගැනීමට හැකිය. භද්ද වග්ගිය කුමාරවරු බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීම දක්වා පැමිණි කාරණාව අහම්බයක් ලෙස පෙනුනද,එය එබන්ඳක් බවට පත් නොවන්නේ එම නිසාය.

සටහන : හේමමාලා රන්දුනු