Print this Article


ආසිවිසෝපම සූත්‍රය

ආසිවිසෝපම සූත්‍රය

පහුර බඳීන්නාට සිල් නමැති පාදයන්ගේ හා ශ්‍රද්ධාව නමැති හස්තයන්ගේද සම්පූර්ණත්වයක් තිබීම අවශ්‍යය. දුස්සීල වු ශ්‍රද්ධා රහිත ශාසනයෙහි නොපිහිටි ප්‍රතිපත්ති ගරුක නොවූ අයට අරි අටඟි මග නම් පහුර බැඳීය නොහැකිය. සිල්වත් මෙන්ම ශ්‍රද්ධාවන්ත වුවද ඔහු කුසීත හීනවීර්ය ඇත්තෙක් නම් මෙම බැඳීම හෝ එගොඩවීම කළ නොහැක්කේමය

ආසිවිසෝපම සූත්‍රය සං නිකායෙහි වේදනා සංයුත්තයට අයත් දේශනාවකි. ලක්දිව ධර්මප්‍රචාරයේදී මිහිඳු මා හිමියන් විසින් දේශිත සූත්‍ර අතර ප්‍රධාන දේශනාවකි. එක එල්ලේම නිවන අරමුණු කරගත් බුද්ධදේශනා අතර මෙම දේශනාව ප්‍රමුඛ වේ.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන බුදුරදුන් මහාසංඝරත්නය අමතා මෙසේ දේශනා කළහ. බොහෝ කල්ජීවත්වනු කැමැති මරණයට අකැමැති පුරෂයෙක් සිටී. රජු, ඔහු අමතා කාර්ය භාරයක් පනවයි. එනම් විස සහිත සර්පයන් සිව්දෙනෙකුදී ඔවුනගේ අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකරන ලෙසයි. එක් සර්පයෙකුට නින්ද අවශ්‍ය විට තවෙකෙකුට කෑම අවශ්‍යවේ.මෙහි යම් හෝ අඩුවක් ඇතිවුවහොත් ඔවුන් දෂ්ට කරති. මෙයට බිය ඇතිකරගන්නා පුරුෂයා බියේ පලායති . දරුණු විෂ ඇති සර්පයන් සිව් දෙනාට හා රාජ නියෝගය කඩවීම නිසා වධකයන් පස්දෙනාම බියෙන් ඔහු නැවත නැවතත් පලායයි.

සර්පයන් සිව්දෙනාටත් වධකයන් පස්දෙනාටත් ඇතුළත හැසිරෙන ඔසවාගත් කඩු ඇති හයවන වධකයාටද බිය වී ඔහු පලා යයි. එසේ පලායන ඔහු හිස්ගමක් දකී.යම් ගෙයකට පිවිසෙන්නේ නම් කිසිවෙක් නැති ගෙයකටම පිවිසෙන්නේය. හිස් ශූන්‍ය ගෙයකටම පිවිසෙන්නේය.

මෙම පුරුෂයා අමතා කියන්නේ ගම් පහරන හොරු එන බවත් වහා මෙතනින් පලායන ලෙසය. මෙසේ පෙර සඳහන් කරන ලද සියලු සතුරු බලවේගයන්ට බයේ දුවන පුරුෂයාට මහත් ජලාශයක් හමුවේ. පුරුෂයා මෙසේ කල්පනා කරයි.මෙතෙර සැක සහිතය. බියජනකය, එහෙත් එතෙර උවදුරු නැත. එසේ නමුත් එගොඩවීම සඳහා පාරුවක් නැත. මෙසේ සිතන පුරුෂයාට මෙබඳු කල්පනාවක් වේ. මෙතෙර උවදුරු ඇති බැවින් දර දඬු දෑ එකතු කර පහුරක් බැඳ එය ආධාරකයක් කොට අතින් පයින් වෙර දරා සුවසේ පරතෙරට යමි. මෙසේ වෑයමින් සුවසේ නිවන් නමැති ගොඩ බිමට පිවිසේ.

