Print this Article


උතුම් ම ලාභය නිරෝගීකම යි

උතුම් ම ලාභය නිරෝගීකම යි

බුදුරජාණන් වහන්සේ කුසගින්න වනාහි බරපතල ම රෝගය (ජිගච්ඡා පරමා රොගා) ලෙසින් ද, සෑම සත්ත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) පෙන්වා දී ඇත. ආහාර ගැනීම මෙන් ම ආහාර පාලනය බොහෝ රෝගවලට සමබරතාව ලෙස ද පෙන්වා දී ඇත. (ආයුවඩ්ඪන සූත්‍රය) පාලනයෙන් යුතුව ආහාර ගැනීමෙන් ශරීර සමබරතාව මෙන් ම ආයුෂ පාලනය ද සිදු වන බව පෙන්වා දී ඇත. එම නිසා ශරීරයට යෝග්‍ය ආහාර ගැනීමත්, අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමත්, නිරෝගි සම්පන්න ජීවිතයකට අවශ්‍ය අංගයකි. චර්යාවකි

මෙම විශ්වයේ අති විශිෂ්ටතම නිර්මාණය මිනිසා ය. උසස් මනසක් ඇති ජීවියා ද මිනිසා ය. ස්වභාව ධර්මය නැතිනම් ප්‍රකෘතිය වෙනස් කළ හැකි සත්ත්වයා ද මිනිසා ය. එබැවින් සෙසු ජීවීන් මෙන් නොව මිනිසාගෙන් ලෝකයට සිදුවිය යුතු සේවාව අතිමහත් ය. එම සේවාව නො පිරිහෙළා ඉටුකිරීමට මිනිසා නිරෝගිමත්ව ජීවත් විය යුතුය. මිනිසා නිරෝගි නො වූ විට ලෝකය ද නිරෝගි නොවනු ඇත. මිනිසාගේ නිරෝගිමත් භාවය යනු සමාජයේ නිරෝගිමත් භාවය යි.

දුරාතීතයේ සිට ම මිනිසා ව්‍යාධීන්ගෙන් තොරව ජීවත් වීමට උත්සාහ ගෙන ඇත. බොහෝ විට අතීත මිනිසා තම ජීවිතයට එළඹෙන එක් උවදුරක් ලෙසින් ලෙඩ රෝග සැලකූ අතර නොපෙනෙන බලවේග විසින් එය ඇති කරන ලද්දක් බව ද විශ්වාස කළ බව පෙනේ. යක්ෂ, භූත හා දේව සමූහයාගේ සෘජු මැදිහත් වීමෙන් ව්‍යාධීන් හටගන්නා ලදැයි සිතූ අතර එයින් මිදීමේ මාර්ගයක් ලෙස පුද පූජා පැවැත්වීම, යාතුකර්ම හා ශාන්තිකර්ම මගින් උවදුරු දුරලා නිරෝගිකම ලබා ගැනීමට උත්සාහ කළ බව පෙනේ.

මිනිසා වෙත පැමිණෙන ව්‍යාධීන්හි ස්වභාවය වටහා දීමට නොයෙක් ආගම් උත්සාහ ගත් අතර බුදු සමය වඩාත් තාර්කිකවත්, ප්‍රතිපත්තිමය සාධක පදනම් කොට ගෙන මිනිසාගේ කායික මානසික රෝග පැහැදිලිව හඳුනාගනිමින් එයට මූලික වූ කරුණු මෙන් ම, නිවාරණ ක්‍රමවේදයන් ද පෙන්වා දෙනු ලැබී ය. “ආරෝග්‍ය පරමා ලාභා” මිනිසාට ලැබෙන උතුම් ම ලාභය නිරෝගි බව යැයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. උන්වහන්සේ නිරෝගිකම නිරතුරුව රැක ගැනීම පිණිස මිනිසාගේ පැවැත්ම කෙසේ සකස් වියයුතු ද යන කාරණය සිය දේශනාවලින් ලෝකය වෙත පෙන්වා දුන්හ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම බුදුන් වහන්සේ නිරතුරුව ම අගය කළහ. සියලු ම මානව වර්ගයාගේ නිරෝගී තත්ත්වය වර්ධනය කර ලීමට හේතුවන පොදු ක්‍රමවේදයක් බුදුරදහු පෙන්වා දුන්හ. මානසික සෞඛ්‍යය සහ කායික සෞඛ්‍යය සමබරව පවත්වාගෙන යාමෙන් අපගේ පෞද්ගලික ජීවිතය හා සමාජ ජීවිතය ද සාර්ථක කරගත හැකිය.

අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේ දී මිනිසාට වැළඳෙන ප්‍රධාන රෝග දෙකක් ගැන සාකච්ඡා කොට ඇත. එනම් කායික රෝග සහ මානසික රෝග වශයෙනි. අප ශාරීරික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරනවා සේ ම මානසික සෞඛ්‍යය පිළිබඳවත් අවධානය යොමුකළ යුතු ය. මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය යන දෙක එකට බැඳී ඇත. ශාරීරිකව පිරිහුණු විට මානසිකව ද පිරිහේ.

මානසිකව ලෙඩ වූ විට ශාරීරිකව ද ලෙඩ වේ. එම නිසා නිරන්තරයෙන් ම නිරෝගීව ජීවත් වීමට උත්සාහ ගත යුතුය. බුදුරජාණන් වහන්සේ කුසගින්න වනාහි බරපතල ම රෝගය ( ජිගච්ඡා පරමා රොගා ) ලෙසින් ද, සෑම සත්ත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද ( සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා ) පෙන්වා දී ඇත. ආහාර ගැනීම මෙන් ම ආහාර පාලනය බොහෝ රෝගවලට සමබරතාව ලෙස ද පෙන්වා දී ඇත. ( ආයුවඩ්ඪන සූත්‍රය) පාලනයෙන් යුතුව ආහාර ගැනීමෙන් ශරීර සමබරතාව මෙන් ම ආයුෂ පාලනය ද සිදු වන බව පෙන්වා දී ඇත. එම නිසා ශරීරයට යෝග්‍ය ආහාර ගැනීමත්, අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමත්, නිරෝගි සම්පන්න ජීවිතයකට අවශ්‍ය අංගයකි. චර්යාවකි.

අධික ආහාර ගැනීමෙන් සිදුවන හිරිහැර පිළිබඳව සහ ආහාර පාලනයෙහි හෙවත් පමණ දැන බොජුන් ගැනීමෙහි අගය සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ සඳහන් වේ. පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ දුක් වේදනාව නැතිවේ. ආයුෂ වැඩිවේ.

භික්ෂූන් වහන්සේලාට අදාල ආචාර ධර්ම අනුව ආහාර ගැනීමේ පිළිවෙල සේඛියාවල අන්තර්ගත වේ. ආහාර ගනිමින් කතා කිරීම, මුඛයට ආහාර විසි කිරීම, ආහාර හක්කේ තබාගෙන වැළඳීම, අත ගසා දමමින් වැළඳීම, ශබ්ද නගමින්, අත ලෙවකමින්, තොල් ලෙවකමින් වැළඳීම වැනි ක්‍රියාවන් නොකළ යුතු යැයි පෙන්වා දී ඇත. පථ්‍ය, ගුණදායක ආහාර ගැනීම නිරෝගී බවට හේතුවන බවත් අපථ්‍ය ආහාර ගැනීම ලෙඩ රෝගවලට හේතුවන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

