Print this Article


දැහැමි දැයකට සදහම් අමාව

දැහැමි දැයකට සදහම් අමාව

මානව ඉතිහාසයේ විමුක්තියේ පණිවිඩය ලොවට හඳුන්වා දුන්නේ සම්බුදු දහමයි. ඒ අසහාය බුදුදහමේ නිජබිමවූයේ පුණ්‍යවන්ත භාරත දේශයයි. අප බුදුපියාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජී යන පස්වග මහණුන්ට ප්‍රථම දහම් දෙසුම පැවැත්වීමෙන් ඇරැඹුණු බුද්ධශාසනයේ ශ්‍රාවක පිරිස, ටික කලකින්ම ඉන්දියාව පුරා ව්‍යාප්ත වූහ.

පසුකාලීනව මෞර්ය මහා අධිරාජ්‍යයා වූ අසෝක රජු සමයේ බුදුදහම ආසියාකරය පුරා පැතිර ගියේ ය. අද, ලොව ප්‍රධානම දහමක් ලෙස බිලියන හයක පමණ ගිහි, පැවිදි පිරිසක් බුදුදහම වටා රොක් වී සිටිති. ථෙරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකිය.

අසෝක, දේවානම්පියතිස්ස සමයේ දී, ශ්‍රී ලංකාවට ලැබුණු උතුම්ම හා ශ්‍රේෂ්ඨතම දායාදය වන බුදුදහම සමස්ත ලෝක වාසින්ගේම පුණ්‍ය මහිමය නිසා අද දක්වාම මෙරට මැනැවින් සුරක්‍ෂිතව ඇත්තේ ය.

එදා අනුරපුරයේ මිස්සක පවුවෙහි සිට ගුවනට මුසුවුණු අරහත් මහින්ද හිමිගේ ඔවදන්, තෙදවත් කුලුණු බර වදන් ලක්දිවට සැනසුම උදා කර දුනි.

සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදිපා ඉධාගතා

මුවදඩයමේ ගිය දෙවනපෑතිස් රජුට මිහිඳු හිමියන් දේශනා කළේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ධර්මරාජයන් වහන්සේගේ පණිවුඩය රැගෙන ජම්බුද්වීපයේ සිට තමන් මෙහි පැමිණි වගයි. අරහත් මිහිඳු හිමි සමග සපැමිණි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහත් තෙරවරුන් හා සුමන සාමණේරයන් හා ගිහි උපාසක භණ්ඩුක මෙහි දූත පිරිසට ඇතුළත් වූහ.

අර්හත් මිහිඳු හිමි සහ දෙවනපෑතිස් රජු හමුව, සිරිලක් ඉතිහාසය වෙනස්කළ ඓතිහාසික සන්ධිස්ථානයකි. අධ්‍යාත්මික ගුණවගාවකින් යුතු දැහැමි සමාජයක් බිහි කිරීමේ ලක්දිව මහා විප්ලවය මෙසේ සිදුවිණ. ඒ අදවන් පොසොන් පුර පසළොස්වක පොහෝදිනකය.

අද මෙරට බොදු සාදැහැතියන් අනුබුදු අරහත් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරන්නේ උන්වහන්සේගේ සදහම් පණිවුඩය තුළින් ඈ ඉගෙනගත් කෙළෙහිගුණ සැලකීමේ ගුණයද ඉස්මතු කරගනිමින් ය. මහා මහින්ද හිමිගේ පා පහස ලද අනුරාධපුර, මිහින්තලා, පුදබිම ලක්‍ෂ සංඛ්‍යාත උවැසි උවැසියන්ගෙන් පිරී ඉතිරීගොස් ඇති මෙදින දාන, ශීල, භාවනා පින්කම් මුළු රටපුරාම පැවැත්වේ. රටම සිල් සුවඳින් සුගන්ධවත් වන්නේ බොදුනුවන්ගේ පමණක් නොව සෙසු ආගම් අදහන සියල්ලන්ගේ ද සිත් ප්‍රසාදයට පත් කරමිනි.

ශ්‍රී ලංකා වංසකතාවේ ඉතාමත් ප්‍රබල වෙනස සිදුවූයේ පොසොන් පොහොය දිනයෙදීය. අනුබුදු මහින්ද තෙරුන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමත් සමඟ, මෙරට අතිවිශාල සංස්කෘතික, ආර්ථික, සමාජමය විප්ලවයක් සිදුවිය. මිනිසුන්ගේ අධ්‍යාත්මය නැණ නුවණෙන් ප්‍රභාමත් විය. අහස සිඹින මහා දාගැබ් හා සයුරු පරයන මහා වැව් තැනුණි. කෘෂි ආර්ථික රටාව තුළින් රට ස්වයංපෝෂණයවූ අතර දේවානම්පියතිස්ස යුගයෙන් පසුවද මෙරට විදේශීය බලයන්ට එනම් පෘතුගීසී, ලන්දේසි, බ්‍රිතාන්‍ය පාලනයන්ට යටත්වන තෙක්ම, අප සිංහල නරපතිවරු ධර්මානුකූ®ලව රට පාලනය කළහ.

