Print this Article


පුනරුප්පත්ති ලිපි මාලාව - 26

අරහත් මහා කස්සප චරිතාපදානය

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ශ්‍රාවක අපදානයන්හි ඇතුළත් මහා මොග්ගල්ලාන අපදානයෙහි එන පෙර ජන්මයන්හි උන්වහන්සේ කළ කර්ම හා ඒවා මතු ආත්මයන් සඳහා බලපෑ ආකාරය යි. අද අප විමසා බලන්නේ මහා කස්සප ආපදානය යි.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනෙහි විසූ ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශාසන භාරකාරත්වය හිමි වන්නේ ද උන්වහන්සේට ය. පළමු ධර්ම සංගායනාවේ මූලිකත්වය ගන්නේ ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ය. එපමණක් නොව උන්වහන්සේ ගෞතම සම්බුදු සසුනෙහි “ධූතංගධාරී” භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට ද පත් වූහ. මේ උන්වහන්සේගේ ස්වයං කථික චරිතාපදානයයි.

අටලෝ දහමෙහි නොසැළෙන ගති ඇති ලෝක ජ්‍යෙෂ්ඨ වූ ‘පදුමුත්තර’ සම්බුදුරජාණන් වහන්සේගේ සසුන ලොව පැවැති සමයේ උන්වහන්සේ පිරිනිවන්පෑ කල්හි, දෙවියන් හා මනුෂ්‍යයන් විසින් උන්වහන්සේට විවිධ පූජා පවත්වන ලදී. ඔද වැඩි සිත් ඇති ජන සමූහයා අතිශයින් ප්‍රමුදිතව පූජා පවත්වන කල්හි මට පී‍්‍රතියක් ඇති විය.

මාගේ නෑ මිතුරන් කැඳවා ‘ලෝක ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑහ. අපි උන්වහන්සේට ඒකාන්තයෙන් පූජාවක් කරමු යැයි යෝජනා කළෙමු” ඔවුහු එය මැනැවැයි පිළිගෙන, “අපි ඒ ලෝක නාථ වූ බුදුරජාණන් වහන්සේ විෂයෙහි මහත් වූ පින් රැස්කරන්නෙමු” යි මාගේ සතුට වර්ධනය වදාළහ.

රියන් සියයක් උස් වූ මනාව නිමවන ලද අගෑවක් කොට රියන් 150 ක් පළල වූ විමානයක් කළෙමි. එහි තල්ගස් පෙළින් විසිතුරු වූ ප්‍රාසාදායක් කොට මගේ සිත පහදවා උතුම් චෛත්‍ය පිදුවෙමි. ඇවිලගත් ගිනිකන්දක් මෙන්ද පිපනා වූ සල් රුකක් මෙන්ද අහසෙහි බඳිනා ලද ඉන්ද්‍රධච්ඡය මෙන් ද ඒ ස්තූපය සිව්දිග බබුළුවයි.

මම එහි සිත පහදවා බොහෝ කුසල්කොට පෙර කරනලද කුසලකර්මය සිහි කොට,තව්තිසා දෙව්ලොව උප්පත්තිය ලදිමි “ එහි මම අසුන් දහසක් යෙදූ දිව්‍ය යානයට නැගුණෙමි. ඉතා උස් වූ මාගේ විමානය මහල් හතකින් යුක්ත වූයේ උඩට නැගුණේ විය. තනි රනින් කරන ලද කූටාගාරයෝ (කුඩා ප්‍රමාණයේ කුටි) දහස් ගණනක් එහි විය. ඒවා ස්වකීය දීප්තියෙන් සියලු දිසාවන් බබුළුවමින් දිලිසෙත්.

පද්මරාග මාණික්‍යයෙන්ම නිමා වූ වෙනත් විමන් ද එහි ඇත. ඒවායෙන් විහිදුවන පැහැයෙන් සිව්දිගම බබුළුවත් මාගේ පුණ්‍යකර්ම බලයෙන් මැනවින් නිර්මිත වූ ස්වර්ණමය කුළු ගෙවල් හාත්පස මෙසේ බැබළිණි. ඒ සියලු කුළුගෙවල්වල ශෝභාව අධික විය.මම සියලු දෙවියන් ඉක්ම වීමට සමත් වුණෙමි.මේ මා කළ කුසල කර්මයේ බලයයි.

කල්ප සැට දහසක් මුළුල්ලෙහි ‘උබ්බිද්ධ නම් ක්‍ෂත්‍රියෙක්ව සව් මහ සයුර හා සිව් මහ දිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වුණෙමි. සතුරු රජුන් ජයගෙන නිර්භයව වාසය කළෙමි. එසේම මේ භද්‍ර කල්පයෙහි තිස්වරක් මහත් පල ඇත්තේ ස්වකීය පුණ්‍ය කර්මයන්ගේ ඇළුණු සක්විති රජෙක් වුණෙමි. එහි ද මට දිගින් සූවිසි රියන් වූ පළලින් දොළොස් රියන් වූ ඉන්ද්‍රඛීලයක් වැනි වූ භවනක් පැන නැංගේය. විශාල පවුරු හා තොරණ ඇති දිගින් යොදුන් පන් සියයක් වූ පළලින් ඉන් අඩක් වූ ද, තව්තිසා වැසියන්ගේ දිව්‍ය පුරය හා සමාන වූ ජන සමූහයාගෙන් ගැවසීගත් ‘රම්මක’ නම් නගරයක් විය.

යම් සේ ඉදිකටු ගුලාවෙහි ඉදිකටු විසිපහක් ලැබූ කල්හි ඒවා එකිනෙක ගැවසී, ගැටෙන්නේ යම් සේද එලෙස මාගේ මේ උතුම් රම්මක නගරය හස්ථී අශ්ව රථයන්ගෙන් පිරීගියේ මිනිසුන්ගෙන් හැම කල්හි ගැවසී ගත්තේ විය. එහි වාසය කරමින් සම්පත් අනුභව කරනුයේ ශරීරයේ අවසානයෙන් දෙව්ලොවට ගියේ මාගේ අන්තිම භවයෙහි ද කුසල සම්පත් ඇත්තේ විය.

ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි මහත් වූ සම්පත් ඇති බමුණු කුලයෙහි උපන්නෙමි. දෙමාපියන්ගේ ඇවෑමෙන් අසූකෙළක් වස්තුව හැරදමා ගෞතම බුදුසසුනෙහි පැවිදි වුණෙමි.

මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි. හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝද අෂ්ටවීමෝක්ෂයෝද ෂඩ්අහිඥාවෝද, සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකරන ලදිමි”