Print this Article


සිරි දළදා වහන්සේ උදෙසා සිදුකරන දළදා තේවාව

සිරි දළදා වහන්සේ උදෙසා සිදුකරන දළදා තේවාව

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුරවරයේ ඓතිහාසික ශ්‍රී දළදා මන්දිරය තුළ වැඩ වසන සේක. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සුවාසුදහසක් නිර්මල සද්ධර්මයෙහි පහස ලැබුවා වූ උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සැදැහැති බෞද්ධ ජනතාව ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකති. සමස්ත ලෝකවාසීන්ටම ආශිර්වාදයක් ද වෙමින්, දිනපතා දෙස් විදෙස් බොහෝ සැදැහැවතුන්ගේ මෙන්ම සංචාරකයින්ගේ විශේෂිත ගෞරව ප්‍රණාමයට හා පූජෝපහාරයට බඳුන් වෙමින් එසේ වැඩ වාසය කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ය. මහනුවර දළදා මන්දිරයෙහි “සඳුන්කූඩම” නමින් හඳුන්වන කුටිය තුළ ජපානයෙන් පරිත්‍යාග කරන ලද විශේෂිත වීදුරු ආවරණයක, රිදියෙන් නිමවා රන් ආලේපිත වටිනා මිණිමුතුයෙන් අලංකෘත විශාල කරඬුවක් තුළ දළදා වහන්සේ වැඩ සිටිති. මෙම මහා කරඬුව ඇතුළත තවත් කරඬු හයකි. හත්වැනි කරඬුවේ ශ්‍රී දළදා වහන්සේ වැඩ වසන සේක.

හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලද තැන් පටන් දළදා වහන්සේ උදෙසා වත් පිළිවෙත් රාශියක් පවත්වා ගෙන ආ බවට ඉතිහාසය විසින් සාක්ෂ්‍ය සපය යි. එම වත්පිළිවෙත් “තේවාව“ නමින් හඳුන්වනු ලබයි. මෙම තේවාව භාරව කටයුතු කිරීමේ වගකීම පැවරී ඇත්තේ මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා දෙනම ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේටය. ඒ අනුව එක් වර්ෂයක් මල්වතු මහා විහාරයේ භික්‍ෂූන් වහන්සේ ද ඊළඟ වර්ෂය අස්ගිරි මහා විහාරයේ භික්‍ෂූන් වහන්සේද වශයෙන් මාරුවෙන් මාරුවට තේවාව භාරව කටයුතු කරති. ඇසළ මාසයේ පුර පසළොස්වක පෝය දිනයේ දී එනම් වස් කාලය ආරම්භයේ දී මල්වතු අස්ගිරි විහාර දෙකෙහි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා හා ගිහි භාරකාර දියවඩන නිලමෙතුමාගේ ප්‍රධානත්වයෙන් එම තේවා මුරය භාරදීම සිදු කෙරෙයි. තේවාකාරක භික්‍ෂූන් වහන්සේලා දළදා මාලිගාව තුළ වස් වැසිය යුතුය. දියවඩන නිලමෙතුමා දැහැත් වට්ටියක් පිළිගන්වා භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කර සිටියි. තේවා භාර ස්වාමීන්වහන්සේලාට ද විශේෂ සුදුසුකම් මත ඒ ඒ ස්ථානවල තේවා භාරකාරත්වය හිමිවෙයි. ශ්‍රී දළදා වහන්සේ උදෙසා දිනපතා තේවා කටයුතු ඉටු කිරීමේ භාග්‍යය ලැබීම භික්‍ෂු ජීවිතයේ වාසනාවන්ත පින්බර අවස්ථාවක් ලෙස සැලකේ. එම තේවාවට වැඩම කරවන භික්‍ෂූන් වහන්සේලා බඳ පටියක් බැඳීම සම්ප්‍රදායකි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේ දී අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ බුදු රදුන් උදෙසා ඉටු කළාවූ සියලු බුද්ධ උපස්ථාන එලෙසම දළදා තේවාව භාර භික්‍ෂූන් වහන්සේලා ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව දළදා සමිඳුන් උදෙසා ඉටු කරති. මෙම තේවාව භාර භික්‍ෂූන් වහන්සේලාට දියවඩන නිලමේතුමා ඇතුළු සේවක පිරිසක් ද ඉතා ගෞරවයෙන් යුතුව සහාය දක්වති. එම පිරිස අතර සිටින “කාරිය කරවන කෝරාළ, වට්ටෝරු රාළ, කත්තිය රාළලා දෙදෙනා, ගෙපරාළ, හක්ගෙඩි රාළ, දොරේ රාළ, පල්ලෙමාල රාළ, මුළුතැන් රාළලා දෙදෙනා යනාදී පිරිස මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කරති.

