Print this Article


භික්‍ෂූන් වහන්සේගෙන් තොර බුදු සසුනක් තිබිය හැකි ද?

භික්‍ෂූන් වහන්සේගෙන් තොර බුදු සසුනක් තිබිය හැකි ද?

බුද්ධාගම හා බුද්ධශාසනය එකක්ම යැයි කෙනකුට හැඟෙනු ඇත. එහෙත් වර්තමාන ව්‍යවහාරයෙහි ඇති ‘බුද්ධාගම’ යන්න අලුත් අදහසක් දෙන වචනයකි.

එය බෞද්ධ ජනතාවගේ ආගම හැඳින්වීම සඳහා යෙදෙයි. “ශාසනය’යන්න එයට වඩා වෙනස් අදහස් දෙන වචනයකි. ආගමක් පැවැතීමට අවශ්‍ය දේ සැපයීමෙන් ‘ශාසනය’ නොපවතී. එහෙත් ආගමක් නැති තැන ශාසනයක් ද පැවැතීමට ඉඩක් නැත. ආගමක් යනු කුමක්ද? උසස් ශක්තියක් ඇත්තවුන් පිළිබඳ විශ්වාසය’ආගමකැයි ඊ.බී. ටේලර් කියයි.මේ අර්ථකථනය ආගම පිළිබඳ සාමාන්‍ය හැඳින්වීමක් ලබා දෙන්නක් විය හැකිය. එහෙත් විවිධ ආගම්වල ස්වභාව විමසා බැලීමේදී මේ විස්තරය සම්පූර්ණ යැයි කිව හැකි නොවේ.

අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතස්වභාව නිසා මිනිසා නොයෙක් මත හා විශ්වාසවල එල්බ ගනී. ඒ මතයන් අනුව නොයෙක් පුද පූජාවල යෙදෙයි. ඊට ප්‍රධානම හේතුව නම් තමාගේ ශක්තිය පමණක් සිය අනාගතය පිළිබඳව ගැටලුව විසැඳීමට ප්‍රමාණවත් නොවේ යන විශ්වාසයයි. කුඩා දරුවකුට තනිවම ගමනක් යෑමට ධෛර්යක් නැත. වැඩිමහල්ලෙකුගේ සහය ඔහුට අවශ්‍යය. වැඩිහිටියකුට වුවද රාත්‍රියේ ගමන් යන්නට කවුරු හෝ කෙනකු අවශ්‍යය. වැඩිමහල්ලකු සිටින විට දරුවාට අන්තරායවලින් ගැලවීම පිළිබඳ විශ්වාසයක් ලැබෙයි. ඒ නිසා හෝ නිර්භයව ඒ ගමන යයි. යහළුවකු හො වෙනත් කිසිවකු හෝ සිටින විට රෑ කළුවරේ යන්නාටද තනියක් නැත. ඔහු නිර්භයව ගමන යයි.මේ වැඩිමහල්ලා හා යනවා විසින් ඇති කරනු ලබන්නේ මනුෂ්‍ය සන්තානයේ ස්වභාවිකව ඇති තනිකමකි. සාමාන්‍ය මිනිසකුට ස්වකීය අනාගතය ගැන සිතෙන විට මේ තනි (අනාථ) බවක් සිතට නැඟෙයි. එහි දී ඒ තනිකම නැති කිරීමට ආගමක් හා ඒ ආගමයෙහි උගන්වන ‘උසස් ශක්තියක් ඇත්තා’ අවශ්‍ය වෙයි. බුදුදහමෙහි දී මේ මනෝමය පුද්ගලයා ‘නාථ’ යයි හඳුන්වා දී ඇත. පිටතින් සොයාගත යුතු ‘නාථයෙක්’ බුදුදහමෙහි නූගන්වයි. ඒ වෙනුවට තමා තුළින්ම ‘නාථයා’ උදාකරගත යුතු යැයි බුදුදහම පෙන්වාදෙයි.

අත්තාහි අත්තනො නාථො
කොහි නාථො පරෝසියා
අත්ථනාව සුදන්තෙන
නාථං ලභති දුල්ලභං
(ධම්මපදය –ආත්මවර්ගය)

තමාට පිහිට (නාථ) තමාමය.

අන් කවරෙක් නම් තමාට පිහිට වන්නේද? තමා මනාව දැමුණු කල්හි දුල්ලභ වූ පිහිට එනම් අරහත් ඵලය ලබයි.

