Print this Article


දතයුතු සියල්ල දතිමි

දතයුතු සියල්ල දතිමි

මජ්ඣිම නිකායේ සේල සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන පරිදි “සේල” බමුණා අමතන බුදුරජාණන් වහන්සේ වරක් ප්‍රකාශ කළේ මෙබඳු අභීත වාක්‍යයකි. බුදුරජාණන් වහන්සේ යන මේ භාවිතය තමන් වහන්සේ වෙනුවෙන් භාවිත කරන්නේ කුමක් නිසාද? යන්න පැහැදිලි කිරීමටයි. උන්වහන්සේ මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ සේල බමුණා අමතමින් මෙසේ වදාරති. මම දැනගතයුතු සියල්ල දැනගතිමි. වැඩිය යුතු සියල්ල වැඩුවෙමි. දුරු කළ යුතු සියල්ල දුරු කළෙමි. ඒ නිසා මට “බුද්ධ” කියා කියති.

මෙම ප්‍රකාශය අභීත වාක්‍යයක් බවට පත් වන්නේ අනිකක් නිසා නොව වෙනත් අයෙකුට ප්‍රකාශ කිරීමට කෙසේවත් හැකියාවක් නොවන බැවිනි. තවත් කරුණක් පැහැදිලි කරන්නේ නම් එදා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය මේ ආකාරයෙන් ප්‍රකාශ කරත් ම බොහෝ දැන උගත් ප්‍රාඥයන් බවට පත්ව එදා මහත් කීර්තියක් ලබා සිටි ශ්‍රමණ අචේලක, නිඝණ්ඨ, පරිබ්‍රාජක, ජටිල ආදී විවිධ ආගමික පාර්ශ්වයන්ට අයත් ශාස්තෘවරුන් පමණක් නොව ඔවුන්ගේ අනුගාමිකයන් දහස් ගණනින් බුදුරජාණන් වහන්සේ වටා එක්රැස් වන්නටත් බුදුරජාණන් වහන්සේ සරණ පරායණවීමටත් පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ මෙම අවබෝධය ඔවුන් ප්‍රත්‍යක්‍ෂ කර ගත් නිසා ය. බුදුරජාණන් වහන්සේගේ මෙම උත්තරීතර අවබෝධය නිසයි. උන්වහන්සේ දතයුතු සියල්ල දැනගතිමි යනුවෙන් අභියෝගාත්මක අභීත ප්‍රකාශයක් කරන්නේ මෙම පදනම නිසාය. මෙම කරුණ වඩාත් පැහැදිලි කරන සූත්‍ර දේශනාව වන්නේ උන්වහන්සේ ප්‍රථම ධර්මදේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයයි. එහිදී උන්වහන්සේ විසින් කරනු ලබන ශ්‍රේෂ්ඨ ප්‍රකාශය වූයේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගනු ලැබූ මෙම චතුරාර්ය සත්‍යය පිළිබඳ කරනු ලබන ප්‍රකාශය මෙහිදී වඩාත් වැදගත් වෙයි. කිසියම් අවස්ථාවක මා විසින් චතුරාර්ය සත්‍යය පිළිබඳ පරිවර්ත හෙවත් රවුම්හෙවත් චක්‍ර 3 ක් ඇති ආකාර 12 ක් ඇති. තත්වාකාර අවබෝධය ලබා ගන්නා ලදී. එම අවබෝධය මා විසින් ලත් පසු මට බුද්ධ යයි කියති. මෙහි එක් ආර්ය සත්‍යයක් පමණක් ගෙන විමසීමට ලක් කළහොත් මේ කරුණ මැනවින් ප්‍රකට වන්නේ ය. දුක්ඛ සත්‍යය කියන්නේ කුමක්ද? ඉපදීම, ජරාවට පත්වීම, රෝගී වීම, මරණය, කැමති දේ නොලැබීම, අකැමැති දේ ලැබීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් හා එක්වීම, සැකෙවින්ම මේ දරා සිටින පංචස්කන්ධයම යන මේ සියල්ල ගත්විට එක එකක් දුකක් බවය. මේ අනුව මේ සියල්ල දුකක් කියා උන්වහන්සේට ඇති වූ අවබෝධය එක පරිවර්තයක් හෙවත් චක්‍රයකි. මින් පසු ඒ දුක අවබෝධ කළයුතුය යනුවෙන් ඇති වූ දැනුම ඊළඟ පරිවර්තය හෙවත් චක්‍රයයි. ඊළඟ චක්‍රය වන්නේ ඒ දුක තමන් වහන්සේ විසින් අවබෝධ කර ගත්තා යන අවබෝධය හෙවත් දැනුමයි. මේ ආකාරයෙන් සමුදය හෙවත් දුක හටගැනීමත්, නිරෝධ හෙවත් දුක නැති කිරීමත්, දුක්ඛ නිරෝධගාමිණීපටිපදා හෙවත් දුක නැති කිරීමේ මාර්ගය යන මෙම ආර්ය සත්‍ය හතර මේ ආකාරයෙන් පරිවර්ත හෙවත් චක්‍ර තුනකින් අවබෝධ කර ගැනීම බුද්ධත්වය හෙවත් සම්මා සම්බෝධිය නම් වන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. එම සම්මා සම්බෝධිය ඇති උත්තමයාට පමණක් සීමා වූ ප්‍රකාශයකි ‘දතයුතු සියල්ල දතිමි’ යන්න.