ශ්‍රී දළඳා වහන්සේ උදෙසා දිනපතා තුන්වරක් තේවාව පැවැත්වේ.

1. අලුයම තේවාව ( උදේ පූජාව )
2. නව පෑ තේවාව ( දවල් පූජාව )
3. හවස තේවාව ( ගිලන් පස පූජාව ) වශයෙනි.

අලුයම තේවාව

අලුයම තේවාව පෙරවරු 5. 30 - පෙරවරු 7. 00 දක්වා කාලය තුළ පැවැත්වේ. දවස ආරම්භ වන්නේ අලුයම තේවාවෙනි. පෙරවරු 5. 30ට පමණ තේවාව භාර භික්‍ෂූන් වහන්සේලා උඩුමාලයට වැඩමවා හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ පිළිවෙළින් රිදී දොර ද, රන් දොර ද විවෘත කොට දළදා වහන්සේ වැඩ සිටින සුවඳ කුටිය තුළට ( සඳුන් කුඩම ) ප්‍රවිෂ්ට වෙති. දොරවල් විවෘත කළ බව දැන ගැනීමට ගෙඩිය නාද වේ. පළමුව භික්‍ෂූන් වහන්සේලා ගෞරව සම්ප්‍රයුක්තව පත්කඩය එලා පසඟ පිහිටුවා වැඳ දළදා වහන්සේට නමස්කාර කරති. මෙම තේවාවට අදාළ චාරිත්‍ර රැසක් පවතී. ගන්ධ කුටියේ පිරිසුදු කිරීම් කටයුතු සිදුකර, ජීවමාන බුදුරජාණන් වහන්සේ එම ගන්ධ කුටිය තුළ වැඩ සිටිනවා යන අප්‍රමාණ ගෞරවයෙන් එම චාරිත්‍ර ඉටු කෙරේ.

රන්මිට සහිත දැහැටි කූරෙන්, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පුදා, පැන් කෙණ්ඩියෙන් තුන්වතාවක් පැන් කාලංසියට (පඩික්කම) වත්කර ශ්‍රී මුඛය දෙවූ ආකාරය සංකේතවත් කරයි. මුව පින්නාවෙන් තෙත මාත්තුව ඉහළ සිට පහළට තුන්වරක් සිදු කරයි. නැවත පා දෝවනය සංකේතවත් කරමින් කාලංසියට ජලය වත්කරයි. ආසන පූජාව සිදුකොට අවානෙන් ( වටාපත ) පවන් සැලීම, රන්මිණිගෙඩි නාද කිරීම, කපුරු හා පහන් පූජාව, සඳුන් පැන් ඉස පිච්චමල් පූජාව සිදුකරනු ලැබේ. මල් පූජාවෙන් අනතුරුව ඝණ්ටාව නාද කරයි. මේ අතර මුළුතැන්ගෙයි සිට “ හේමකද” රැගෙන එයි. හේමකද, ආහාර රැගෙන එන බව හඟවන සංකේතයකි. මෙය අතීතයේ දී රනින් නිමවා තිබෙන්නට ඇත. එම නිසා මේ නම ව්‍යවහාර කරන්නට ඇත. දළදා පූජාව සඳහා ගෙනෙන පූජාවන් අතින් ගෙන එන අතර හේවිසි නාද රටාව වෙනස් කරමින් වාදනය කරයි. අනතුරුව සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා දොර විවෘත කර පැය භාගයට පමණ පසු නැවත දොරවල් වසන අතර, ගන්ධ කුටියේ තිරය ආවර්ණය කොට හීල්දානය පූජා කෙරේ. විනාඩි 10 ක් 15 ක් පමණ වේලාවක් ගතවූ පසු සියලු පූජාවන් තැබූ භාජන බැහැගන්වා දොරවල් නැවත විවෘත කිරීම සිදු කෙරේ. දොර වැසීමට පෙර භික්‍ෂූන් වහන්සේලා ගඳකිළිය තුළ සිට ද, වට්ටෝරු රාළ රිදී පඩිය අසල සිට ද, මුලාදෑනිවරු මෙහා සිට ද වන්දනාමාන කරති. තේවාවේ කටයුතු අවසානයේ දොරවල් වසා යතුරු පයිණ්ඩ කිරීම ( දොර හැරීම / වැසීම / යතුරු ගෙනයාමට ) සිදු කරයි. මෙසේ අලුයම තේවා කටයුතු සිදු කිරීමෙන් පසු වට්ටෝරුරාළල, ගෙපරාළ, කත්තියන රාළල, හක්ගෙඩි රාළ මුළුතැන් දක්වති.