මේ නිසා බුදුදහම මිනිසාගේ අවධානය බාහිර ලෝකයේ අද්භූත ශක්තින් හා දෙවියන් පිළිබඳ විශ්වාසයන්ගෙන් මුදාගෙන සිය ආධ්‍යාත්මය කරා යොමු කරයි.දෙව්ලොව හෝ බඹලොව වෙසෙතියි කල්පිත වූ පුද්ගල ස්වරූපී වූ හෝ නොවු නාථයකු සෑහීමකට පත් කිරීම සඳහා කළ යුතු පුද පූජා හෝ යාඤ්ඥා ආදියක් බුදුදහමෙහි නැත. ඒ නිසා ආගම යන්නෙන් අදහස් කරන උසස් ශක්තියක් ඇත්තවුන් පිළිබඳ විශ්වාසය ‘ බුදුදහමට අනුකූල නොවේ. ඒ නිසා අනෙක් ආගම්වලට පොදු එම ලක්‍ෂණය බුදුදහමෙහි නැත. එහෙත් බුදුසමයෙහි පුද පූජා වන්දනා මාන දක්නට ලැබේ. ඒවායේ බාහිර ලක්‍ෂණ දෙස බැලීමේදී වෙනත් ආගම්වලට යම් සමානකමක් ඇතැයි කිව හැකිය.එහෙත් ඒවායේ යථාර්ථ ස්වරූපය පරීක්‍ෂා කිරීමේදි වෙනස පැහැදිලිවෙයි. දෙවියන්ට පූජාවක් කරන්නේ ඒ දෙවියන්ගේ ප්‍රසාදය දිනා ගැනීමටයි. එහෙත් බුද්ධ පූජාවක් සිදු කරන්නේ ස්වකීය ශාස්තෘවරයාට ගෞරව කිරීමටත් ලෝභය තුනී කිරීමෙන් සිය ආධ්‍යාත්මය පවිත්‍රකර ගැනීමටත්ය.

බෞද්ධයා ආගම්කාරයකු නොවේ. මින් අවුරුදු පනහකට හැටකට පෙර අපේ ගැමියන් ‘ආගම්කාරයා’ යන්නෙන් අදහස් කෙළේ අබෞද්ධයෙකි. බුදු සසුන ආගමක් වශයෙන් ගැමියෝ නොසැලකූහ. එය ආගම්වලට පොදු ලක්‍ෂණවලින් තොර හෙයිනි.දැන් අප බුද්ධාගම, බුදුසමය ගැන සඳහන් කරතත්,අප භාවිත කළ යුතු වචනය ‘ශාසනය’ යනුයි. ශාසනය යන වචනයෙන් ලැබෙන ව්‍යාවාර්ථයත් රූඨි අර්ථයත් යන දෙකම ආගම යන අර්ථයට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. ශාසනය සම්පූර්ණයෙන්ම අනුශාසනා මාර්ගයෙකි. ප්‍රතිපදාවෙකි.

සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං “

මේ ගාථාවෙන් ශාසනයෙහි ක්‍රියා මාර්ගය කියැවේ. සියලු පවින් වැළකීමත්, කුසලයෙහි යෙදීමත් සිය ආධ්‍යාත්මය පවිත්‍රකර ගැනීමත් බුදුවරයන්ගේ ශාසනය (අනුශාසනය) වෙයි.මෙය වූ කලී පුද පූජා විදියක් හෝ බාහිර බලයක පිහිට ලබාගැනීමේ ක්‍රමයක් හෝ නොවේ. මේ ශාසන ධර්මය ක්‍රියාමාර්ගයකි.

තවත් අයුරකින් විස්තර කළහොත් ශාසනය පර්යාප්ති , ප්‍රතිපත්ති ප්‍රතිවේද යැයි තෙවැදෑරුම් වෙයි. එහි පරියාප්ති ශාසනය නම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය දෙක හැදෑරීමයි. ප්‍රතිපත්ති, ශාසනයේ නම් ඒ ධර්මයෙහි හැසිරීම එනම් මහණ දම් පිරීමයි. ප්‍රතිවේද ශාසනය නම් සමථ විදර්ශනා භාවනාවන්ගේ මාර්ගයෙන් මාර්ගඵල ලබාගැනීමයි. ශාසනය වූ කලී ශාසන බ්‍රහ්ම චරියාව වටා සකස් වූවකි. ශාසනය ගැන කථා කරන විට ශාසන බ්‍රහ්මචරියාව ඉවත්කොට කථා කළ හැකි නොවේ. ශාසන බ්‍රහ්මචරියාව භික්‍ෂූ ජීවිතය පදනම් කරගෙන පැන නඟී. භික්‍ෂූත්වය නැති තැන ශාසනය හෝ ශාසන බ්‍රහ්මචරියාව පැවතිය හැකි නොවේ. විනයෝ නාම සාසනස්ස ආයු. විනයෙ ඨිතෙ සාසනං ඨිතං භොති “ විනය නම් ශාසනයෙහි ආයුෂ (ජීව) යයි. භික්‍ෂු විනය පවතින විට ශාසනය ද පවතී යන කීමෙහි තේරුම භික්‍ෂූ ශාසනය නැතිව බුද්ධ ශාසනය නොපවතින බවය.