මහින්දාගමනයත් සමඟ හෙළයන් වශයෙන් මුළු ලොව ඉදිරියේ වර්ණනා කළ හැකි අති උතුම් කලා නිර්මාණ බිහිවිණ. ඒ බව, අනුරපුර, පොළොන්නරුව ඇතුළු ඓතිහාසික නගරවල දක්නට ලැබෙන විහාර දාගැබ් ඇතුළු නිර්මාණයන්ගෙන් සක්සුදක් සේ පැහැදිලි වේ.

ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ පණ්ඩිත් ශ්‍රී ජවහර්ලාල් නේරු, එරට සිරමැදිරියක සිරකොට තබන ලද අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ තමාගේ හිතවතකු මඟින් ලැබුණු සමාධි බුදුපිළිමයේ රූපයක් සිර කුටියේ තබාගෙන ඇත. එම ශාන්ත බුදුරුව දෙස බැලීමෙන් තමාගේ සිතට මෙන්ම ගතටත් ඉමහත් සුවයක් ලැබුණු බව ශ්‍රී නේරු අගමැතිවරයා තම චරිතාපදානයේ සඳහන් කොට ඇත.

පොසොන් දිනයේ අපට ලැබුණු බුදුදහමේ තවත් අතිවිශේෂ ප්‍රතිඵලයක් වූයේ අපගේ සම්භාවනීය පිරිවෙන් අධ්‍යාපනය බිහිවීම මහා විහාරය මුල්කරගෙන රට පුරා ව්‍යාප්ත විය. ඒ ඔස්සේ බිහි වූ පැවිදි සහ ගිහි පඬිවරුන්ගෙන් සසුනත් රටත් බැබළිණ.

මෙරට බෞද්ධ සාහිත්‍යයක් බිහිවුණි. ජාතක කතා පොත, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, බුත්සරණ, අමාවතුර සහ කව්සිළුමිණ වැනි ගද්‍ය හා පද්‍ය කෘති බිහිවිය.

පොසොන් පොහෝ දා අප ලද උතුම් දායාදය අපගේ ජීවිතවල ගුණ ධර්ම පෝෂණයට විශේෂයෙන්ම බලපෑවේ ය. අපගේ සිතුම් පැතුම් හා ආකල්ප විශාල පරිවර්තනයකට ලක්විය. වැව, දාගැබ, පන්සල යන ත්‍රිමුර්තිය අපට ප්‍රධාන විය. බුදුන්වහන්සේගේ ශාරීරික උද්දේසික හා පාරිභෝගික වශයෙන් වූ වූ ත්‍රිවිධ චෛත්‍ය වන්දනාවට අප යොමු වීම. බෝධි වන්දනා සංස්කෘතිය මෙහිලා ප්‍රධාන තැනක් ගන්නේ ය.

බුදුදහම ඔස්සේ අපට ජීවිත දර්ශනයක් දක්නට ලැබුණි. මේ හේතුව නිසා, පොසොන් පොහෝදා අප ලද මේ උතුම් දායාදය හේතුකොට ගෙන ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් පරපුරක් මෙරට බිහිවිය.

චින්තන ශක්තිය හා ස්වාධීනව විමසා බැලීමේ ලක්‍ෂණය බුදුදහම ඉහළින්ම අගයයි. ලක් ඉතිහාසයේ ප්‍රථම ඥාන පරීක්‍ෂණය, බුද්ධි පරීක්‍ෂණය පවත්වන ලද්දේ මිහිඳු හිමිපාණන් විසිනි. ඉන් පසුව මිහිඳු හිමියෝ රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කොට වදාළහ. පසුදින රජගෙදර දනට වැඩිය මිහිඳු හිමියෝ රජගෙදරදී පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්ත යන මෙයින් ධර්මදේශනා පැවැත්වූහ. මෙසේ සදහම් රැයෙන් ලක්දිව ඒකාලෝක වෙද්දී භික්‍ෂු භික්‍ෂුණී ශාසනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූයේ පොසොන් දා අප ලත් මේ මහඟු ධර්ම දායාදයේ ප්‍රතිඵලයක් ලෙසය.