බුදුසමය නිරෝගිමත් ජීවිතය අගය කළ අතර ම රෝගියකු කෙරෙහි සමාජයේ සැමගේ අනුකම්පාව හා දයාව ලැබිය යුතුයැයි බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ. ( යො භික්‍ඛවේ මං උපට්ඨෙය්‍ය සො ගිලානං උපට්ඨෙය්‍ය) යමෙක් මට උපස්ථාන කරන්නේ ද හෙතෙමේ ගිලනුන්ට උපස්ථාන කළා වෙයි. සමාජයේ කිසිවකුගේ අනුකම්පාව නො ලැබූ “පූතිගත්තතිස්ස’ භික්ෂුවට බුදුරදහු සියතින් ම උපස්ථාන කරමින් සුවපත් කිරීමට උත්සාහ ගත්හ. මහා කස්සප ථෙර බොජ්ඣංග සහ මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග සූත්‍රවලින් පැහැදිලි වන ආකාරයට මහා කාශ්‍යප හා මහා මොග්ගල්ලාන වැනි මහ තෙරවරුන්ට රෝගාබාධ හටගත් අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානවලට වැඩ ම කොට සුව දුක් විචාල බව පෙනේ.

රෝහල් සංකල්පයට ද මූලික අඩිතාලම දමන ලද්දේ බුදුදහමයි. මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයට පෙර ඉන්දියාවේ බෞද්ධ රෝහල් තිබුණු බවට බොහෝ සාක්ෂි ඇත. ඊජිප්තුව වැනි ප්‍රදේශවල ඈත අතීතයේ පටන් වෛද්‍ය ක්‍රම පැවතිය ද, රෝහල් පැවැති බවට කිසිදු සාක්ෂියක් නැත. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ රෝගීන්ට උපස්ථාන කිරීමේ පහසුකම් සහිත, රෝගීන් රාශියකට සමූහ වශයෙන් නේවාසිකව සිටිය හැකි රෝහල් ක්‍රි. පූ. සිවුවෙනි සියවසේ පණ්ඩුකාභය රජ සමයේ දී දක්නට ලැබේ. නවවැනි සියවසේ දී ඉදිකරන ලද මිහින්තලේ රෝහල ලෝකයේ පැරණිම රෝහලක් බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි.

පොළොන්නරුව මැදිරිගිරියෙහි බෞද්ධ රෝහලක් පැවැති බවට ශිලා ලේඛන සාක්ෂි දරයි. ආලාහන පිරිවෙනෙහි රංකොත් වෙහෙර සමීපයෙහි ආශ්‍රමික රෝහලක් පැවැති බවට ද සාධක හමුවී ඇත. අතීතයේ දී ‘ බේත් හේත් දීමත්, වෙදහෙදකම් කිරීමත්, සියල්ලම සිදුකරනු ලැබුවේ වෛද්‍යවරයා විසින්ම ය. ඒ නිසාම අතීතයේ වෙද මහත්මයාට සමාජයේ ඉහළ පිළිගැනීමක් සහ ගෞරවයක් තිබුණි. ගිලනුන්ට උපස්ථාන කොට ගිලානෝපස්ථානයේ අගය ලොවට පෙන්වාදීම මගින් බුදුරජාණන් වහන්සේ නිරෝගීව ජීවත්වීමේ අගය සහ රෝගී ප්‍රතිකාරය හා උපස්ථානයේ හෘදයංගම බව ලෝකයට පෙන්වා දුන්හ. ගිලානෝපස්ථානය ශ්‍රේෂ්ඨ පුණ්‍යකර්මයක් ලෙස ප්‍රශංසාවට ලක්කළ බුදුරජාණන් වහන්සේ එයට ඉහළ සමාජ අගැයීමක් ලබාදුන්හ. මෙයින් පැහැදිලි වන්නේ සෞඛ්‍ය පහසුකම්, හෙද සේවය, රෝගී සත්කාරය යන වටිනාකම්වලට නියමු බලය සපයා ඇත්තේ බුදුදහම වන බවයි.

බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්තීන් පැනවීමේ දී ද ගිලනුන් නිදහස් කොට ඇත. මෙයින් පැහැදිලි වන්නේ සහනශීලිත්වය ලබාදීමෙන් නිරෝගී බව අපේක්ෂා කළ බව යි. ගිලනා සහ ගිලානොපස්ථායකයා අනුගමනය කළයුතු වත් සමූහයක් ද බුදුරදහු අනුදැන වදාළහ. රෝග නිවාරණයේ දී රෝග හටගැනීමට බලපාන පාරිසරික සාධක කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම ද බුදුරදහු පෙන්වා දෙති.

