Print this Article


මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පෝෂණය වූ බුදු දහම

මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පෝෂණය වූ බුදු දහම

ගලන ගඟ එකක්මයි. ගඟට බසිනා තොටුපල්වල් විවිධ වෙන්න පුළුවන්. පහසු අපහසුකම් ඒ තොටුපලවල්වල තිබෙන්නට පුළුවන්. එහෙත් ගඟ ඒ තොටුපලටත් මේ තොටුපලටත් එකක්මයි. ඒ නිසා අප අද දවසේ සවන් දෙන භාවිතා කරන ධර්මය පිළිබඳව කිසියම් ආකාරයක විමර්ශනයක් විවෘත සංවාදයක් අවශ්‍ය කාලය එළඹිලා තිබෙනවා

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිවන අදවන් දිනක උන්වහන්සේ ලක්දිවට වැඩම කොට අපේ දෝතට පිරිනැමුවේ කුමක්ද? අපෙන් ඉවත් කළේ කුමක්ද? කියා විමසා බැලීමයි මිහිඳු මහරහතන් වහන්සේට දක්වන්නට තිබෙන උදාරතර ගෞරවයක් වන්නේ.

උන්වහන්සේ එදා මේ රටට වැඩමකොට අප තුළ තිබූ මිසදිටු ගති අපෙන් ඉවත් කර සම්මා දිට්ඨියේ ආලෝකය අපේ ජීවිත ආලෝකමත් කරමින් සද්ධර්මලාභයක් උපදවා ගනිමින් මේ රට ධර්මදීපයක් බවට වගේම මේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට ද පත් වූ බවද අප දන්නවා.

එදා උන්වහන්සේ මිහින්තලා පර්වත මුදුනෙන් ගලා යන්නට සැලැස් වූ ඒ අමා සදහම් ගංගාව අද වනවිට සිඳී වියලි ගොස් යාන්තමින් ගලන පුංචි දිය දහරක් බවට සීමා වෙලා. ඒ දියදහර පෝෂණය වූ පෝෂක කලාප අද නිසරු වෙලා. නැවත වතාවක් ගැලූ ඒ දහම් ගඟ පෝෂණය කරලා ඒ දහම් ගඟින් පෝෂණය වන පෝෂක කලාප හඳුනාගෙන නැවත වතාවක් මෙරට ධර්මදීපයක් ධාන්‍යාගාරයක් බවට පත් කිරීමට කාලය උදා වී තිබෙනව.

වර්තමාන ලෝකය තුළ අබෞද්ධයන් අතරේ පමණක් නොව බෞද්ධයන් යැයි කියා ගන්නා සමහර අය අතරේද රටක අභිවෘද්ධිය දියුණුව පිණිස බුදුදහම බාධකයක්ය යන අදහස තිබෙනවා. එයට සාක්ෂි ලෙස අදට ලෝකයේ පවතින බෞද්ධ රාජ්‍යවල දුගීබව දුප්පත්බව නිදර්ශනය කොට දක්වනවා. එහෙත් අද දියුණු යැයි කියාගන්නා වූ රාජ්‍ය දියුණු වූයේ කෙසේ ද? ඔවුන් උදුරාගත්තේ කාගේ සම්පත් ද? කාගේ ධනය ද? කියා සොයා බැලුවොත් එදා බෞද්ධ රාජ්‍ය මංකොල්ල කමින් සම්පත් උදුරා ගනිමින් ඔවුන් කළ විනාශය කෙතරම් ද?

වර්තමානය තුළ මෙවන් අදහසක් මතුªවී ඇත්තේ ඇයි? එදා සද්ධර්මය මිනිස් සිත් හරහා ගලා ගිය අවධියේ දහමින් පමණක් නොව බාහිරයෙන් ද පෝෂණය වී දියුණු වී තිබුණා. අද අප දුප්පත්නම් අසරණ නම් ඊට හේතුව බුදුදහම නොවේ. බුදුදහමේ ආධ්‍යාත්මය අපේ ජීවිතය තුළින් නගා පෝෂණය කරන්නේ නම් අදටත් අපේ රට ධර්මදීපයක් පමණක් නොව පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත්වෙනවා. බුදුදහම මිනිසුන් අතරේ මනා කොට ගැඹුරින් භාවිතා වූ අවධිය යි අදත් අප ආදරයෙන් සිහි කරන ඉතිහාසය ගොඩ නැඟුණේ.