ඒ සම්මාසම්බුද්ධත්වයට පත් උත්තමයන් වහන්සේ බුද්ධරාජ හෙවත් බුදුරජාණන් වහන්සේ යනුවෙන් හඳුන්වනු ලැබේ. සේලබමුණා බුදුරජාණන් වහන්සේ දැක මහත් සතුටට පත්වීමට බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ඉහත පැහැදිලි කිරීම හේතුවිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ සේලබමුණා වරක් ප්‍රකාශ කළේ ඔබවහන්සේ දෙස බලන විට ඔබවහන්සේ සක්විති රජවීමට තරම් සුදුසු සියලු අංගයන්ගෙන් සම්පූර්ණ නිසා සක්විති රජ බවට පත්වන ලෙස බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේ ය. බුදුරජාණන් වහන්සේ එවිට ප්‍රකාශ කළේ තමන්වහන්සේ එවැනිම සක්විති රජෙකු බවත්, ඒ නිසාම ‘බුද්ධරාජ’ හෙවත් ‘බුදුරජ’ බවත් ය. උන්වහන්සේ සක්විති රජෙකු වන්නේ කෙසේද? යන්න සේල බමුණාට ඇති වූ ප්‍රශ්නයයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් පිළිතුර අතිශයින් අභියෝගාත්මක වූවක් වන්නේ ය. පින්වත් බමුණ. එය සත්‍යයක්. මම සක්විති රජෙක් වෙමි. මගේ රාජ්‍යය ධර්මරාජ්‍යයයි. එහි රාජ්‍යත්වය දරන මම ධර්මරාජ නම් වෙමි. මම රාජ්‍යය පවත්වාගෙන යන්නේ ධර්මයෙනුයි. ධම්මෙන චක්කං වත්තෙමි. කියන්නේ ඒ නිසයි. ඒ හේතුවෙන්ම මට වඩා උසස් උතුම් රජෙකු මෙම තුන්ලොවෙහිම දක්නට නොලැබේ. මා විසින් රාජ්‍යය පවත්වාගෙන යන චක්‍රය වෙනත් කුමන රජෙකුටවත්, බමුණෙකුටවත්, මාරයෙකුටවත්, ශ්‍රමණයෙකුටවත් මෙතෙක් හමු නොවූ කුමන තරාතිරමේ අයෙකු විසින්වත් මෙතෙක් නොපැවැත්වූ චක්‍රයක්. එයට කියනු ලබන්නේ ධර්මචක්‍රය කියයි. සක්විති රජෙකු සතු චක්‍රරත්නය තමන්වහන්සේ සතු ධර්මචක්‍රරත්නය යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර විය. සේල බමුණා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ඔබවහන්සේ රජෙක් නම් ඔබවහන්සේගේ රාජ්‍යය පවත්වා ගැනීමට සහාය කරගන්නා සේනාපතියා කවරෙක් ද කියායි. සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ධර්මරාජ්‍යයේ ධර්මසේනාපතියා බව බුදුරජාණන් වහන්සේගේ ඊළඟ පිළිතුර විය. මෙම ධර්මරාජ්‍යයේ ධර්මභාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයන් වහන්සේ යන්න බමුණා විසින් නගන ලද රාජ්‍යයේ භාණ්ඩාගාරික කවුද? යන්නට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර විය. චක්‍රවර්ති රාජ්‍යයේ චතුරංගනී සේනාව වනුයේ මෙම ධර්මරාජ්‍යයේ සිවුවනක් පිරිස භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන පිරිස බව ද බුදුරජාණන් වහන්සේ විසින් තවදුරටත් පෙන්වා දෙන ලදී. මේ නිසා මෙම රාජ්‍යයේ සෑම සාමාජිකයෙක්ම ධර්මානුකූලයි. ධර්මානුගතයි. එවැනි රාජ්‍යයෙක නායකත්වය දරන ධර්මරාජයන් හෙවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කුමන ආකාරයෙන්වත් තවත් අයෙකුට අභියෝග කළ නොහැකි අනුත්තර තත්ත්වයක උන්වහන්සේ ක්‍රියා කළහ. මේ නිසාම අවස්ථාවන්ට අනුව බුදුරජාණන් වහන්සේ පිළිබඳ වර්ණනාව තුන් ආකාර වන්නේ ය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ වර්ණනාව ත්‍රිවිධ වෙයි. එනම් චරිත වර්ණනාව, ගුණවර්ණනාව හා ශරීර වර්ණනාවයි.

