Print this Article


සාරවත් සංස්කෘතියක උරුමය

සාරවත් සංස්කෘතියක උරුමය

මෙම ලිපියෙහි මුල් කොටස ජුනි 23 වන දා පත්‍රයේ පළ විය.

මහා විහාරය නිසා ශ්‍රී ලංකාව ථෙරවාද බුදුදහමේ ප්‍රධාන දේශය බවට පත් විය. මහා විහාර පරිශ්‍රය, එහි උගැන්වීම සිදු කෙරුණු විෂය මාලාව හා එහි වැඩ විසූ ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේගේ අමිල මඟපෙන්වීම යන කරුණු දෙස බලන විට මහා විහාරය අගනා බෞද්ධ විශ්වවිද්‍යාලයක් වූ බව පෙනේ.

මෙබඳු උසස් ම ගණයේ විද්‍යාපීඨවලින් හෙබි රටක් බවට ශ්‍රී ලංකාව පත් වූයේ බුදුදහමේ උතුම් පණිවුඩය පොසොන් පුන් පෝ දින සිරිලක්දිව ස්ථාපිත වූ බැවිනි.

සමන්තපාසාදිකා විනය අටුවාවේ දැක්වෙන පරිදි මිහිඳු මහරහතන් වහන්සේ වැඩ විසූ වකවානුවේ මහ අටුවාව, කුරුන්දි අටුවාව සහ පසුරු අටුවාව යනුවෙන් සිංහල අටුවා තුනක් නිර්මාණය වීමට තරම් බෞද්ධ අධ්‍යාපනය දියුණුවට පත් වූ බව අනාවරණය වෙයි. පසුකාලීනව ලියැවුණු පාලි අටුවා ග්‍රන්ථ සඳහා ද මෙකී සිංහල අටුවා පොත් මුල් වූ බව පෙනේ.

මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් සෞන්දර්යය රසාස්වාදයෙන් හෙබි කලා රසික පිරිසක් බවට ශ්‍රී ලාංකිකයෝ පත්වූහ. බුදුසමය සමඟම මෙරට විශිෂ්ට හරවත් නිර්මාණ කලාවක් බිහි වූයේ ද මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශකත්වයෙනි.

ඒ යටතේ මෙරට ගමක් ගමක් පාසා ඉදිවුණු විහාරස්ථාන ආශි‍්‍රතව ගොඩනැංවුණු චෛත්‍ය හා බුදුපිළිම විශිෂ්ට ගණයේ කලා නිර්මාණ වේ. බුදු පිළිම හා චෛත්‍ය මුල්කොට නිර්මිත සඳකඩ පහණ, තොරණ, මුරගල, ලියවැල්, බොරදම් හා චිත්‍ර කලාව හෙළ කලාකරුවාගේ කලා හැකියාවත් අවශේෂ හෙළ ජනයාගේ කලා ලැදියාවත් මැනැවින් පෙන්නුම් කරයි. එකී සුවිසෙස් කලා අංග අදීන නිර්මාණශීලී කලා කෘති වශයෙන් මෙරට ව්‍යාප්ත වීම සිදු විය. බුදුපිළිම කලාව හා චෛත්‍ය නිර්මාණ කලාව භාරතයෙන් මෙරටට දායාද වුවද භාරතීය මුල් කෘතිවල නොමැති විශිෂ්ට ලක්‍ෂණ ද කලාත්මක බව ද හරවත් බව ද ලාංකේය කලා කෘතිවල දක්නට තිබේ.

අද ද ශේෂ වී ඇති බෞද්ධ නටබුන් ලෝක උරුම වශයෙන් අගය කෙරෙන්නේ මේ නිසා ය. මේ බෞද්ධ කලාවෙන් ජනිත වූ කලා රසිකත්වය ද සෞන්දර්යය ද සෑම බිම් අඟලක් ම පාසා ව්‍යාප්තව ගිය බවට නිදසුන් මෙරට විවිධ පළාත්වලින් හමුවන බෞද්ධ කලාකෘති අනුසාරයෙන්ම දැක්විය හැකිය.

බුදුදහමට අනුකූල වන ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ හැකි නිවැරැදි දැහැමි දිවි පැවැත්ම ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තයේ නියැළීම බව මිහිඳු බණවලින් ශ්‍රී ලාංකිකයෝ දැන ගත්හ. ඒ අනුව, රජරට අක්කර සිය දහස් ගණන් කුඹුරු යාය අස්වැද්දිනි. කුඹුරු නිසා වාරිකර්මාන්තය ද ඇරැඹි අතර නව කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් ද වාරි සංස්කෘතියක් ද මෙරට ස්ථාපිත විය. වැව, කුඹුරුයාය හා විහාරස්ථානය හෙළයාගේ පණනල හා සමාන විය. ශ්‍රී ලංකාව සංවර්ධනය විය යුත්තේ ගුණදහම් ප්‍රමුඛ කරගෙන බව මිහිඳු සංස්කෘතියෙන් අවධාරණය කෙරිණි. වැව, දාගැබ හා කෙත්යාය එහි අනගිතම සංකේත ත්‍රයයි. ලක්දිව සමාජය සංවර්ධනය කළේ පංචශීලය පදනම් කරගෙනය. පංචශීලය සුරැකීමෙන් ගුණ ගරුක සමාජයක් ස්ථාපිත වෙයි. ඒ සඳහා ගමක් පාසා කේන්ද්‍රීය මධ්‍යස්ථානය වශයෙන් පන්සල් ඉදිකෙරිණි.

අපේ රට සංවර්ධනය විය යුත්තේ බෞද්ධ උපදේශානුකූලවය. ඒ යටතේ රටේ ආර්ථිකය සංවර්ධනය කරගත යුත්තේ කෘෂිකර්මාන්තය හා කිරි ගව පාලනය මුල්කරගෙනය. ශ්‍රී ලංකාව සාරවත් පසක් සහිත රටක් වන නිසාත්, බුදුදහමට අනුව නිවැරැදි දිවි පැවැත්මට කෘෂිකර්මාන්තය අනුකූල වන නිසාත්, ගොවිතැන වඩාත් ක්‍රමානුකූලව නංවාලීම මිහිඳු සංස්කෘතිය අර්ථාන්විත කර ගැනීමකි.

ශ්‍රී ලංකාවට ඔබින එම ආර්ථික ක්‍රමය ඵලදායක කර ගැනීමට නම් එය ගුණදහම් ප්‍රමුඛව සිදු කළ යුත්තකි. ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයා බුදුදහමට ලැදි බොදු පිළිවෙත් මැනැවින් දන්නා හඳුනන, එය මනාසේ ආරක්‍ෂා කරන, මහා සඟරුවනට ලැදි බෞද්ධ උපාසකයකු වීම මෙරට නැංවීමේ නොවරදිනම මඟ වන බව ලංකා ඉතිහාසයෙන් ද තහවුරු වෙයි. එහි පෙරනිමිති පහළ වී තිබීම අර්හත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඉගැන්වීම ක්‍රියාවට නැංවීමයි.