නව පෑ තේවාව

දවල් ආහාර පූජාව නව පෑ තේවාව ලෙස හැඳින්වේ. මෙම තේවාව පෙරවරු 9. 30 - පෙරවරු 11. 00 අතර කාලය තුළ සිදුකරනු ලැබේ. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගාවේ දොරවල් විවෘත කිරීමෙන් පසු හේවිසි ශබ්ද පූජාව සමඟ හේමකද පයින්ඩ කරයි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහත් ගෞරවයෙන් වන්දනාකර මල් ආසනයෙහි මල් අතුරා පූජා කරති. මෙම දළදා චාරිත්‍ර වාරිත්‍ර විධි පැරැණි රජ දවස ආරම්භ වූ ඒවා වේ. එකල රජ මැදුරේ මුල්තැන් ගෙයි පිළියෙල කරන ලද රාජ භෝජනයෙහි අග්‍ර කොටස මුල්තැන් බුද්ධ පූජාව නමින් රන් කදක තැන්පත් කරවාගෙන රජතුමා විසින්ම ශ්‍රී දළදා වහන්සේට පූජා කළ බව කියැවේ.

දවල් දානය හාල් සේරු 32ක බත් සහ එළවළු වර්ග 32කින් ද, කැවිලි වර්ග වලින් ද අදත් එම පූජාව පිළියෙල කෙරේ. පිළියෙල කරන ලද දාන පාත්‍ර ගෙපරාළ විසින් දානකරුවන් මගින් වට්ටෝරු රාළට භාර දෙයි. ඒවා තේවාව භාර භික්‍ෂූන් වහන්සේලාට පිළිගැන් වූ පසු උන් වහන්සේලා ඉමහත් ගෞරවයෙන් හා ශ්‍රද්ධාවෙන් ක්‍රමානුකූලව බුද්ධ පූජා ආසන මත තැම්පත් කර ගාථා සජ්ඣායනා කර පූජා කරති. එසේ එම දානය පිළිගන්වා පැරැණි සිරිත් අනුගමනය කර අවසානයේ නැවත මල් පූජාව සිදු කෙරේ. ඉන්පසුව පෙරවරු 11 දක්වා සැදැහැවතුන්ගේ වන්දනාවට පහසුකම් සැපයේ. දන්ත ධාතුන් වහන්සේ අබියස පිච්චමල් පූජාකර වන්දනාමාන කරන සැදැහැවත්හු ජීවමාන බුදුරදුන් දුටුවා සේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වෙති. ඔවුන්ට ගන්ධ කුටියෙන් බැහැර වීමට පිය එසවෙන්නේ ද නැත. වන්දනාමාන කිරීමෙන් අනතුරුව දොරවල් වසා සුවඳ දුම් අල්ලා, ගන්ධ කුටියේ දොරද වසා, දොරවල් වැසී ඇත්දැයි පරීක්‍ෂාකර, තේවා භාර භික්‍ෂූන් වහන්සේ හා සේවක පිරිස ඇත්දත් වාහල්කඩට පැමිණේ. පල්ලේ මාලයේ යතුරු එතැනට පයිංඩ කර වට්ටෝරුරාළ සමඟ සියලු යතුරු පයිංඩ කරගෙන තේවාභාර භික්‍ෂූන් වහන්සේලා පන්සලට වැඩම කරති. මෙයින් දවල් තේවාව නිමාවට පත්වෙයි.