මෙහි එන ගුණවර්ණනාව තුළින් පමණක් මෙම බුද්ධත්වය අපට තේරුම් ගත හැකි වනු ඇත. මේ සඳහා අප කවුරුත් භාවිත කරන බුදුගුණ පාඨය මෙහිදී සැකෙවින් විමසුමට ලක් කෙරේ. ඉතිපිසෝ භගවා... යන මෙම බුදුගුණ පාඨයේ එන ‘අරහං’ යන ගුණයෙන් කියැවෙන පළමු වන බුදුගුණය වන්නේ සියලුම ලාමක කෙලෙස් අබමල්රේණුවක්වත් ශේෂ නොකර දුරු කළ ගුණය ඇති යන්නත්, සියලුම පුද පූජාවන්ට සුදුසු එකම ශ්‍රේෂ්ඨ උත්තමයා යන අදහසත් ය. පූජාවලිය නම් අපේ සාහිත්‍යයේ සඳහන් ප්‍රකට ධර්ම ශාස්ත්‍රිය ග්‍රන්ථය රචනා කළ දඹදෙණි රාජ්‍ය අවධියෙහි විසූ මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම ග්‍රන්ථයෙන් විස්තර කර දීමට ප්‍රයත්න දැරුවේත් මෙම අරහං යන බුදුගුණය විස්තර විවරණයක් ඔබ අප සැම අතට පත් කිරීමටයි. ඊළඟ කියැවෙන ‘සම්මාසම්බුද්ධ’ ගුණයෙන් ප්‍රකාශ වන්නේ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගෙත් උපකාරයක් නැතිව තමන් වහන්සේ විසින්ම ලෝක තත්ත්වය හෙවත් පරිවර්ත (චක්‍ර) තුනක් ඇති දොළොස් ආකාර චතුරාර්ය සත්‍ය පිළිබඳ යථාවබෝධයක් ලබා ගත් බවය. අෂ්ටවිද්‍යා හා පසළොස් වරණ ධර්මයන්ගෙන් සමන්විත වූ නිසා බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් සමන්විත වූහ. නිවැරැදි වූ මනා වූ නිවන නම් තැනට ගමන් කළ හෙයින් ‘සුගත’ නාමයෙන් බුදුරජාණන් වහන්සේ පූජාතිපූජනීය වූහ.ලෝකයේ ඇතිවීමත් ඇති වීමට හේතුවත්, නැතිවීමත්, නැති කිරීමේ මාර්ගයත් තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගත් හෙයින් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ ගුණයෙන් ද ශෝභාමත් වූහ. දෙවියන්, මරුන්, බඹුන්, මිනිසුන්, යකුන් හෝ මේ තුන්ලොවෙහිම බුදුරජාණන් වහන්සේට වඩා උත්තම අයෙක් නොමැති වීමෙන් උන්වහන්සේ අනුත්තර ගුණයෙන් පරිපූර්ණ වූහ. දමනය කළයුතු සෑම අයෙකු මෙන්ම සත්ව වර්ගයක්ම දමනය කිරීමට හැකියාව ඇති උත්තමයා යන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ‘පුරිසදම්මසාරථි’ ගුණ සම්පන්න වූහ. මිනිසුන්ට, දෙවියන්ට ආදි කාටත් අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ තුන්ලොවටම ගුරුවරයෙකු ශාස්තෘවරයෙකු, අනුශාසකයෙකු බවට පත් වූ හෙයින් ‘සත්ථා දේවමනුස්සානං’ ගුණයෙන් යුක්ත වූහ. ‘බුද්ධො’ යන තමන් වහන්සේ විසින්ම අවබෝධ කර ගත් චතුරාර්ය සත්‍ය ධර්මය අනුන්ටත් ඒ ආකාරයෙන්ම පැහැදිලි කිරීමට සමත් වූ හෙයින් එම ගුණයෙන් ද සමන්විත වූහ. නව අරහාදී බුදුගුණ පාඨයේ අවසාන බුදුගුණය වූ “භගවා” යන ගුණයෙන් ප්‍රකට කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේ සාරාසංඛේය කල්පලක්‍ෂයක් තුළ සමතිංශ්‍රත් පාරමී ධර්ම හෙවත් බුද්ධකාරක ධර්මයන් සපුරාලීමෙන් රැස්කර ගත් මහා පුණ්‍ය සම්භාරයක් ඇති ව සිටි හෙයින් ද ඒ නිසාම භාග්‍ය සම්පත්තියෙන් අනූන වූ පස්මරුන් දිනා සාංසාරික භව ගමන අවසාන කළ උත්තමයා ද බුදුරජාණන් වහන්සේ වන හෙයින් උන්වහන්සේ භගවා යන නව වැනි ගුණයෙන් ද සමුපලක්ෂිත වූහ. මේ අනුව පැහැදිලි කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ දතයුතු සියල්ල මැනවින්ම අවබෝධ කරගත් අර්ථයෙන් ‘බුද්ධ’ යන නාමයෙන් දෙවියන්, මිනිසුන්, බඹුන්, ශක්‍රයන් යක්‍ෂයන් අභිබවා සියලුම සත්ව ප්‍රජාව අතර කිසිවෙකුට කිසිදාක අභියෝග කළ නොහැකි උත්තරීතර තත්ත්වයට පත් වූ බවය.