භික්‍ෂුවත්වය පිරිසුදුව ආරක්‍ෂා වූ තරමට ශාසනයද ආරක්‍ෂා වෙයි.භික්‍ෂුත්වය පරිහානිය කරා ගමන් කරන තරමට ශාසනයද පරිහානිය කරා යයි. විභංග අටුවාවෙහි සාසනට්ඨිති කාල, සාසනධසක්කන කාල සහ සාසන අන්තර්ධාන කාල යයි. ශාසනය පිළිබඳ යුග තුනක් විස්තර වෙයි. ඉහතින් සඳහන් කළ ත්‍රිවිධ ශාසනයම නො අඩුව පවතින කාල පරිච්ඡේදය ‘සාසනට්ඨිති ‘ කාලය වෙයි. ඒවායින් එකින් එක ගිලිහී යන වකවානුව ‘ධසක්කන කාල’නම් වෙයි.

ඒවා අතුරු දන් වන කාලය ශාසන අන්තර්ධාන කාල නම් වෙයි. මේ විස්තරයෙන් කියැවෙන ශාසනය නම් භික්‍ෂූ ශාසනයයි. ඒනිසා එය ශාසනයෙහි පැවැත්ම මනා සම්බන්ධවෙයි. ඒ හැර බෞද්ධයන් සරණ යන, බුද්ධ, ධම්ම සංඝ යන ත්‍රිවිධරත්නය සම්පූර්ණ වන්නේ සංඝරත්නය ඇති විටය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ විට බෞද්ධයාගේ මාර්ගෝපදේශකත්වය ධර්ම විනය දෙක මත පැවැතිය යුතුය. ධර්මයත් විනයත් නිර්මලව පවත්වාගෙන යා හැක්කේ සංඝයා සිටිනතාක් කල් පමණි. සංඝයාගේ පැවැත්මට ධර්ම විනය දෙක අවශ්‍යවාක් මෙන් ම ධර්ම විනය දෙකෙහිම චිරස්තිථියටද සංඝයාගේ පැවැත්ම අත්‍යවශ්‍යය.

බුදුරජාණන් වහන්සේගේ දේශනා මාර්ගය හුදු දර්ශනයක් පමණක් නොවේ. උන්වහන්සේගේ ආර්ය මාර්ගයෙහි ජීවිතයක් තුළ සම්පූර්ණයෙන් ඇති කර ගැනීම දුෂ්කරය. “න සූකරං අගාරං අජ්ඣාය සන්තේන එකන්ත පරිසුද්ධව බ්‍රහ්මචරියං චරිතුං’ යන්න සූත්‍ර හා විනය පිටකවල නිතර දක්නට ලැබෙන්නේ එ නිසාය. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අදහස් කළ ආදර්ශ සමාජය භික්‍ෂූන් අතර ඇති කළ සේක.

නියම බෞද්ධ ජීවිතයක් හා බෞද්ධ සමාජයක් ඇත්තේ භික්‍ෂූ සංඝයා අතරය.බෞද්ධ ආචාර ධර්ම, බෞද්ධ ශික්ෂණ ක්‍රම, බෞද්ධ සමාජ ධර්ම, බෞද්ධ ප්‍රජාතාන්ත්‍රික ක්‍රම, බෞද්ධ නීති සම්ප්‍රදාය සහ බෞද්ධ ආර්ථික සංවිධාන ආදි සියල්ල පිළිබඳ වූ ආදර්ශ භික්‍ෂු සමාජය තුළ ඇති කිරීමට බුදුරජාණන් වහන්සේ අදහස් කළ සේක.

ඒනිසා භික්‍ෂු ශාසනය තුළ ආරක්‍ෂිතව ඇත්තේ හුදු පුද්ගල විමුක්තිය පිළිබඳ මාර්ගය පමණක් නොවේ. භික්‍ෂුවගේ පුද්ගලික පරමාර්ථ ‘සබ්බ දුක්ඛ නිස්සරණර්ථ’ වුවද සංඝයා ගේ පරමාර්ථය එයනොවේ.සංඝයා වූ කලී ආර්ථික නෛතික, පරිපාලනික හා සාමාජික සංවිධානයකි. බෞද්ධ සමාජයක් ගොඩනඟා ගැනීමේ මූලික ආදර්ශය සංඝ සමාජය තුළ ගැබ් වී පවතී. ඒ නිසා බුද්ධ ශාසනයේ යථා ස්වරූප දැක ගත හැක්කේ සංඝයා අතරය.

භික්‍ෂුන්ගෙන් තොරව බුදු සමයෙහි යම් යම් කොටස් පැවැතිය හැකිය. එහෙත් තථාගතයන් වහන්සේ අනුදැන වදාළ බුද්ධශාසනය පැවැතිය නොහැකිය. ඒ නිසා ශාසන චිරස්ථිතිය සඳහා භික්‍ෂු සංඝයාගේ නිර්මලත්වය අත්‍යවශ්‍යය. ශාසන දියුණුව ප්‍රාර්ථනා කරන සැම දෙනාම භික්‍ෂු සංඝයා නිර්මලව ආරක්‍ෂා කර ගැනීම සඳහා උත්සුක විය යුතුය.