මිහිඳු මහරහතන් වහන්සේ ලබා දුන්නේ කෙබඳු සද්ධර්මයක් ද කියා විමසිය යුත්තේ මේ සම්මතයන්ගෙන් මිදිලා. අද වනවිට බුදුදහම විවිධ නව අර්ථ කථනයන්ට ලක් වී විකෘති වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. නිවන විමුක්තිය පිළිබඳව යම් අපේක්ෂාවක් ඇතිව බුදු දහමින් කියාදෙන්නේ කුමක්දැයි විමසා බලනවිට යම් යම් තැන්වලදී කෙරෙන අනුශාසනා ඔබ විශ්මයට පත්වෙනු ඇත. මෙතැන කියාදෙන දෙන දෙයට හාත්පසින් ප්‍රතිවිරුද්ධ දෙයක් දෙවැනි තැනදී ඔබට අසන්නට ලැබේවි. තවත් තැනකට ගියහොත් ඊටත් වඩා ප්‍රතිවිරුද්ධ වූ යමක් ගැන කියාදේවි. නැවත නැවත බොහෝ තැන්වලට ඔබ ගියේනම් දහම් මඟ පිළිබඳව පවතින හැබෑව කුමක්දැයි එහි ඇති මිත්‍යාව කුමක්දැයි ඔබට වටහා ගන්නට හැකිවනු ඇත.

වර්තමානයේ දී මේ ගවේෂණය, පරීක්ෂණය එබඳු ව්‍යාකූල බවකින් තොරව නිවන් මඟක් කියාදෙන ධර්ම උපදේශකයන් වහන්සේලා ලොව තුළ සිටින්නේ්දැයි සොයා බැලිය යුතු අවදියද උදාවී තිබෙනවා. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ මේ ගමන් මඟ එකිනෙකාට විවිධාකාරයෙන් දක්වන්නට පුළුවන්කමක් නැහැ. එකම මඟයි මෙහි ඇත්තේ. ඒ තුළ න්‍යායන් බොහෝ තිබෙන්නට පුළුවන්. එහෙත් ගමන්මඟ එකයි. උදාහරණ ගලන ගඟ එකක්මයි. ගඟට බසිනා තොටුපල්වල් විවිධ වෙන්න පුළුවන්. පහසු අපහසුකම් ඒ තොටුපලවල්වල තිබෙන්නට පුළුවන්. එහෙත් ගඟ ඒ තොටුපලටත් මේ තොටුපලටත් එකක්මයි. ඒ නිසා අප අද දවසේ සවන් දෙන භාවිතා කරන ධර්මය පිළිබඳව කිසියම් ආකාරයක විමර්ශනයක් විවෘත සංවාදයක් අවශ්‍ය කාලය එළඹිලා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට දායාද කළේ. උන්වහන්සේ අපට ගමන් මාර්ග දෙකක් කියා දුන්නා. එකක් ලෞකික ගමන් මඟ. අනෙක ලෝකෝත්තර ගමන් මඟ. දාන, සීල, භාවනා ලෞකික මඟත්. සීල, සමාධි ප්‍රඥා ලෝකෝත්තර මඟත් ඒ දේශනාව තුළ අන්තර් ගත වෙනවා. ඒ මාර්ග දෙකෙහිම ආරම්භය මූලය වන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය ආකාර දෙකකින් උන්වහන්සේ වදාළා මහණෙනි, එහිදී ලෞකික සම්මාදිට්ඨිය කම්මස්සකථා සම්මා දිට්ඨිය ලෙසත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය චතුසච්ච සම්මා දිට්ඨිය ලෙසත් වදාළා. කර්මඵල දන්නා නුවණ ලෞකික ගමන් මඟේ මූලිකව ගමන් කරන අතර ලෝකෝත්තර ගමන්මඟේදී දුක්ඛ ඤාණ, සමුදය ඤාණ, නිරෝධ ඤාණ, මාර්ග ඤණ මේ සතර නුවණයි සම්මා දිට්ඨිය ලෙස දැක්වූයේ. සම්මා දිට්ඨිය සතර නුවණ නම් අප කළයුත්තේ ඒ සතර නුවණ සම්පූර්ණ කිරීමයි.