හවස තේවාව

සවස ගිලන්පස පූජාව සැන්දෑ තේවාව නම් වෙයි. මෙය පස්වරු 6. 30 – පස්වරු 8. 00 දක්වා කාලය තුළ පැවැත්වේ. මෙහිදී ද අලුයම තේවාවේ පරිදිම සියලු චාරිත්‍ර සිදු කරනු ලබයි. පස්වරු 6. 15 ට හේවිසි වාදනය ඇරඹෙන අතර, පස්වරු 6. 30ට පමණ දොරවල් විවෘත කෙරේ. අනතුරුව පිරිසුදු කිරීම් ආදී වතාවත් ඉටු කරති. පරමල් ඉවත් කරයි. අලුත් මල් පූජා කෙරෙයි. සැදැහැවතුන් සඳහා දොරවල් විවෘත කෙරෙයි. හේමකද රැගෙන එයි. පළමු ගිලන්පස පූජාව ආරම්භ වෙයි. පළමුව පැන් පූජාව සිදු කරයි. ගෙපරාළ ලබාදෙන එක එක ගිලන් පස භාජන සැදැහැවතුන් මගින් තේවාකාරක භික්‍ෂූන් වහන්සේලා වෙත පමුණුවයි. මෙම පළමු ගිලන්පස පූජාවට පැණි වර්ගත් පලතුරු යුෂ වර්ගත් ගැනේ. මේ පාන වර්ග “අෂ්ටවිධ පාන” නමින් හැඳින්වේ. මෙම ගිලන්පස පූජාවන් භාරගත් පින්වතුන්ද සිටී. පස්වරු 7. 10ට පමණ පළමු ගිලන්පස පූජාව අස් කරනු ලබයි.

පස්වරු 7. 30ට පමණ දෙවන ගිලන්පස පූජාව පැවැත්වේ. මේ තේවා කටයුතු අවසන් වී දොරවල් වැසූ පසු කිසිවෙකුට නැවත දොරවල් විවෘත නොකිරීම චිරාගත සම්ප්‍රදායයි. දිනක් තේවාව අවසන් වී දොරවල් වැසූ පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළඳා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ ඇත. තේවාභාර භික්‍ෂූන් වහන්සේලා රජතුමාගේ අණ නිසාවත් නැවත දොරවල් විවෘත කර නොමැත. මේ නිසා රජතුමාගේ විශේෂ ඉල්ලීමක් අනුව දෙවන ගිලන්පස පූජාව පැවැත්වීමේ සම්ප්‍රදාය ආරම්භ වූ බව ජනප්‍රවාදයේ පවතී. මෙම නියමය පරිදි එම චාරිත්‍රය අඛණ්ඩව අද දක්වා ම පැවත ගෙන එයි. දෙවන ගිලන්පස පූජාව අවසානයෙහි සැදැහැවතුන් වන්දනාමාන කළ පසු සියලු පූජාවන් බැහැගන්වා, සුවඳ දුම් අල්ලා රාත්‍රී 8. 00 ට පමණ දොරවල් වසා, රිදී දොර අබියස මුරායුධ තබා යතුරු පයිණ්ඩ කිරීම සිදු කෙරේ. ඉන්පසු සැඳෑ තේවාවේ කටයුතු ද නිමාවට පත්වේ. මේ ආකාරයෙන් දන්ත ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකාගෙන කරනු ලබන උතුම් පුද පූජා සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට ලක්වී ඇත.