මෙම සුත්‍රදේශනාවේ විසකුරු සර්පයන් ලෙස උපමා කොට දක්වනුයේ පඨවි, ආපෝ, තේජෝ, වායො යන සතර මහා භූ®තයන්ය. එකක් උපස්ථානයට ලක්වන විට එය අනෙකට අයහපත පිණිස පවතී.මෙ සතරම ඒකාකාර නොවේ.මේ නිසාම බොහෝ උවදුරු වලට භාජනයවේ.සත්ව ශරීර නිර්මාණය වී ඇත්තේ මේ සතරේ සුසංයෝගයෙනි.

සතුරු වූ පස් වධකයෝ නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාන,යන පඤ්චස්කන්ධයෝය. භවයෙන් භවය සසර පුද්ගලයා ගමන් කරන්නේ මේ පස්වධකයො නිසාවෙනි. මෙම චිත්තපරම්පරාව යම් විටක නවතින්නේ නම් රූපය ඇති නොවේ. රූපය ඇත නොවන විට ඒ තුළින් ඇතිවන බොහෝ දුක්ගැහැට ඇති නොවේ. ඇතුළත හැසිරෙන ඔසවාගත් කඩු ඇති හයවන වධකයා යනු නන්දිරාගයට නමකි. තමා තුළ ඇතිවන අයහපත් චේතනා හෙවත් කෙලෙස් නිසා තමාම විනාශවන අයුරු මෙයින් පැහැදිලි වේ.

ඇස, කන, නාසය දිව ශරීරය , මනස යන මෙම ආයතන තුළින් දැනුම ලබන පිරිස් යථාවත් දේ යථාවත්ව දකින්නේ නම් සත්‍ය යනු එයයි. නුවණැතියන් තම ඉන්ද්‍රිය තුළින් විමංසනශීලිව සියල්ල සොයා බලන්නේ නම් සමස්තයා තුළ ගත හැකි සදා කල් පවතින කිසිවක් නැති බව හා හිස් හෙවත් ශූන්‍ය බව වහා වැටහේ. මෙහිදී ගම් පහරන සොරු ලෙස බාහිර ආයතන හය හඳුන්වනුයේද සහේතුකවය. ඒ මන්ද? යත් අනිටු අයහපත් රූපයන් සම¼ග ගැටේ. කන අයහපත් අර්ථවත් නොවන ශබ්ද සමඟ ගැටේ දිව ශරීරයද එසේමය. මාළුවා ඇමගිල නැසෙන්නාසේ දැඩිව ග්‍රහණය සසර බැඳීමට හේතුවී මහා දුක්ඛයන්ට භාජනය වේ.

මහා ජලාශය යනු කාමය පිළිබඳවත් භවය මිථ්‍යාදෘෂ්ටිය හා නොදැනීම පිළිබඳ පුද්ගලයා යුක්ත වීමය. දැඩිලෙස මෙම චතුරෝඝ යෙන් යුතුවීම සූත්‍රය මහාජලශයකට උපමා කරමින් ඉන් එතෙරවී මේ ගුණයන් දේශනා කරයි. සැකයෙන් හා බියෙන් යුතු මෙතෙර යනු සක්කාය හෙවත් වැරැදි දැක්මට නමකි. සම්මුතිකව හදා ගන්නා මමය, මගේය යන සංකල්ප පරමාර්ථ ලෙස ගනිමින් කටයුතුකිරීම සක්කාය වන අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු මගද මෙයයි. එය සම්මා දිට්ඨියයි . නිවනට යන ගමනේදී නැතිවන පළමු සංයෝජනයද සක්කාය දිට්ඨියයි.

වදුරු රහිත පරතෙරය යනු නිවනට නමකි. පහුර යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දහම තුළ මධ්‍යම ප්‍රතිපදාව ලෙසද විස්තර වන උතුම් මාර්ගයද මෙයයි. අන්තගාමීත්වය නුසුදුසු අනාර්ය අර්ථයක් නැති ක්‍රියාවක් බවට ප්‍රථම ධර්ම දේශනයේදි පවා බුදුරදුන් දේශනා කළහ.