එනම් දුක යනු කුමක්ද? දුකට හේතුව නම් කුමක් ද? දුක නැති කිරීම නම් කුමක් ද? නැති කරන මග නම් කුමක්ද? සම්මතයේ අප භාවිතා කරන පාලි පාඨයකින් මෙයට පිළිතුරු නො සොයා දුක්ඛේ ඤාණ, සමුදයේ ඤාණ, නිරෝධ ඤාණ මාර්ග ඤාාණ කියන මේ සතර නුවණ සම්පූර්ණ වන ධර්ම පර්යේෂණයක අපට යෙදෙන්නට සිදුවෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපට කියාදුන් මෙහි ‘එව බලව‘ කියන දේ අපගේ් මතකයේ තිබිය යුතුයි. එනිසා අපට කියා දෙන්න ඕන මෙන්න ‘දුක’. ‘දුක’ කියනකොට ලෝකයේ කාටත් දැනෙන කාටත් තේරෙන දෙය නොවේ. සම්මත ලෙස ගත්තොත් අද අප භාවිතා කරනවා දුක්ඛ සත්‍ය ලෙස ඉපදීම දුක, ජරාව, ව්‍යාධිය, මරණය, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම , කැමැති දේ නොලැබීමත්, අකැමැති දේ ලැබීමත් දුකයි ආදි වශයෙන් අප කථාකරන දුක බෞද්ධයන්ට පමණක් නොව බෞද්ධයන්ට පවා දැනෙන වැටහෙන දෙයක්. සතර අපාය ආදියේ උප්පත්තිය, දිරීම, ලෙඩවීම, මියයන බව බලාපොරොත්තු බිඳ වැටෙන බව, කැමැති දේ නොලැබෙන බව අකැමැති දේ ලැබෙනබව දුකක් බව නැවතත් දැනෙනවා. මේ කාටත් දැනෙන දේ ඉක්මවා මේ ‘දුක’ යන වචනයට අරුත් සොයා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි අප ‘දුක්ඛේ ඤාණයට’ සම්බන්ධ වන්නේ.

මේ කියවෙන හැම වචනයක්ම සම්මත හා පරමාර්ථ කියන ආකාර දෙකෙන්ම නිර්වචනය කරගන්න ඕන. පුද්ගලයෙකුගේ ඉපදීම, ඇතැම් පුද්ගලයාගේ දිරීම, ඇතැම් පුද්ගලයාගේ ලෙඩවීම, ඇතැම් පුද්ගලයෙකුගේ මරණය, ඇතැම් පුද්ගලයෙකු අපි‍්‍රයයන් හා එක්වීම තවකෙක් පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, තව අයෙකුට කැමැති දේ නො ලැබීම යන පුද්ගල සංකල්පය මත මේ දුක කියන ශීර්ෂය යටතේ පැහැදිලි කළවිට මේ කරුණ විවරණය කර ගන්නට පුළුවන්. නමුත් ලෝකෝත්තර දහම තරම් නිවන් මඟට පිවිසෙන්නට එය ප්‍රමාණවත් වන්නේ නැහැ. සම්මා දිට්ඨිය උපත කියන්නේ් “සෝත” නම් මාර්ගයට පිවිසීමයි. ‘සෝත’ නම් වූ මාර්ගයට පිවිසීම සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන ධර්මයන්ගේ ප්‍රහීණය යි. එනම්, ආත්ම පුද්ගල සංකල්පයෙන් මිදීමයි. ආත්ම පුද්ගල සංකල්පය තුළ දහම නිදර්ශනය කොට ආත්ම පුද්ගල සංකල්පයෙන් මිදෙන්නට පුළුවන්කමක් නැහැ.

බැවින් අප මේ සතර ඤාණ උපද්දවන්නට කරන උත්සාහයේ දී පුද්ගල සංකල්පයෙන් මිදී එයින් නිදහස්වන දහම පිළිබඳව විමසිය යුතු වෙනවා.

සටහන: නයනා නිල්මිණි