ඔබ අප ජීවත්වන පරිසරය නිසි පරිදි පිරිසුදුව තබා නොගතහොත් රෝගකාරකයන්ට මෙන්ම රෝග වාහකයන්ට සුදුසු භූමියක් වනු ඇත. එම නිසා ජීවත් වන පරිසරය පිරිසුදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. පරිසර සංරක්ෂණ මූල ධර්මය මත පිහිටා බුදුරදුන් පවත්වන ලද දේශනා එදාටත් වඩා අදට වැදගත් ය. සත්ත්වයා සහ ජලය අතර ඇති සම්බන්ධය දැඩිව අවධාරණය කර ඇත. ජලය යනු අප පරිසරය තුළ ඇති අගනා සම්පතකි. එය අපවිත්‍ර වූ විට ජන සමාජය ම රෝගී වීම වැළැක්විය නො හැකි ය.

නො හික්මුණු ඡබ්බග්ගිය භික්ෂූන් ජලයට කෙළ ගැසීම, මුත්‍රා කිරීම දැනගත් බුදුරදහු එය වැළැක්වීම සඳහා ශික්ෂා පදයක් ද පැනවූහ (න උදකේ අගිලානෝ උච්ඡාරංවා පස්සාවං වා ඛෙලං වා කරිස්සාමි” ති - සික්‍ඛා කරණීයාති ). බුදුරදුන් වදාළ දහම අනුව අනුගමනය කරන ඔබ සමස්ත පරිසරය ම පවිත්‍රව තබා ගැනීම ලෙඩ රෝගවලින් තොරව ජීවත්වීමට අවශ්‍ය ම සාධකයක් බව අමතක නො කළ යුතුය. ඩෙංගු, චිකුන්ගුන්යා, මැලේරියා වැනි මදුරුවන්ට දේශ සීමා නැත. එම නිසා තාප්පයෙන් වටවූ ඔබේ නිවස ගැන පමණක් නො සිතා තාප්පයෙන් එහාත් අපේ පරිසරය බව සිතන්න. ආත්මාර්ථකාමිත්වය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බාධාවකි. පරාර්ථකාමිත්වය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ආශිර්වාදයකි. ජල දූෂණය, පරිසර දූෂණය අවම කිරීමට හැමෝ ම මැදිහත්වීම වැදගත් වනුයේ එමගින් මුළු සමාජය ම රෝගී කරන නිසා ය.

බුදුරජාණන් වහන්සේ චුල්ලවග්ගයේ පෙන්වා දී ඇත්තේ කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි ආදිය වේලා දූවිලි ඉවත් කළ යුතු බවත්, දොර ජනෙල් ඇර තබන ආකාරයත්, වැසිකිළි, කැසිකිළි පිරිසුදුව තබාගන්නා ආකාරයත් ය. එමෙන් ම පාචිත්තිය පාලියේ පැහැදිලිව පෙන්වා දෙන්නේ වැසිකිළිය රෝග කාරක වර්ධනයට උපකාරී වන තැනක් බවත්, එය හොඳින් පවිත්‍රව තබා ගැනීම ඉතා වැදගත් බවත් ය. තැන තැන මළ මුත්‍ර කිරීම, කෙළ ගැසීම, තැන තැන දැහැටි දඬු දැමීම, කුණු කසල තැන තැන දැමීම නුසුදුසු බව බුදුරදුන් තවදුරටත් විනය පිටකයේ දී පෙන්වා දී ඇත. අත්‍ථස්සද්වාර ජාතක දේශනාවේ පුද්ගලයකුගේ දියුණුව සඳහා නිරෝගිකම ප්‍රමුඛ වන බව පෙන්වා දී ඇත.

ඉතිරි කොටස
ජුලි 7 වන දා පත්‍රයේ පළවේ.