සසරින් එගොඩ වීමට ප්‍රාර්ථනාව පමණක් සුදුසුකමක් ලෙස නොසැලකේ. වීර්ය අත්‍යවශ්‍යය හීන වීර්ය ඇත්තෙකුට මේ මඟ යා නොහැකිවේ. පහුර නමැති ධර්මය තිබූ පමණින්ම එගොඩ විය නොහැකිය.ඒ සඳහා අනෙක් සාධක සම්පූර්ණ වීම වැදගත්ය. මහලු වූ පසු වීර්ය හීනවීමෙන් අනතුරුව අෂ්ටාංගික මාර්ගය නමැති පහුර බැඳීය නොහැකිය. එසේම ශරීරය මනාව නොපිහිටා ශාරීරික ආබාධ සහිත වූවන්ට මෙය කළ නොහැකිය. එහෙයින් සසර කරන ලද පුඤ්ඤ ශක්තීන් තුළින් ජනිත වු භව සමුදය අවශ්‍යය.

මෙම පහුර බඳීන්නාට සිල් නමැති පාදයන්ගේ හා ශ්‍රද්ධාව නමැති හස්තයන්ගේද සම්පූර්ණත්වයක් තිබීම අවශ්‍යය. දුස්සීල වු ශ්‍රද්ධා රහිත ශාසනයෙහි නොපිහිටි ප්‍රතිපත්ති ගරුක නොවූ අයට අරි අටඟි මග නම් පහුර බැඳීය නොහැකිය. සිල්වත් මෙන්ම ශ්‍රද්ධාවන්ත වුවද ඔහු කුසීත හීනවීර්ය ඇත්තෙක් නම් මෙම බැඳීම හෝ එගොඩවීම කළ නෙැහැක්කේමය. මෙහි දක්වනු ලබන අතින් පයින් වෑයම් කරනවා ලෙස විස්තර වන්නේ වීර්ය තිබීමය. පටන් ගත් විර්ය නැත්නම් ගමන වෙහෙස බැවින් අතරමග නැවැත්වීමට පුළුවන. කෙලෙස් සයුර තරණය කිරීම නොනවත්වාම සිදුවිය යුත්තකි. ඒ සඳහා බොජ්ඣංග ධර්ම,සම්‍යක් ප්‍රධාන වීර්ය සතර සතිපට්ඨානය,පඤ්චබල පංච ඉන්ද්‍රිය ආදි බෝධිපාක්‍ෂික ධර්ම තුළින් සන්නද්ධ වීම අත්‍යවශ්‍යය. එසේ නොමැතිව ආර්ය මාර්ගයේ පරතෙට පත්වීම පහසු නොවේ. යායුතු මාර්ගය නිසිලෙස හඳුනාගනිමින් ඊට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ වීමෙන් යුතුව භවය නමැති ජලාශය තරණය කරන්නා, සෝවාන් , සකෘදාගාමී,අනාගාමි ආදි පිළිවෙළින් දූපත් පසුකර නිවන් නමැති ඉවුර ට ළගාවෙයි. එහිදි සක්කායදිට්ඨි විචිකිච්ඡා , සීලබ්බතපරාමාස යන මුල් සංයොජන 03 ප්‍රහීණ වූ පසු සෝවාන් නමැති දූපතත් කාමරාග, ව්‍යාපාද දෙක ප්‍රහීණ වීමෙන් සකෘදාගාමී නම් දූපතත් රූපරාග, අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන ඉතිරි සංයෝජන 05 ක්‍ෂය වීමෙන් අනාගාමි නම් දූපත පසුකර අරහත් නම් ගොඩබිමට ලඟාවෙයි. මෙසේ උද්ධම්භාගීය සහ ඕරම්භාගීය යන සංයෝජන ක්‍ෂය වීමෙන් භව දුක කෙළවර තෘෂ්ණාව නැති මිදීමට පත්වේ.

එගොඩ මෙගොඩ මෙන් එකිනෙක සතුරු කරදරවලට පත්ව මහා දුක්ඛයන්ට පත්වන තැනක් නොවේ. එය පිදීමෙන් තොරව ලබන පරම සැපයකි. උපත නිසා මිනිසෙකුට ලැබෙන කිසිදු අයහපත් ඵලයක් එහි ඇත්තේ නැත. මෙම බුද්ධ දේශනාව අවසානයෙහි සංයුත්ත නිකාය අට්ඨකතාවට අනුව පන්සියයක් භික්‍ෂූන් රහත් වන්නේද සුත්‍රය තුළ ඉගැන්වෙන ඍජු ධර්ම මාර්ගය නිසාමය.